2019 ආවර්ජනයක්

 ඡායාරූපය:

2019 ආවර්ජනයක්

අද 2019 අවසන් දිනයයි. හෙට 2020 උදා වී 21 වන සියවසේ තුන්වන දශකය ඇරඹෙයි.

මේ වසරේ අඟහරුවාදා 53ක් තිබිණි. එයින් 52ක් පුරා මෙම විදෙස් විසෙස් විශේෂාංගයේ ලිපි පළ විය. විදෙස් පුවතක් මුල කැර ගත් සවිස්තරාත්මක විග්‍රහයක් ඉන් ඉදිරිපත් කැරිණි. ඒ ලිපිවල පසුගිය වසරේ ඒ ඒ සතියේ සිදු වූ වැදගත් සිද්ධි මාතෘකා කැර ගැනිණි.

පාස්කු ප්‍රහාරයෙන් පසු අයිසිස් සංවිධානය ගැන ලිපි හතරක් පළ කළ අතර එහි නායකයාව සිටි අබු බකර් අල්බග්දාදිගේ ඝාතනය අරබයා තවත් ලිපි දෙකක් ඉදිරිපත් කරන ලදී. අදින් අවසන් වන වසරේ පුද්ගලයා ලෙස ටයිම් සඟරාව තෝරා ගන්නා ලද්දේ සොළොහැවිරිදි පාසැල් ශිෂ්‍යාවක වන ස්වීඩන් ජාතික ග්‍රීටා තුන්බර්ග්ය. ඇත්තටම ඇය අපේ කාලයේ වීරවරියක් වන්නීය.

ටයිම් සඟරාව වර්ෂයේ පුද්ගලයා ලෙස තෝරා ගන්නේ ඒ වසරේ ලොවට වැඩිම බලපෑමක් ඇති කළ තැනැත්තාය. මේ පාසැල් දැරිය තරම් ලොවට බලපෑමක් ඇති කළ පුද්ගලයකු 2019 මතු නොව 2020දී වුව සිටිනු ඇතැයි සැක සහිතය. ඇය විසින් ලෝක නායකයන්ට කරන ලද බලපෑම ඒ තරම්ම විශාල බව අවිවාදයෙන්ම පිළිගැනෙන කරුණකි. ඕ මේ වසරේ සැප්තැම්බරයේ පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පෘථිවිය අනාගත පරපුරට ආරක්‍ෂකාරී ලෙස බාර නොදෙන්නේ යැයි ලෝක නායකයන්ට දෝෂාරෝපණය කළාය. රාජ්‍ය නායකයන් 60 දෙනෙකු ඇගේ කෙටි දේශනය පැවැත්වෙන අවස්ථාවේ සභා ගැබේ සිටි බව සඳහන්ය.

“මගේ පණිවුඩය අප ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටින බවයි. මේ සැම දෙයක්ම වැරදියි. මා මෙහි සිටිය යුතු නෑ. මා සිටිය යුත්තේ සාගරයෙන් අනෙක් පස මගේ රටේ මගේ පාසැලේයි, යොවුන් ජනයා වන අප වෙත ඔබ අපේක්‍ෂා රැගෙන එනතුරු. කොතරම් නිර්භයද ඔබ?

“ඔබ ඔබගේ හිස් වදන්වලින් මගේ ළමා විය සහ සිහින සොරාගෙන තිබෙනවා. සමහර විට මා වාසනාවන්ත අය අතරින් කෙනෙකු වන්නට පිළිවන්. මිනිසුන් වේදනා විඳිමින් සිටිනවා, මිනිසුන් මියැදෙමින් සිටිනවා. මුළුමහත් පාරිසරික පද්ධතියම කඩා වැටