අයිඑස් ත්‍රස්තයන් ගැන නදියා මුරාද්ගෙන් අහගන්න

 ඡායාරූපය:

අයිඑස් ත්‍රස්තයන් ගැන නදියා මුරාද්ගෙන් අහගන්න

2018 වසරේ නෝබල් සාම ත්‍යාගය දෙදෙනකු අතරේ බෙදී ගියේය. ඒ ඉරාකයේ දුරස්ත පෙදෙසක් වන කොචො නම් ගම්මානයේ පදිංචිව සිටි යසිඩි ගොත්‍රික කාන්තාවක වන නදියා මුරාද් සහ කොංගෝ ජාතික වෛද්‍යවරයකු වන ඩෙනිස් මුක්වෙගෙ අතරය.

මේ අතරින් නදියා මුරාද් විශේෂිතය. වෛද්‍ය ඩෙනිස් මුක්වෙගෙගේ කතාවට වඩා ඇගේ කතාව විස්මයාවහය.

නදියා මුරාද් යනු ඉරාකයේ දුරස්ත අති දුෂ්කර සින්ජාර් දිස්ත්‍රික්කයේ කොචො නම් යසිඩි ගෝත්‍රික ගම්මානයේ සාමාන්‍ය පවුලක උපන් සිය පවුලේ සාමාජිකයන් සමග දිවි ගෙවූ තරුණියකි. මේ ගමේ වෙසෙන්නෝ ඉස්ලාම් ලබ්ධිකයෝ නොවෙති. 2014 අගෝස්තු මාසයේ ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය එම ප්‍රදේශයට ක්‍රමානුකූල කෲර ප්‍රහාරයක් එල්ල කළේය. ඉස්ලාම් ලබ්ධික නොවන යසිඩි ගෝත්‍රය සමූල ඝාතනය කිරීම එම ප්‍රහාරයේ අරමුණ විය. ඇගේ ගමේ සිය ගණනක් මිනිස්සු ඝාතනය වූහ. තරුණ ස්ත්‍රීන් මෙන්ම බාලවයස් දැරියන්ද ලිංගික වහලියන් ලෙස බලහත්කාරයෙන් පැහැරගෙන යන ලදි. එයද මිලිටරි ක්‍රියාන්විතයේම අංගයක් ලෙස විධිමත්වය. අනෙකුත් යසිඩි ගම්මානවලට සහ වෙනත් සුළුතර ජන කොටස්වලට පහර දීමේදී මේ ස්ත්‍රීහු අවි බවට පත් වූහ. නදියා මුරාද් එසේ අල්ලා ගන්නා ලද යසිඩි ගෝත්‍රික කාන්තාවන් 3,000ක් අතරින් එක් තැනැත්තියකි.

IS ග්‍රහණයට පත් නදියා බොහෝවරක් ලිංගිකව දූෂණය කරනු ලැබූ අතර බරපතළ හිංසාවලට ලක් කරනු ලැබුවාය. ඔවුන්ගේ ඉස්ලාමයට බැඳෙන ලෙස ඔවුහු ඇයට බල කළහ. එසේ නොකරන ලදහොත් මරා දමන බවට තර්ජනය කරන ලදි.

පහත පළ වන්නේ නෝබල් ත්‍යාගය ලබා ගැනීමෙන් පසුව ඇය පළ කළ අදහස්ය. මෙය 2018 ඔක්තෝබර් 06 දින ‘ද ගාඩියන්’ වෙබ් අඩවියෙන් උපුටා ගැනිණි.

