මදුරෝ ග්වාන්තනාමෝ කඳවුරට

 ඡායාරූපය:

මදුරෝ ග්වාන්තනාමෝ කඳවුරට

මේ පෙබරවාරි 02 සෙනසුරාදා වෙනිසියුලාවේ බොලීවියානු විප්ලවයේ 20 වැනි වසර සැමරුම පැවැත්විණි. හියුගෝ චාවේස්ගේ නායකත්වයෙන් යුත් ‘පස්වන ජනරජ ව්‍යාපාරය’ නම් වාමාංශික දේශපාලන ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද එය ඇරඹුණේ 1999 පෙබරවාරි 02 වැනි දිනය. එතැන් සිට වෙනිසියුලාවේ නිල නාමය ‘වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජය’ ( Bolivarian Republic of Venezuela) වන අතර ඇමරිකා එක්සත් ජනපදය එරට දෙස බැලුවේ සතුරු ආකල්පයකිනි.

එහෙත් ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර දැඩි මිතුරු සබඳකම් පැවැති කාල සීමාද තිබිණි. කාලෝස් අන්ද්‍රෙස්, රෆායෙල් කල්දේරා වැනි ජනාධිපතිවරුන්ගේ පාලන සමයන් හි එසේ විය. ඒ සමයේ වෙනිසියුලාව සෞභාග්‍යවත් දේශයක්ද වූ බව සඳහන්ය.

වෙනිසියුලාවේ මේ වනවිට ජනාධිපතිවරුන් දෙදෙනක් සිටිති. පළමුවැන්නා වනුයේ ඡන්දයෙන් තේරී පත් වූ නිකොලස් මදුරෝය. දෙවැන්නා තමා ජනාධිපති යැයි පසුගිය 23 වැනි දින ප්‍රකාශයට පත් කළ එරට ප්‍රධාන විපක්ෂයේ නායකයා මෙන්ම ව්‍යවස්ථාදායකයේ හෙවත් ජාතික රාජ්‍ය සභාවේ (The National Assembly) ප්‍රධානියාද වන ජුආන් ගුආයිඩෝය. මෙවැනි අභ්‍යන්තර වියවුලක් ඕනෑම රටක ඇති විය හැකි අතර එවිට ලොව අනෙක් රාජ්‍ය පාර්ශ්වයක් නොගැනීම සාමාන්‍ය සිරිතයි. එහෙත් මෙතැන තත්ත්වය ඉඳුරාම වෙනස්ය. මන්දයත් ඇමරිකා එක්සත් ජනපදය සහ එරට සහචර රටවල් ස්වයං ප්‍රකාශිත ඊනියා ජනාධිපතිවරයා නියම ජනාධිපති ලෙස පිළිගැනීමත් ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් රුසියාව සහ චීනය යන රටවල් සහ ගෝලීය දේශපාලනයේ ඒ රටවල් සමග සිටින රටවල් කිහිපයක් එය නොපිළිගැනීමත්ය.

වෙනිසියුලාවේ වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන පටලැවිල්ලට මූලික හේතුව එරට ජනාධිපති නිකොලස් මදුරෝ බවට විවාදයක් නොමැත. ඔහුගේ පාලනයේ ඇති අකාර්යක්ෂමභාවය රට පරිහානිය කරා ගෙන ගියේය. පසුගිය කාලය පුරා එරට වැසියකුගේ සාමාන්‍ය බර රාත්තල් 27කින් අඩු වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත. ජනතාවට දෛනික ආහාරවේල් ගණන දෙකක් දක්වා අඩු කරන්නට සිදුව ඇති බව ප්‍රසිද්ධ කාරණයකි.

මදුරෝගේ අකාර්යක්‍ෂම පාලනය නපුරු විදෙස් බලවේගවලට පාලමක් සකස් කළේය. දැන් ඒ පාලම දිගේ පිරිවර සේනා ගෙන ඇමරිකා එක්සත් ජනපදය සීරුවේ ළං වනු දැකිය හැකිය.

