කාශ්මීර් අර්බුදයේ අළු යට ගිනි

 ඡායාරූපය:

කාශ්මීර් අර්බුදයේ අළු යට ගිනි

පසුගිය 28 දින සිය භූමියට ඉහළින් අනවසරයෙන් පියාසර කරමින් තිබූ ආක්‍රමණකාරී ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් යානයක් බිම හෙළීමත්, එහි නියමුවා වූ අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට ගෙන නිරුපද්‍රිතව ඉන්දියාවට ආපසු බාර දීමත් දැන් ඉතිහාසයට එක්වූ කතන්දරය. ප්‍රහාරයට ලක් වූ වර්තමාන් වීරයකු සේ සැලකිලි ලබයි. එහෙත් එබඳු ආක්‍රමණකාරී මෙහෙයුම්වල නිරත වී නිරුපද්‍රිතව යානා ගෙන ආ නියමුවන් ගැන එවැනි පුරාවෘත්ත නැත.

පාකිස්තානයේ මෙම අවස්ථෝචිත ක්‍රියා පිළිවෙත නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙන්ම ආසන්න රටවලද ඇති වෙමින් පැවැති යුද ආතතිය පහව ගිය සෙයක් දක්නා ලැබිණි. එහෙත් මෙය ඉන්දියානුවන් කිසිසේත්ම අපේක්‍ෂා නොකළ දෙයක් බව ප්‍රකටය. 28 දින උදෑසන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි භාරතීය ජනතා පක්‍ෂයේ ක්‍රියාධරයන් අමතා පවත්වන ලද කථාවකදී ඊට එක් කරන ලද මෙම වැකි දෙක තුනෙන් ඒ බව පැහැදිලිය: ‘ඉන්දියාව එකාවන්ව නැඟී සිටිනු ඇති අතර ජයග්‍රහණය කරනු ඇත. සතුරා ත්‍රස්තවාදයට උපකාර කරමින් ඉන්දියාවට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එහි අභිප්‍රාය ඉන්දියාවේ ප්‍රගතිය නතර කිරීමයි. එහෙයින් අපි සැවොම එක්ව එකමුතුව අපේ සොල්දාදුවන් හා උරිනුර ගැටී සිටිමින් අපි බලවත් බව පෙන්වා දෙමු. කවරාකාර බාධා පැමිණියත් අපගේ ක්‍රියාමාර්ග නොනවතින බව අවධාරණය කරමු.’ එන්ඩීටීවී වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙය ගුප්ත ප්‍රකාශයක් බවයි.

ඊට පැය කිහිපයකට පසු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී මෙලෙස සිය අදහස් පළ කළේය: ‘ඊයේ මම අගමැති නරේන්ද්‍ර මෝදිට කතා කළා ගැටුම තීව්‍ර කිරීමට අපට අවශ්‍යතාවක් නොමැති බව කියන්නට. තීව්‍ර කිරීමෙන් වැළැකී සිටීම අපගේ දුබලතාවක් ලෙස නොගත යුතුයි. අප කැමතියි සාකච්ඡා කරන්නට’

එහෙත් තමන් පාකිස්තානය සමග සාකච්ඡා කරන්නට සූදානම් නැති බව එරට ආරක්‍ෂක ඇමතිනි නිර්මලා සීතාරාමන් පැවසූ බව සඳහන්ය. ත්‍රස්තවාදය හා සාකච්ඡා එකට තිබිය නොහැකිය යන්න ඇයගේ මතයයි.

සාමය පිළිබඳ නොබල් ත්‍යාගය සඳහා නාමයෝජනා බාර දෙන ලෙස, අභිනන්දන් නිදහස් කිරීමෙන් පසු ඊට නොසතුටු වූ පාකිස්තානුවන්ගෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සරදම් සහගත යෝජනාවක් ඉදිරිපත් වී ඇත. ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසා ඇත්තේ තමාගේ අපේක්‍ෂාව වනුයේ සාමය හැර අන් කිසිවක් නොවන බවයි.

මෙහිදී ඉන්දියාව මේ සිද්ධිය හැසිරවූ ආකාරය සහ පාකිස්තානය එය කළමනාකරණය කළ ආකාරය අනුව දෙරටේ රාජ්‍ය නායකයන්ගේ විභවතා හඳුනාගත හැකිය.

ඉන්දියාවේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි තව සති කිහිපයකින් මහ මැතිවරණයකට මුහුණ දෙයි. මේ වන විට මැතිවරණ කාල සටහන ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව අදියර හතකින් පැවැත්වෙන මහ මැතිවරණය අප්‍රේල් 11දා ඇරැඹෙනු ඇත. අලුත් පාර්ලිමේන්තුව මැයි අවසන රැස්වනු ඇත.