“.... වහල් වෙළෙඳපොළ විවෘත වන්නේ රාත්‍රියේය. ඉහළ මාලයේ ගාල් කැර සිටිනා අපට පහළ මාලයේ ත්‍රස්තයන්ගේ ගෝට්ටිය ඇසේ. මේ ඔවුන් පැමිණ ලියාපදිංචි වී සංවිධාන කටයුතු සාකච්ඡා කරන වේලාවයි. මුල්ම මිනිසා අප සිටිනා කාමරයට ඇතුඵවත්ම කෙල්ලෝ මොර දෙන්නට පටන් ගනිති. එය මහා පිපිරුමක හඬක් සේය. අපි තුවාල වූ පරිද්දෙන් විලාප දෙමු. කාමරය වටා දුවමු; බිමට වමනය කරමු. එහෙත් ඒ කිසිවකිනුත් ත්‍රස්තයන් නැවැත්විය හැකි නොවේ. ඔවුහු කාමරය සිසාරා ඇවිදිති. අප විලාප දෙමින් සිටියදීම ඔවුහු අප නිරීක්‍ෂණය කරති. ලස්සන කෙල්ලන් වෙත ‘වයස කීයද’යි අසමින් ඔවුහු ඇදී එති. ඒ අතරම කෙස් සහ තොල් නරඹති. ‘කන්‍යාවක් ඈ?’ ඔවුහු රැකවලාගෙන් විමසති. හරියට කඩේක බඩුවල ගුණ ගයන වෙළෙන්දකු මෙන් ඔහු අප වර්ණනා කරයි. ඒ වන විට ත්‍රස්තයෝ අපගේ සිරුරු රිසි සේ පහසමින් සිටිති. හරියට පූසන්ගේ බල්ලන්ගේ අතපය සනහන්නාක් වැනිවය. එළ දෙනුන්ගෙන් කිරි දොවන්නාක් වැනිවය. ඔවුන් කාමරය සිසාරා යමින් කෙල්ලන්ගෙන් අරාබි හා ටර්ක්මේනියන් බසින් යම් යම් දේ අසන අවස්ථාව හරිම ව්‍යාකූලය.

‘සන්සුන් වෙයල්ලා’ අපට නිතර ඇසෙන විධානයකි. ‘කෑ නොගහ හිටු!’ ඔවුහු කෑ ගසා අපට කියති. ඒ අණකි. අප ඊට කීකරු විය යුතුය. ඉන් සිදු වන්නේ අපගේ කෑ ගැසීම් උච්ච ස්වරයට ඊම පමණි. ත්‍රස්තයකුට මා ගන්නට වුවමනා වූ විට මම ඊට පහසුවෙන් ඉඩ නොදුන්නෙමි. එය අනිවාර්යයෙන් සිදු වූවකි. අනෙක් කෙල්ලන්ද එසේය. අපි වකුටු වෙමින්, තල්ලු වෙමින්, එකිනෙකා බදා ගනිමින් ඒවා වළක්වන්නට හැකි සෑම උත්සාහයක්ම ගනිමු.

දවසක මා බිම වැතිරී සිටිනා විට ත්‍රස්තයන්ගේ ඉහළ ශ්‍රේණියක නිලධාරියකු වූ සල්වාන් නමැත්තා එහි ආයේය. වෙනත් යසිඩි තරුණියක් ඔහු සමග වූවාය. අපෙන් එකියක ඉවත් කොට ඇය මෙහි නවත්වන්නට ඔහු ඉඩක් සොයයි. ඔහු මට නැඟී සිටින්නට අණ කළේය. මම නෑසූකන් වැ සිටියෙමි. ඔහු මට පයින් ගසා ගෝරනාඩු කළේය: මම කිව්වේ ඔය ළා රතු ජැකට් එක ඇඳල ඉන්න එකීට, තොට. නැඟිටපිය!’

ඔහුගේ ඇස් ඔහුගේ පුඵල් මුහුණේ කෙසින් වැසුණු සිදුරු දෙකක ගිලී පැවැතියේය. ඔහු මිනිසකු මෙන් මට පෙනුණේ නැත. මා දැක්කේ මෘගයෙකි. ඔහුට වුවමනා වූයේ මා ගන්නටය.

