ඕමාන් බොක්කේ චණ්ඩ කුණාටු

 ඡායාරූපය:

ඕමාන් බොක්කේ චණ්ඩ කුණාටු

ඉරාණය එක් පාර්ශ්වයක් ලෙස සහ ලෝක බලවතුන් පස් දෙනා සහ ජර්මනිය අනෙක් පාර්ශ්වය ලෙස අත්සන් තබන ලද ඉරාණය නිර්-න්‍යෂ්ටිකකරණය කිරීම සඳහා වන ‘ඒකාබද්ධ ක්‍රියාත්මක අවබෝධතා සැලැස්ම JCOPA’ නම් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය 2018 මැයි 18 වැනි දින ඒකපාර්ශ්විකව ඉවත් වූයේ ඉරාණය ෂියා ත්‍රස්ත කල්ලි නඩත්තු කරන්නේය යන චෝදනාව එල්ල කරමිනි. එසේ කරන්නට අැමෙරිකා එක්සත් ජනපදය පොළඹවන ලද්දේ ඊස්‍රායෙලය සහ සෞදි අරාබිය විසිනි. ඉරාණය සමග සෞදි අරාබියේ කෝපය ඇත්තේ ඉරාණය ඉස්ලාම් ලබ්ධියේ ෂියා පාර්ශ්වය නියෝජනය කරන එම පාර්ශ්වයේ මූලස්ථානය වන හෙයිනි. සෞදි අරාබිය සුන්නි පාර්ශ්වයේ මූලස්ථානයයි.

ලොව පුරා සිදුවන ඉතා භයානක මෙන්ම ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන සිදු කරන්නේ සුන්නි ලබ්ධිකයන් විසිනි. ඔවුන් විසින් මෑත කාලීනව ඉස්මතු කොට ශීඝ්‍රයෙන් සමාජගත කරන ලද බුර්කා නම් ස්ත්‍රී ඇඳුම උපයෝගි කැර ගනිමින් මනුෂ්‍ය ඝාතනය මේ වනවිට ලොව පුරා පැතිර යමින් පවතියි. වයඹ දිග පාකිස්තානයේ රෝහලකට තාලිබාන් කල්ලිය පසුගිය ඉරිදා බුර්කාවකින් සියොලඟ ආවරණය කැර ගන්නා ලද ස්ත්‍රියක මගින් එල්ල කරන ලද ස්වයංඝාතක ප්‍රහාරයෙන් 10ක් මියගොස් 30ක් තුවාල ලැබූ බව වාර්තා විය.

ඊස්‍රායෙලය සිරියාවේ ගෝලාන් කඳුකරයේ සෑහෙන කොටසක් අල්ලා ගෙන එහි ජනාවාස පවත්වා ගෙන යයි. ISIS නැතහොත් IS යනුවෙන් සරල ලෙස හැඳින්වෙන, ශ්‍රී ලංකාවේ අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම බාරගත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය’ නම් සංවිධානය පවා ඊස්‍රායෙලයේ මේ ක්‍රියාවට එම සංවිධානය මදුරුවකුගේ මට්ටමින්වත් ප්‍රහාරයක් එල්ල කළේ නැත.

මෙහිදී සිරියාවේ නීත්‍යනුකූල රජය රැක ගැනීමේ අරමුණින් ඉරාණය ඊට සහාය දෙයි. වවිධ මිලිටරිමය ආධාර සහ බළසේනා එසේ ලබා දෙන ආධාර අතර ප්‍රමුඛය. මේ නිසා ඊස්‍රායෙලයට සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ රජය පෙරළා දමන්නට ඊස්‍රායෙලයට සහ දුරස්ත වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇති වුවමනාව සාක්ෂාත් කැර ගත නොහැකිය.

ඉරාණය කෙරේ ඇති ඊස්‍රායෙලයේ පැසවන වෛරය එරට කලාපීය සහයෝගිතා අමාත්‍ය සාචි හැනෙග්බිගේ මුවින් පසුගිය ඉරිදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී හෙළි විය. සිය රට ඉරාණීයයන් ඝාතනය කරන එකම රට බව ඔහු වාගාඩම්බර විය. පසුගිය වසර දෙකක පමණ කාලයක් පුරා තම හමුදා විසින් සිය ගණනක් ඉරාණීයයන් මරා දමන ලද බව පැවසූ ඔහු ඉරාණයට එරෙහිව කෙළින්ම යුද වැදී සිටින මේ මිහිපිට සිටින එකම රට තම රට බව පැවසීය. මෙයට ඇමරිකාවේ පිටුබලය නොලැබී ගියහොත්? යි මාධ්‍යවේදියකු විසින් නඟන ලද පැනයට පිළිතුරු දුන් ඇමතිවරයා එවැන්නක් පිටපතේ නැති බව කී ය.

