සුඩානය කබලෙන් ළිපට

 ඡායාරූපය:

සුඩානය කබලෙන් ළිපට

පසුගිය සතියේ අප විදෙස් විසෙස් යටතේ ඉදිරිපත් කළේ සුඩානයේ 03වැනි සඳුදා වනවිට තත්ත්වයයි. එහෙත් එදාම සවස වාර්තා වුණේ සුඩාන හමුදාව නිරායුධ විරෝධතාකරුවන්ට හැකි සැම ආකාරයකින්ම පහර දෙන බවයි. ඒවා කඳුළු වායුවෙන්, පොලුවලින්, පිහිවලින්, සහ තුවක්කුවලින් යනාදී නොයෙක් ආකාරයේ ප්‍රහාරය. එදා සිට 9 වැනි ඉරිදා දක්වා කාලය තුළ හමුදා ප්‍රහාරවලින් ඝාතනය වුණු මුළු ගණන 118 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.

සුඩාන හමුදාව කොහොමත් ජන ඝාතනයේ අති දක්ෂයන්ගෙන් සැදුම් ලද්දකි. 1989 ජුනි 30 දින ඇරැඹී පසුගිය අප්‍රෙල් 11 දින අවසන් වූ ඔමාර් අල්-බෂිර්ගේ තිස් වසරක් තරම් දීර්ඝ කාලයක් තුළ එරට හමුදාවට පුරුදු පුහුණු කොට තිබුණේ හිංසාව, ස්ත්‍රී දූෂණ සහ ඝාතනයයි. යුද අවියක් ලෙස ස්ත්‍රී දූෂණය ඔවුන් විසින් බහුල ලෙස භාවිත කරන ලදි. ඉතින් එබඳු හමුදාවක් සියතට පාලනය ලැබුණු පසු හැසිරෙනු ඇති ආකාරය මේ හැර අන් කිසිවක් විය නොහැකිය. පුදුම විය යුත්තේ එසේ නොවුණා නම් පමණි.

ඔමාර් අල්-බෂිර්ට එරෙහිව ජනතාව ලක්ෂ ගණනින් පසුගිය දෙසැම්බරයේ වීදි බැස්සේ මුලදී ස්ථාවර ලෙස සංවිධානය වී නොවුණත් පසුව ඔවුන් විසින් ‘නිදහස සහ වෙනස සඳහා වන සංධානය’ (Allince for Freedom and Change - AFC) නම් එකමුතුවක් ස්ථාපනය කැරගන්නා ලදි. එම සන්ධානයට මාර්තු මාසයේදී සුඩාන වෘත්තික එකමුතුව (Sudanese Professional’s Association - SPA) එක් වීමෙන් විරෝධතා වඩා බලවත් විය. වෘත්තික එකමුතුව තුළ වෛද්‍යවරු, හෙද සේවය සහ සියලු අතුරු වෛද්‍ය සේවාවලට අයත් වන්නෝද ඉංජිනේරුවෝ සහ නීතිඥයෝද ප්‍රමුඛත්වය ගනිති.

පසුගිය අප්‍රේල් 15 දින එරට හමුදාව පාලනය සියතට ගත්තේය. සිදුවීම් පෙළ ගැස්ම අනුව මෙය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්ව තිබිණි. අල්-බෂිර් විසින් අඩපණ කරන ලද විපක්‍ෂය සිටියේ බෙලහීනවය. ඉහත සංවිධාන විසින් උද්ඝෝෂණය කරද්දී හමුදාව මැදිහත් වී ජනාධිපතිවරයා බලයෙන් පහකිරීම හැර අන් විකල්පයක්ද නොවීය. ඒ අනුව බලය අල්ලා ගත් හමුදාවේ නිලධාරීහු කැබිනට් මණ්ඩලයට අමතරව මිලිටරි කවුන්සිලයක් ස්ථාපිත කොට එමගින් කැබිනට් මණ්ඩලයට නායකත්වය දීම ඇරඹූහ. පසුව කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලද අතර ඔවුන් නිවාස අඩස්සි ගත කරන ලදි.

