කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරය

 ඡායාරූපය:

කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරය

ඉන්දියාවට එරෙහිව එකට එක කරනවා

පාකිස්තානය

ජාත්‍යන්තරය බොරුවෙන් නොමඟ නොයවා ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්න

ඉන්දියාව

(BBC සිංහල වෙබ් අඩවිය සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය අංශය නිල නිවේදනය ඇසුරෙනි)

 

ඉන්දීය පාලිත කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්තානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් සිය රට ද ඒ හා සමාන ප්‍රතිචාරයක් දක්වනු ඇති බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය සතියේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාකිස්තානයේ සම්බන්ධයක් තිබේ නම් ඒ බව තහවුරු කිරීම සඳහා සාක්ෂි සපයන ලෙස රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ අගමැති ඛාන් ඉන්දියාවෙන් ඉල්ලා සිටී. බ්‍රහස්පතින්දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් හතළිහකට අධික පිරිසක් මරණයට පත් විය. පාකිස්තානයේ ක්‍රියාත්මක 'ජයිශ්-ඊ-මොහොමඩ්' නමැති කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන තිබිණි. කාශ්මීරයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් පාකිස්තාන අගමැතිවරයා කියා සිටියේ "සාක්ෂි කිසිවක් නොමැතිව ඉන්දියාව පාකිස්තානයට දොස් පැවරීමෙන් වැළකී සිටිය යුතු" බවය.

"පාකිස්තානයේ ස්‌වෛරීත්වයට තර්ජනයක් වන ඕනෑම අනතුරුදායක ක්‍රියාවකට නියත වශයෙන් එකට එක කරනු ඇති" යනුවෙන් ඔහු පැවසීය. ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා සහාය දීමට සිය ආණ්ඩුව සූදානම් බව කී අගමැතිවරයා සාකච්ඡා මේසයට එන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටී. ඉහත කී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවීමත් සමග ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම යළිත් ඉහළ යමින් පවතී. මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට අයිතිය කියන ඉන්දියාව සහ පාකිස්තානය විසින් එහි කොටස් පාලනය කරනු ලබයි.

1989 වසරේ සිට මේ දක්වා කාශ්මීරය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර දහයක් පමණ සිදුව ඇති අතර ඒ සඳහා මෝටර් රථයක් භාවිත කළ දෙවන අවස්ථාව බ්‍රහස්පතින්දා එල්ල කළ ප්‍රහාරයයි.

ඉන්දියාෙව් ප්‍රතිචාරය

මේ අතර පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අදහස්වලට ඉන්දියාව නිල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇත. පුල්වාමා ප්‍රදේශයේදී අපගේ ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වීම පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව තමන් පුදුමයට පත් නොවන බව ඉන්දියානු බලධාරීහු පවසති. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එම ප්‍රහාරය හෙළා දැකීමට හෝ එයින් විපතට පත් පවුල් වෙත ශෝකය පළ නොකිරීම ගැනද මෙම නිවේදනයෙන් අවධානයට යොමු කර තිබේ.

එම ප්‍රකාශයේ මෙසේද දැක්වේ.

"ත්‍රස්තවාදී ප්‍රහාරය සහ පාකිස්තානය අතර සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කිරීම පාකිස්තානය විසින් නිතරම යොදා ගන්නා නිදහසට කරුණකි. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම සහාසික අපරාධය සිදු කළ ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය සහ එහි ත්‍රස්තවාදියා විසින් සිදු කර ඇති ප්‍රකාශ නොසලකා හැර ඇත. ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය පිහිටා තිබෙන්නේ සහ එහි නායක මසූද් අෂාර් සිටින්නේ පාකිස්තානයේ බව ප්‍රකට කරුණකි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පාකිස්තානයට එය ප්‍රමාණවත් සාක්ෂියක් විය යුතුය.

"ඉන්දියාව සාක්ෂි සපයන්නේ නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මෙය දුර්වල නිදහසට කරුණකි. 2008 නොවැම්බර් මස 26 වැනි දින මුම්බායි නුවරදී සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට සාක්ෂි ලබා දුන් නමුත් එම පරීක්ෂණ පසුගිය වසර 10කටත් වැඩි කාලය තුළදී කිසිඳු ප්‍රගතියක් අත්කර ගෙන නොමැත. එසේම පතන්කොට් ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්ද කිසිඳු ප්‍රගතියක් නොමැත. පාකිස්තානයේ පසුගිය ක්‍රියාකලාපය දෙස බැලීමේදී 'සහතික කරන ලද ක්‍රියාවන්' පිළිබඳ ප්‍රතිඥා පිළිබඳව කිසිඳු විශ්වාසයක් තැබිය නොහැක.

"නව චින්තනයක් සමඟින් 'නව පාකිස්තානයක්' පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කතා කරයි. මෙම 'නව පාකිස්ථානයේ' වර්තමාන රජයේ අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති හෆීස් සයීඩ් වැනි ත්‍රස්තවාදීන් සමඟ එකම වේදිකාවේ දක්නට ලැබේ.

"පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක පුළුල් ද්වීපාර්ශ්වික සංවාදයකට එළඹීමට සූදානම් බව ඉන්දියාව යළි යළිත් අවධාරණය කර තිබේ.

"පාකිස්තානය කියා සිටින්නේ ත්‍රස්තවාදයේ විශාලතම ගොදුර තමන් වන බවයි. නමුත් මෙය සත්‍යය නොවේ. පාකිස්තානය ත්‍රස්තවාදයේ මර්මස්ථානය වන බව ජාත්‍යන්තර ප්‍රජාව හොඳින් දන්නා කරුණකි.

"ඉන්දියාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉඟි පළ කර තිබීම කනගාටුවට කරුණකි. ඉන්දියාව මෙම සාවද්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ආදර්ශයක් වන අතර ඒ බව පාකිස්තානය කිසිදා අවබෝධ කර නොගනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීම නතර කරන ලෙසත් පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන්ට සහ සිය පාලනය යටතේ පවතින භූමි ප්‍රදේශවල ක්‍රියාත්මක ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසත් පාකිස්තානයට ප්‍රකාශ කර සිටිමු."

මාතෘකා