ඉන්දියාවෙත් IS බල ප්‍රදේශයක්

 ඡායාරූපය:

ඉන්දියාවෙත් IS බල ප්‍රදේශයක්

ඉන්දියාව IS සංවිධානයේ පාලන ඒකකයක් හෙවත් විලායා එකක් ලෙස නම් කරන ලද බව පසුගිය සතියේ ‘ද හින්දු’ වාර්තාවක සඳහන් විය. එහි විස්තරයක් දක්වා නැතත් ‘විලායා දා හින්ද්’ නමින් හැඳින්වෙන මේ පාලන කලාපයට ශ්‍රී ලංකාවද අයත් විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔවුන්ගේ සැලසුම්වල විනා මේ මිහිමත භූමියක් නැති, එනිසාම අගනුවරක් නැති, පිළිගත් ව්‍යවස්ථාවක් නැති, ව්‍යවස්ථානුකූලව පත් වූ පාලකයකු හෝ පාලක මණ්ඩලයක් නැති ISIS හෙවත් ඉරාණයේ සහ සිරියාවේ ඉස්ලාමික රාජ්‍යයට එබඳු විලායා හෙවත් කලාප හෙවත් බාහිර බල ප්‍රදේශ අටක් ඇති බව සඳහන්ය. ලිබියානු, සිනායි, යේමන, ඇල්ජීරියානු, ඛොරසොන්, බටහිර අෆ්‍රිකා, කොකේසස් සහ සෝමාලියා යනු ඒ අටයි. මෙයින් සිනායි යනු ඊජිප්තුවේ සිනායි අඩ දිවයින වන අතර ඛොරසොන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයයි. ඔවුන්ගේ මූලික රාජ්‍යය හෙවත් කැලිෆේටය වනුයේ ඉරාකය සහ ලැවන්ට් ප්‍රදේශය නමින් හැඳින්වෙන මධ්‍යධරණී වෙරළාසන්න කලාපයයි. ඒ අනුව නවවැන්න ලෙස ඉන්දියාවට ව්‍යාප්ත කිරීමෙන් එහි ‘සිතියම’ පුළුල් වී ඇති බව ‘ද හින්දු’ වාර්තාවේ දැක්වෙයි.

IS සංවිධානයේ අමාක් පුවත් ඒජන්සි නම් අඩවියේ පසුගිය 11 දින මේ බව පළ කර තිබිණි. ඔවුන් මෙබඳු තීරණයකට එළැඹෙන්නට හේතු වී ඇත්තේ කාශ්මිර් ප්‍රදේශයේ සිටි ඔවුන්ගේ නියෝජිතයා වූ ඉෂ්ෆක් අහ්මඩ් සොෆි ඉන්දිය ආරක්‍ෂක අංශ විසින් මරා දමනු ලැබීමය.

සොෆි කලක් තිස්සේ ජම්මු කාශ්මිර දේශසීමාවේ ඉන්දීය හමුදාව සහ පොලිසිය සමග ගැටුණු පුද්ගලයෙකි. එහෙත් ඔහු ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ වී සිටි බව ඔත්තුසේවා නිශ්චිතවම දැනගෙන ඇත්තේ ඔහු විසින් එය හෙළිදරව් කරනු ලැබීමත් සමගය. අයිසිස් ත්‍රස්තයන්ගේ හැටි එහෙමය.

ඔවුන්ගේ කැලිෆේටය සිරියාවේදී විනාශ විය. දැන් ඔවුහු ඉහත දැක්වෙන බටහිර අෆ්‍රිකානු කලාපය මධ්‍යම අෆ්‍රිකාව දක්වා විස්තාරණය කොට එහි ක්‍රියාත්මක බොකෝහරාම් වැනි ඉස්ලාම් අන්තවාදී කල්ලි සමග සන්ධානගත වී සිටින බව පෙනෙන්නට තිබේ.

මේ කල්ලිවලට පොදු කාරණා වන්නේ ඔවුන් සුන්නි ඉස්ලාම් ලබ්ධිකයන් වීමත් ලොව පුරා ශරියා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යටත් කැර ගැනීමේ අභිලාෂයෙන් අන්‍ය ලබ්ධික අහිංසකයන් ඝාතනය කිරීමත්ය.

