වඩා හොඳ “දේශප්‍රේමියා” සෙවීම

 ඡායාරූපය:

වඩා හොඳ “දේශප්‍රේමියා” සෙවීම

වසර පහකට පෙර 2014දී නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට තරග වැදුණේ සාමාන්‍ය භාරතීය ජනතා පක්ෂ නායකයකුට වඩා වෙනස් භූමිකාවක් පෙන්නුම් කරමිනි. 2002දී ගුජරාතයේ සිදු වූ සමූල ඝාතන පිළිබඳ කැළල ඒ වන විට ඔහු වෙතින් යම් තරමකට ඉවත්ව තිබිණ. සත්‍ය වශයෙන්ම එය මෝදිගේ දැනුවත්භාවය ඇතිව සිදු වූවක්ද යන්න පිළිබඳ සැකයක් පවතින බවද මෙහිදී මතක් කළ යුතුය. මෝදි තමන්ව පෙන්වා දුන්නේ රට නවීකරණය කළ හැකි අයකු ලෙසය. ගුජරාතයේ මහ ඇමති ලෙස ඔහු කළ සේවය, එම ප්‍රාන්තය නවීකරණය කිරීමට කළ මෙහෙය, නවීන සංකල්ප හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය අංශ දියුණු කිරීමට කළ කරුණු ආදිය ජාතික තලයට ගෙන ආ හැකි නායකයකු ලෙස ඔහුව පෙන්වා දෙන ලද්දේය.

එමෙන්ම මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ එක් මූලිකම කරුණක් වූයේ, ඇතැම් විට මූලිකම කරුණ වූයේ, දූෂණය පිටුදැකීමය. මැතිවරණ ප්‍රචාරක දැන්වීම්වල සිට මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂ ප්‍රධානීන් විසින් කරන ලද කතා දක්වා සියල්ලකින්ම උළුප්පා පෙන්වන ලද ප්‍රධාන කරුණක් වූයේ එයය.

මීට අමතරව ජාත්‍යන්තර දේශපාලනය තුළ කොංග්‍රස් පක්ෂය ගෙනගිය අතිශය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්ති වෙනුවට, චීනය සමඟ සබඳතා දියුණු කරගැනීම සහ කලාපීය අන්තර් සහයෝගීතාව වර්ධනය කිරීම යන කරුණු කෙරෙහි මෝදිවාදීහු වැඩි අවධානයක් යොමු කළහ. ආර්ථික සබඳතා මත පදනම් වූ ආසියාතික පොදු රාජ්‍ය මණ්ඩල සංකල්පයක් පවා ඇතැම් මෝදිවාදී න්‍යායාචාර්යවරු යෝජනා කළහ.

භාරතීය ජනතා පක්ෂය තුළද හින්දුත්ව සංකල්පය පසෙකින් තබා නවීන ලෝකයට ඇතුළුවීම මුල් කරගත් වෙනමම දර්ශනයක් මෝදි පෙන්වා දුන්නේය. එය බොහෝ අංශවලින් ගත් විට කොංග්‍රස් පක්ෂයටද වඩා ප්‍රගතිගාමී වූයේය. අන්තර්ජාලය මඟින් කරුණු පහසු කරගැනීම කෙරෙහි මෝදි විශේෂ අවධානයක් යොමු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ගතවූ මුල් වසර කිහිපයේ ඔහු සත්‍ය වශයෙන්ම මෙම ප්‍රතිපත්ති ඔස්සේ කටයුතු කරනුද දක්නට ලැබිණ.

වසර පහකට පසු නැවත මහ මැතිවරණයක් ළං වෙමින් පවතින අවස්ථාවේ මෝදි සිටින්නේ කොතැනදැයි දුටු විට පුදුමයක් නැඟෙන්නේ එබැවිනි. ඔහු ඉන්දියාව තවදුරටත් නවීකරණය කිරීම පිළිබඳව සඳහන් නොකරයි. කළත් ඒ අඩු වශයෙනි. ඔහු දැන් යත්න දරන්නේ නිදහස් ඉන්දියාවේ හොඳම දේශප්‍රේමියා ලෙස ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමටය.

ජාතික යුද ස්මාරකය

මෙය පැහැදිලිව දිස් වූ එක් අවස්ථාවක් වූයේ පෙබරවාරි 25 වැනිදා දිල්ලියේ අක්කර 40ක භූමි භාගයක ජාතික යුද ස්මාරකය විවෘත කළ අවස්ථාවේය. එදින ඉන්දීය රජයේ දුම්රිය සහ ගල් අඟුරු පිළිබඳ අමාත්‍ය පියුෂ් ගොයාල් සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කළ ප්‍රකාශය මෝදිගේ නව ප්‍රතිරූපය පිළිබඳ කදිම සාක්ෂියක් වූයේය.

