ලොවම සසල කළ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය

 ඡායාරූපය:

ලොවම සසල කළ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය

පසුගිය සිකුරාදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි ඉස්ලාම් දේවස්ථානයකට සහ ඊට නුදුරින් වෙනත් ස්ථානයක පිහිටි ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදුණු ගිනි අවිධාරී සාහසිකයෙක් ඒවායේ යාඥාවල නිරතව සිටි මිනිසුන්ට දිගට හරහට වෙඩි තබා 49 දෙනක් මරා දැමීය. 48 දෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් අයෙක් ඉරිදා මිය ගියේය. තුවාලකරුවන් 48 දෙනාගෙන් 34කගේ තත්ත්වය අසතුටුදායක බව පැවසේ.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නම් කොට සිය සංවේගය හා කණස්සල්ල හා කෝපය පළ කළාය. ඒ අනුව විදේශ මාධ්‍යවලද එම මහා ජන සංහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හැඳින්වේ.

මෙම ප්‍රහාරයේ දැකිය හැකි විශේෂ කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න නම් ප්‍රහාරකයා වන බ්‍රෙන්ටන් ටැරන්ට් ගැන පෙර වාර්තා නොමැත. ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ඔහු සාමකාමී පරිසරයක දිවි ගෙවා ඇති අතර මානසික වශයෙන් ව්‍යාකූලත්වයකට පත් ව සිටි බවට සඳහනක්ද නොමැත. ඔහුට ගිනි අවි බලපත්‍රයක් තිබූ අතර ඒ අනුව ළඟ තබා ගත හැකි උපරිම සංඛ්‍යාව සන්තකයේ තබාගෙන සිටියේය. වෘත්තියෙන් කාර්මිකයකු වන ඔහුගේ එකම විනෝදාංශය වූයේ දඩයමයි. ඔහුගේ දඩයම් සගයන් පවසන පරිදි එම ක්‍රීඩාවේදී ඔහු තරමක් අමුතු හැසිරීම් ඇතිව සිටියෙකි. ඔහු දඩයම් කළේ විනෝදයට නොව සතුන් සමග තරහකින් මෙනි’යි ඒක අයකු මාධ්‍ය සමග පැවසූ බව සඳහන්ය. එසේම ඔහු කිසියම් කල්ලියක හෝ සංවිධානයක හෝ කල්ට් එකක සාමාජිකයෙක්ද නොවේ. වැදගත්ම කාරණය වන්නේ මෙය නවසීලන්ත ඉතිහාසයේ සිදු වු මේ ආකාරයේ ප්‍රථම ප්‍රහාරය වීමයි. මෙබඳු පූර්ව අත්දැකීම් එරට වැසියන්ට නැත.

සඳහන් කළ යුතු තවත් කරුණු ද තිබේ. මේ ප්‍රහාරය එල්ල කළ දින උදැහැනැක්කේම ඔහු විසින් සකස් කරන ලද පිටු73ක ප්‍රමාණයේ දීර්ඝ ලියැවිල්ලක් තෝරාගත් විද්‍යුත් තැපැල් ලිපිනවලට යොමු කිරීම ද විශේෂත්වයකි. අගමැතිනි ආර්ඩෙන්ගේ ලිපිනයටද එයින් එකක් යොමු කොට ඇති අතර පොදු තැපෑල නිසා අගමැතිනියගේ අවධානය ඒ කෙරේ යොමු නොවූ බවද අග්‍රමාත්‍ය කාර්යාලයයේ ප්‍රකාශිකාවක් මාධ්‍යයට පවසා තිබිණි. කෙසේවෙතත් ඒ ලියැවිල්ලේ මෙබඳු ප්‍රහාරයක් එල්ල කරන බවට සඳහනක් නොමැත.

බ්‍රෙන්ටන් වෙඩිතැබීම් සිදු කළේ සිය ශීර්ෂාවරණයේ සවිකළ කැමරාවක් ක්‍රියාත්මක වෙමින් තිබියදීය. එයින් පටිගත වූ රූපරාමු ඔහු විසින්ම අන්තර්ජාලයට මුදාහැර තිබිණි. ඒ අනුව බොහෝ දෙනා එය නරඹා ඇත. එහෙත් ජනමාධ්‍ය ආයතන සදාචාර හේතු මත එම විඩියෝව විකාශ කිරීමෙන් වැළැකී සිටියෝ ය. කෙසේවෙතත් අපේ රටේ ජනමාධ්‍යවලට එබන්දක් නැති නිසා අපටද සවස 6.55 ප්‍රවෘත්ති විකාශයකින් එය නැරඹීමේ ‘භාග්‍යය’ උදාවිය.

