ඉරානයට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක තර්ජනයක්

 ඡායාරූපය:

ඉරානයට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක තර්ජනයක්

ඔමාන් මුහුදු බොක්ක හරහා පෙට්රෝලියම් ප්‍රවාහනය කරමින් තිබූ නැව් දෙකකට දකුණු ඉරාන වෙරළෙන් කි.මී. 40ක පමණ දුරකදී පසුගිය 13 වැනි බ්‍රහස්පතින්දා ප්‍රහාර දෙකක් එල්ල විය. ඒවායින් එම නෞකා විනාශ නොවුණත් සෑහෙන හානි සිදු වූ බව සඳහන්ය. මින් එකක් නෝර්වීජියානු සමාගමකට අයත් ‘ෆ්රන්ට් අල්ටෙයාර්’ වන අතර අනෙක ජපාන සමාගමකට අයත් ‘කොකුකා කරේජස්’ නම් විය. සිද්ධිය වූ වහාම ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කළේය. එම චෝදනාවට සාක්ෂි ලෙස ඉරාන බෝට්ටුවක් ගිනි ගන්නා නැව වෙත ළඟා වන දර්ශන පෙළක් ඉදිරිපත් වුවද ඒ බෝට්ටුව ඒ වෙලාවේ එහි ළඟා වුණේ දැවෙන නැවෙන් දුන් රේඩියෝ පණිවුඩයකට අනුව කාර්ය මණ්ඩලය ගලවාගන්නට බව පසුව අනාවරණය විය. මේ වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය අවට මුහුදේ තැනින් තැන ස්ථානගත කොට තිබෙන යුද නැව් ප්‍රමාණය සහ ඒවායේ ආවේක්‍ෂණ හැකියාව අනුව සලකා බලන විට කිසියම් කෙනෙකුට එම නැව්වලට නොදැනී එබඳු ප්‍රහාරයක් එල්ල කළ හැකි වේද යන්න සැක සහිතය.

මීට මාස හතරකට පමණ පෙරද මේ ප්‍රදේශයේ මුහුදේදී නැව් හතරකට මෙබඳු ප්‍රහාර එල්ල විය. ඒවා මේ මුහුදේ ඉඳහිට සිදුවුණත් අසාමාන්‍ය නොවේ. එහෙත් වර්තමාන තත්ත්වය වෙනස්ය.

ගල්ෆ් මුහුදේ 150,000ක නාවුක බල ඇණියක් ස්ථානගත කරවන බව ජනාධිපති ට්‍රම්ප් වරෙක පැවසීය. එතරම් සංඛ්‍යාවක් නැතත් ඉරාන වෙරළෙන් ඔබ තැනින් තැන ඒබ්‍රහම් ලින්කන් නමැති එරට ප්‍රධාන යුද නෞකාව සහ තවත් නැව් හතරක් නැංගුරම් ලා තිබෙන බව සඳහන්ය. මේවා සේන්දු වුණේ මැයි 16 දිනෙය. පර්සියානු ගල්ෆ් මුහුදට නැව් දෙකක් මුලින්ම පැමිණ ඇති අතර ඊට පිටතින් එහි පිවිසුමට ආසන්නයේ එක්සත් අරාබි එමයිරේට් වෙරළෙන් ඔබ තවත් නැව් දෙකක් රඳවනු ලැබ ඇත. ඒබ්‍රහම් ලින්කන් නෞකාව නැංගුරම් ලා සිටින්නේ වඩාත් ඈතිනි. මේවා දිගු දුර විහිදුම් මිසයිල විදිනද ඇතුළත් සෑම ආකාරයකින්ම සන්නද්ධ බලගතු යුද නැව්ය. පරිවාර නෞකාද එක්ව ගත් කල මෙහි ඇති නාවුක බළඇණිය නැව් 30කින් පමණ සමන්විතය. මෙලෙස විශාල නාවුක බලඇණි ඒ කලාපයේ ස්ථානගත කෙරෙන්නේ ඉදිරි ආරක්ෂක පියවරක් ලෙස බව පෙන්ටගනයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ඇමෙරිකාවේ usni නම් වෙබ් අඩවියක සඳහන් වේ.

මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැර දෙයක් වුවත් ඉරාන රජය හෝ එරට විප්ලවකාරී ආරක්ෂක හමුදාව හෝ ඊට කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

තමන්ට සම්බාධක පැනවුවහොත් පර්සියානු ගල්ෆ් කලාපය හරහා නැව් ගමනාගමනයට බාධා කිරීමට තමන් පියවර ගනු ඇති බවට ටෙහෙරාන් පාලනය පෙර පවසා තිබිණි. ඒ ප්‍රකාශය පදනම් කැර ගෙන මේ නැව් මෙලෙස ස්ථානගත කරන්නට උපදෙස් දී ඇත්තේ මාධ්‍ය විසින් යුද උන්මත්තකයා යන අරුත් ඇති war hawk යන අභිධානය සහිතව හඳුන්වනු ලබන ජෝන් බෝල්ටන්ය.

ඒ අනුව මේ වන විට පර්සියානු ගල්ෆ් කලාපයේ යුද උණුසුම සහ ආතතිය උතුරා යන මට්ටමක පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ඇමෙරිකා එක්සත් ජනපදය ඒ කලාපයේ නාවුක බලය අහේතුකව ස්ථාන ගත කරනු ලැබ ඇත්තේ හුදෙක් ඉරානය බියපත් කිරීම සඳහා පමණක් බව නම් සිතිය නොහැකිය. කළ යුත්ත තීරණය කරනු ඇත්තේ ජෝන් බෝල්ටන්ය.

පසුගිය මැයි 19 ඉරිදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම උපයෝගී කැර ගනිමින් ලොවට මෙසේ දැන්වීය.

‘ඉරානයට සටන් කරන්නට අවශ්‍ය නම් එය ඉරානයේ නිල අවසානය වනු ඇත. නැවත ඇමෙරිකා එක්සත් ජනපදයට තර්ජනය කිරීමෙන් වළකිනු’

එහෙත් ඉරානය තමන්ට තර්ජනය කළේ කෙසේද කියා හෝ ඉරානයේ අවසානය එළැඹෙන්නේ කෙසේද කියා හෝ ඔහු විස්තර කළේ නැත.

ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරමින් සිටින්නේය යන චෝදනාව කලක පටන් එල්ල වෙමින් පැවැතියකි. එහෙත් තමන් නිරතව සිටින්නේ යුරේනියම් සුපෝෂණය (Uranium Enrichment) සහ න්‍යෂ්ඨික ප්‍රාගුණ්‍යය (Nuclear Proliferation) මගින් බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක පමණක් බව එරට කියා සිටියේය. මේ කාරණා විභාග කරන්නට එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ඒජන්සියට (IAEA) පැවරුණු අතර එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2013 වසරේ ගිවිසුමක් සකස් කරන ලදි. පාර්ශ්වකරුවන් වශයෙන් පංච මහා බලවතුන්ද ජර්මනියද (P5+1) එක් පාර්ශ්වයකට සහ ඉරානය අනෙක් පාර්ශ්වයට ඇතුළත්ව 2015 ජූලි 14 අත්සන් තබන ලද ගිවිසුම 'ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක අවබෝධතා සැලැස්ම JCOPA' නමි. මේ අනුව එකඟතාවට පැමිණි කරුණු නොඉක්මවා කටයුතු කිරීමට ඉරානය බැඳී සිටින අතර ඒ ගැන පරීක්‍ෂා කරන්නට IAEAට බලය පැවරෙයි. එසේම එම පරීක්‍ෂණවලදී එම ආයතනයට සහාය දෙන්නට ඉරානය බැඳී සිටියි. ඒ අනුව කටයුතු සාමකාමී අයුරින් කෙරීගෙන ගියේය.