ඒ සඳහා ඔවුන් ආදර්ශ පාඨ ලෙස ගන්නේ දේව ධර්මය වන අල්-කුරාණයේ 9 වැනි පරිච්ඡේදයේ 5 සහ 29 පාඨය. ඒවායේ ඇත්තේ හොඳින් බැරිනම් නරකින් අන්‍ය සියලු ලබ්ධින් ඉස්ලාමයට හරවා ගත යුතු බවයි. ඒත් බැරි නම් ඝාතනය කළ යුතු බවයි. හැබැයි, එසේ ඝාතනය කරන්නට පෙර යටත් වන්නට කාල සීමාවක් නියම කළ යුතු අතර ඝාතනය කළ යුත්තේ ඉන් අනතුරුවය. මේ වන විට මෙම අන්තවාදීන් අහිංසක අන්‍ය ලබ්ධිකයන් ඝාතනය කරන්නේ එබඳු කාල සීමා නියම කිරීමකින් තොරවය. සමහරවිට ඝාතනයට හසු නොවී ඉතිරි වන සෙස්සන් ඉන් පාඩමක් උගෙන සිය ලබ්ධියට නතු වනු ඇතැයි ඔවුන් උපකල්පනය කරනවා විය හැකිය.

ඉස්ලාමීය රාජ්‍යය නම් ඝාතක සංවිධානයේ නායකයා හෙවත් අණ දෙන්නා හෙවත් ප්‍රධාන විධායක අබු බකර් අල් බැග්ඩාඩිගේ ස්වභාවය නොදන්නා, ඔහු ගැන අවබෝධයක් නොමැති ආරක්ෂක අමාත්‍යාංශයක්, රහස් ඔත්තු සේවාවක් සහ පොලිසියක් ලොව කිසියම්ම රටක තිබෙන්නේ නම් ඒ තවම කකුල කටේ දාගන්නා වයසේ විය යුතුය. ආරක්ෂාව යන්නේ මුඛ්‍ය අර්ථය වළක්වා ගැනීම බව ඔවුන් නොදන්නා බව පැහැදිලිය.

අබු බකර් අල්- බැග්ඩාඩි යනු එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය වැනි මුල්පෙළේ අන්තර්ජාතික සංවිධාන සියල්ල විසින් භයානක ත්‍රස්තයකු ලෙස පිටු දැක ඇති පුද්ගලයෙකි. අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවල්ද එසේමය. අැමෙරිකා එක්සත් ජනපදයේ වලංගු නීතිය යටතේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා ඇති විධායක නියෝග 1322 යටතේ ඔහු ‘විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තයකු’ ලෙස නම් කොට ඇත. ඔහු මරා දමන හෝ මරා දමන්නට හේතු විය හැකි ඔත්තුවක් සපයන්නකුට ඇ.ඩො. මිලියන 25 දක්වා ත්‍යාගයක් පිරිනමන බව ඒ යටතේ නිවේදනය කොට තිබේ.

ඒ කෙසේ වෙතත් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ඔහුට පිළිගැනීමක් ඇති අතර සමස්ත ලෝකයේම සුන්නි ඉස්ලාමය නියාමනය කරන මජ්ලිස් සභාවේ ඔහුට අසුනක් වෙන් කැර තිබේ. ඒ ඉරාකයේ සහ ලැවන්ට්හි ඉස්ලාමීය රාජ්‍යයේ හෙවත් කැලිෆේටයේ නියෝජිතයා වශයෙනි. මේ සමුළුවට ලොව සෑම රටකින්ම නියෝජිතයන් සහභාගි වන අතර ප්‍රධාන මජ්ලිසය ගන්නා තීරණ ඒ ඒ රටවල මජ්ලිස් වෙත සන්නිවේදනය කෙරේ.

2015 වසරේ Time සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස තොරා ගනු ලැබුවේ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ය. දෙවැනි ස්ථානයට ලකුණු ලබා ගත්තේ අබු බකර් අල්-බැග්ඩාඩිය.

Time සඟරාව තෝරන්නේ හොඳම පුද්ගලයා හෝ ලොවට වැඩිම සෙතක් සැලසූ පුද්ගලයා හෝ නොවේ. ලොවට වඩාම බලපෑමක් ඇති කළ පුද්ගලයාය.

එය ඇත්තකි. ලොව බොහෝ තැන්වල අල්-බැග්ඩාඩි සරණ ගිය උපාසකයෝ වෙති. ඉසිස් සංවිධානයේ ජනඝාතන සිදු කළ ඇතැම් ඝාතකයන් කිසිදා ඔහු හමු වී හෝ ඔහු ඉදිරියේ ශපථ කළ හෝ අය නොවෙති. අතැමෙකු කිසිම සංවිධානයකට අයත් නැති එකලා පුද්ගලයන්ය.