ඊස්‍රායෙල අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ඉරාණ රජයේ ප්‍රතිචාරය ඊයේ දහවල් වන තෙක් ප්‍රකාශයට පත් ව නොතිබුණු නමුත් ඉරාණයේ ප්‍රෙස්ටීවි නම් ආයතනයක් විසින් තබන ලද ට්විටර් පණිවුඩයක් මගින් ඒ ප්‍රකාශය විවේචනය කොට තිබිණි. ‘ඔවුන් ඉරාණීයයන් මරා දමන බව නිදහස් ව සහ සාඩම්බර ලෙස උදම් අනනවා. අනෙක් පාර්ශ්වය එසේ කීවොත් මොනවා වෙයිද?’යි එම සටහනේ දැක්වෙයි. මෙහි අරුත් දෙකක් තිබේ. එකක් නම් සිදුවන්නේ එහි විලෝමය ඒ කියන්නේ ඊස්‍රායෙලය විසින් ඉරාණීයයන් මරා දැමීම නොව ඉරාණය විසින් ඊස්‍රායෙල් ජාතිකයන් මරා දැමීම බවයි. අනෙක ඉරාණය එවැනි ප්‍රකාශයක් කළා නම් තමන්ට එරෙහිව මුළු ලොවම අවි අතට ගන්නා බවයි.

මේ පුවත් හමුව පැවැත්වුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ගල්ෆ් බොක්ක කලාපයේ චණ්ඩ කුණාටුවක් හමමින් තිබෙන අවස්ථාවේය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ ස්වභාවය ගොටුවක් වැනිය. එක්සත් අරාබි එමයිරේටය සහ ඕමානය දෙසින් නෙරුවක් පවතින අතර ඉරාණයේ ඊට සමාන අන්දමේ බොක්කක් වෙයි. ලොව වාණිජ නැව් ගමනාගමනයෙන් පහෙන් එකක් පමණ සිදුවන්නේ මේ පටු සමුද්‍ර තීරුවෙනි. මේ අතර අන්තර්ජාතික පොදු මුහුදක් නොමැත. ගොඩබිම මෙන්ම සාගරයේද රාජ්‍ය අතර සීමා එක් රේඛාවක දෙපැත්තේ පවතියි. ඒ නිසා මේ හරහා ගමන් කරන යාත්‍රා එක්කෝ ඉරාණ මුහුදු සීමාවෙන් නැත්නම් ඕමාන සහ එක්සත් අරාබි එමයිරේට් සීමාව තුළින් යා යුතුය. මේ නිසා මේ අතර අන්තර්ජාතික වශයෙන් පොදු සමුද්‍ර තීරුවක් තිබිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දෙයි.

ඒ නිසාය, ඇමරිකාව තමන්ට අලුතින් සම්බාධක පැනවූ මුල් දවස්වලම වාගේ ඉරාණ ජනාධිපතිවරයා ‘හොඳයි මේ පැත්තෙන් යන නැව් ගැන අපි බලා ගන්නම්’යි අනතුරු ඇඟවීමක් කළේ. පසුගිය සිකුරාදා ඉරාණය සිය මුහුදු සීමාව තුළින් ගමන් ගත් බ්‍රිතාන්‍ය ධජය දැරූ ඉන්ධන ප්‍රවාහන නැවක් සිය බාරයට ගත්තේය. ස්ටෙනා ඉම්පීරෝ නම් ඒ නැව ස්වීඩනයේ සමාගමකට අයත් වූවකි.

ඊට පෙර ඉරාණ හමුදාව විසින් බ්‍රිතාන්‍ය සමාගමකට අයත් මේස්ඩාර් නමැති වෙනත් නෞකාවක්ද රැඳවුම් බාරයට ගන්නා ලද නමුත් සමුද්‍ර නීති උල්ලංඝනය නොකරන ලද්දේයැයි තීරණය කරන ලදුව ඉදිරියටත් එසේ නොකරන ලෙස අවවාද කොට නිදහස් කරන ලදි.

ස්ටෙනා ඉම්පීරෝ නැව ඉරාණය විසින් රඳවා ගන්නා ලද්දේ එය හෝමුස් පසුකරමින් සිටි අවස්ථාවේදී ඉරාණයේ හමුදාව වන ඉස්ලාමීය විපල්වකාරී හමුදාවේ සංඥාවලට ප්‍රතිචාර නොදැක්වීම නිසා බව සඳහන්ය. නැවේ ස්වීඩන් හිමිකරු පවසන්නේ සිය නැව හෝමුස් හරහා ගමන් කරමින් සිටිනා අතරතුර ඉරාණ හෙලිකොප්ටර් සහ බෝට්ටු විසින් එයට බාධා පමුණුවන ලද නිසා සංඥා නිසි ආකාරව ක්‍රියාත්මක නොවූ බවයි.

පෙර සතියේ ඇ‍ෙමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ගුවන් හමුදාවට තුති පුද කිරීමේදී මුව නොපමණ බවක් දැනිණි’යි වාර්තා විය. ඊට හේතු වූයේ ඔවුන් විසින් තමන් ආරක්‍ෂාව සපයමින් සිටි ඇමරිකානු වාණිජ නෞකාවක ඔත්තු බැලූ ඉරාණීය ආවේක්‍ෂණ ඩ්‍රෝන යානාවක් බිම හෙළීම ගැනය. එහෙත් එය සාවද්‍ය බව ඉරාණය විසින් පසුව සාධක සහිතව පෙන්වා දෙන ලදි. ඊට කලකට පෙර ඉරාණය අඩි හැටහය දහසක් ඉහළ අහසේ තිබු එබඳු යානාවක් බිම හෙළන ලද අතර එහි සුන්බුන්වල ඡායාරූප මාධ්‍යයට ඉදිරිපත් කොට තිබිණි.

පසුගිය මස මුල් සතියේ බ්‍රිතාන්‍යයේ සයුරෙන් එතෙර සමුද්‍ර සීමාවක (overseas teritory) පිහිටි ජිබ්රෝල්ටාර් හිදී ග්‍රේස් 1 නමැති ඉරාණ නැව රඳවා ගන්නා ලදි. එය කරන ලද්දේ ජිබ්රෝල්ටාහි ප්‍රධාන අමාත්‍ය ෆේබියන් පිකාඩෝගේ විධානයෙනි. යුරෝපා සංගමයේ තහංචි නොතකා සිරියාවට භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියේය යන්න චෝදනාව වෙයි. ඉන්පසු පිකාඩෝ බ්‍රිතාන්‍යයට ගොස් අගමැතිනි තෙරේසා මේ සහ විදේශ ලේකම් ජෙරමි හන්ට් හමු වීමෙන් පසු නැව රඳවා ගන්නා කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කැරිණි. ඒ අනුව ග්‍රේස් 1 රඳවා ගෙන සිටින්නේ ජිබ්රෝල්ටා නොව මහා බ්‍රිතාන්‍යයි. ස්ටෙනා ඉම්පීරෝ පැහැර ගැනීම ඊට එකටෙක කිරීමක් බව පවසේ. ඒ ක්‍රියාව අග්‍රේශ නායක අයතොල්ලා ඛමෙයිනිගේ සහ ජනාධිපති හසන් රෞහානිගේ නියාමනය යටතේ සිදු වූවක් බව පැවසේ.

ඕමාන් මුහුදු බොක්ක හරහා පෙට්රෝලියම් ප්‍රවාහනය කරමින් තිබූ නැව් දෙකකට දකුණු ඉරාණ වෙරළෙන් කි.මී. 40 පමණ දුරකදී ජුනි 13දා ප්‍රහාර දෙකක් එල්ල විය. ඒවායින් එම නෞකා විනාශ නොවුණත් සෑහෙන හානි සිදුවූ බව සඳහන්ය. මින් එකක් නෝර්වීජියානු සමාගමකට අයත් ‘ෆ්රන්ට් අල්ටෙයාර්’ වන අතර අනෙක ජපාන සමාගමකට අයත් ‘කොකුකා කරේජස්’ නම් විය. සිද්ධිය වූ වහාම ඇ‍ෙමරිකා එක්සත් ජනපදය ඉරාණයට චෝදනා කළේය. එම චෝදනාවට සාක්ෂි ලෙස ඉරාණ බෝට්ටුවක් ගිනි ගන්නා නැව වෙත ළඟා වන දර්ශන පෙළක් ඉදිරිපත් වුවද ඒ බෝට්ටුව ඒ වෙලාවේ එහි ළඟා වුණේ දැවෙන නැවෙන් දුන් රේඩියෝ පණිවුඩයකට අනුව කාර්ය මණ්ඩලය ගලවා ගන්නට බව පසුව අනාවරණය විය. මේ වනවිට හෝමුස් සමුද්‍ර සන්ධිය අවට මුහුදේ තැනින් තැන සථානගත කොට තිබෙන යුද නැව් ප්‍රමාණය සහ ඒවායේ ආවේක්‍ෂණ හැකියාව අනුව සලකා බලන විට කිසියම් කෙනෙකුට එම නැව්වලට නොදැනී එබඳු ප්‍රහාරයක් එල්ල කළ හැකිවේද යන්න සැක සහිතය.

2018 මැයි 18 දින JCOPA වෙතින් තමන් ඉවත් වන බව ඇ‍ෙමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. ඉන්පසු ඉරාණයට සම්බාධක පනවන ලද අතර අනෙක් රටවලටද ඉරාණය සමග ගනුදෙනු නවත්වන ලෙස නියම කරන ලදි. හරියටම ඉන් වසරකට පසු පසුගිය මැයි 19දා ඔහු සිය ට්විටර් ගිණුම උපයෝගී කැර ගනිමින් ලොවට මෙසේ දැන්වීය:

‘ඉරාණයට සටන් කරන්නට අවශ්‍ය නම් එය ඉරාණයේ නිල අවසානය වනු ඇත. නැවත ඇ‍ෙමරිකා එක්සත් ජනපදයට තර්ජනය කිරීමෙන් වළකිනු’

එහෙත් ඉරාණය තමන්ට තර්ජනය කළේ කෙසේද කියා හෝ ඉරාණයේ අවසානය එළැඹෙන්නේ කෙසේද කියා හෝ ඔහු විස්තර කළේ නැත.

ඉරාණය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරමින් සිටින්නේය යන චෝදනාව කලක පටන් එල්ල වෙමින් පැවැතියකි. එහෙත් තමන් නිරතව සිටින්නේ යුරේනියම් සුපෝෂණය (Uranium Enrichment) සහ න්‍යෂ්ටික ප්‍රාගුණ්‍යය (Nuclear Proliferation) මගින් බලශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක පමණක් බව එරට කියා සිටියේය. මේ කාරණා විභාග කරන්නට එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති ඒජන්සියට (IAEA) පැවරුණු අතර එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2013 වසරේ ගිවිසුමක් සකස් කරන ලදි. පාර්ශ්වකරුවන් වශයෙන් පංච මහා බලවතුන්ද ජර්මනියද (P5+1) එක් පාර්ශ්වයකට සහ ඉරාණය අනෙක් පාර්ශ්වයට ඇතුළත්ව 2015 ජූලි 14 අත්සන් තබන ලද ගිවිසුම ‘ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක අවබෝධතා සැලැස්ම JCOPA’ නමි. මේ අනුව එකඟතාවට පැමිණි කරුණු නොඉක්මවා කටයුතු කිරීමට ඉරාණය බැඳී සිටින අතර ඒ ගැන පරීක්‍ෂා කරන්නට IAEAට බලය පැවරෙයි. එසේම එම පරීක්‍ෂණවලදී එම ආයතනයට සහාය දෙන්නට ඉරාණය බැඳී සිටියි. ඒ අනුව කටයුතු සාමකාමී අයුරින් කෙරීගෙන ගියේය.

ඉහත සඳහන් තර්ජනාත්මක ට්විටර් පණිවුඩය තබන්නට හරියටම වසරකට පෙරය, ඇ‍ෙමරිකා එක්සත් ජනපදය JCOPA වෙතින් තමන් ඉවත් වන බව නිවේදනය කළේ. ඉන්පසු ඉරාණයට සම්බාධක පනවන ලද අතර අනෙක් රටවලටද ඉරාණය සමග ගනුදෙනු නවත්වන ලෙස නියම කරන ලදි.

සිය ධජය යටතේ ගමන්ගත් නෞකාව රඳවා ගැනීම නිසා ඉරානයට එරෙහිව සටන් අරඹන්නට තමන්ගේ සූදානමක් නොමැති බව මේ අතර බ්‍රිතාන්‍යය නිවේදනය කළේය.

පසුගිය සතියේ ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියේ සිය හමුදා ස්ථාන ගත කරන්නට තිරණය නොට ඇති අතර එය සෞදි අරාබියේ බින් සල්මාන් රජු විසින් මහත් හරසරින් පිළිගන්නා ලද බව වාර්තාවල දැක්වේ.

නිසංසලේ තිබූ ඕමාන් බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය යන පෙදෙස්වල කුණාටුවක් නිර්මාණය කරන ලද්දේ ඇ‍ෙඅමරිකා එක්සත් ජනපදය විසින් බව ඉතා පැහැදිලිය. තරමක සැනසිමකට ඇත්තේ එරට ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන්ට ඇති යුද උන්මාදය ජනාධිපති ට්‍රම්ප්ට නොමැති විමයි. යුද්ධයකදී විය හැකි විනාශය සිතින් තක්සේරු කළ නොහැකි වන අතර යුද්ධය අවසන් වූ පසුද ගණනය කළ නොහැකි තරම් බව ජනාධිපති ට්‍රම්ප් දැන සිටීම ඊට හේතුවයි.

මාතෘකා