හමුදාව විසින් පත් කැර ගන්නා ලද අන්තර්වාර මිලිටරි කවුන්සිලයේ ( Transitional Military Council -TMC) දැන් සියලු ආකාරයේ පාලන කටයුතු මෙහෙයවයි. එහි ප්‍රධානියා වන්නේ ලුතිනන් ‍ෙජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුහ්රාන්ය. දැඩි නිලධාරියකු වන ඔහු මිනිස් ජීවිත ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නකු ලෙස ප්‍රකටය. අල්-බෂිර්ට හේග් අධිකරණයෙන් එල්ල වන එක් චෝදනාවක් වන ඩාර්ෆුර් හි අරාබි නොවන ජනයා සමූලඝාතනයට අණ දුන් නිලධාරියා මොහුය. 2003 වසරේ අැරැඹි එම ජන ඝාතන ව්‍යාපාරය නිසා අවම වශයෙන් 80,000ක් දෙනා මිය යන්නට ඇති බව පැවසේ. එය 500,000ක් තරම් විශාල බව ඇතැම් තැන්හි සඳහන්ය. ජනතාව ආරක්‍ෂා කිරීම පිණිස එක්සත් ජාතීන් විසින් සාම සාධක හමුදාවක් 2008 වසරේ එවන ලද අතර එක්සත් ජාතීන් විසින් ඒ සඳහා පසුගිය වසරේ තුන්වන කාර්තුව අවසානය දක්වා වැය කොට ඇති මුදල ඇ.ඩො.

බිලියන 16 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වේ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට වසර තුනක කාලයක් අවශ්‍ය බව හමුදාව පැවසූ අතර විරෝධතාකරුවන්ගේ නොඑකඟතාව ඊට පළ විය. මේ අනුව දෙපාර්ශ්වය අතර මතභේද හටගත් නමුත් සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මැයි 15දා දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුමකට එළැඹියෝය. වෙනත් කරුණුවලට අමතරව රටේ පාලනය සම්බන්ධයෙන් ඔවුන් එකඟතාවට පැමිණි ප්‍රධාන කරුණු තුනකි. අන්තර්වාර පාලනය සඳහා ස්වාධිපත්‍ය කවුන්සිලයක් පිහිටුවීම, අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම සහ ව්‍යවස්ථාපිත දේහය ගොඩනැඟීම යනු ඒ කරුණු තුනයි. මහමැතිවරණය වසර තුනකින් පසු පැවැත්වීම ව්‍යවස්ථාපිත දේහය ගොඩනැඟීම යන අංකයට ඇතුළත්ය.

මේ ගිවිසුමට එළැඹියද විරෝධතාකරුවන් සියල්ලන්ම ඊට එකඟ වූයේ නැත. ඔවුන්ගෙන් ඇතැම් සංවිධාන ඛාටුම් අගනුවර හමුදා මූලස්ථානය අසල ස්ථාපනය වූ කඳවුර විසුරුවන්නට එකඟ වූයේ නැත. මේ නිසා හමුදාව සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති විය. ශීඝ්‍ර සහාය හමුදාව (Rapid Support Forces –RSF) නම් පැරාමිලිටරි ඒකකය විසින් වීදි බැස කඳවුරු බැඳ සිටින්නන්ට ප්‍රහාර එල්ල කරන ලද අතර කඳවුර බිමට සමතළා කරන ලදි. පසුව ඒවා මනුෂ්‍ය ඝාතන දක්වා විස්තාරණය විය. ජුනි 04 දින අරඹන ලද වෙඩි ප්‍රහාරවලින් එදින තුළ පමණක් 100ක් පමණ දෙනා මියයන්නට ඇති බව පැවසුණද එය අවිනිශ්චිතය. හමුදා පාලනය ඒ බව ප්‍රතික්ෂේප කරයි. කෙසේවෙතත් නයිල් නදියෙන් මිනී 40ක් ගොඩ ගැනීම නිසා අවමය වශයෙන් එම සංඛ්‍යාවවත් මරා දමන්නට ඇති බවට සාක්‍ෂි

ගොඩනැඟිණි. වාර්තාවලට අනුව පසුගිය ඉරිදා පෙර සඳහන් 118ට තවත් හතරක් එක්ව තිබේ.