මම නැඟී සිටියෙමි. එහෙත් මම ඔහුගේ මුහුණ නොබැලුවෙමි. ඔහු මහා පතයෙකි. තවත් කුඩා ප්‍රමාණයේ පතුල් දෙකක්ද මම දිටිමි. ඔහු කුඩා මිනිසකු බව පාවලින් වටහා ගත් මම මා බේරා ගන්නා ලෙස ඔහුට කන්නලව් කළෙමි. ඔහු ඊට කැමැති විය. ඊට සල්වාන්ද විරෝධයක් පළ කළේ නැත. ඊට හේතුව හාජි සල්මාන් නමින් හැඳින්වුණු ඒ පුද්ගලයා විනිසුරකුගේ බලතල ඇති අයකු වීමයි. ඔහු මා රැගෙන ගියේය. මට නොයෙක් විකාර ඇඳුම් අන්දවන ලද අතර මා නරඹමින් ඔහු ප්‍රීති විය.

කෙසඟයකු වූ ඔහු නපුරුකමින් නම් යෝධයෙකි. ඔසප් බව කියමින් දින දෙක තුනක් මඟ හැර සිටියද දවසක ඔහු මා දූෂණය කළේය. ඉන්පසු අනවරතව දූෂණය කළ අතර මා කිසියම් විරෝධයක් පළ කළ හොත් දරුණු ලෙස පහර දුන්නේය. ඇති වූවාට පසු අනෙකුන්ගේ ප්‍රයෝජනයට මා අත හැර දැමිණි. ඉන්පසු මම සාමූහික දූෂණයට ලක් වුණෙමි.

අපගේ දිස්ත්‍රික්කයට පහර දීමත් කෙල්ලන් පැහැර ගෙන ඊමත් ත්‍රස්තයන් එකෙකුගේ හෝ දෙන්නෙකුගේ හෝ වුවමනාවට සිදු වූවක් නොවේ. ඒ සියල්ල ඉසිස් සංවිධානයේ සැලසුම්ය. අපගේ නිවෙස්වලට කඩා වදින්නේ කෙසේද ස්ත්‍රීන් පැහැර ගන්නේ කෙසේද, පැහැරගත් ගැහැනුන්ට වටිනාකම් නියම කරන්නේ කවරාකාරයෙන්ද සවායා කෙල්ලන් ලබාදිය යුත්තේ කවුරුන්ටද ඔවුන්ට ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද යන සියල්ල තීරණය කරන්නේ ඉසිස් නායකයන්ය. ලිංගික මෙවලමක් ලෙස වහලියක් ලබා දීම පාරිතෝෂිකයකි. ඒ පාර්තෝෂිකයේ වටිනාකම වහලියට සංවිධානය නියම කරන ලද මිලට සමානය. ඒ කියන්නේ 100 පාරිතෝෂිකයක් හිමි නම් 100 වටිනා වහලියක් ලැබෙනු ඇත. 50ක පාරිතෝෂිකයක් හිමි අයෙකුට ඇය නොලැබෙනු ඇති අතර ඔහුට ලැබෙනු ඇත්තේ 50ක් වටිනා වහලියක් පමණි.

සිය කණ්ඩායමට නවකයන් බඳවා ගැනීම සඳහා ඔවුන්ගේ ඩබික් (Dabiq) නමැති සඟරාවේ දැන්වීම් පළ කෙරේ. එවිට ලබා ගත හැකි ‘පාරිතෝෂිකවල’ පින්තූර සහ වටිනාකම් පළ කෙරේ. තරුණයන් ඒවාට ආකර්ෂණය වී සංවිධානයට බැඳෙනු ඇත.

ඉසිස් යනු එහි සාමාජිකයන් සිතන පරිදි මූලික ආගමික සංකල්ප සහිත සංවිධානයක් නොවේ.

