වෙනිසියුලාවේ අර්බුදය පිටුපස ඇමෙරිකාව

 ඡායාරූපය:

වෙනිසියුලාවේ අර්බුදය පිටුපස ඇමෙරිකාව

වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණයක් කලෙක පටන් පැවතිණි. එහි කූඨප්‍රාප්තිය සනිටුහන් කරමින් පසුගිය 23 වැනිදා එරට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා මෙන්ම ප්‍රතිපක්‍ෂ දේශපාලන පක්ෂයේ නායකයාද වන ජුආන් ගුආයිඩො තමා සිය රටේ වැඩබලන ජනාධිපති බව ප්‍රකාශයට පත් කළේය. එසැණින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරන්ධර මයික් පොම්පියෝ මින් ඉදිරියට වෙනිසියුලාවේ ජනාධිපති ලෙස ගුආයිඩෝ පිළිගන්නා බව පවසමින් එසේ කළ යුතු බව ලෝකයේ අනෙක් රටවලටද දැන්වීය. ඒත් එක්කම වාගේ ලීමා සම්මුතියට අයත් රටවල්ද තමන් එසේ කරන බව පවසා ඇත.

ඉතින් ඉහත සඳහන් ඡේදය කියවන කෙනකුගේ සිතේ නැඟෙන ප්‍රශ්න ගණනාවකි.

කතානායක තනතුරට සමාන තනතුරක් හොබවන ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකුට ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා ඇද දමා ඔහුගේ පුටුවේ හිඳ ගත හැකිද? ඒ පළමුවන ප්‍රශ්නයයි. දෙවැන්න බැලූ බැල්මටම අනීතික මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එම ක්‍රියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලැබෙන්නේ ඇයි? තුන්වන ප්‍රශ්නය මොකක්ද මේ ලීමා ප්‍රකාශනය සහ එය එසේ කරන්නේ ඇයිද යන්නයි.

මේ විෂයට පිවිසෙන්නට පෙර දැනගෙන සිටිය යුතු වැදගත් කරුණු දෙකකි. පළමුවැන්න නම් වෙනිසියුලාව යනු පොසිල ඉන්ධන සම්පතින් ආඪ්‍ය දේශයක් බවය. පොළෝ ගැබේ නිදන්ව ඇති සමස්ත පොසිල ඉන්ධන ප්‍රමාණයෙන් හතරෙන් එකක් ඇත්තේ එහි බව පැවසේ. දෙවැන්න ජනාධිපති නිකොලස් මදුරෝ වාමාංශික නැඹුරුවක් ඇති එමෙන්ම රාජ්‍ය පාලනයේ ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම බැහැර කරන හිතුවක්කාර පාලකයකු බවය.

මදුරෝ වෙනිසියුලාවේ සුක්කානම අතට ගත්තේ පූර්වගාමියා වූ හ්‍යුගෝ චාවේස්ගේ අභාවයෙන් ඉක්බිතිවය. වෘත්තියෙන් පොදු ප්‍රවාහන සේවා රියැදුරකුව සිටි ඔහු දේශපාලනයට පිවිසුණේ චාවේස්ගේ මිත්‍රත්වය නිසාය. මේ දෙන්නාම වාමාංශිකයන් වූ නමුත් කළමනාකරණයේ දක්ෂයන් නොවීම නිසා අර්බුද උද්ගත විය. චාවේස් මිය ගියේ පිළිිකාවක් වැලඳීමෙනි. ඒ වනවිට ඔහුගේ දෙවැනියා මෙන් කටයුතු කළ විදේශ අමාත්‍යවරයාව සිටි මදුරෝ එතැනට පත්විය. ඉන්පසු 2013 අප්‍රේල් 13 වැනිදා මැතිවරණයක් පවත්වා ඉන් ජයගත් ඔහු ජනාධිපතිවරයා විය. දෙවැනි ධුර කාලය සඳහාද පසුගිය මැයි 20 වැනිදා පැවැති මැතිවරණයෙන් ජයගත් ඔහු යළි එම ධුරයේ දිව්රුම් දුන්නේය.

