සබරිමාලාහි කාන්තා තහනම

 ඡායාරූපය:

සබරිමාලාහි කාන්තා තහනම

කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කර තිබූ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමාලා හින්දු කෝවිලට පසුගිය දා ඇතුළු වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් ඇගේ පවුලෙන් පිටමං කර තිබේ. කනකා දුර්ගා නමැති 39 හැවිරිදි එම කාන්තාව, සබරිමාලා කෝවිලට ඇතුළු වීම හේතුවෙන් සැමියාගේ මවගේ ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව සිටියේ, ජනවාරි 15 වන දා සිටය. සබරිමාලා හින්දු කෝවිල ඔසප් වයසේ කාන්තාවන් - එනම් අවුරුදු 10 - 50 අතර වියේ පසුවන කාන්තාවන්ට තහනම් කර තිබිණි. එම තහනම 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කරනු ලැබීය.

එහෙත්, අධිකරණ නියෝග නොතකමින් කිසිදු කාන්තාවකට එම කෝවිලට ඇතුළු වීමට විරෝධතාකරුවන් පිරිසක් ඉඩ නොදුන්හ. 39 හැවිරිදි කනකා දුර්ගා සහ 40 හැවිරිදි බින්දු අම්මිනී පොලිස් ආරක්ෂාව මැද සබරිමාලා කෝවිලට ඇතුළු වීමෙන් කෝවිලේ ඉතිහාසයට නව පිටුවක් එක් කළහ. එහෙත්, එම සිද්ධිය වාර්තා වීමත් සමග කෝවිල පිහිටා ඇති කේරළ ප්‍රාන්තය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ විය. ඒ අනුව, පොලිස් ආරක්ෂාව යටතේ එම කාන්තාවන් දෙදෙනා සැඟවී සිටින්නට සිදු විය. හින්දු ධර්මය අනුව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන කාන්තාවන් 'අපිරිසුදු කාන්තාවන්' ලෙස සලකන අතර ඔවුන් ආගමික කටයුතුවලට සහභාගි වීම තහනම් කර තිබේ.

හින්දු කෝවිල් බොහොමයක් ඔසප් වීම සිදු නොවන කාන්තාවන්ට කෝවිල් තුළට ඇතුළු වීමට අවසර දී තිබුණ ද, සබරිමාලා කෝවිල අසාමාන්‍ය ලෙස ඉතා පුළුල් වයස් සීමාවක (වයස අවුරුදු 10 සිට 50 දක්වා) පසුවන කාන්තාවන්ට එය තහනම් කර තිබේ. සබරිමාලා කෝවිල සම්බන්ධයෙන් පවතින විශ්වාසය අනුව අයියප්පා දෙවියන් අවිවාහකව දිවි ගෙවූවෙකි.

මාතෘකා