ඉතිහාසය පුරාම ස්ත්‍රී දූෂණය ලිංගික අවියක් ලෙස යොදා ගනු ලැබ තිබේ. ර්වණ්ඩා (Rwanda) රටේ ස්ත්‍රීන් සමග පොදු කාරණයක් මටද ඇතැයි මම කිසිදා දැන නොසිටියෙමි. ඇත්තටම නම් මා ර්වණ්ඩාවක් ගැන පෙර දැන සිටියේ ද නැත. දැන් මම ඔවුන් හා සම වෙමි. ඒ අන්තිම පහත් අයුරකිනි. යුද අපරාධයක් විධියටය. ඒ ගැන කතා කිරීම දුෂ්කරය. මන්දයත් මෙලොව කිසිවෙක් ඒවාට එරෙහිව නඩු පවරා නැති හෙයිනි. ඉසිස් අවුරුදු 16ක් පුරා මේවායේ යෙදී සිටිති....”

නදියා මුරාද් සඳහන් කරන ඩබික් සඟරාව අන්තර්ජාලයේ පළ වන්නකි. එය ඉසිස් හි ප්‍රචාරක සඟරාවයි. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු එහි අඩංගුය. ජිහාඩ් ගැන එහි පළමුවන කලාපයේ පළ වන මෙම ප්‍රකාශය ඔවුන්ගේ දැක්ම අනුව සැකසී ඇති බව කිව හැකිය.

“ජිහාඩ් මූර්තිමත් කරන්නේ ඉස්ලාම් නීති ශාස්ත්‍රඥයන් සහ දේවධර්මාචාරීන් විසින් 8 සහ 9 සියවස්වලින් පසු කුරාණ් පාඨ සහ මුහමඩ්ගේ ක්‍රියා සහ ප්‍රකාශ අරබයා වන ඉස්ලාම් සම්ප්‍රදාය අඩංගු හඩිත් (Hadith) හි අර්ථ නිරූපණයන් පදනම් කැරගෙන විශ්ලේෂණය කරන ලද දෘෂ්ටිය හා විනිශ්චයයි. ජිහාඩ් දෘෂ්ටිය ශුද්ධ යුද්ධයේ ශික්‍ෂාව මත ආරම්භ වී ඇත.

සියලු මුස්ලිමුන් මත පතිත ආගමික වගකීමක් වන ජිහාඩයේ අධිකරණපාත්‍රතාව (jurisdiction) විශ්වීය වන අතර අවනත කැර ගැනීමෙන් හෝ බලාත්කාරයෙන් සියලු දෙනා ඉස්ලාමයට හරවා ගැනීම ඉස්ලාමයේ මෙහෙවරයි.”

ජිහාඩ් ගැන කුරාණයේ සඳහන් වන්නේ මෙසේ යැයි අල්-කුරානයේ ඉංගිරිසි පරිවර්තනයෙන් ගත් 9 වන පරිඡේදයේ 9.5 සහ 9.29 යන පාඨවල උපුටා දක්වා ඇත. ඒවායේ සිංහල පරිවර්තන මෙසේය:

9.5 වළක්වන ලද මාස ඉකුත් වූ පසු මිථ්‍යාදෘෂ්ටිකයන් දුටු තැන සටන් කරනු, ඝාතනය කරනු, (slay) ගලග්‍රහණයෙන් ගනු, පැන යන්නට නොදෙනු, වටලා පහර දෙනු. සියලු සංග්‍රමොපක්‍රමයන් භාවිත කරනු. ඔවුන් පසුතැවිලි වන්නේ නම්, නිතිපතා යාඥා පවත්වන්නේ නම්, පරිත්‍යාගයේ යෙදෙන්නේ නම් ඔවුන්ට මඟ හෙළි කරනු. අල්ලාහ් සමා-දානයේ යෙදෙන අතර උත්කෘෂ්ට ලෙස කාරුණිකද වන්නේය.

9.29 අල්ලාහ් කෙරෙහිත් සහ ලෝකාවසානය ගැනත් විශ්වාසය නොතබා අල්ලාහ් සහ ඔහුගේ ධර්මදූතයන් විසින් වළක්වන ලද දෑ ගැන තහනම්ය කියා විශ්වාස නොකරන්නවුන්, ඔවුන් පුස්තකයේ සඳහන් ජනයා (People of the Book) වුව, ජිස්යා (Jizya) ගෙවා තමන්ගේ යටත් වීම පිළිගන්නා තුරු සටන් කරනු.

