ඉරාන අර්බුදය

 ඡායාරූපය:

ඉරාන අර්බුදය

තුන්වැනි ලෝක මහා යුද්ධයක් ඇරඹෙන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවට එළැඹුණත් හාස්කමකින් මෙන් එය වැළකී ගිය බව පසුගිය සති අන්තයේ මාධ්‍යවල පළ විය. දින කිහිපයක් ගෙවී ඇති නමුත් උණුසුම තවමත් පහව ගොස් නැත. ඒ ඕමාන් ගල්ෆ් කලාපය සහ හොමුස් සමුද්‍ර සන්ධිය අවට විශාල වපසරියක මුහුදේ පැතිර පවත්නා අවිනිශ්චිත තත්ත්වය නිසාය.

පසුගිය 20 වැනි බ්‍රහස්පතින්දා ඉරානය විසින් ඇමෙරිකාවට අයත් RQ4 වර්ගයේ මිනිසුන් රහිත ආවේක්‍ෂණ යානයක් වෙඩි තබා බිම හෙළන ලදි. මෙම යානය සාමාන්‍ය වාණිජ ගුවන් යානයක් පියාසර කරන උස මෙන් දෙගුණයක් ඉහළින් අහසේ පියාසර කරන්නකි. ඒ කියන්නේ පොළොවේ සිට අඩි 60,000ක් ඉහළිනි. බිම හෙළන ලද යානය ග්ලෝබල් හෝක් නම් වේ. එහි වටිනාකම ඇ.ඩො. මිලියන 176ක් බව එහි බඳේ තිබූ ලේබලයක සටහන් කර තිබිණි’යි සඳහන්ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවුක හමුදාවේ ගුවන් ඒකකයට අයත් මෙම යානය මුහුදේ තොරතුරු ආවේක්‍ෂණය කරන්නකි. මෙම වර්ගයේ යානාවල විශේෂය නම් ඒවා MQ වර්ගයේ යානා මෙන් ප්‍රහාරක යානා නොව හුදෙක් තොරතුරු එක්රැස් කිරීම සඳහාම පමණක් යොදා ගැනෙන ඒවා වීමයි.

ඇමෙරිකාව කියන්නේ අන්තර්ජාතික මුහුදු සීමාවේ ඉහළින් තිබියදී තම යානය ඉරානය විසින් අනීතික ලෙස බිම හෙළන ලද බවයි. එහෙත් ඉරානය කියන්නේ එම යානය තම සීමාව අතික්‍රමණය කළ බවයි. බිම හෙළීමෙන් පසු සිය බාරයට ගන්නා ලද ඒ යානය ඉරාන විප්ලවකාරී හමුදාව විසින් පරීක්‍ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මධ්‍යවල දැකිය හැකිය.

මෙතරම් ඉහළින් පියාසර කරන යානයක් නිවැරදි ඉලක්කය ගෙන බිම හෙළන ඉරානයේ යුද ශක්තිය සැහැල්ලුවට නොගත යුතු බව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇමි සීගට් පෙන්වා දෙයි. ඇමි සීගට් යනු ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකට චරිතයකි.

මේ සිද්ධිය නිසා විය යුතු පරිදිම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපාවිෂ්ට විය. එකට එක කිරීමක් ලෙස වහාම ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරනු’යි ඔහු පෙන්ටගනයට නියෝග කළේය. ස්ථාන තුනකට එකවර ගුවන් මඟින් ප්‍රහාර එල්ල කරන්නට සැලසුම් කෙරිණි. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඉතා කෙටි කාලයක් තුළ සිය තීරණය වෙනස් කළේය. එබඳු ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවහොත් කීදෙනකු මිය යන්නට ඉඩ ඇතිද යන්න විමසන ලදින් ලැබුණු පිළිතුර වී ඇත්තේ 150ක් පමණ දෙනා එයින් මිය යන්නට ඉඩ ඇති බවයි. ‘කොකා ගස්සන්නේ නැතිව අත ගන්න’යි ඔහු ඒ අනුව ප්‍රති නියෝගයක් නිකුත් කළේය.

මාධ්‍ය පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප් එම දෙවන නියෝගයෙන් තුන්වැනි ලෝක යුද්ධයක් ඇරඹීම කල් දැමූ බවයි.