තමා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුල් අවස්ථාවේම අගමැති වන්නට නරේන්ද්‍ර මෝදි වාසනාවන්ත විය. ඔහු නායකත්වය දෙන භාරතීය ජනතා පක්‍ෂය හින්දුත්වවාදය කරපින්නා ගෙන යන්නකි. ජාතිවාදයට බර මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වූ විට එය කළමනාකරණය කිරීම ඉතා අපහසුය. අගමැති මෝදි ඉදිරියේ ඇත්තේ ඒ ප්‍රශ්නයයි. පාර්ලිමේන්තු මැතිවරණයක් ළඟ එනවිට පාලක පක්ෂය ගන්නා ඕනෑම පියවරක් විවේචනයට බඳුන්වීම සහ විරෝධයට ලක්වීම සාමාන්‍ය සංසිද්ධියකි.

විධිමත්ව ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් ලද්දකු නොවන නමුත් උපාධිධරයකු වන මෝදි ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යමින් සිටින බව ලොවම පිළිගත් කාරණයකි. ඔහු දෙස් විදෙස් හි ජනප්‍රිය නායකයෙකි.

ඉන්දියාව සමග සසඳන විට පාකිස්තානය පිරිහුණු දේශයකි. මෑතක එහි පාලනය ගෙන ගිය බෙනාසිර් භුට්ටෝ සහ නවාස් ෂරිෆ් යන දෙදෙනා මතු නොව ජනාධිපතිවරයාව සිටි පර්වෙෂ් මුෂාරෆ් පවා දූෂණ චෝදනාවලට ලක් වූහ. 2002 වසරේ සිට පාකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ඉම්රාන් ඛාන් 2018 අගෝස්තු16 දින එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. ඉහළ මධ්‍යම පාන්තික වංශවත් පරපුරකින් පැවත එන ඔහු ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන අතර ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වෙයි. ඔහු 2005 සිට 2014 දක්වා එංගලන්තයේ බ්‍රැඩ්ෆඩ් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙසද කටයුතු කළේය. රට භාර ගෙන මාස කිහිපයක් තුළ තමා විශ්වාසය තැබිය හැකි නායකයකු බව ඛාන් ඔප්පු කොට තිබේ.

මේ අර්බුදයේදී ඉන්දීය නායකයා සහ ඉම්රාන් ඛාන් තීරණ ගන්නේ පැහැදිලිවම දෙආකාරයකටය. ඒ ඒ නායකයාගේ පසුබිම ඊට බලපාන්නට ඇති බව විචාරක මතයයි.

පාකිස්තානය සමග සසඳන විට ඉන්දියාව හැම අතින්ම වඩා බලවත්ය. ඉන්දියාවේ බලය ගැන ඉම්රාන්ට නිවැරදි තක්සේරුවක් ඇත. ඉන්දීය යානාවකට ප්‍රහාර එල්ල කොට බිම හෙළීමෙන් තමාද නොනිවට බව ඔහු ඔප්පු කළේය. යුද්ධයකට යෑම යනු සියදිවි නසා ගැනීමක් බව ඔහුගේ විදේශ අමාත්‍ය ෂා මොහඩ් ක්‍යුරේෂි පවසයි. එය පාකිස්තානයේ පොදු මතයයි.

කෙසේ වෙතත් පාලන සීමාව දෙපැත්තේ දෙරට හමුදා ප්‍රහාර එල්ල කරගනී. මේ වන විට අඩු තරමින් අහිංසක පුරවැසියන් විස්සක් තිහක් මේ ඉලක්ක ගත නොවන ප්‍රහාර නිසා මරණයට පත් වූ බව සඳහන්ය.

දෙරට ම න්‍යෂ්ටික බලය සහිත රාජ්‍ය නිසා කිසියම් ආකාරයකින් යුද්ධයක් ඇති වුවහොත් තත්ත්වය භයානක විය හැකි බව සියල්ලන්ගේම අදහසයි. ඒ නිසා සාකච්ඡා මගින් තත්ත්වය සමනය කර ගන්නා ලෙස ප්‍රබල රටවල් විසින් දෙපැත්තටම උපදෙස් දී ඇති බව පැවසේ.

පාකිස්තාන හමුදාව සහ පොලිසිය මේ වන විට නම් දැරූ ත්‍රස්තයන් සියයක් පමණ අල්ලා රිමාන්ඩ් කළ බව සඳහන්ය. ඔවුන් අතර JeM නායක මසූඩ් අස්හාර්ද සිටින බව පළ වී තිබිණි. ඉස්ලාමීය මද්‍රාසා පාසල් 180ක් පමණ පාකිස්තානයේ තිබේ. ඒවා පවතින්නේ සන්න්දධ කැරලිකරුවන්ගේ පාලනය යටතේය. මේ වන විට පාකිස්තාන රජය ඒවා පවරා ගනිමින් සිටින බව සඳහන්ය.

