G20 සමුළුවේ දේශගුණයට මුල් තැන

 ඡායාරූපය:

G20 සමුළුවේ දේශගුණයට මුල් තැන

පසුගිය සෙනසුරාදා මිලියන සංඛ්‍යාත හුආවි දුරකතන හිමියන්ට සුබදායක ආරංචියක් දැන ගන්නට ලැබුණේය. ඒ මසකට අධික කාලයක් ඔවුන්ගේ සිත් අඳුරු කළ දුමානය අහෝසි වූ බව දැන ගන්නට ලැබීම හේතුවෙනි.

ලොව පළමු ආර්ථිකයට හිමිකම් කියන ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනය සමඟ ඊර්ෂ්‍යාව මුසු නොරිස්සුමකින් පසුවන බව ලොවට රහසක් නොවේ. ‘ඇමෙරිකාව 1’ යන ආදර්ශ පාඨය සිය බැනරයේ ප්‍රදර්ශනය කරමින් 2016 ජනාධිපති ධුර ප්‍රාප්තික ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව නිකම්ම 1 ස්ථානයේ නොව 2 ස්ථානයට වඩා බොහෝ ඉහළින් පවත්වා ගන්නට දරන වෑයම ලොව අනෙක් රටවලටද අතිශය අහිතකර ලෙස බලපාන බවද එසේම නොරහසකි. ඒ නිසා ඔහු මේ වන විට චීනය සමඟ නොයෙක් ආකාරයේ වෙළෙඳ ආරවුල් උද්ගත කරගත් බවද ප්‍රකටය. චීනයේ හුආවි සමාගමේ ස්මාර්ට් ෆෝන් අලෙවිය පහත දමන්නට ඔහු යෙදූ උපක්‍රමය ඉහත කාරණා සමඟ අනුගත වෙයි.

චීන සමාගමක් වන හුආවි නිෂ්පාදන ආයතනය යනු අලෙවිය අතින් ලොව දෙවැනි ස්ථානයේ සිටින ස්මාර්ට් ෆෝන් නිෂ්පාදකයාය. ජනාධිපති ට්‍රම්ප් පළමුව එහි ප්‍රධාන විධායක නිලධාරිනි මෙන්ම හිමිකරුගේ දියණියද වන මෙන් වන්ෂඋ අත්අඩංගුවට ගැනීම මෙම සමාගම සමඟ අර්බුදයක් ඇතිකර ගැනීමේ සිද්ධි මාලාවේ මුල්ම අවස්ථාව ලෙස සැලකිය හැකිය. ඊළඟට අලුතින් සම්මත කරන ලද පනතක් අනුව එම සමාගමේ කටයුතු ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේය යන චෝදනාව නඟන ලදී. ඒ අනුව ඇමෙරිකානු සමාගම් වන ඇන්ඩ්‍රොයිඩ්, ගූගල් වැනි සමාගම් හුආවි දුරකතනවලට සිය තාක්ෂණික උපකාරක දීම අත්හිටුවනු ලැබීය. නිකුත් කරන ලද දුරකතනවල ඒවා අක්‍රිය නොකෙරෙන නමුත් යාවත්කාලීන කිරීම් ලබා නොදෙනු ඇත. මේවායින් හුආවි සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට මරු පහරක් වැදුණු බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමත් ව්‍යාපාරික බාධා පැමිණවීමත් වෙන වෙනම ගත යුතු සිද්ධි දෙකක් බව සඳහන් කළ යුතුය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුදය යුද්ධයක් තරමට උග්‍රය. ඒ නිසා මාධ්‍ය එය හැඳින්වීමට ‘වෙළෙඳ යුද්ධය’ යන පදය යොදනු දැකිය හැකිය. මෙය නිරාකරණය කරගනු වස් චීන නියෝජිත පිරිස් වොෂින්ටනයට ගොස් සාකච්ඡා පැවැත්වුවද සාර්ථක ප්‍රතිඵල අත්නොවූයෙන් චීන රජය සාකච්ඡා අත්හිටුවීය. ඊට හේතුව ඇමෙරිකාව සිය ප්‍රතිපත්තියේ අනම්‍යවීමයි.

චීනය සහ ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ හිඟය මඟහැරවීමට ඇමෙරිකාව විසින් ගත් මේ පියවර නිසා චීනයට බොහෝ අලාභ සිදුවිය. ජනාධිපති ට්‍රම්ප්ට අවශ්‍ය වූයෙත් එයමය.

