IS ගැන දැනගන්න එක්සත් ජාතීන්ගේ වාර්තා කියවන්න

 ඡායාරූපය:

IS ගැන දැනගන්න එක්සත් ජාතීන්ගේ වාර්තා කියවන්න

ඉංගිරිසි මාධ්‍යයේ ෂී යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන Islamic State of Iraq and Syria - ISIS හෙවත් Islamic State of Iraq and Levant - ISIL ලෙසද හැඳින්වෙන අන්තවාදී ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය ගැන පසුගිය සති තුනේම මෙහි කරුණු ඉදිරිපත් කරන ලදි. ඒ ගැන ලියනවා නම් පොතක් ලියන්නට තරම් කරුණු ඇති නමුත් සතිපතා පළවන පුවත්පත් විශේෂාංග ලිපියකට ඒවා ගොනු කිරීම අපහසුය. අනෙක් අතට චීන - අැමෙරිකා වෙළෙඳ යුද්ධය, වෙනිසියුලාවේ සහ සුඩානයේ පවතින අර්බුද, ජනාධිපති ට්‍රම්ප් ඉරාණයට කළ තර්ජනය සහ එරට අරබයා අැමෙරිකා ප්‍රතිපත්තිය වැනි ලොව පුරා සාකච්ඡාවට බඳුන්වන වැදගත් මාතෘකා කිහිපයක් තිබියදී මේ සතියේත් ඒ ගැනම ලියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ කම්පනය තවමත් පහව නොගිය හෙයිනි.

ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් කැලිෆේටය දක්වා යන සිය දීර්ඝ චාරිකාව ඇරැඹූයේ 2013 වසරේ වන අතර ක්‍රියාත්මක වුණේ ඉරාකයේ පමණි. ඒ වසරේ අවස්ථා 18කදී ඔවුහු මිනිස් ජීවිත 1,500 ඉක්මවන සංඛ්‍යාවක් බිලි ගත්හ. එතැන්සිට ඔවුන්ගේ හපන්කම් සැකෙවින් මෙපරිද්දෙනි:

2014 වසරේ විවිධ ප්‍රහාර මගින් බෙල්ජියම, ඔස්ට්‍රේලියාව, ඉරාකය, කැනඩාව, අැමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය යන රටවල මිනිසුන් 1600 අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කළ ඔවුහු 2015 වසරේදී සෞදි අරාබිය, ලිබියාව, ඩෙන්මාර්කය, ටියුනීසියාව, යේමනය, අැමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, කුවේට්, ඊජිප්තුව, ඉරාකය, තුර්කිය, රුසියාව සහ ලෙබනනය යන රාජ්‍යවල 1100ක් දෙනාගේ ජීවිත බිලි ගත්හ. 2016 වසරේ සෞදි අරාබිය, ලිබියාව, ටියුනීසියාව, යේමනය, අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, කුවෙට්, ඊජිප්තුව, ඉරාකය, තුර්කිය, රුසියාව, ලෙබනනය, බෙල්ජියම, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කසකස්තානය, මැලේසියාව, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය යන රටවල 1,300ක් දෙනා ඔවුන්ගේ ප්‍රහාරවලින් අකාලයේ මරු තුරුලට ගියහ. 2017දී අැමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඉරාකය, තුර්කිය, රුසියාව, ලෙබනනය, බෙල්ජියම, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, මැලේසියාව, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, සිරියාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය, බ්‍රිතාන්‍යය, ස්වීඩනය, ඉන්දුනීසියාව, ඉරානය, ස්පාඤ්ඤය, කැනඩාව යන රටවල 1,600 සාපරාධී ලෙස මරා දැමූ ඔවුහු 2018 වසරේදී ඉරාකය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ලිබියාව, රුසියාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, බෙල්ජියම, මැලේසියාව, කැනඩාව, සිරියාව, තජිකිස්තානය, ඊජිප්තුව සහ ඔස්ට්‍රේලියාව යන රටවල 1,000ක් පමණ දෙනා ඝාතනය කළහ. මෙයින් තජිකිස්තාන ප්‍රහාරය විශේෂිතය. එහිදී ඝාතනයට ලක්වන්නේ තජිකිස්තාන ජාතිකයන් නොව සංචාරක පාපැදිකරුවන් සිව් දෙනෙකි. 2019 වසරේ මේ වන විට

ශ්‍රී ලංකාවේ ප්‍රහාරයද ඇතුළත්ව ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර අවමය වශයෙන් ඒවායේදී 262 මරණයට පත් වූ බව සඳහන්ය. මෙනයින් ඝාතනය වූ සංඛ්‍යාව දළ වශයෙන් 8,400ක් පමණ වෙයි.