කෙසේ වෙතත් මේ මැතිවරණ හා ජයග්‍රහණ පිළිිබඳව අර්බුද තිබේ. සමහර රාජ්‍ය මේ මැතිවරණ ප්‍රතිඵල පිළිිගන්නේ නැති බව පවසයි. රටේ කවර කලබල තිබුණත් එම මැතිවරණ නීත්‍යනුකූල ලෙස සාමාන්‍ය පරිදි පැවැත්වුණු බව නිරීක්‍ෂකයන්ගේ අදහසයි. එසේ නම් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ඇලිය සහ ලීමා ප්‍රකාශනයට අත්සන් කළ රාජ්‍ය එහි ප්‍රතිඵල පිළිනොගන්නේ මන්ද යන්නට ඔවුන්ගේම මත ඉදිරිපත් කරනවා විනා පිළිගත හැකි තර්කයක් ඉදිරිපත් කරන්නේ නැත. එය එසේ වුවද ඔවුහු තමා ජනාධිපති බව ප්‍රකාශ කළ පමණින්ම ව්‍යවස්ථාදායකයේ සභාපතිවරයා ජනාධිපති ලෙස පිළිගනිති.

මදුරෝ යහපත් පාලකයෙක් නොවන බව ඊට හේතුවක් විය යුතු නැත. මන්දයත් එය එරට අභ්‍යන්තර ප්‍රශ්නයක් වන බැවිනි.

මදුරෝගේ අයහපත් පාලනය නිසා වෙනිසියුලානු වැසියන්ට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවූ අතර ආහාර වේල්දෙක තුනක් දක්වා අඩු කරන්නට ඔවුන්ට සිදුවිය. ‘නිරාහාර’ තුන්වන ආහාරවේල ‘මදුරෝ ඩයට්’ යන සෝපහාසී නමින් හැඳින්වෙයි.

මදුරෝ හමුදාවට රිසිසේ කටයුතු කරන්නට ඉඩ හැර ඇති බව පැවසේ. ඒ නිසා හමුදාව මර්දනකාරී වන අතර ඔහුට පක්‍ෂපාතය. එබැවින් ජනතාවට සෑම අතකින්ම දැඩි පීඩනයකට මුහුණ දෙන්නට සිදුව පවතියි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව වීදි බැස විරෝධතා පළ කරමින් සිටිති. විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිසිය සහ හමුදාව විසින් නිතිපතා ‘අවම බලය’ පාවිච්චි කෙරේ. ප්‍රතිඵලය දස දහස් ගණන් මිනිසුන් ඝාතනය වීමයි. වාර්තාවල දැක්වෙන පරිදි 2018 වසරේදී එලෙස ඝාතනය වුණු ගණන 23,047කි. ඒ කියන්නේ සෑම 100,000කටම 91කි.

එරටේ ආර්ථිකය පිරිහීම ඇරඹුණේ මදුරෝට පෙර සිටය. එහෙත් චාවේස්ගේ සමයේත් රටේ ආර්ථකය පල්ලමේ යමින් තිබිණි. එය මේ වනවිට බිංදුවටම බැහැලාය. වසර කිහිපයක සිටම එරට ‘දුර්දශා දර්ශකයේ’ (Misery Index) ඉහළම තැන වැජඹෙයි.

ආර්ථිකය හැල්මේ පල්ලම් බහින විට මදුරෝ වෙනත් කිසිඳු රටක පාලකයකු නොගන්නා පියවරක් අනුගමනය කළේය. ඒ අතරින් ප්‍රධාන වනුයේ ආඥාවෙන් පාලනය (Rule by Decree) සඳහා ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගැනීමයි. රටේ අයහපත් ආර්ථික තත්ත්වය සමනය වනතුරුය කියා 2013 නොවැම්බර් සිට වසරකට ඒ අනුමැතිය ලබා ගත් ඔහු ඉන්පසු වසරක් පාසා දීර්ඝ කරවා ගත්තේය. 2016 ජනවාරි 15 වැනිදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට අනුමැතිය දුන්නේය.

අර්බුදයක් හට ගන්නේත් එරට අභ්‍යන්තර කටයුතු ගැන අන්තර්ජාතික ප්‍රජාව විමසිලිමත් වන්නට පටන් ගන්නේත් ඉන් අනතුරුවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලිය වෙනිසියුලාවට එරෙහිව සම්බාධක මෙන්ම තහංචිද දැඩි ක්‍රියාමාර්ගද නොකඩවා පවත්වාගෙන යයි.