වර්තමානයේ වෙනිසියුලාවේ පවතින මේ අස්ථාවර පැටලිලි සහගත ස්වභාවයේ කැටයම්කරු අැමෙරිකා එක්සත් ජනපදය බව රහසක් නොවේ. එහි මූලික වැඩ කොටස් සීඅයිඒ විසින් කරන ලද අතර දැන් බෝල්ටන් මෙහෙයුම් මැදිරිය බාරව සිටියි.

ඔහු කෙතරම්දුරට එහි නිමග්නව සිටිනවාද කිවහොත් මදුරෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණේ නැත්නම් ග්වාන්තනාමෝ කඳවුරේ සිටිනු ඇතැයි පැවසූ බව පසුගිය සිකුරාදා http://www.hughhewitt.com නම් වෙබ් අඩවියක් වාර්තා කළේය. එම වෙබ් අඩවිය හ්‍යු හෙවිට් නම් ප්‍රකට රේඩියෝ මාධ්‍යවේදියා විසින් පවත්වාගෙන යනු ලබන්නකි. රටක ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු ග්වාන්තනාමෝ කඳවුරට යවනවා යැයි තර්ජනය කිරීම අතිශය භයානක කාරණාවකි. මේ ප්‍රකාශය ලොව පුරා සාධාරණ මිනිසුන්ගේ කනස්සල්ලට හේතුවනු නොඅනුමානය.

පසුගිය සෙනසුරාදා වෙනිසියුලාවේ ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්‍ෂ ධුරය දැරූ නිලධාරියා වීඩියෝ පණිවුඩයක් මගින් තමා නාමික ජනාධිපති ගුආයිඩෝට සහාය පළ කරන බව ප්‍රකාශයට පත් කළේය. ට්විටර් සටහනක් මගින් එය පැසසූ බෝල්ටන් ඔහු නිවැරදි බව පවසමින් ඔහු අනුගමනය කරන්න යැයි එරට සියලු හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

බොලිවේරියානු විප්ලවයත් සමග ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව සමග ආරෝවක් ඇති කර ගත්තත් දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පැවැතිණි. වෙනිසියුලාවේ තෙල් ළිංවලින් මතුපිටට ගෙනෙන බොරතෙල්වලින් 40% ඉක්මවන ප්‍රමාණයක් මිලදී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය වන අතර පසුගිය සතියේ සම්බාධක පනවන තුරුම තත්ත්වය එපරිද්දෙන් පැවැතිණි.

2013 වසරේ නිකොලස් මදුරෝ එරට ජනාධිපති ලෙස ජයග්‍රහණය කළේය. ඇමරිකාව සමග මදුරෝගේ ප්‍රතිපත්ති වඩාත් රළු විය. එහෙත් ඔහුගේ පාලනයේ බොහෝ අඩුපාඩු තිබිණි. මූල්‍ය පාලනයක් නොමැති වීම ඒ අතරින් ප්‍රමුඛය. ඒ අතරම නොයකුත් හේතු ඉදිරිපත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කණඩායම විසින් පනවන ලද සම්බාධක නිසා එරටට බරපතළ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවිය.

සිය දෙවන ධුර කාලය සඳහා පසුගිය මැයි 20 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මදුරෝ ධුරයේ දිව්රුම් දීම මෙම ජනවාරි 09 දිනට කල් දැම්මේය. ඊට හේතුව ලෙස ඉදිරිපත් කළේ සිය ධුර කාලය අවසන් වන්නේ එදිනට බවයි. සමහර විට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගම දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දුන්නා නම් මෙවැන්නක් සිදු නොවන්නට තිබිණි.

ජනාධිපතිවරණය නීත්‍යනුකූල ලෙස පැවැත්වූ බවට පිළිගැනීමක් ඇතත් මැතිවරණ පූර්ව ක්‍රියා අනුව කොහෙත්ම සාධාරණ එකක් යැයි කිව නොහැකිය. ඒ, විරුද්ධ පාක්‍ෂික අපේක්‍ෂකයන්ට බොහෝ හිරිහැර කළ අතර ඉදිරියෙන් සිටි විරුද්ධවාදීන්ට අපරාධ චෝදනා ඉදිරිපත් කොට සිර දඬුවම් විඳින්නටද සැලැස්වූ හෙයිනි.

