ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිසේ

 ඡායාරූපය:

ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට පිවිසේ

ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට සම්බන්ධ වූ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

ප්‍රියංකා ගාන්ධි ඉතා තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස පත් කර තිබේ.

පෙර පැවති මැතිවරණවලදී ඇය සිය මව සහ සොහොයුරා වෙනුවෙන් බොහෝ රාජකාරි ඉටු කළද දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේප කළාය.

ඇයගේ පැමිණීම කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.

2014 වසරේ පැවති මහ මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වූ අතර නැවත ගොඩනැඟීමට අපහසු තත්ත්වයක පැවතුණි.

කෙසේනමුත් කොංග්‍රස් පක්ෂය පසුගිය ප්‍රාන්ත මැතිවරණවල දී සිය ඡන්ද පදනම වැඩි කරගැනීමට සමත් වූවත් භාරතීය ජනතා පක්ෂය පරදා බලයට පත් වීම තවමත් අභියෝගයක්ව පවතී.

මාතෘකා