‘අපි කොකා ඇදගෙනයි හිටියේ’ පසුව ඔහු ට්වීටර් පණිවුඩයක සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ තීරණය වෙනස් කිරීමට හේතුව ඔහු තුළ උපන් ස්වාභාවික අනුකම්පාව නිසා නොව ‘කැපිටෝල් හිල්’හි ජනාධිපතිවරයාගේ හිතවතුන්ගේ බලවත් විරෝධය නිසා බවයි. ‘කැපිටෝල් හිල්’ යනු එක්සත් ජනපදයේ කෝංග්‍රස් මණ්ඩල සංකීර්ණය කෙටියෙන් හැඳින්වෙන නමයි.

එහෙත් යුද උන්මත්තකයකු ලෙස නම් දරා සිටින ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් නම් ප්‍රහාරය නැවැත්වූවාට විරුද්ධය.

පසුගිය ජුනි 13 වැනි දින සහ ඊට පෙර මැයි 12 වැනි දින ඕමාන් ගල්ෆ් කලාපයේ පෙට්‍රෝලියම් ප්‍රවාහන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල වූ අතර ඒවා ඉරානයේ වැඩ බව ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කළේය. ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් තවමත් ඒවා ඉරාන ගොනුවෙන් ඉවත් කොට නැත.

ඕමාන් ගල්ෆ් කලාපය ඇතුළු ඉරානය අවට මුහුදේ තවත් භටයන් 1,000ක් ස්ථානගත කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජෙෂ්ඨ නිලධරයකු වන බ්‍රයන් හුක්ස් පැවසීයැයි සෞදි පුවත් සේවා වාර්තාවක දැක්වෙයි. මේ වන විටත් එහි ඇමෙරිකානු සොල්දාදුවෝ 1,500ක් නැව් 26ක ස්ථානගත කරනු ලැබ සිටිති. මෙසේ කරන්නේ ටෙහෙරානයට එමඟින් පණිවුඩයක් දීමට බව පෙන්වා දෙන ඔහු එම පණිවුඩය ඔවුන් මැනවින් ග්‍රහණය කර ගනු ඇතැයි තමා අදහස් කරන බව පවසා ඇත. ඉරානය සිය රටේ උත්සුකතාවන්ට තර්ජනයක් එල්ල කරන්නේ නම් ස්විචය ආරක්‍ෂක මෝඩයේ සිට ප්‍රහාරක මෝඩයට මාරු කරන්නට සිදුවනු ඇති බවත් ඔහු පවසා ඇත.

මේ අතර සෞදි අරාබියේ ‘අභා’ නම් ගුවන් තොටුපොළට 23 ඉරිදා රාත්‍රී 9.10ට පමණ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර එක් මරණයක් සිදුවිය. ඒ වෙත එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයය. දින දහයකට පෙර මෙම ගුවන් තොටුපොළේම මගී පර්යන්තයට ප්‍රහාරයක් එල්ල වූ අතර එදින 26ක් තුවාල ලැබූහ.

එම ප්‍රහාර දෙකේම වගකීම යේමනයේ සටන් කරන හෞති සටන්කරුවන් විසින් බාරගනු ලැබිණි. මේ සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වන්නේ ඉරානයටය. සෞදි අරාබිය පෙන්වා දෙන්නේ හෞති සටන්කරුවන්ගේ අවි ඉරානයේ නිෂ්පාදිත හෝ නැත්නම් ඉරානය විසින් වැඩිදියුණු කරන ලද ඒවා බවය.

මෙම දෙවැනි ප්‍රහාරයට පෙර දින එනම් 22දා සෞදි අරාබි රාජධානිය, එක්සත් අරාබි එමයිරේටය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල

රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු වොෂින්ටනයේ රැස්ව සිව් පාර්ශ්වික ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. සිය රාජ්‍ය ගල්ෆ් කලාපයේ සාමය බිඳ හෙළන්නට ඉරානය විසින් ගෙන යනු ලබන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකරන බව එහි සඳහන්ය. ප්‍රශ්න තිබෙනවා නම්

රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒවා විසඳා නොගෙන ත්‍රස්ත ක්‍රියාවලට එළැඹීම අනුමත කළ නොහැකිය.