ඔහුගේ තුවක්කුවල සුදුපැහැයෙන් අකුරු පින්තාරු කර තිබෙනු දැකිය හැකි විය. මා මුලින් සිතුවේ ඒ කිසියම් ආකාරයක තුවක්කු විහේෂයක් කියාය. එහෙත් මගේ නිගමනය වැරදිය. ඒ වනාහි විවිධ පුද්ගල නාමයන්ය. ඒ වනාහි විවිධාකාර ත්‍රස්ත ප්‍රහාර එල්ල කළවුන්ගේ සහ වින්දිතයන් බවට පත් වූ තැනැත්තන්ගේ නම් බව සඳහන්ය.

ප්‍රහාරයෙ විශේෂතා එතැනින් නොනවතී. ඊට හේතුව බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත චාරිකාවයි. එම චාරිකාවේ දෙරට අතර දෙවන එක්දින තරගය පැවැත්වීමට නියමිත ව තිබුණේ මාර්තු 16වන දෙනසුරාදා ක්‍රයිස්චර්ච්හි හේග්ලි ඕවල් ක්‍රීඩාංගනයේය. බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන් ඉස්ලාම් ලබ්ධිකයන් වන අතර ඔවුන් සියි සාමාන්‍ය සිකුරාදා යාඥාව සඳහා පැමිණෙන්නට නියමිතව තිබුණේ ප්‍රහාරයට ලක් වූ දේවස්ථානයටය.

ඝාතකය මුල දී සිය ඝාතන ක්‍රියාව සඳහා තෝරාගෙන තිබුණේ ක්‍රයිස්ට්චර්ච් නගරය නොව වෙනත් නගරයක් බව සඳහන්ය. ඔහු ඒ අදහස වෙනස් කළ හේතුව අපැහැදිලි වන අතර සඳහනක් ද නොමැත. කෙසේවෙතත් එක්කෝ බංග්ලාදේශ් කණ්ඩායම මිනිත්තු කිහිපයක් පමා විය; නැත්නම් ඝාතකය මිනිත්තු කිහිපයක් ඉස්සර විය. අවසන් ප්‍රතිඵලය වූයේ බංග්ලාදේහ් කණ්ඩායම නිරුපද්‍රිත වීමයි. ඈතින් ඇසුණු නුපුරුදු වෙඩි හඬ නිසා ඔවුන් ප්‍රවාහනය කළ බස් රියේ රියැදුරු සිය ගමන නවත්වා හරවා ගෙන ආපසු යන්නට සූදානමින් සිටි බව පැවසේ. කෙසේ වෙතත් ක්‍රයිස්ට්චර්ච් නගරයටම ප්‍රහාරයක් එල්ල කරන්නට මීට තෙමසකට පෙරද ඔහු සැලසුම් කළ බවද ඇතැම් තැනක සඳහන්ය.

ඝාතකයා සිය ගමනාන්තය හදිසියේම වෙනස් කරන්නට ඇත්තේ සංචාරක ක්‍රීඩකයන් එල්ල කැර ගෙනද යන සැකය මෙහිදී ඉස්මතු වීම වැළැක්විය නොහැකි ය. ඔවුන්ද ඝාතනය වුණා නම් ලොව ම මීට වඩා කම්පා වනු ඇත.

ප්‍රහාරය සිදු වී පැයක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගනු ලැබු ටැරන්ට් ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් උසාවිය වෙත ඉදිරිපත් කරන ලදුව අප්‍රෙල් 05 දක්වා රිමාන්ඞ් ගත කරන්නට නියෝග විය. ක්‍රයිස්ට්චර්ච් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඔහු සැලසුම් සහගතව එක් පුද්ගලයකු මරා දැම්මේ ය යන චෝදනාව එල්ල කරමිනි. අනෙක් ඝාතන ගැන පසුව වාර්තා කෙරෙනු ඇත. ඒවා සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නට කාලයක් නොතිබුණු බව පවසන පොලීසිය ඉදිරියේදී සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවන බව සඳහන්ය.

නවසීලන්තයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරෙන ප්‍රථම පුද්ගලයා ඔහු වනු ඇති බව පළ වේ. කෙසේ වෙතත් මෙය නවසීලන්තයට පෙර නොවූ විරූ අත්දැකීමක් නිසා කවර නීතියක් යටතේ ඔහුට නඩු පවරනු ලැබිය යුතුද යන්න විවාදයට බඳුන් වී ඇති බවද සඳහන්ය.