ලතින් ඇමරිකානු රටවල සහ කැනඩාවේ විදේශ අමාත්‍යවරුන් 2017 අගෝස්තු මාසයේ පේරු හි ලීමා අගනුවරට රැස්ව දින දෙකක් පුරා සාකච්ඡාකොට මදුරෝට අනතුරු අඟවන ලීමා ප්‍රකාශනය සකස් කොට එළිදැක්වූ අතර ඒ අනුවද සම්බාධක පැනවිණි.

මාධ්‍යවේදී හ්‍යු හෙවිට් සමග මේ 01 වැනිදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජෝන් බෝල්ටන් පැවසූ කාරණාවල සාරාංශයකි මේ. ඉහත සඳහන් ග්වාන්තනාමෝ කඳවුර පිළිබඳ කතාවද බෝල්ටන්

එළි දක්වන්නේ මේ හමුවේදීය. මේ සම්මුඛ සාකච්ඡාව ප්‍රමුඛ ධාරාවේ මාධ්‍යවල පළ නොවූවකි. හ්‍යු හෙවිට් මෙහි දී ජාතික ආරක්‍ෂක උපදේශකගෙන් තොරතුරු ලබා ගන්නා ආකාරය අධ්‍යයනය කිරීම අපේ මධ්‍යකරුවන්ට ප්‍රයෝජනවත් විය හැකිය.

“අපේ ජනාධිපතිගේ මේසය මත සියලු සැලසුම් තිබේ. ඒත් අපට අවශ්‍ය වන්නේ සාමකාමී බලය පැවරීමකුයි. ඒ නිසයි අප ආර්ථික සම්බාධක පැනවූයේ සහ ලොව පුරා රාජ්‍යයන් මගින් බලපෑම් ඇති කළේ. යුරෝපා පාර්ලිමේන්තුව පවා ඊයේ (ජනවාරි 31) තීන්දුවක් ගත්තා. තව දවසකින් දෙකකින් වෙනිසියුලාව පුරා උද්ඝොෂණ සහ විරෝධතා ව්‍යාපාර දියත් වනු දැකිය හැකියි. ඒ මගින් හමුදාවද ඇතුළු සියල්ලන්ටම ඒත්තු ගැන්විය යුතුයි මදුරෝ රෙජිමය නිමාවක් දැකිය යුතු බව.

කියුබා, නිකරගුවා යන රටවල් දෙක හැර අනෙක් ලතින් අමෙරිකානු රටවල් මදුරෝ බලයෙන් පහ කළ යුතු යන ස්ථාවරයේ සිටිනවා. මෙය ඇමරිකානු වැඩක් නොවේ. සමස්ත ලතින් ඇමරිකානු කලාපයේම වැඩක්. ඒ සියලු දෙනා අන්තර්වාර ජනාධිපති ජුආන් ගුආයිඩෝට සහාය පළ කරනවා.

බොහෝ දෙනා කියන පරිදි ගුආයිඩෝ ඇමරිකා ආණ්ඩුවේ රූකඩයක් නොවේ. දක්ෂ දේශපාලනඥයකු වන ඔහු ස්වාධීන මෙන්ම නිර්භීත පුද්ගලයෙක්. ඔහු සමග නැණවත් අභීත මිනිස්සු රාශියක් එක්ව සිටිති. ජාතික රාජ්‍ය සභාව ඔහු සමගය. මේ වනවිට ඔහු අපේ ජනාධිපති සමග මෙන්ම ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ලේකම් සමගද මා සමගද අවස්ථා ගණනාවකදී අදහස් හුවමාරු කරගෙන ඇත. රටේ ආර්ථිකය නැංවීමට ඔහුට අවශ්‍ය සහාය දෙන්නට අප රට නිතර සූදානම්ය. මේ වනවිටත් ඩොලර් මිලියන 20ක සංවර්ධන ආධාරයක් දීමට තීරණය කොට ඇත.