2019 G20 සමුළුව පැවැත්වුණේ මේ අතරවාරයේය. එහිදී දෙරට ජනාධිපතිවරුන් අතර සුහද තත්ත්වයෙන්, ප්‍රධාන සංසිද්ධියෙන් බැහැරව (sidelined) රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්විණි. නැවත දෙරට අතර සාකච්ඡා ආරම්භ කරන්නට එකඟත්වයකට පැමිණ ඇති අතර හුආවි දුරකථන සඳහා පනවා තිබූ සම්බාධක සියල්ල ඉවත් කරන්නට ජනාධිපති ට්‍රම්ප් යුහුසුලු විය. ඉදිරියේදී චීනයට පනවන්නට නියමිත ඇ.ඩො. බිලියන 300ක අතිරේක ආනයන බදුද අත්හිටුවන බව ඔහු චීන ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ. මෙය ‘නැවත පීල්ලට වැටීම’ ලෙස අල්-ජසීරා වෙබ් අඩවියේ දැක්වේ. එහෙත් ජනාධිපතිවරුන් දෙදෙනා සම්මුතියකට හෝ ප්‍රතිසන්ධානයකට එළැඹුණු මනෝභාවවලින් යුතුව නොසිටි බව ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන අලි-ඛාන් සැචු අල්ජසීරා රූපවාහිනියේ ‘ඉන්සයිඩ් ස්ටෝරි’ නම් වැඩසටහනේදී තර්කානුකූලව පෙන්වා දී තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන G20 හෙවත් 20 දෙනාගේ කණ්ඩායමේ රැස්වීම මෙවර ජපානයේ ඔසාකා නුවරදී පසුගිය 28 සහ 29 දෙදින පුරා පැවැත්විණි. සාමාන්‍යයෙන් එය කතා සාප්පුවක් ලෙස හැඳින්වෙතත් මෙවර සමුළුව නම් කිසියම් අපේක්ෂාවක් ශේෂ කළ බව සඳහන් ය.

G20 යනු ලොව බලවත්ම ආර්ථිකවලට හිමිකම් කියන රාජ්‍ය 19 සහ යුරෝපා සංගමයයි. ඒ රාජ්‍ය 19 වනුයේ අප්‍රිකා මහාද්වීපයෙන් දකුණු අප්‍රිකාව, ඇමෙරිකා මහාද්වීපයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ආර්ජන්ටිනාව, ආසියා මහාද්වීපයෙන් චීනය, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, තුර්කිය සහ සෞදි අරාබිය, යුරෝපා මහාද්වීපයෙන් ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, රුසියාව සහ ඔස්ට්‍රේලියාවයි.

සමුළුවට සහභාගි වන ඒ ඒ රටවල දූත පිරිසේ නායකත්වය දරන්නේ ඒ ඒ රටවල රාජ්‍ය ප්‍රධානියාය. ඒ සමඟ ඒ ඒ රටවල මුදල් අමාත්‍යවරු සහ විදේශාමාත්‍යවරුද සහභාගි වෙති. සෞදි අරාබි කණ්ඩායමේ ප්‍රධානියා විය යුත්තේ එරට රජු නමුත් මෙවර ඊට සහභාගි වූයේ තත්ත්වාකාර රාජ්‍ය නායකයා (de-facto leader) මෙන්ම ඔටුන්න හිමි කුමාරයාද ආරක්‍ෂක අමාත්‍යවරයාද වන මොහමඩ් බින් සල්මාන්ය. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් එරට නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දැරුවාය. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, මෙක්සිකෝ, ආර්ජෙන්ටිනා, ප්‍රංශය, ඉන්දුනීසියාව, තුර්කිය සහ දකුණු කොරියාව යන රටවලින් ජනාධිපතිවරුන් සහභාගි වූ අතර අනෙක් රාජ්‍යවල කණ්ඩායම් ඒවායේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණුනහ. යුරෝපා කොමිසමේ සභාපති සහ යුරෝපා කවුන්සිලයේ සභාපති යන දෙදෙනා යුරෝපා සංගමය නියෝජනය කළහ.

මේ කණ්ඩායම දළ ලෝක නිෂ්පාදිතයෙන් සියයට 90කටම දායකත්වය දරයි. යුරෝපා සංගමය බැහැර කළත් අනෙක් රාජ්‍යවල එම ප්‍රමාණය 75%කි. ලොව ජනගහණයෙන් තුනෙන් දෙකක් දිවි ගෙවන්නේ ලොව සමස්ත භූමි ප්‍රමාණයෙන් අඩක්ම පුරවන මේ රාජ්‍යවලය.