චුදිතට නිතිඥ සහාය ලබා ගන්නට ප්‍රමාණවත් අවස්ථාවක් නොවුණු නිසා එරට නීතිය අනුව ඔහුට රජයේ නිතිඥයකුගේ සහාය ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන ලදී. එහෙත් නිතිඥ සහාය අනවශ්‍ය බවත් තමා වෙනුවෙන් තමාම පෙනී සිටින බවත් ඔහු අධිකරණයට දන්වා ඇත. ටැරන්ට් යහපත් මානසික ත්ත්වයකින් සිටින බව ඉන් තහවුරු වනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වන නවසීලන්තයට මුහුණ පාන්නට සිදු වූ මේ සංවේගදායී සිද්ධිය ගැන කණගාටුව පළකරමින් හෙළා දකිමින් බ්‍රිතාන්‍ය මහ රැජින ඇතුළු ලොව පුරා සෑම රාජ්‍ය නාකයකු ම පාහේ ශෝක පණිවුඩ නිකුත් කොට තිබෙනු දක්නා ලදි.

බ්‍රෙන්ටන්ගේ ජන ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අපරාධය සිදු කළ දා නිකුත් කළ ඔහුගේ ප්‍රකාශනයේ ඒ ගැන කිසිවක් සඳහන් නැත. තුර්කි ජනපති ටිසෙප් එර්දගොන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ලන්ඩන් පුරපති සදික් ඛාන් ඝාතනය කළ යුතු පුද්ගලයන් ලෙස එහි නම් ඇතුළත්ය.

තම දිලින්දකු බවත් කම්කරු පවුලකින් පැවත එන්නකු බවත් ඔහු ලියා තිබේ.

ආන්දෝලනයට තුඩු දී ඇති තවත් කාරණයක් නම් 2017 අප්‍රෙල් 07 දින ස්විඩනයේ ස්ටොක්හොම් නුවර වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් 14 හැවිරිදි Ebba Akerlund නමැති දැරිය ගැන ඔහු කර ඇති සඳහනයි. ඇය මරණයට පත්ව ඇත්තේ ඔහුගේ ඇස් පනාපිට ය. ඉන් ඇති වු කම්පනය මේ ඝාතන සැලසුමට තමා පෙළැඹවූ බව ඔහු විසින් සටහන් තබනු ලැබ ඇත. මෙය දැරියගේ පවුලේ අය කෝපයට පත් කළ බව ඬේලිබීස්ට් වාර්තාවක දැක්වේ. ‘දැන් ඉතින් සැනසිල්ලේ අපට ඇය ගැන වැලපෙන්නවත් විධියක් නෑ’ ඔවුන් පවසා ඇත.

බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ තුවක්කු අමුතු ඒවා බව ඒ ප්‍රහාරයේ දර්ශන දුටු අයකුට මතක ඇතුවාට සැක නැත. ඒ තුවක්කුවල පුද්ගල නාම කිහිපයක් මුද්‍රණය කොට අලවා තිබිණි. ඒ අතර එබා දැරියගේ නමද තිබේ.

ටැරන්ට් සංක්‍රමණික ප්‍රශ්නය කෙරේ අතිශය සංවේදී වූවෙකි. සුද්දන්ට අයත් දේපළ සුද්දන් නොවන ආක්‍රමණිකයන් විසින් අල්ලා ගනු ලැබ ඇත’යි ද ඔහු සඳහන් කරයි. ඔහුගේ එම ලියැවිල්ලේ සුදු අධිපතිවාදය ඉස්මතු වන බව විචාරකයෝ පෙන්වා දෙති.

අගමැතිනි ආර්ඩෙන් සිද්ධිය වූ දින ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කැර සිටියේ වර්තමානයේ පවත්නා අසීමිත ගිනි අවි පරිහරණයට සීමා ඇති කරන්නට තමන් බලාපොරොත්තු වන බවයි. මිලියන තුනකට අධික පිරිසකට කිසි වග විභාගයකින් තොරව ගිනි අවි බලපත් ලබා දී ඇති බව ද ඇය පෙන්වා දී ඇත. කෙසේවෙතත් ඒ රටේ පවතින නීතිය වන අතර නුදුරේ ම එය සංශෝධනය කෙරෙනු ඇත.

මේ අතර නවසීලන්තයේ බොහෝ නගරවල මේ ප්‍රහාරයට විරෝධය සහ සංවේගය පළ කෙරෙන විරෝධතා පැවැත්වෙනු දැකිය හැකිය. ‘මේ නවසීලන්තය නොවේ’ යනුවෙන් සඳහන් පුවරු ඔවුන් අත තිබෙනු දැකිය හැකිය.

මාතෘකා