වසරේ පුද්ගලයන් අතර දෙවැනියා බවට ඔහු පත් වීමෙන් පසු ටයිම් සඟරාවේ විශේෂාංග රචකයෙක් ඔහු ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබිණි. එහි ආරම්භක ඡේදය මෙසේය:

‘ප්‍රචණ්ඩකාරීව, නීති භ්‍රෂ්ට මෙන්ම අන්ධ ලෙස ඔහුගේ ස්වයං නිවේදිත දිව්‍ය රාජ්‍යයට සයිබර් අවකාශය හරහා පක්ෂපාත වන්නට ප්‍රතිඥා දුන් ලොව නන්දෙසින් එන ජනී ජනයෝ ඔහුගේ ඇමතුමකට රැස්කති. සමහරු ඔහුගේ නාමයෙන් තථ්‍ය ලෝකයේ විවිධ ඝාතනවල නිරත වෙති. පැරිස් සිට සිනායි දක්වා සහ බේරූට් සිට බර්නාඩියෝ දක්වා හෝටල්වල, දේවස්ථානවල, ක්‍රීඩාංගණ සහ ප්‍රසංග ශාලාවල දහස් ගණනක් මිනිසුන් මේ වනවිට මරා දමා හමාරය. ඔහු සමීපයේ සිටින්නේ ඔහුගේ මාංස වෙළෙඳාම පවත්වාගෙන යන තැනැත්තිය ඇතුළුව අතළොස්සක් දෙනා පමණි. අනෙක්හු සැතපුම් දහස් ගණන් එපිට ඔහුගේ ආඥාව සහ පාලනය යටතේ ත්‍රස්ත ක්‍රියාවල යෙදෙති. පසුගිය නොවැම්බර් 13 දින මිනිසුන් 130ක් ඝාතනයට ලක් වූ ප්‍රංශ ප්‍රහාරය ගන්න. ඝාතකයන් බැග්ඩෑඩි හමු වී තිබුණේ නැත. දෙසැම්බර් 02 දින දකුණු කැලිෆෝනියා ප්‍රහාරය එල්ල කළ ටෂ්ෆාන් මලික් සහ ඇගේ සහචරයා ඔහු හඳුනාගෙන ඇත්තේ ෆේස්බුක් මගිනි.’

ඉස්ලාමීය රාජ්‍යය වෙනුවෙන් තැන තැන මිනිසුන් ඝාතනය කිරීම සඳහා අල්-බැග්ඩෑඩිට ආකර්ෂණය වනනේ රැඩිකල් තරුණ පිරිස් වන නමුත් මැදිවියේ වූවෝද බැහැර නොවෙති. එසේම සැලකිය යුතු කාන්තා සහභාගිත්වයක්ද දක්නා ලැබේ. ප්‍රහාර සඳහාම ඉස්ලාමය වැලඳ ගන්නා බටහිර යෞවනයන්ද බහුලය. මොවුන් බොහෝ දෙනා උසස් අධ්‍යාපනය ලැබූ හෝ ඊට යොමුව සිටින අයයි.

ඔවුහු අනුන්ද මරා සිය පණ නසා ගනිති. එයින් පැහැදිලි වන්නේ මේ ආත්මයේදී ඔවුන් කිසිවක් නොපතන බවය. කුරාණය වෙනුවෙන් දිවි පුදන තැනැත්තා අනිවාර්යයෙන්ම ස්වර්ගයට යන බවත් එහිදී ඔහු අනේක සැප සම්පත් ලබන බවත් ඉස්ලාමීය රාජ්‍යයේ සම්පත් දායකයන් සිය දේශන මගින් අලුතින් සිය සංවිධානයට බැඳෙන්නවුන්ට ඒත්තු ගන්වන බව ප්‍රකටය.

ඉරාකයෙන් අැමෙරිකානු හමුදා ඉවත්ව ගිය පසු ඉස්ලාම් රාජ්‍යය සංවිධානාත්මකව බලගතු විණි. ඉරාක හමුදාව ඔවුන්ට ඉඩහැර මඟහැරි හෙයින් ඔවුන්ට විශාල අවි සහ මෙවලම් තොගයක්ද ධනයද ලැබිණි. ඔවුහු ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව කොල්ලකා බිලියන ගණනක මුදල් අත්පත් කැර ගත්තෝය. ඉරාකයේ තෙල් සම්පත ඔවුන් විසින් කොල්ල කන ලද්දේය. එනයින් ඔවුහු ඉතා ධනවත් වූහ.