අපේ රටට ප්‍රහාරයක් එල්ල කරන්නට පෙර රටවල් 29ක් ඔවුන්ගේ ප්‍රහාරයට ලක් ව තිබූ අතර මේ වන විට එම සංඛ්‍යාව 32කි.

මෙ විස්තරය මෙලෙස ඇතුළත් කළේ අයිඑස් ත්‍රස්තයන්ගේ ඝාතන ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා ගැනීමටය.

මේ නිසා 2015 මැද හරියේ සිට IS ගැන එක්සත් ජාතීන්ගේ අවධානය යොමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ කමිටුවක් විසින් සෑම සිව්මසකට වරක් මූලික උපායමාර්ගික මට්ටමේ වාර්තාවක්ද සැම සමසකටම වරක් තර්ජනයේ බරපතළකම සහ එක්සත් ජාතීන්ට ක්‍රියාත්මක විය හැකි වපසරිය පිළිබඳව සකස් කරනු ලබන වාර්තාවක්ද යනාදී වශයෙන් වාර්තා දෙකක් මහ ලේකම්ගේ අත්සනින් යුතුව සාමාජික රටවලට නිකුත් කෙරේ. ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2253 (2015) සහ 2368 (2016) යන අංක දරන යෝජනාවලින් නියම කොට ඇති පරිදිය.

මේ වාර්තාවල ප්‍රථම වාර්තාව 2016 ජනවාරි 29 දින ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ප්‍රස්තුතය අට වැන්නයි. පසුගිය පෙබරවාරි 01 දින ඉහත දෙවන කාණ්ඩයේ වාර්තාවක් එනම් සමසකට වරක් ඉදිරිපත් විය යුතු ප්‍රවර්ගයේ වාර්තාවක් නිකුත් වූ අතර එය අන්තර්ජාලයේ කියැවිය හැකිය. මේ වාර්තා කියවා තිබුණා නම්, අඩුම තරමින් සිය යටත් නිලධාරීන් විසින් ඒ ගැන දැනුම්වත් කෙරුණේ නම් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ප්‍රහාරය ගැන වූ පූර්ව අනතුරු හැඟවීම් ගණන් නොගෙන නොසිටින බව නම් නිසැකය.

එම වාර්තාව කොටස් 4කින් සමන්විතය. එම කොටස් හතරේ පිළිවෙළින් අංකනය කරන ලද වගන්ති සියයක් අන්තර්ගතය.

පළමුවැනි අංකය හැඳින්වීමයි. වාර්තාවේ පසුබිම සහ යොමුව පිළිබඳ සාමාන්‍ය විස්තරයක් එහි ඇතුළත්ය.

එහි 3 යටතේ IS සංවිධානය අබිරහස් ජාලයකින් යුක්ත බවත් එය එක් නායකයකු යටතේ මධ්‍යගත බවත් මේ වනවිට සිරියාවෙන් සහ ඉරාකයෙන් ඔබ රටවලටද තර්ජන එල්ල කරන බවත් සඳහන්ය.

දෙවැනි කොටසේ එන්නේ තර්ජනයේ ඇගයීමයි. එහි ප්‍රධාන කොටස් දෙකකි. තර්ජනයේ සමස්ත විග්‍රහය සහ කලාපීය ප්‍රවණතා යනු ඒ දෙකයි. එහි කලාප යටතේ ලොව කොටස් පහකට බෙදා ඇති අතර ඒවා වන්නේ මැදපෙරදිග, අෆ්‍රිකාව, යුරෝපය, දකුණු සහ මධ්‍යම ආසියාව සහ අග්නිදිග ආසියාවයි. අමෙරිකානු රටවල් කලාපයකට ගොනු කොට නොමැත. පසුගිය වසර තුළ ඒ කලාපයේ එකම සිද්ධිය වනුයේ පසුගිය ජූලි 22 දින කැනඩාවේ ඩැන්ෆෝත් නගරයේ සිදු වූ IS ත්‍රස්තයන් විසින් වගකීම බාරගන්නා ලද වෙඩි තැබීමේ සිද්ධියයි. ඉන් පසු අැමෙරිකා මහාද්වීපයේ රටවල සිද්ධියක් නොවීම ඊට හේතු වූවා විය හැකිය.