"ජාතික යුද ස්මාරකයක් ඉදි කිරීම සඳහා ඉන්දියාවට වසර 70ක් ගත වූ අතර එය සිදු වූයේ මෝදිගේ නායකත්වයෙනි." මෙම ස්මාරකය විවෘත කළ අවස්ථාවේ මෝදිද මීට සමාන ප්‍රකාශයක් කළේය. ඔහු සඳහන් කළේ ඉන්දියාව ආරක්ෂිත රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කර ඇත්තේ ඔහු සහ ඔහුගේ පක්ෂය පමණක් බවය. ඔහු මෙහිදී විශේෂයෙන්ම පහර ගැසූයේ කොංග්‍රස් පක්ෂයට සහ නේරු - ගාන්ධි පවුලටය.

මෝදිට මෙම අවස්ථාව කවුරුන් හෝ ප්‍රදානය කළ අනගි අවස්ථාවක් වූයේය. කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ පෙබරවාරි 14 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය මධ්‍යම අතිරේක පොලිස් බළ ඇණියෙහි සාමාජිකයන් 40 දෙනකුට වඩා මියගිය පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුව පැවති උණුසුම් තත්ත්වයද මාස තුනක් තුළ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයද මෙම දේශප්‍රේමී ස්ථාවරය ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේය.

පුල්වාමා ප්‍රහාරයෙන් පසු ඉන්දියාව දැඩි ලෙස පකිස්තානය විවේචනය කළ අතර කුමක් හෝ සිදුවිය හැකියැයි සිතීමට කරුණු තිබිණ. පෙබරවාරි 26 වැනිදා ඉන්දියානු ගුවන් හමුදා පකිස්තාන පාලනයේ පවතින කාශ්මීර ප්‍රදේශයට ගොස් ත්‍රස්ත කඳවුරක් යැයි සැක කළ ස්ථානයකට පහර දුන්නේය.

මීළඟ දිනයේදී ඉන්දු - පාකිස්තාන ගුවන් හමුදා යළිත් එකිනෙකාගේ පාලන ප්‍රදේශයන්ට පහර දීමත් ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තාන අත්අඩංගුවට පත් වීමත් සිදු වූයේය.

දේශපාලනීකරණය කිරීම

මේ අතර කොංග්‍රස් පක්ෂය ඇතුළු විපක්ෂ සන්ධානයක් ප්‍රකාශයක් නිකුත් කරමින් මෝදි විවේචනය කළේය. ඔවුන් පළ කළ අදහස වූයේ ඉන්දියානු සන්නද්ධ අංශවල කැපවීම දේශපාලනිකව උපයෝගී කරගැනීමට මෝදි රජය කටයුතු කරන බවය.

මෝදි මීට පිළිතුරු දුන්නේ කොංග්‍රස් පාලන සමයේදී සිදු වූ 2008 නොවැම්බර් 26 මුම්බායි ප්‍රහාරය මතකයට නඟමිනි. එම අවස්ථාවේ සන්නද්ධ අංශ පාකිස්තාන පාලන ප්‍රදේශයේ පවතින ත්‍රස්ත ඉලක්ක වෙත පහර දීමට සූදානමින් සිටියද රජය ඊට ඉඩ නුදුන් බව මෝදි කරුණු දැක්වීය. තමා සන්නද්ධ අංශයන්ට ස්ථානෝචිතව කටයුතු කිරීමේ පූර්ණ නිදහස ලබාදී ඇතැයිද ඔහු අවධාරණය කළේය.

කොංග්‍රස් පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් ත්‍රස්ත විරෝධී සටන අවතක්සේරු කරන බවත් ඔවුන්ගේ ප්‍රකාශයන් මඟින් පාකිස්තානය සතුටු කරන බවත් මෝදි ප්‍රකාශ කළේය. AK-203 රයිෆල් නිෂ්පාදනය කෙරෙන රුසියානු - ඉන්දියානු කර්මාන්තශාලාවක් අමේති දිස්ත්‍රික්කයේ කෝර්වාහි විවෘත කිරීමට ගිය මෝදි එම කර්මාන්තශාලාව විවෘත වන්නේ තමා හේතුවෙන් මිස අමේතිහි මන්ත්‍රීවරයා හේතුවෙන් නොවන බව සඳහන් කළේය. අමේතිහි මන්ත්‍රීවරයා වන්නේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිය. ගාන්ධි පවුල සහ කොංග්‍රස් රජය ආරක්ෂක ගනුදෙනුවලින් "තමන්ගේ කොටස" ලබා ගැනීම සඳහා එම ගනුදෙනු පමා කළ බවද එහෙයින් ඉන්දීය සන්නද්ධ අංශ සතුරු තර්ජනයන්ට නිරාවරණය වන බවද ප්‍රකාශ කරමින් මෝදි දරුණු ලෙස කොංග්‍රස් පක්ෂයට පහර දුන්නේය.