පේරු හි අගනුවර වන ලීමා හි 2017 අගෝස්තු 08 වැනි දින රැස්වූ කැනඩාව, ආජෙන්ටිනාව, බ්‍රසීලය, චිලී, කොලොම්බියා, කොස්ටාරීකා, ග්වාතමාලා, හොන්දුරාස්, මෙක්සිකෝ, පැනමා, පැරගුවේ, පේරු සහ උරුගුවේ යන රටවලද විදේශ අමාත්‍යවරු වෙනිසියුලාවේ පවත්නා ගැටලුකාරී තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණ්‍ය වීම යනාදී කරුණු ගැන දින දෙකක් පුරා සාකච්ඡා කළෝය. ඉන්පසු ඔවුහු ලීමා ප්‍රකාශනය නම් ලියැවිල්ලකට අත්සන් තැබූහ. එම ප්‍රකාශනය ජනාධිපති මදුරෝ වෙත යැවූ අතර ඒ අනුව කටයුතු කරන ලෙස ඔහුට දැන්වීය. එහෙත් ඔහුගේ ප්‍රතිචාර වූයේ සැර ප්‍රහාර පමණි. පිළිවෙතේ වෙනසක් නොවීය. ඒ සමගම එය ජාත්‍යන්තරයේ අවධානයටද යොමු කරවීය.

එරට ජනතාවට පාලනයේ වෙනසක් අවශ්‍ය වූ බව සැබෑය. හමුදාව අවි බලයෙන් කරන දැඩි මර්දනය නොසලකා ඔවුන් වීදි බැස්සෙත් බසින්නේත් ඒ නිසාය. එහෙත් පාලනය වෙනස් වූයේ නැත. දැන් සිදුව ඇත්තේ අමුතුම වෙනසකි.

දැන් එරටට ජනාධිපතිවරු දෙදෙනකු ඇත. කවුරුන් දෙන නියෝග පිළිපදින්නේද? මේ නිසා එරට බරපතළ අර්බුදයකට, සමහර විට සිවිල් යුද්ධයකට යනු ඇතැයි රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් පෙන්වා දී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඇලිය සහ ඇතැම් ලතින් ඇමෙරිකානු සහ කැරබියන් රටවල් සිදුවූ වෙනස පිළිගත්තත් චීනය සහ රුසියාවත් ඉරානය ප්‍රමුඛ ඇලියත් මෙක්සිකෝවත් එය නොපිළිගන්නා බව පවසා තිබේ. යුරෝපා සංගමයේ සාමාජික ප්‍රධාන පෙළේ රටවල් සහ කැනඩාව මේ වෙනස වහා පිළිනොගන්නා බව පවසයි. එහෙත් සතියක් තුළ නැවත මහ මැතිවරණයකට සහ ජනාධිපතිවරණයකට අදාළ මූලික ආරම්භක පියවර ගත යුතුය.

මේ වෙනස කරන ලද්දේ ඇමෙරිකාවේ වුවමනාවට බව අතීතය විමසන විට පැහැදිලි වෙයි. එරට වර්තමාන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇමෙරිකානු ප්‍රධාන රහස් ඔත්තු ඒජන්සියේ හෙවත් සී.අයි.ඒ. හි ප්‍රධානියාව සිටියදී වෙනිසියුලාව අරබයා කළ ප්‍රකාශයක් 2017 ජූලි 25 ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ වෙබ් අඩවියේ පළ වී තිබිණි. වෙනිසියුලාවේ පාලනය පෙරළා දමන බව ඔහු ඊට පෙර දින පවසා තිබිණි. ඒ, වොෂින්ටන් නුවර මූලස්ථානය කොටගත් ඇස්පෙන් ඉන්ස්ටිටියුට් නම් චින්තන තටාකයක් (Think Tank) මෙහෙයවූ ප්‍රශ්න සහ පිළිතුරු සැසියකට සහභාගි වෙමිනි. එම වාර්තාවේ හිස වූයේ ‘සිය ඒජන්සිය වෙනිසියුලාවේ ආණ්ඩු වෙනසකට වැඩ කරමින් සිටිනා බව යැයි සී.අයි.ඒ. ප්‍රධානියා පවසයි.’ යන්නයි. ඊට පහළින් උප සිරස ලෙස ‘ලතින් ඇමෙරිකාවේ දේශපාලනයට අත පෙවීමේ කුප්‍රකට ඉතිහාසයක් එක්සත් ජනපදයට ඇත.’ යනුවෙන් සඳහන්ය. මෙය වසර එකහමාරක් තරම් පැරණි වුවත් වර්තමාන තත්ත්වය එහි පැහැදිලිව ගැබ්ව තිබේ.