මුළුමනින්ම ඉස්ලාම් ලබ්ධිකයන් පමණක් සිටින සුඩානයේ රාම්ලාන් උපවාස සමය තුළ පවා විරෝධතා සහ ඊට එරෙහි ප්‍රහාර පැවැති අතර ඊද් උලෙළ දා පවා විවිඩ හඬ ඇසුණු බව සඳහන්ය.

මේ සිද්ධිවලින් පසුව පසුගිය 06දා අන්තර්වාර මිලිටරි කවුන්සිලය තමන් සහ විරෝධතාකරුවන්ගේ සන්ධානය අතර ඇති කැර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අවලංගු කරන බව ඒක පාර්ශ්විකව ප්‍රකාශයට පත් කළේය. රූපවාහිනියෙන් ජාතිය අමතමින් ලුතිනන් ‍ෙජනරාල් අබ්දෙල් ෆාටා අල්-බුහ්රාන් විසින් එදින එය ප්‍රකාශයට පත් කරන ලදි. ඉදිරි දින කිහිපය තුළ කැබිනට් මණ්ඩලයක් පත් කොට මාස නවයකින් මහ මැතිවරණයකට යන බවද ඔහු පැවසීය.

මේ අතර විරෝධතාකරුවන්ගේ ද එකඟත්වය ඇතිව ඉතියෝපියානු අගමැති අබි අහ්මඩ් මැදිහත්කරු ලෙස පත් කැර ගන්නා ලදි. ඔහු 7වැනි සිකුරාදා ඛාටුම් වෙත පැමිණ දේපාර්ශ්වය සමගම සාකච්ඡා කොට විසඳුමකට ගෙන එන්නට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැති බව වාර්තා වෙයි. එකඟතාවලට නොපැමිණියත් සාකච්ඡා මැනැවින් පැවැත්වුණු බව ඉතියෝපියා අගමැතිවරයාගේ නියෝජිතයෙක් පැවසූ බව ෆ්‍රාන්ස් 24 වාර්තාවක දැක්වෙයි. විසඳුම් යෝජනාවලියක් රැගෙන අබි අහ්මඩ් ඉදිරි දින කිහිපය තුළ සුඩානයට නැවත පැමිණෙනු ඇත.

කෙසේ වෙතත් ඔහු නික්ම යෑමෙන් පසු විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අත් අඩංගුවට ගත් බව සඳහන්ය.

පසුගිය 9වැනි ඉරිදා විරෝධතාකරුවන් විසින් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් අරඹන ලදි. හමුදාව පාලනය විසින් හතර දෙනෙක් මරා දමන ලද්දේ ඊට ප්‍රතිචාර වශයෙනි. දෙදෙනෙක් වෙඩි තැබීමෙන් සහ තවත් දෙදෙනකුට පිහියෙන් ඇනීමෙනි. ඒවා ඉහත සඳහන් පැරා මිලිටරි ඒකකයේ වැඩය.

සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයේ අරමුණ එදිනෙදා ජීවිතය අඩාළ කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කරන ලෙස මිලිටරි පාලනයට බල කිරීමය. මේ වන විට ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති අතර ඉන්ධන සඳහා දිගු පෝලිම් දක්නා ලැබෙන බව වාර්තා වෙයි. සෑම වෘත්තික ශ්‍රේණියකම සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ නිසා සේවා බොහොමයක් අඩාළ වී ඇති බව ද එම වාර්තාවල සඳහන්ය.

අල්-බෂිර්ගේ නැෂනල් කොංග්‍රස් පක්‍ෂයට එරෙහිව සිටි එරට දුබල විපක්ෂයේ දේශපාලන පක්ෂවන සුඩාන් කොංග්‍රස් පක්ෂයේ සහ උම්මා පක්ෂයේ නායකයන් මේ වනවිට හමුදා පාලනය යටතේ පොලිසිය විසින්

අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

පසුගිය සිකුරාදා හමුදාව විසින් ඛාටුම් අගනුවර තමන් විසින් පවත්වාගෙන ගිය මාර්ග බාධක සියල්ල ඉවත් කරන ලදි. ඉන්පසු විරෝධතාකරුවෝ පරණ ටයර්,

ලී කොට, විශාල ගස්වල අතු යනාදියෙන් මාර්ග අවහිර කළහ. ඒවා ශීඝ්‍ර සහාය හමුදාව විසින් ඉවත් කරනු ලැබීම නොකඩවා සිදුවේ. ඒ අවස්ථාවල දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වීම අනිවාර්යය.