පරිසරය, වෙළෙඳාම සහ ආර්ථික කටයුතු පිළිබඳව සමුළුවේ අවධානය සිරිත් පරිදි යොමු විය. ඊට අමතර වශයෙන් මිලිටරිකරණය සාකච්ඡාවට ගැනිණි. මේ සෑම විෂයකදීම ඇමෙරිකාවේ ක්‍රියාකලාපය විවේචනයට ලක් වූ බව සඳහන්ය.

‘අපි නිදහස්, සාධාරණ එමෙන්ම අසාධාරණ සාධක මත වෙනස්කම් නොදක්වන සහ ස්ථායී ආයෝජන පරිසරයක් සහ අපගේ වෙළෙඳපොළ විවෘතව තබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමු. අන්තර්ජාතික වෙළෙඳාම ආයෝජනයේ, අන්වේෂණයේ, රැකියා උත්පාදනයේ සහ සංවර්ධනයේ වැදගත් යාන්ත්‍රික බලවේගය වෙයි. ඒ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අපි ලෝක වෙළෙඳ සංවිධානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණවලට අපගේ සහාය පළ කරමු.’ ඒ සමුළුව අවසානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් ඡේදයකි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශක්තිමත් කිරීමෙන් ගෝලීය මූල්‍ය ආරක්ෂාව තහවුරු කරන්නට සියලු පියවර ගන්නා බවට සහතිකයක්ද එම නිවේදනයේ ඇතුළත්ය.

මීට අමතරව පරිසර දූෂණය සම්බන්ධවද වැදගත් යෝජනා එම නිවේදනයේ ඇතුළත් වෙයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික පැනලයේ සහ ජෛව විවිධත්ව සහ පරිසර සම්පත් පිළිබඳව අන්තර් රාජ්‍ය විද්‍යා ආයතනයේ වාර්තා පිළිබඳව සහ පැරිස් සම්මුතිය ගැනද එහි සැලකිල්ල යොමු වීම වැදගත්ය. මෑතක සිදුවූ බරපතළ කාලගුණ වෙනස්කම්, ඒවායේ ප්‍රතිඵල ලෙස ඇති වූ ආපදා කෙරේ අවධානය යොමු කරන සමුළුව දේශගුණ විපර්යාස, වාතය, භූමිය සහ ජලය යන ස්වාභාවික සම්පත් කළමනාකරණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීමද ඇතුළත් සමුද්‍ර දූෂණය, ජෛව විවිධත්ව අහිමිවීම්, නිෂ්පාදනය සහ පරිභෝජනය නිසා උද්ගත වන පාරිසරික ගැටලු, බලශක්ති සංක්‍රමණය ආදී කරුණු විද්‍යාත්මකව විශ්ලේෂණය කරමින් තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද අවධාරණය කරයි.

පරිසරයට අදාළ පැරිස් සම්මුතිය පිළිබඳව සඳහන් කරුණුවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයන් විසින් සිය විරෝධය පළ කරන ලදි. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය එම ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් වැළකී සිටි අතර අනෙක් 19 දෙනා විසින්ම අත්සන් තැබිණි.

මෙවැනි සමුළුවල විශේෂත්වයක් වනුයේ ඒවා පැවැත්වෙන කාලය තුළ මූලික සමුළුවෙන් පරිබාහිරව පැවැත්වෙන ආංශික හමුවීම් (sideline)ය. මේවා ඉතා වැදගත්ය. ඉහත සඳහන් ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන්ගේ සාකච්ඡා පැවැත්වුණේ එවැනි ආංශික හමුවීමකදීය. මෙහිදී එවැනි ආංශික හමුවීම් කිහිපයක්ම පැවැත්වුණු බව සඳහන්ය.

ඒ අතරින් වැදගත් එකකි ‘බ්‍රික්ස්’ (BRICS) නායකයන්ගේ හමුවීම. බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල නම්වල මුල් අකුරු යොදා සාදා ගැනුණු වචනයයි. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඍජුවම රුසියාවට පනවන ලද සම්බාධක සහ ඉරානයට පනවන ලද සම්බාධක මඟින් මෙන්ම චීනයට පනවන ලද අධික බදු නිසා තමන්ගේ ආර්ථිකවලට වන බලපෑම් ගැන මෙහිදී සාකච්ඡා වුණු බව සඳහන්ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී අදහස් දක්වමින් මනුෂ්‍යත්වයට එරෙහි විශාලතම තර්ජනය ත්‍රස්තවාදය බවත් එය අහිංසකයන් ඝාතනය කරනවා මතු නොව ආර්ථිකය කඩා බිඳ දමන බවත් ඒ නිසා ත්‍රස්තවාදයට සහ ඊට පදනම් වන වර්ගවාදයට පිටුබලය දීමෙන් වැළැකී සිටින්නට සියලු රාජ්‍ය වගබලා ගත යුතු බවත් පවසා ඇත.