මේ සිද්ධියේ දී මදුරෝට පිටුබලය සපයන්නේ රුසියාව සහ කියුබාවයි. ඒ දෙරටේ හමුදා මදුරෝගේ නිල සහ නිල නොවන මදාවි හමුදා සමග සිවිල් පුරවැසියන්ට පහර දෙයි. මේ දින කිහිපය තුළද විරෝධතාකරුවන්ට පහර දීම නිසා මරණ වාර්තා වෙයි. තත්ත්වය එසේම පැවතුණහොත් ඊට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නට සිදුවනවා ඇත.

වෙනිසියුලාව කියුබාවේ බළල් අණ්ඩකි. ඒ නිසා එරට CubZila යනුවෙන් හැඳින්වීමේ වරදක් නැත. ඔබාමා පාලන සමයේ කියුබාවට පනවා තිබූ සමහර සීමා කිරීම් ලිහිල් කරන්නට කටයුතු කෙරිණ. එය වරදකි. ජනාධිපති ට්‍රම්ප් ඒ වරද නිවැරදි කරන්නට පියවර ගත්තේය.

වෙනිසියුලා, කියුබා සහ නිකරගුවා යනු දුෂ්ටත්වයේ තුන් ඈදුත්තයි. (troika of tyrany) අනෙක් දෙන්නා ගැනත් ළඟඳීම වග බලා ගන්නවා ඇත.

හෙට හෝ අනිද්දා වෙනිසියුලාවේ ජනයා මදුරෝට එරෙහිව වීදි බසිනු ඇත. එවිට ඔහුට සියල්ල අතහැර පලා යන්නට සිදුවනු ඇත.

ණයට හිලව් කිරීමේ මුවාවෙන් රටේ තිබෙන රන් සංචිත එක්සත් අරාබි එමීරය වෙත විකිණීමේ සූදානමක් ගැන සැළවී ඇති අතර අප විසින් එය වළක්වන ලදී. අප රටේ සහ අපගේ මිතුරු රාජ්‍යවල පවත්වාගෙන යන ඔවුන්ගේ බැංකු ගිණුම් සියල්ල ගල් කරන්නට මේ වනවිට පියවර ගෙන අවසන්ය.

PDVSV යන කෙටි නමින් හැඳින්වෙන වෙනිසියුලාවේ රාජ්‍ය පෙට්රෝලියම් නිෂ්පාදන සමාගමට මේ වනවිට සම්බාධක පනවා ඇති අතර එහි නිෂ්පාදන ලොව කිසිම රටකින් මිල දී නොගනී. එහි අරමුණ මදුරෝ පාලනය හැකිතාක් දුශ්කරතාවලට පත් කිරීමය. මදුරෝ ඉවත්ව ගිය පසු එම සමාගම පුනරුත්ථාපනය කෙරෙනු ඇත. ඒ සමාගම අධික ලෙස අප රටට ණය බවද සැලකිල්ලට ගනු වටී.”

වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය 27 වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වුණු අතර එරටට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක නොවුණේ චීනය සහ රුසියාව විරුද්ධත්වය පෑ හෙයිනි. මෙය කෙළවර විය හැක්කේ විශාල ලේ වැගිරීමකින් බව රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් එහිදී පැවසීය. බෝල්ටන් පවසන ආකාරයට ජනතාව මදුරෝට එරෙහිව වීදි බසිති. වෙනිසියුලා රාජ්‍ය රූපවාහිනිය වන Telesur හි වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට මදුරෝට පක්‍ෂපාත මිනිසුන් ද නිකම් සිටින්නේ නැත. ඒ අනුව පුටින්ගේ අනාවැකිය ඵල දරන්නට ඇති ඉඩ වැඩිය.

මාතෘකා