ත්‍රස්ත කල්ලිවලට ආධාර අනුබල දීමෙන් හා ඔවුන් සන්නද්ධ කිරීමෙන් පාකිස්තානය ලොව අන් හැම රටක්ම අභිභවයි. 1979දී සෝවියට් හමුදා විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේ ඊට එරෙහිව ක්‍රියා කළ හැකි ඉස්ලාම් ලබ්ධික තරුණ පිරිසක් අැමෙරිකා එක්සත් ජනපදයේ ආධාර ඇතිව පුහුණු කොට සන්නද්ධ කරන ලද්දේ ෂියා උල්-හක් ජනාධිපතිවරයාගේ නියෝග මත පාකිස්තානු හමුදාව විසිනි. ලොවට මහා නස්පැත්තිය ගෙන ආ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවල ආරම්භය එය විය. අද වනවිට ලොව පුරාම භීෂණය ඇති කරන්නේ එයින් බිහි වූ ත්‍රස්ත කල්ලි ජාලයයි. මේවා පාකිස්තානයටද මහා හිසරදයක් වී ඇති නමුත් මෙතෙක් පැවැති පාකිස්තානු ආණ්ඩු එක පැත්තකින් සමහර කල්ලිවලට එරෙහිව සටන් කරමින් සහ තවත් සමහර කල්ලිවලට ආධාර කරමින් දෙකොන විලක්කුවක් කටේ ගසා ගෙන සිටියේය. මහා භයානක රහසිගත සංවිධාන වන ඔවුන් පිටුදැකීම සිය පණ පරදුවට තැබීමක් බව පාකිස්තාන නායකයෝ දනිති. ඒවා පිටු දකින්නට ඛාන් අදහස් කරන්නේ නම් එය දැලි පිහියෙන් කිරි කෑමක්ම වනු ඇත.

පෙබරවාරි 14 ප්‍රහාරයෙන් පසු දෙරටේ සිටි ඒ ඒ රටවල මහ කොමසාරිස්වරුන් සිය රටවලට ආපසු කැඳවිණි. එහෙත් පසුගිය ඉරිදා නැවතත් ඔවුන් සිය කාර්යාල කරා යවන්නට දෙරටම පියවර ගෙන තිබිණි.

මේ ගැටුමේදී වැඩිපුර කතාබහට ලක් නොවන අංශයක්ද තිබේ. සීමා මායිම් වැට (Line of Control –LoC)

දෙපස ඊට ආසන්නයේ කි.මී. 10ක් තරම් නදුරින් වෙසෙන මිනිසුන් මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයයි ඒ. ඇත්තටම ඔවුන්ට සිදුව ඇති දෙය ඛේදයකි.

1947 දී ඉන්දියාවට සහ පාකිස්තානයට බ්‍රිතාන්‍යයන් විසින් නිදහස දෙන ලද අවස්ථාවේ කාශ්මීරයේ මායිම සලකුණු කොට ඇත්තේ සිතියමේ පැන්සලෙන් ලකුණු කිරීමෙනි. ඒ අනුව කාශ්මීර නිම්නය කොටස් තුනකට බෙදිණි. ඉන්දියාව පාකිස්තානය සමගත් චීනය සමගත් වරින්වර ඇවිළෙන්නේ මේ හේතුව නිසාය. 1921 සිට බහුතරය ඉස්ලාම් ලබ්ධිකයන් වෙසෙන කාශ්මීර නිම්නය නම් කෞමාර රාජ්‍යය (Princely State) පාලනය කළේ හරි සිං නමැති හින්දු ලබ්ධිකයෙකි. සීමානීර්ණයෙන් පසු එම කොටස ඉන්දියාවට අයත් විය යුතු බව ඔහු බ්‍රිතාන්‍ය පාලනයට දැන්වීය. ඒ අනුව බ්‍රිතාන්‍යයෝ එය ඉන්දියාවට ඇතුළත් කළහ. ඊට එරෙහිව ඉස්ලාම් ලබ්ධිකයන් විසින් සටන් කරන ලද අතර මධ්‍යම රජයේ සහායෙන් එය යටපත් කැරිණි. එවකට ඉන්දියාවේ අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු අනෙක් කවර අවස්ථාවල ජාතිවාදී නොවුණත් මේ බිම්කඩ පිළිබඳ ප්‍රශ්නයේ දී ගත් තීරණය නිවැරදි යැයි කිව නොහැක. අද දක්වාත් දෙපසේම මායිම් ගම්මානවල ජනයා නොයෙක් දුක් ගැහැට විඳින්නේ හරි සිං, ජවහර්ලාල් නේරු සහ එවකට ආසියානු යටත් විජිතය බාරව සිටි මවුන්ට් බැට්න් සාමි යන තිදෙනාගේ වැරදි තීරණය නිසා බව මේ වන විට ඔප්පු වී හමාරය.

මාතෘකා