පලස්තීන අහසේ විප්ලවීය තාරකාව අහීඩි තමිමි

 ඡායාරූපය:

පලස්තීන අහසේ විප්ලවීය තාරකාව අහීඩි තමිමි

පලස්තීන අහසේ විප්ලවීය තාරකාව උපත ලද්දේ ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේ බලහත්කාරීව සිය ජුදා ජාතිකයන් පදිංචි කරවීමෙන් පසුවය. එකී බලහත්කාරයට ඉතිහාසයක් මුළුල්ලේ එහි රැඳී සිටි පලස්තීනුවන්ගේ ගම්බිම්ද ඔවුන්ගේ මුතුන් මිත්තන් පවා ධීවර වෘත්තියෙන් යැපුණු මිරිදිය ඡලාශයන්ද අයත්ය. බටහිර ඉවුරේ Cකලාපය ඊශ්‍රායල් පාලනයට පවරා ගත් පසු එය ඊශ්‍රායල් යුද හමුදා පරිපාලනයට යටත් විය. එයින් අනතුරුව නිවාස සෝදිසි, හැඳුනුම්පත් පරීක්ෂාව, රඳවාතැබීම්, බියගැන්වීම්, ප්‍රචණ්ඩත්වය සහ නින්දාව බටහිර ඉවුරේ පලස්තීනුවෝ ඉගෙනගත්හ.

පුංචි කෙල්ලකව සිටි වියේ පටන් අහීඩි තමිමි දුටුවේ සිය පියා නින්දාවට එරෙහිව නිදහස තකා විවිධ අයුරින් සටන් වදින අයුරුය. අහීඩි තමිමි සටන්කාමී දැරියක් බවට ජාත්‍යන්තරය තුළ ඔසවා තැබුවේ ''අයියට ගැහුවොත් මරනවා'' යනුවෙන් සඳහන් කරමින් ඊශ්‍රායල් සොල්දාදුවකුගේ මුහුණට සිය සියුමැළි දෑත් මිට මොලවා පහර දීමට සැරසී සිටි ඡායාරුව අන්තර්ජාතික මාධ්‍ය ප්‍රචාරය කළ පසුවය. එය ජනමාධ්‍ය වෙත මුදා හැරියේ අබ්බාස් මොමානිය (Abbas Momani). ඒ 2012දීය. එවිට ඇයට වයස යන්තම් අවුරුදු 11කි. එකී ඡායාරුව සමහර ජනමාධ්‍ය විසින් ඇයව ළමා වීරවරියක්, නිදහස් සටන්කාමිනියක්, ප්‍රතිවිරෝධයේ සංකේතයක් ලෙස සඳහන් කළේය. ඊශ්‍රායල් ජනමාධ්‍ය විසින් අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දැරියක් දේශපාලන අතකොළුවක් වී ඇති ආකාරය යනුවෙන්ද සටහන් තබා තිබිණි. කෙසේ වුවද අහීඩි තමිමිගේ ගණන්කළ නොහැකි ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වීම් අතරින් ප්‍රථම ඊශ්‍රායල් අත්අඩංගුවට පත්වීම එය විය.

මේ පුංචි සටන්කාමිනිය නැවත වරක් ජාත්‍යන්තර ජනමාධ්‍යවල මුල් පිටුව සැරසුවේ ආවරණයකින් සිය මුහුණ වසාගත් ඊශ්‍රායල් හමුදා සෙබළකු පෙරළාගත් ගැහැණුන් අතර එම සෙබළාගේ අත විකාගෙන සිටියදීය. ඒ ඇගේ ඥාති සොහොයුරා මොහොමඩ්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි ඊශ්‍රායල් යුද සෙබළාය. නැවත වටයකින් යුරෝපීය පුවත්පත්වලට ඇය බටහිර රිදී තිරය කැලඹූ ජෝන් ඔෆ් ආර්ක් විය.

එවරද ඇය ඊශ්‍රායල් සිර ගෙදර ලුණු වැඩි ආහාරයන්හි රස බැලුවාය.

ඇය පලස්තීනයේ සටන්කාමී දරු පරපුරක ප්‍රතිමූර්තියක් ලෙස බහුතර ලෝක ජනමාධ්‍ය සටහන් තැබුවේ 2017දෙසැම්බර් 15 වැනිදා සිය නිවෙස පරීක්ෂා කිරීමට පැමිණි ඊශ්‍රායල් යුද හමුදා සෙබළුන් දෙදෙනකුට අහීඩි තමිමි අතින් පයින් පහර දෙන වීඩියෝව විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින විටය. එවිට ඇගේ වයස අවුරුදු 16කි. එකී වීඩියෝව පලස්තීන තරුණ පරපුරේ නොඉවසිලිමත් කෝපයත් ඊශ්‍රායල් සෙබළා සතු අසීමිත ඉවසීමත් විදහා දක්වයි. කෙසේ වුවත් එදින මධ්‍යම රාත්‍රියේ ඇගේ නිවෙසට කඩා වැදුණු ඊශ්‍රායල් හමුදාව ඇය කුදාලාගෙන ඊශ්‍රායල් පොලිසිය වෙත බාර දුන්නේ අධිකරණමය ක්‍රියාවලියකට මුල පුරමිනි.