අප්‍රෙල් 11දාම සුඩාන් ව්‍යවස්ථාදායකය විසුරුවා හැරිණි. ව්‍යවස්ථාදායකයේ මුළු ආසන සංඛ්‍යාව 500කි. ඉන් 450ක් සඳහා මැතිවරණ පැවැත්වෙන අතර ඉතිරි 50 ජනාධිපතිවරයාගේ මනාපය අනුව පත් කෙරේ. 2015 මහ මැතිවරණයේදී ආසන 24ක ප්‍රතිඵල නිකුත් නොකරන ලද අතර ප්‍රතිඵල නිකුත් වූ ආසන 426න් 324ක් ජනාධිපතිවරයාගේ නැෂනල් කොංග්‍රසයට හිමිය.

හදිසි මැතිවරණයකට ගියහොත් එහි ප්‍රතිඵලය ඔමාර් අල්-බෂිර්ට පක්‍ෂපාත කණ්ඩායම් නැවත බලයට පැමිණීම විය හැකි බව සුඩානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිනි රොස්ලන්ඩ් මාර්ස්ඩෙන් පෙන්වා දෙන බව බීබීසී වාර්තාවක දැක්වේ.

මේ අතර සෞදි අරාබිය, එක්සත් අරාබි එමයිරේට් සහ තවත් රාජ්‍ය කිහිපයක් හැරුණුවිට ලොව බොහෝ රටවල් විරෝධතාකරුවන්ගේ පැත්තේ සිටියි. අැමෙරිකා එක්සත් ජනපදය ද තවමත් ඒ පැත්තේය. එහෙත් රුසියාවේ සහ චීනයේ පිළිවෙත පැහැදිලි නැත. ඒ දෙරටම

අල්-බෂිර්ගේ මිතුරන්ය. ඊට හේතුව මේ රටවල් දෙකම සුඩානයේ ව්‍යාපාර පවත්වාගෙන යෑමයි. ඩාර්පූර් සමූහ ඝාතනවලට අනුබල දෙන්නේයැයි කලෙක චීනයට චෝදනා එල්ල විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී පසුගිය සතියේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් වී ඇති අතර සුඩානයට සම්බාධක පැනවීමට ඔවුන්ගේ නොඑකඟතාව පළවී තිබේ. සුඩානයට එරෙහිව විදෙස් හමුදා මැදිහත්වීමක් වෙතොත් රුසියාව ඊට එරෙහි බව එරට නියෝජ්‍ය විදේශාමාත්‍ය මෙන්ම මැදපෙරදිග කලාපයට සහ අෆ්‍රිකාවට රුසියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත මිඛායෙල් බොන්දනොව් පැවසූ බව රුසියානු පුවත් ඒජන්සියක් වන rt හි සඳහන් වේ.

අෆිකානු සංගමය විසින් සුඩානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබ ඇති අතර යුරෝපා සංගමය සම්බාධක පනවන්නට තීරණය කොට තිබේ.

මේ අතර අප්‍රේල් 15 දින එතෙක් නිවාස අඩස්සිගතව සිටි හිටපු ජනාධිපති ඔමාර් අල්-බෂිර් ඛාටුම්හි කොබර් සිර ගෙදර විශේෂ මැදිරියකට රැගෙන යන ලදුව එහි රඳවා තබනු ලැබ සිටියි. ජනඝාතන චෝදනා යටතේ සහ දෙසැම්බර් මස ඇරැඹි විරෝධතාවලට වෙඩි ප්‍රහාර එල්ලකරන්නට හමුදාවට නියෝග කිරීම මේ වනවිට ඔහුට එල්ල කරන්නට නියමිත චෝදනා බව සඳහන්ය. ව්‍යවස්ථාදායකයේ කථානායකවරයා තවමත් නිවාස අඩස්සියේ පසුවෙයි.

මාතෘකා