ගල්ෆ් කලාපය හරහා ගමන් කරන නෞකාවලට සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට සැනසිල්ලේ ඒ පසු කර යන්නට අවකාශ තිබිය යුතුය. එම කලාපයේ ස්ථායීතාවට තර්ජන එල්ල විය හැකි ක්‍රියාවලින් ඈත් වීම යහපත්ය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ මිසයිල විදින සහ රොකට් පාලනය කෙරෙන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන ලද බව පසුගිය සඳුදා බීබීසී වාර්තා කළ අතර එහෙත් එය තහවුරු වී නොමැති බවද එම වාර්තාවේම ඇතුළත්ය.

ඉරානයේ මෙම විරෝධාකල්ප ක්‍රියාවලියට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි සම්බාධක පැනවීම සහ ඉරානය සමඟ ගනුදෙනු කරන රටවලට තහංචි පැනවීමයි. මේ නිසා ඉරාන ආර්ථිකය මේ වන විට කඩා වැටී ඇති අතර පිටතට නොපෙන්නුවාට රට තුළ විරෝධතා ව්‍යාපාරද කෙමෙන් හිස ඔසොවමින් තිබෙන බව සහතික නොකරන ලද ආරංචිවල සඳහන්ය. 1979 විප්ලවයෙන් පසු ඉරානය යනු යහපත් මට්ටමක ආර්ථික ශක්තියක් ඇතිව සිටි රටකි. එහෙත් ඒ විප්ලවයේදී ඇමෙරිකානු හිතවාදී පාලකයා වූ ෂා රජු බලයෙන් පහකරන ලද බැවින් එදා සිටම ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉරානයට නොයකුත් කෙනෙහිලිකම් සිදුවිය. විප්ලවය පැවැති සමයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් නිවාස අඩස්සියේ තබමින් දින 467ක් පුරා ගෙන යන විරෝධතාව හේතුවෙන් ඇමෙරිකාව ඉරානය සමඟ වෛරයෙන් සිටින්නේය කිවහොත් එය දොස් සහිත නොවේ.

න්‍යෂ්ටික අවි නිෂ්පාදන කරමින් සිටින්නේය යන චෝදනාව නඟමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එරට අනුගමනය කරන ඇතැම් බටහිර මෙන්ම මැදපෙරදිග රටවල් විසින් ඉරානයට සම්බාධක පනවන ලද්දේ මේ පසුබිමේය. එහෙත් ජනාධිපති බරක් ඔබාමා තරමක් නම්‍යශීලී ලෙස මේ ගැටලුව දෙස බැලූ අතර එය විසඳන්නට ඉහත පියවර ගත්තේය.

කෙසේ වෙතත් ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන්නේය යන කාරණය මතභේදයට තුඩුදුන්නකි. තමන් නිරතව සිටින්නේ යුරේනියම් සුපෝෂණය (Uranium Enrichment) සහ න්‍යෂ්ටික ප්‍රාගුණ්‍යය (Nuclear Proliferation) මඟින් බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක පමණක් බව ඉරානය පුන පුනා කියයි. චෝදනා සහ හේතු දැක්වීම් විභාග කරන්නට එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ඒජන්සියට (IAEA) පැවරුණු අතර එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2013 වසරේ ගිවිසුමක් සකස් කරන ලදි. පාර්ශ්වකරුවන් වශයෙන් පංච මහා බලවතුන්ද ජර්මනියද (P5+1) එක් පාර්ශ්වයකට සහ ඉරානය අනෙක් පාර්ශ්වයට ඇතුළත්ව 2015 ජූලි 14 අත්සන් තබන ලද ගිවිසුම ‘ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක අවබෝධතා සැලැස්ම JCOPA’ නම් වේ. මේ අනුව එකඟතාවට පැමිණි කරුණු නොඉක්මවා කටයුතු කිරීමට ඉරානය බැඳී සිටින අතර ඒ ගැන පරීක්‍ෂා කරන්නට IAEAට බලය පැවරෙයි. එසේම එම පරීක්‍ෂණවලදී එම ආයතනයට සහාය දෙන්නට ඉරානය බැඳී සිටියි. ඒ අනුව කටයුතු සාමකාමී අයුරින් කෙරීගෙන ගියේය.