මේ වාර්තාව ඉදිරිපත් කෙරෙන්නේ IS සිරියාවේදී දරුණු පරාජයක් ලබමින් සිටි දවස්වලය. එහෙත් සම්පූර්ණයෙන්ම පරාජය කොට නොතිබිණි. වාර්තාවේ අංක 8 සහ 9 යටතේ මෙසේ සඳහන්ය:

“8. අන්තර්ජාතික ප්‍රහාර සහ රහසිගත උපක්‍රම නිසා එහි ප්‍රධාන පෙළේ නායකකාරකාදීන්ගේ අඩුවක් දක්නා ලැබේ. ISIL යන හඳුනා ගැනීමේ ලකුණට හානි පැමිණවීම ඉන් ඇති වන අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දිය හැකි තවත් ක්‍රමයකි. කෙසේ වෙතත් ISIL යනු වැඩිම විජිගීෂාවෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමයි. එබැවින් එය විසින් නුදුරු අනාගතයේදී සංකීර්ණ විශාල ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. ගුවන් යානාවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ උනන්දුවක් ඔවුන්ට තිබේ. එවැන්නක් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ, න්‍යෂ්ටික යන මේ ඕනෑම ආකාරයක ප්‍රහාරයක් විය හැකිය.

9. ISIL යනු මධ්‍යගත නායකත්වයක් ඇති ගෝලීය ත්‍රස්ත සංවිධානයකි. එම නායකත්වය සිය අඩපණ වූ අබලතාව ප්‍රාණවත් කැර ගන්නට සිය ගෝලයන්ට සම්පත් සහ උපදෙස් සපයනු ඇත. මන්දයත් මෙම නායකයාගේ ඒකායන අපේක්‍ෂාව වනුයේ ‘ගෝලීය කැලිෆේටයේ’ නායකත්වය ගැනීමයි.”

එම වාර්තාවේ 4 වගන්තියට අනුව සංවිධානයේ නායක ත්‍රස්තයා අබු බකර් අල්- බග්ඩාඩිෙය. කැලිෆේටය පිහිටුවීමෙන් පසු තමාට චක්‍රවර්ති රජකම ලැබෙනු ඇති බව ඔහුගේ පරම විශ්වාසයයි.

ත්‍රස්තවාදය පැතිරවීම නිසා අච්චු කරන ලැබූ වෛරී දේශකයන්, අරමුදල් රැස්කරන්නන් වැනි අය මෙන්ම යුද බිමෙන් පලා එන විදේශීය සටන්කරුවන්ද නිසා ඉදිරියේදී තර්ජන ඇති විය හැකි බව එහි 10 වගන්තියේ සඳහන්ය. ත්‍රස්තයන්ගෙන් යැපෙන්නන් විශේෂයෙන්ම අන්තගාමී අදහස්වලින් පෝණය වූ ස්ත්‍රීන් සහ භීෂණයේ අත්දැකීම් නිසා වික්‍ෂිප්තියට හෙවත් ක්ෂිතියට පත් ළමුන්ද තර්ජනය වඩාත් බැරෑරුම් බවට පත් කරනු ඇතැයි එහි කියැවේ.

එහි 11 වගන්තියේ මෙසේ සඳහන් ය: “ගැටුම් උත්සන්න පෙදෙස්වලින් පිට වන ත්‍රස්තයන් අඩු ගැටුම් ඇති තැන්හි ප්‍රති-ස්ථානගතකරනු ලැබේ. සන්සන්දනාත්මක වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් යන විදේශීය සටන්කරුවෝ කලාපීය සංවිධානවලට එක්වෙති. ශුද්ධ යුද්ධයට සහභාගි වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුත් වූ නමුත් ගැටුම් උත්සන්න පෙදෙස්වලට යා ගත නොහැකි ‘අපේක්‍ෂාභංගත්වයට පත් වූ සංචාරකයෝ’ වෙනත් තැන්වලට යොමු කෙරෙති. සාමාජික රාජ්‍යයන් මොවුන් සම්බන්ධයෙන් නම්‍යශීලී වීම යනු අල්-ඛයිඩා නැවත පණ ගැන්වීම හෝ අලුත් කුඩා ත්‍රස්ත කණ්ඩායම් බිහි වන්නට හේතු කාරක වනවා ඇත.”