ප්‍රංශ සහ චීන විදේශාමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහභාගි වූ මාධ්‍ය හමුවක්ද පැවැත්විණි. එහිදී චීන විදේශාමාත්‍ය වෑංයි ඉදිරිපත් කළ අදහසේ සාරාංශය මෙසේ ය.

‘දේශගුණ විපර්යාස අනාගත මනුෂ්‍යත්වයට හානි පමුණුවන බව පෙනේ. ඒ නිසා අපගේ පරම්පරාව නිවැරදි තේරීම කළ යුතුය. සියලු රටවල් එකාවන්ව නැඟී සිට පැරිස් සම්මුතිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ක්‍රියාත්මක කරන්නට සහ ඒ පිළිබඳ වගකීම් දරන්නට බැඳී සිටිය යුතුය. අප හරිත යටිතලය, හරිත ආයෝජනය සහ හරිත මූල්‍යකරණය ප්‍රවර්ධනය කළ යුතුය. සමාන අදහස් ඇති අප කණ්ඩායමක් හරිත සේද මාවතක් ගොඩනඟන්නටත් එමඟින් උසස් ගුණයෙන් යුත් සංවර්ධනයක් මඟින් අපගේ අනාගත පරපුරට පවිත්‍ර සුන්දර ලොවක දිවි ගෙවන්නට අවස්ථාවත් උදා කර දිය යුතුය.’

අල්-ජසීරා පෙන්වා දෙන පරිදි චීන විදේශාමාත්‍යවරයා මෙසේ පැවසුවද මෙම සමුළුවේදී පැරිස් සම්මුතිය ගැන අදහස් දැක්වූවන් සිටියේම නැති තරම්ය. ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්වීම ගැන ප්‍රංශය විරෝධය පළ කරන බව ප්‍රකට නමුත් මෙහිදී අදහස් දක්වා නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ පීඩනය නිසා ජපානය අවසාන ප්‍රකාශනයේ එන ගෝලීය උණුසුම පාලනය කරන්නට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සඳහන් කොටසින් ඉවත් විය.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් සහ සෞදි අරාබියේ දෙවැනි නායකයා වන මොහමඩ් බින්-සල්මාන් අතර සාකච්ඡාවක් ඔසාකාහි හෝටලයකදී පැවැත්විණි. මොහමඩ් බින්-සල්මාන් වැනි අයකු මුණ ගැසෙන්නට ලැබීම වාසනාවක් බව එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. ඔවුන් අතර සාකච්ඡාව අවි වෙළෙඳාම ගැන වූවකි. සිය රටෙන් විශාල අවි තොගයක් මිලදී ගැනීම ගැන ජනාධිපති ට්‍රම්ප් විසින් ඔටුන්න හිමි කුමරුට මුව නොසෑහෙන පමණින් තුති පුදන ලද බව සඳහන්ය. ඒ අවස්ථාවේ ජමාල් ඛෂෝගි ඝාතනය ගැන කිසිදු අදහසක් පළ වී නැත.

‘ආණ්ඩුවක් විසින් මාධ්‍යවේදියකු ඝාතනය කිරීම තුච්ඡ ක්‍රියාවක් ලෙස නොදකින්නේද’යි සමුළුවෙන් පිටතදී මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවසීය: ‘එසේයි මා සිතනවා එය නොවිය යුත්තක්. මාධ්‍යවේදියකු නොවෙයි වෙන ඕනෑම පුද්ගලයකු සෞදි අරාබිය දෙස නෙත් යොමු කරනවා නම් පෙනේවි ඒ ආණ්ඩුව ඊට බොහෝ පියවර ගෙන තිබෙන බව. මේ වන විට දහතුන් දෙනකුට නඩු පවරා තිබෙනවා. තවත් අයට ඉදිරියේදී නඩු පැවරේවි. ඔවුන් සෑම පියවරක්ම අනුගමනය කර තිබෙනවා.’

මාතෘකා