එකී ඊශ්‍රායල් අධිකරණ ක්‍රියාවලිය ගෝලීය මාතෘකාවක් බවට පත්ව ඇති වග ඊශ්‍රායලයේ නිවුන් සොහොයුරා බඳු ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් පුවත්පතක් වන වොෂිටන් පෝස්ට්හි මුල පිටුවට ලිපියක් ලියමින්''පලස්තීන කෝපය දෙස ද්විත්ව දැක්මකින් බැලිය යුතුය” යනුවෙන් William Booth සටහන් තැබීමෙන්ම වටහා ගත හැකිය. ඊශ්‍රායල් අධ්‍යාපන ඇමති නෆ්තාලි ‍බෙනටි (Naftali Bennet) මාධ්‍ය වෙත පවසා තිබුණේ අහීඩි තමිමි සිය ජීවිතයේ ඉතිරි කාලය ඊශ්‍රායල් සිර ගෙදරක ගතකරනු ඇති බවයි. එහෙත් ලෝකය කැරකුණේ නෆ්තාලි බෙනට්ට අනුව නොවේ. ඊට ප්‍රතිවිරුද්ධව අහීඩි තමිමි වටාය. පලස්තීන කොඩිය රැගත් අහීඩි තමිමිගේ රුව බටහිර ඉවුරේ තැනින් තැන ඉදිවීමට පටන් ගෙන තිබිණි.

ඉතාලියේ සිට පැමිණි චිත්‍ර ශිල්පීන් දෙදෙනකු බටහිර ඉවුර හා පලස්තීනය වෙන්කරමින් තනා ඇති දැවැන්ත ප්‍රාකාරයේ ඊශ්‍රායල් කොටසේ අහීඩි තමිමිගේ රුව අති විශාල ලෙස සිත්තම් කළෝය. ඒ සඳහා ඔවුහු ඉනිමං පවා භාවිතයට ගෙන තිබිණි. එහෙත් චිත්‍ර ශිල්පීන් දෙදෙනා අත්අඩංගුවට ගත් ඊශ්‍රායලය ඔවුන්ගේ වීසා අහෝසි කොට රටින් නෙරපා හැරියෝය. බොහෝ රටවල මිනිස්සු ‘අහීඩි තමිමි නිදහස් කරනු’ යනුවෙන් පෙලපාළි ගියහ. යුරෝපා රටවල් ඉන් ප්‍රධානය. ඔස්ට්‍රේලියානුවන් 18,000කට වැඩි පිරිසකගේ අත්සනින් ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙතට ඇයව නිදහස් කරන ලෙස ඉල්ලා ඊමේල් පණිවුඩයක් යැවීය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මේ කෙල්ලව හඳුන්වා තිබුණේ හෘද සාක්ෂියේ සිරකාරිය යනුවෙනි. ඊශ්‍රායල් අධිකරණය ඇගේ නඩුව ඇසුවේ කිසිවකුට ඇතුල්වීමට නොදී හමුදා අධිකරණයේ දොර වසාගෙනය. ඔවුන්ගේ තීන්දුව ජාත්‍යන්තර ප්‍රජාවගේ බලපෑමට යටත්වූ බව පෙනේ. අහිඩි තමිමි ඇමෙරිකානු ඩොලර් 1,440ක දඩයකටද මාස 06ක සිර දඬුවමකටද යටත්කොට තිබිණි. ඒ වන විටත් පලස්තීනුවන් 5900ක් ඊශ්‍රායල් සිර ගෙවල්වල ගාල් කොට සිටි අතර ඉන් 291 දෙනෙක් කුඩා දරුවෝ වෙති.

2018 ජූලි 18 සිර දඬුවමේ තවත් මසක් ඉතිරිව තිබියදීම ඊශ්‍රායලය ඇයව නිදහස් කොට තිබිණි. ඒ වන විටත් ඇය පලස්තීන වීරවරියක ලෙස ඉතිහාසයට එක්වී අවසන්ය. නිදහස්ව පැමිණියේ පලස්තීන දෙවැනි පරපුරේ ජාත්‍යන්තර ප්‍රතිවිරෝධයේ සලකුණය; පොපියන සටන්කාමීත්වයේ පලස්තීන දෙවඟනය. සිය දියණියගේ කෙස්වැටිය සිපගත් ඇගේ පියා පැවසුයේ ඔබ ම‍ට ආඩම්බරයක් දුවේ යනුවෙනි. 2018 ජූලි 30 වැනිදා දකුණු අප්‍රිකාවේදී අහීඩි තමිමි නෙල්සන් මැන්ඩෙලාගේ මුනුපුරා වූ Zwwelivelile Mandelaගේ දෑතින් ප්‍රතිවිරෝධයේ සහ වීරත්වය උදෙසා සම්මානය පිළිගත්තේය. 2018 ඔක්තෝ්බර් මස 05 වැනි දින ටියුනීසියා අගමැති Beji Caid Essebsi සිය නිල නිවාසයේදී ඇයව උත්සවකාරී ලෙස පිළිගත්තේය. 2018 නොවැම්බර් 02 වැනි දින තුර්කි අගමැති Tayyip Erdogan ඇයව ඉස්තාන්බුල් නුවරට කැඳවා ඇගේ පපුව මත වීරත්වයේ රන් පදක්කම පලඳනු ලැබීය. පලස්තීන අගමැති මොහෙමඩ් අබිබාස්ටවත් මේ ජාත්‍යන්තර පිළිගැනීම ලැබු‍ණේ නැත. පලස්තීන අහසට වීරත්වයේ තාරකාවලින් අඩුවක් නොමැති බව ඇය පසක් කළාය.

[උපාලි ජයසිංහ]

මාතෘකා