තුන්වන කොටස විකසනය වන තර්ජනයට ප්‍රතිචාර දැක්වීම යාවත්කාලීන කිරීම නමි. එහි කොටස් හයකි. විග්‍රහය පළමුවන අනු කොටස වන අතර නඩු පැවරීම සහ නෛතික ක්‍රියාමාර්ග, පුන්රුත්ථාපනය සහ

ප්‍රති-සමෝධානය දෙවැන්නයි. තුන්වැන්න අන්තර්ජාතික අධිකරණ සහයෝගිතාව වන අතර සිව්වන අනු කොටස වන්නේ ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීම්වලට එරෙහි වීමයි. සීමාමායිම් කළමනාකරණය සහ නීතිය බල ගැන්වීම පස්වන අනු කොටස වෙයි. සවැන්න වනුයේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිවීම සහ ප්‍රජා ප්‍රචණ්ඩත්වයේ අන්තගාමීත්වයට යොමුවීමට එරෙහි වීමය. අවසාන වශයෙන් සිව්වැන්න ලෙස සිය නිරීක්‍ෂණ දක්වනු ලැබ ඇත.

එක්සත් ජාතීන් විසින් මේ වාර්තා ඉදිරිපත් කරනු ලබන්නේ ඉසිස් සංවිධානයේ බරපතළකම සහ එහි තර්ජනයේ බැරෑරුම් ස්වභාවය සිය සාමාජික රාජ්‍යවලට ඒත්තු ගැන්වීම IS සඳහාය. එහෙත් සාමාජික රාජ්‍ය එයින් ප්‍රයෝජන ගන්නවාද යන්න ගැන අවිශ්වාසයක් මතු වන්නේ අපේ රටේ සිදුවූ සිද්ධිදාමය සහ බලධාරීන්ගේ ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා අවලෝකනය කිරීමේදීය.

මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.

IS සංවිධානය බලවත්ව සිටි සමයේ බොහෝ විදේශ කාන්තාවෝ තුර්කියට යන මුවාවෙන් සිරියාවට අවුත් ඔවුන්ට එක්වූහ. මේ කාන්තාවන් අතරින් බංග්ලාදේශ් සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ශමිමා බෙගම්ගේ කතාව බීබීසී වෙබ් අඩවියේ කියැවිය හැකිය. 2000 දීඇය නිවෙසින් පලා ගොස් සිරියාවට ගියේ IS ත්‍රස්තයන්ට එකතු වන්නටය. ඒ වන විට ඇගේ වයස අවු 15කි. ඇය එහිදී ත්‍රස්තයකුගේ අඹුව බවට පත් වූ අතර ඔහු මළ පසු තවත් අයකු සමග විසුවාය. පළමු පුරුෂයාගෙන් අයට දරුවන් දෙදෙනකු ලැබුණු අතර ඔවුහු දුස්පෝෂණය නිසා මළහ. දෙවන පුරුෂයගෙන් ගැබ් ගෙන සිටියදී ඔහුද මළ අතර සටන පරාජයෙන් තොරව අවසන් වන බව පෙනෙන හෙයින් ඇය පෙරළා බ්‍රිතාන්‍යයට පැමිණියාය. ඒ වනවිට බ්‍රිතාන්‍යය ඇගේ පුරවැසිභාවය අහෝසි කොට තිබුණෙන් ඇය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. මේ වනවිට ඇගේ දෙමාපියන් විසින් රජයට එරෙහිව නඩුවක් පවරා ඇති අතර ඊට නීතිවේදීන් ඉදිරිපත් නොවන බැවින් රජයේ නීතිඥයකුගේ සහාය ඉල්ලා ඇත. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් ඊට නොඑකඟ බව පැවසේ. ඊට හේතුව රටට ද්‍රෝහි වූ අයකු වෙනුවෙන් බදු මුදල් වැය කිරීම නොකළ යුත්තක් වන නිසාය.

ශමිමා බෙගම් සිද්ධියෙන් පසු තවත් කාරණයක් ගැන එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී තිබේ. එනම් බුර්කා සහ නිකාබය භාවිතයෙන් ඉවත් කළ යුත්තක් වශයෙන් හඳුනාගැනීමයි. ඒවායින් සැරසුණු කතුන් හැඳින්වෙන්නේ Jihadi bride යන උපහාසාත්මක පදයෙනි. මේ ජිහාඩි මනාලියන්ගේ ‘ඒකාකෘතිගත’ ඇඳුම නිසා ආරක්‍ෂක හමුදා නොමඟ යා හැකි බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් නිවේදනය කරනු ලැබ ඇතැයි ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ වාර්තාවක දැක්වේ. මේ ‘ඒකාකෘතිගත’ ඇඳුම යනු නිකාබය සහ බුර්කාවයි. ඒ නිසා එය තහනම් කළ යුතු බවත් අවශ්‍ය නම් හිජාබය භාවිත කළ හැකි බවත් පෙන්වා දෙනු ලැබ ඇති බව පැවසේ.

මාතෘකා