වෙනදා සී.අයි.ඒ. මෙවැනි දේ කළේ සූක්ෂ්ම කුමන්ත්‍රණ ලෙස ඉතා රහසිගතවය. එහෙත් ට්‍රම්ප් පාලනය යටතේ එළිපිටම කියමින් එවා කරන්නට ඇමෙරිකා එක්සත් ජනපදය දියුණු වෙලාය.

පසුගිය සිකුරාදා ජනාධිපති මදුරෝ එරට සිටින ඇමෙරිකා එක්සත් ජනපද තානාපති නිලධාරීන්ට වහා පිටව යන ලෙස දැන්වීය. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය පිළිගන්නට සුදානම් නැත. ඉන් නරක ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවනු ඇති බවට පෙන්ටගනයේ ප්‍රධානි ජෝන් බෝල්ටන් සැර ප්‍රහාරයකින් අනතුරු ඇඟවීය. ජෝන් බෝල්ටන් කොහොමටත් ‘සැර’ මිනිහෙකි. වෙනිසියුලාව ඇමෙරිකා තානාපති නිලධාරීන්ගේ සාමාන්‍ය පැවැත්මට එරෙහි කිසිවක් කළහොත් නිසැකවම ඇමෙරිකාව එරටට පහර දෙනු ඇත යන්න ඔහුගේ ප්‍රකාශයේ යටිපෙළ වේ. මේ තත්ත්වය වටහා ගත් නිසාදෝ ජනාධිපති මදුරෝ සමාප්ති සීමා කාලය දින තිහක් දක්වා ඉහළ දැමීය.

මේ අතර වොෂින්ටන්හි වෙනිසියුලානු තානාපති කාර්යාලයේ මිලිටරි ඇටෑචී තනතුර දරණ කර්නල් ජුසේ ලුයිස් සිල්වා, තමා තවදුරටත් නිකොලස් මදුරෝ සිය ජනාධිපති ලෙස පිළිනොගන්නා බවත්, පිළිගන්නේ ජුආන් ගුඅයිඩෝව බවත් පවසා තිබේ.

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේද අර්බුදයක් තිබේ. එහි විනිසුරු පැනලය මේ වනවිට රටින් පිටමංව පැනමාවේ රැකවරණ පතා ගොසිනි.

වෙනිසියුලාවේ මේ අර්බුද සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය පසුගිය සෙනසුරාදා රැස්විණි. මයික් පොම්පියෝ එහිද ප්‍රධාන භූමිකාවක් ඉදිරිපත් කළේය. ප්‍රස්තුතය ගැන දීර්ඝ විවරණයක යෙදෙමින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රචණ්ඩත්වය යන දෙකෙන් එක් පාර්ශ්වයක් තෝරාගත යුතු බවත් ඒ අනුව තෝරාගත යුත්තේ ප්‍රචණ්ඩත්වය නොව, ප්‍රජාතන්ත්‍රවාදය බවත් පවසමින් වෙනිසියුලාවේ නව පාලනය පිළිගත යුතු බවට බල කළේ යැයි ඉරිදා මාධ්‍ය වාර්තා කළේය. එය ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් ඇමෙරිකාව ඊට මැදිහත් වීම ගැන චීනය සහ රුසියාව සිය විරෝධය මෙහිදී පළ කොට ඇත. ඔවුන්ගේ නිෂේධ බලය හමුවේ ඇමෙරිකාවට සිය යෝජනාව එක්සත් ජාතීන් ලවා ක්‍රියාත්මක කරවන්නට නොහැකි වී ඇති අතර රැස්වීම තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වෙයි.

මාතෘකා