එහෙත් සිරියාවේදී තත්ත්වය වෙනස් විය. මුලදී සිරියාවෙන් අඩක්ම අල්ලාගෙන සිටි නමුත් සිරියානු රජය හා එක්ව අැමෙරිකානු පිටුබලයෙන් කුර්දිශ් හමුදා විසින් ඔවුන් පරාජය කරන ලදි. රුසියාව සිරියානු රජයට ආධාර නොකළා නම් මෙතරම් ඉක්මනින් ඔවුන් සිරියාවෙන් පලවා හරින්නට හැකියාවක් නොලැබෙන බවද ඒ සමගම සිහිපත් කළ යුතු වේ. එයින් සිදු වූයේ ඔවුන්ගේ කැලිෆේට් සිහිනය බිඳ වැටීමයි.

මේ වසර කිහිපය තුළ සන්නද්ධ අයිසිස් ත්‍රස්තයන්ට එක් වන්නට බටහිර රටවල සිට තරුණයෝ දහස් ගණනින් ඇදී ආහ. ඇත්තටම ඔවුන්ගේ පිරිස් බලය වැඩි වූයේ එසේ පැමිණි උගත් රැඩිකල් තරුණයන්ගෙනි. මොවුහු බොහෝ දෙනා අන්ධ භක්තියකින් උමතු බවට පත්වූවන් බව අන්තර්ජාලයේ පළවන දෑ කියවන විට වටහා ගත හැකිය. මෙම සංවිධානය ඉතා පහත් ලෙස කාමුක මිනිසුන්ගෙන් පිරී තිබුණු බවත් ඔවුන් තමන් වෙත පැමිණෙන සහ අල්ලා ගන්නා ස්ත්‍රීන් ලිංගික වහලියන් ලෙස යොදා ගන්නා බව දැන දැනත් බටහිර සිට තරුණ තාන්තාවෝ විශාල සංඛ්‍යාවක් ඒ වෙත ඇදී ආහ. ඒ ආ අයට ලිංගික වශයෙන් ගැලවීමක් නොවුණු බව ප්‍රකටය. අයිසිස් නායකයන් වෙතින් ගැබ්ගෙන දරුවන් ලබා පෙරළා සිය රට ගොස් දෙවන පරපුර එහි පවත්වා ගෙන යන ලෙස ඔවුන්ට නියම වී තිබිණි.

එහෙත් අයිසිස් පරාජයට පත් වූයේ සටන් බිමේ නායකයන් රැසක් මරණයට පත් කරවමිනි. ඒ අනුව ඔවුන් සමග යහන්ගත වූ ගැහැනුන්ට බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුව තිබේ.

ජයග්‍රහණය කළ කුර්දි හමුදාව ඔවුන් සිය බාරයට ගෙන රැඳවුම් කඳවුරුවල ගාල් කැර ගෙන සිටියි. මේ කඳවුරුවල ඔවුන්ට මූලික අවශ්‍යතා පවා ඉටු කැර ගැනීමේ පහසුකම් නැති බව පැවසේ. ඔවුන්ගේ දරුවන්ට අත්ව ඇති ඉරණම කනගාටුදායක නමුත් ඔවුන් ගැන කනගාටු වන්නට කිසිවකුත් ඇති බවක් නොපෙනේ.

අයිසිස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවල සංකීර්ණ ස්වභාවය ගැන නිසි අවබෝධයක් ලබා නොගන්නේ නම් ඔවුන් මර්දනය කිරීම කියන තරම් පහසු නොවේ. ඇත්තටම නම් ආරක්ෂාවට සම්බන්ධ රාජ්‍ය ආයතන මෙම සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කොට තිබුණා නම් කල්තියාම ලැබුණු අනතුරු හැඟවීම් නොතකා සිටින්නේ නැත. මුස්ලිම් සංවිධානවලට සහ පූජ්‍ය පක්ෂයට ඒ අවබෝධය තිබිණි. ඒ අනුව ඔවුන් සිය යුතුකම ලෙස අනතුරක සුළං හමන බව රජයට දැනුම්දී ඇතත් නිසියාකාරව ඉව ඇල්ලීමට රජය අපොහොසත් විය.

කිසිවක් නොදන්නා මුස්ලිම් ජනයා ද ප්‍රහාරයට ලක් වූ කතෝලික ප්‍රජාව මෙන්ම කම්පනයට පත්ව සිටින බව පැහැදිලිය. එහෙත් මුස්ලිම් ජන නායකයන් ඒ ගොඩට දැමිය නොහැකිය.

මාතෘකා