මේ ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සහචර රාජ්‍ය ඉරානයට පනවා තිබූ සම්බාධක පරමාණු බලශක්ති ආයතනයේ වාර්තා පදනම් කර ගනිමින් කෙමෙන් ලිහිල් කරන ලදි. එයින් ඉරානයේ ආර්ථික ශක්තිය කෙමෙන් වැඩි විය.

එහෙත් මෙම ගිවිසුම දැඩි ලෙස විවේචනය කළ ජනාධිපති ට්‍රම්ප් එම ගිවිසුමට පිටුබලය සැපයූ එවක ජනාධිපති බරක් ඔබාමා දැඩිව විවේචනය කළේය. ට්‍රම්ප්ට අනුව ඔබාමා කළේ දේශ‍ෙද්‍රා්හී වැඩකි. 2018 මැයි මාසයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය එම ගිවිසුමෙන් ඉවත් වී ඉරානයට එරෙහි දැඩි පියවර ගත්තේය. ඊයේ (24) සිට එම පියවර වඩාත් දැඩි කරමින් සම්බාධක වැඩි කරන බව ජනාධිපති ට්‍රම්ප් සෙනසුරාදා මාධ්‍ය අමතා පැවසීය. එය තහවුරු කරමින් ඔහු විසින් තබන ලද ට්වීටර් පණිවුඩයේ අරුත මෙසේය: ‘ඉරානයට න්‍යෂ්ටික අවි සතුව සිටින්නට නොහැකිය. භයානක ඔබාමා සැලසුම යටතේ වසර කිහිපයකින් ඔවුන් න්‍යෂ්ටික අවි සතු කර ගන්නවා ඇත. පවතින තහවුරු කිරීම් පිළිගත නොහැකිය. අපි සඳුදා ඉරානයට දැඩි සම්බාධක පනවමු. මම ඒ සඳහා මඟ බලමින් සිටිමි.’ මෙහි පවත්නා ‘තහවුරු කිරීම්’ යනු එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ඒජන්සිය විසින් ඉදිරිපත් කරන වාර්තාය. විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පිළිනොගැනීම ජනාධිපති ට්‍රම්ප්ගේ ස්වභාවයයි. සියල්ල දන්නේ තමාය. තමාට ඉහළින් කිසිවකුත් නැත.

මේ අතර විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් ඉරානයට එළැඹීම මේ දවස්වල කෙරීගෙන යයි. ජපාන අගමැති ෂින්සො අබෙ ජුනි 12 වැනි දින ඉරානයට පැමිණ දෙදිනක් එහි ගත කළේය. ඊට දින කිහිපයකට පෙර ජනාධිපති ට්‍රම්ප් හා අගමැති අබෙ අතර හමුවක් පැවැත්විණි. 22 දින මහා බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු උප ඇමති ඇන්ඩෘ මොරිසන් ඉරානයේ සංචාරයක නිරත වී නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීය. මේ අතර පසුගිය 20දා යුරෝපීය රටවල නියෝජිත පිරිසක් ටෙහෙරාන් වෙත ගොස් Instrument In Support Of Trade Exchanges (INSTEX) නමින් යූත් සංවිධානයක් පිහිටුවීමට සාකච්ඡා පවත්වා ඇත. මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ ජර්මනිය, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යයි. ඇමෙරිකාවේ තහංචි මඟහරිමින් ඉරානය සමඟ ගනුදෙනු කිරීම එම සංවිධානයේ අරමුණ වෙයි. ඇමෙරිකාව මේ වන විටත් ඊට අනතුරු අඟවා ඇති බව වාර්තා වෙයි. ජනාධිපති ට්‍රම්ප් සඳුදා පනවන්නට බලාපොරොත්තුවන දැඩි සම්බාධක මේ සංවිධානය නිසාද යන සැකය මේ වන විටත් මතු කොට තිබේ.

රුසියාව සහ චීනයද ඉරානය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර ඉරානය සමඟ හොඳින් ගනුදෙනු කළ ඉන්දියාවේ ක්‍රියා පිළිවෙත ප්‍රකාශයට පත්ව නැත.

මාතෘකා