මෙහි People of the Book යනුවෙන් අදහස් කෙරෙන්නේ ක්‍රිස්තියානි, යුදෙව් යනාදී දෙවියන් වහන්සේ අදහන අනෙක් ලබ්ධිකයන්ය. ජිස්යා යනු දඩයක්, වන්දියක් හෝ නියම කෙරෙන පුණ්‍යාධාරයක් විය හැකිය.

ඉංගිරිසි පරිවර්තනයේ ඉහත 9.5 හි සඳහන් slay යන්න මුල් අරාබි කෘතියේ තිබිණිද යන සැකය ඇති වෙයි. කුරාණයේ ඉංගිරිසි පීඩීඑෆ් හි ඇත්තේද එයාකාරයෙනි. එහෙත් අරාබි පාඨයත් සමගම එන සිංහල පරිවර්තනයේ ‘ඝාතනය කරනු’ යන්න සඳහන් නොවේ.

කෙසේ වෙතත් ඉහත 9.5 කුරාණ පාඨයේ අදහස වන්නේ කිසියම් සමා කාලයක් දිය යුතු බවයි. එය ඉස්ලාම් කැලැන්ඩරයේ මාස හතරක් ඉදිරියට සහ සමාන කාලයක් ආපස්සට යනුවෙන් සඳහන් වේ. ඒ අනුව බැලුවද ලංකාවේදී ඉසිස් ත්‍රස්තයන්ගේ ප්‍රහාරය ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවක් බව පැහැදිලිය. එහි අදහස ඔවුන් කුරාණයේ සඳහන් පරිදි ‘ශුද්ධ යුද්ධයේ’ යෙදෙන බව කීවත් සමා කාලච්ඡේදයක් දී නොමැති හෙයිනි. එබැවින් මේවා ඇත්තටම කුරිරු ත්‍රස්ත ක්‍රියා බව පැහැදිලිය.

මෙහිදී මතු වන තවත් ගැටලුවක් නම් ඊශ්‍රායලයේ හමුදාව සමග සිය රට වෙනුවෙන් සටන් වැදී සිටින තවත් සුන්නි ඉස්ලාමික කණ්ඩායමක් වන හමාස් සංවිධානයට ආධාරයට එහි නොයන්නේ මන්ද යන්නයි.

ඇතැම් මානව හිමිකම් ක්‍රියාධරයන් ප්‍රහාරයේ සැලසුම කවරාකාරද යන්න ගැන හරි අවබෝධයක් නොමැතිව මෙය උගත් දරුවන්ගේ නොමඟ ගිය ක්‍රියාවක්සේ අර්ථ දැක්වුවද එය ඉන් ඔබ්බට ගිය තත්ත්වයක් බව කිව යුතුය. මන්ද ඉසිස් ත්‍රස්තයන් මේ ම්ලේච්ඡ ක්‍රියාවල යෙදෙන්නේ ඔවුන්ගේ නැති වී ගිය අයිතියක් දිනා ගන්නටවත් වෙනම රටක් ඉල්ලාවත් නොවන හෙයිනි. ඔවුන් නොමඟ යවා ඇත්තේ කුරාණයට පවා වැරදි අර්ථකථන ඉදිරිපත් කරන ලේ පිපාසිත ඉස්ලාම් අන්තවාදීන් විසිනි. කලක් සිරියාවේ සහ ඉරාකයේ මහා බ්‍රිතාන්‍යය තරම් භූමියක් අල්ලාගෙන සිටි ඔවුන්ගේ කැලිඵේටය (Caliphate) නමින් හැඳින්වෙන වෙන කිසිවකුට නැති දෙවියන්ගේ රාජ්‍යය පිළිබඳ සිහිනය පසුගිය මාසයේ බිඳ වැටිණි. ඉතින් ඊට වෙනත් ආගමික අහිංසකයන් පළිද?

මාතෘකා