කොංග්‍රස් පක්ෂයද මෝදිට පහර දීම සඳහා ප්‍රංශය සමඟ වන රෆාලේ ගනුදෙනුව භාවිතා කරමින් සිටියි. කොංග්‍රස් පක්ෂය විසින් මුලින් සාකච්ඡා කළ රෆාලේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව භාරතීය ජනතා පක්ෂය විසින් තමන්ට අවශ්‍ය සහ වාසිදායක අන්දමින් වෙනස් කළ බව කොංග්‍රස් පක්ෂයේ චෝදනාව වේ. දේශප්‍රේමය සහ දූෂණ විරෝධය පිළිබඳව පාරම්බාන මෝදිගේ කෙරුවාව මේ යැයි සඳහන් කරමින් රාහුල් ගාන්ධි තම ප්‍රතිරූපය ගොඩනැඟීමට යත්න දරයි.

මේ අතර ඉන්දියාව තමන් යටතේ ස්ථාවර වූයේය යන මෝදිගේ මතය විවේචනය කරන හිටපු අගමැති දේව් ගවුඩා ප්‍රශ්න කළේ අතල් බිහාරි වජ්පායි හා මන් මෝහන් සිං අස්ථාවර රජයන් පවත්වාගෙන ගියේද යන්නය. වජ්පායි යටතේ ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලූ බවත්, කාර්ගිල් යුද්ධයේදී ඉන්දියාව ජයගත් බවත් මතක් කර දුන් ගවුඩා පවසා සිටින්නේ තමන්ගේ පාලන කාලය තුළ පවා තමන් පස් වතාවක් කාශ්මීරයට සංචාරය කළ බවයි. එහි සාර්ථක ලෙස මැතිවරණද පැවැත්වීමට තමන්ට හැකිවූ බව ඔහු සඳහන් කළේය. එමෙන්ම තමන්ද දේශප්‍රේමීන් බවත් දේශප්‍රේමය මෝදිගෙන් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගවුඩා ප්‍රකාශ කළේය.

දේශප්‍රේමියා

මෙහිදී ගවුඩා විසින් වජ්පායිව මතකයට නැඟීම මෝදි අපහසුතාවට පත් කරන කරුණකි. මක් නිසාදයත් වජ්පායි මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම ඊට පෙර පැවති හින්දු ජාතිකවාදී සංවිධානයන්හිද ප්‍රබලයකු වූ හෙයිනි; හින්දු ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයේ ජනප්‍රිය නායකයකු වූ හෙයිනි; භාරතීය ජනතා පක්ෂයේ ප්‍රථම සභාපති සහ එම පක්ෂයෙන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පළමුවැන්නාද වූ හෙයිනි. මෝදිට රාහුල් ගාන්ධිට වඩා තමා දේශප්‍රේමියකු යැයි කීමට හැකි වුවද වජ්පායිට වඩා තමන් දේශප්‍රේමියකු යැයි පැවසීම එතරම් පහසු නොවේ. හැත්තෑ වසරක ඉන්දීය ඉතිහාසයේ හොඳම දේශප්‍රේමියා වීමට උත්සාහ කිරීම පාරාවළල්ලක් විය හැක්කේ එතැනිනි.

මෙහි ඇති අනෙක් ගැටලුව වන්නේ දේශප්‍රේමය මුවාවෙන් මේ නායකයන් සත්‍ය ලෙසම ඉදිරියට ගෙනෙන කරුණය. එනම් යුදවාදයය. දේශප්‍රේමයට විවිධ මුහුණුවර ඇත. තමන්ගේ රට සාමකාමී ලෙස සංවර්ධන මාවතක ගෙන යන්නාද දේශප්‍රේමියෙකි; නවීන ලෝකයට තම රට සූදානම් කරන්නාද දේශප්‍රේමියෙකි. එහෙත් යුදවාදය මුවාවෙන් වැරදි වසාගන්නා දේශප්‍රේමියකුද යන්න ගැටලුවකි.

ඉන්දීය දේශපාලනය වසර පහක් තුළ පැමිණ ඇති ස්ථානය ඛේදජනක බව පමණක් කිව හැකිය. 2014දී මැතිවරණ ව්‍යාපාරය පාදක වූයේ නවීන ලෝකයට ඉන්දියාව ගෙන යා හැක්කේ කාහටද යන ප්‍රශ්නය මතය. නමුත් දැනට පෙනී යන පරිදි, 2019දී ඉන්දියානු මැතිවරණය රඳා පවතින්නේ හොඳම යුදවාදියා කවරෙක්ද යන ප්‍රශ්නය මත පමණක්ය.

[චාමර සුමනපාල]

 

මාතෘකා