මේ ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සහචර රාජ්‍ය ඉරානයට පනවා තිබි සම්බාධක පරමාණු බල ශක්ති ආයතනයේ වාර්තා පදනම් කැර ගනිමින් කෙමෙන් ලිහිල් කරන ලදි. එයින් ඉරානයේ ආර්ථික ශක්තිය කෙමෙන් වැඩි විය.

මේ අතර සිරියාවේ අරගලය කෙමෙන් යුද්ධයක් බවට පත් විය. ISIS සංවිධානය සිය කැලිෆේටය ප්‍රකාශ කොට සිරියාව එහි මූුලස්ථානය කැර ගැනීමේ අභිලාෂයෙන් සිරියානු රජයට එරෙහිව සටන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය දෙආකාරයකින් මෙයට සම්බන්ධ විය. මතුපිටින් එක් පිළිවෙතක් සහ යටින් තවත් එකක් වශයෙනි. ISIS පරාජය කිරීම සඳහා එළිපිටම කුර්දිශ් සටන්කාමීන්ට ආධාර කිරීම මතුපිටින් දිස් වූ අතර සිරියාවේ ජනාධිපති බෂිර් අල්-අසාද් පලවා හැර තමන්ගේ රූකඩ පාලනයක් එරට ස්ථාපිත කිරීම යටින් ගිය පිළිවෙතයි. සටනට එළැඹ සිටින අනෙක් පාර්ශ්වය වන සිරියානු විපක්ෂය සමග ඇමෙරිකාවේ එකඟත්වයක් ඇති බව පැවසේ.

මෙහිදී ඉරානය බෂිර් අල්-අසාද්ට සහාය පළ කළේය. ඊට මූලික හේතුව සුන්නි - ෂියා භේදයයි. ඉරානය ෂියා පාර්ශ්වයේ මූලස්ථානය සේ සැලකෙන අතර එරට ෂියා පාර්ශ්වයේ අලවිට්ස් ශාඛාවේ ලබ්ධික බෂිර්ට සහාය පළ කළේය. රුසියාවද අල්-අසාද්ට සහාය පළ කළ අතර ඒ නිසා අවසානයේ ඉසිස් ත්‍රස්තයන්ගේ කැලිෆේට් සිහිනය සුනුවිසුනුකැර දමන්නට හැකි විය.

මෙහිදී සුන්නි ඉස්ලාමයේ මූලස්ථානය ලෙස සැලකෙන සෞදි අරාබිය පාර්ශ්වයක් නොගත් නමුත් ඉසිස් සංවිධානයට ඔවුන්ගේ පක්ෂපාතීත්වය සහ ආධාර සැපයීම අනවරතව සිදුවිය. යේමනයේ පවතින සිවිල් යුද්ධයේදී සෞදි අරාබිය මානව හිමිකම් දැඩිව උල්ලංඝනය වන අයුරින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ඔවුන්ට එරෙහිව සටන් වැද සිටින හෞති කණ්ඩායමට ඉරානය සහාය පළ කරන බවට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. ජනාධිපති ට්‍රම්ප් කියන්නේ සම්බාධක ලිහිල් කිරීම නිසා ඉතිරි වන මුදල් ඉරානය ත්‍රස්ත සංවිධානවලට ආධාර කිරීම සඳහා යොදවන බවයි. නැවත සම්බාධක පනවන්නට හේතුව එයයි.

මේ අතර ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම අත්හැර නැති බවත් 2015ට පෙර ඔවුන්ගේ බලාගාර යනාදිය IAEAට විවෘත නොකරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය අලුත් අදහසක් ඉදිරිපත් කළේය. IAEA එම චෝදනාවද පරීක්‍ෂා කර බලන ලද නමුත් ඒවා සාවද්‍ය බව අනාවරණය කැර ලදුව ඉරානය JCOPA ගිවිසුම කිසිම ආකාරයකින් උල්ලංඝනය කර නොමැති බව වාර්තා කළේය. එහෙත් ඇමෙරිකාව සහ ඊශ්‍රායෙලය ඉන් සෑහීමකට පත් වන්නේ නැත.

1979 ඉරාන විප්ලවයෙන් පසු ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර හොඳ හිතක් නැත. මේනිසා සැම විටම ඇමෙරිකාවෙන් ඉරානයට කෙණෙහිලිකම් සිදුවෙයි. ෂා පාලන සමයේ ඉරානය විසින් ඇමෙරිකානු බැංකුවල තැන්පත් කරන ලද ඇ.ඩො. බිලියන ගණනක විශාල මුදල් කන්දරාවක් ඇමෙරිකානු රජයේ නියෝගය පරිදි ගල් කරනු ලැබ තිබේ.

ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ ආරම්භ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආශීර්වාදය ඇති ව ෂා පාලන සමයේය. 1979 විප්ලවයෙන් අයතොල්ලාවරුන් පාලනය අත්පත් කැර ගත් මුලදී එය පසෙක තැබිණි. එහෙත් බල ශක්ති අවශ්‍යතාව මත එම පර්යේෂණ දිගටම පවත්වා ගෙන යායුතු බව අනූවේ දශකයේදී තීරණය කරන ලදුව න්‍යෂ්ටික පර්යේෂණ නැවත ආරම්භ කරන ලදි. පසු කලෙක ඊට අදාළව එක්සත් ජාතින් වෙත පැමිණිලි ඉදිරිපත් වූ අතර සම්බාධක පැනැවිණි. මේ තත්වයෙන් ගොඩ ඒමට ඉරානයට අවශ්‍ය වූ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා පැමිණි එකඟතා අනුව JCOPA ගිවිසුම අත්සන් තබන ලද්දේය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාරක අවියක් ලෙස සම්බාධක උපයෝගී කැර ගන්නෙකි. එමඟින් රටවල් අසරණ බවට පත් කිරීම අතීතයේ සිටම ඇමෙරිකාව විසින් කර ගෙන යන ලද අතර වර්තමානයේ ට්‍රම්ප් එය දැඩි ලෙස එය ක්‍රියාත්මක කරමින් සිටියි. ඔහු කියන්නේ තමන් සම්බාධක පනවන රට සමග ගනුදෙනු කරන්නේ නම් ඒ රටවලටද සම්බාධක පනවනු ඇති බවය. බොහෝ රටවල් ඊට බියය.

ඉහත සඳහන් තර්ජනාත්මක ට්විටර් පණිවුඩය තබන්නට හරියටම වසරකට පෙර ඒ කියන්නේ 2018 මැයි 18 දින ඇමෙරිකා එක්සත් ජනපදය JCOPA වෙතින් තමන් ඉවත් වන බව නිවේදනය කළේය. ඉන්පසු ඉරානයට සම්බාධක පනවන ලද අතර අනෙක් රටවලටද ඉරානය සමග ගනුදෙනු නවත්වන ලෙස නියම කරන ලදි.

ගිවිසුම අත්සන් කළ අනෙක් රාජ්‍ය එනම් චීනය, රුසියාව, ෆ්‍රංසය, එක්සත් රාජධානිය සහ ජර්මනියද යුරෝපා සංගමයද ගිවිසුමෙන් ඉවත් නොවන බවත් තමන් දිගටම ඉරානය සමග ගනුදෙනු පවත්වන බවත් ප්‍රකාශයට පත් කළද ඇමෙරිකානු තර්ජන හමුවේ නිහඬය. එහෙත් ගනුදෙනු නවත්වා නැති බවද පැවසේ. ඉරාන බොරතෙල් ආනයනය නවත්වන්නට සිදුවීමෙන් ඉන්දියාව බරපතළ අර්බුදයකට මුහුණ දෙයි. චීනය නම් ඊට අනුගත නොවන බව පැහැදිලිය.

ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ ඉරානයේ පාලනය පෙරළා දමන්නටය. එහෙත් ඉරාකයේ හෝ ලිබියාවේ හෝ මෙන් එය පහසු කටයුත්තක් නොවේ. යුද්ධ කිරීමේ ආදීනව ඇමෙරිකානු නිලධාරීන් කෙසේ වෙතත් ජනාධිපතිවරයා දනී. ට්විටර් සටහන තැබූ ඉරිදා විකාශය වූ සීඑන්එන් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් නාස්ති වන මෙන්ම මිනිස් ජීවිත විනාශ කරන යුද්ධය භයානක දෙයක් බව ඔහු පැවසීය.

මේ වන විට පර්සියානු බොක්කේ ඇති නාවුක බලකායේ ප්‍රමාණය සහ ස්වභාවය අනුව ‘පහර දෙන්නට සූදානම්’යි හැඟවෙයි. එහෙත් ඉරානය දිගින් දිගටම ප්‍රකාශ කළේ යුද්ධයකට යන්නට තමන්ට ඇවැසි නොවන බවයි. එසේ නම් ජනාධිපති ට්‍රම්ප් අර වැනි ට්විටර් සටහනක් තැබුවේ ඇයි?

එදා උදේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයද පිහිටා ඇති අධි ආරක්‍ෂක කලාපයේ එම කාර්යාලයට තරමක් ඈතින් කත්සුයා වර්ගයේ රොකට් වෙඩිල්ලක් පතිත වී පුපුරා ගිය අතර ඉන් කිසිම ජීවිතයකට හෝ දේපළකට හානි සිදු නොවීය. බෝල්ටන් එය ඉරානයෙන් එල්ල වූ එකකි’යි එක් වරම නිගමනය කළේය. එය නිකුත් වූයේ බැග්ඩෑඩ් නගරෝපාන්තයේ අල්-හිදීර් නම් ස්ථානයේ සිට බව පසුව අනාවරණය කැර ගෙන ඇත. ඒ වනවිට බෝල්ටන් විසින් උසිගන්වනු ලැබූ ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩය නිකුත් කොට අවසන්ය.

ජෝජ් ගැලෝවේ නම් බ්‍රිතාන්‍ය දේශපාලනඥයා මෙන්ම කතුවරයාට අනුව එම ට්විටර් පණිවිඩය මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් තුන්වන ලෝක යුද්ධය නිවේදනය කළේ ය.

සම්බාධක පැනවීම්වලින් වැඩිම හානිය සිදු වන්නේ ගැබිනියන්ට, දරුවන්ට සහ රෝගීන්ටය. සම්බාධක නිසා යේමනයේ මිය ගිය දරුවන් සංඛ්‍යාව 400,000 ඉක්මවන බව සඳහන්ය. ඉරාකයේද තත්ත්වය යහපත් නොවේ. උතුරු කොරියාවේ සංඛ්‍යා ගැන කිසිවකු දන්නේ නැත. ඒවායින් විදහා දැක්වෙන්නේ සම්බාධක පනවන අයගේ නිර්දය බව මිස අන් යමක් නොවේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද සහ කරගෙන යමින් සිටින නොයකුත් දෑ මෙනෙහි කරන විට පැහැදිලි වන්නේ ඇමෙරිකාව පළමුවැනි ස්ථානයට ගෙන ඒමේ ඔහුගේ ව්‍යාපාරයේදී ලොව අනෙක් රටවලට කුමක් වුණත් කමක් නැතැයි ඔහු සිතන බවයි. ඔබාමා පාලන සමයේ අත්සන් තැබූ දේශගුණය පිළිබඳ පැරිස් සම්මුතියෙන් සහ JCOPA ගිවිසුමෙන් ඉවත්වීම ඔහුගේ එම ලක්ෂණය පෙන්නුම් කරන ප්‍රමුඛ විෂය දෙකයි.

මාතෘකා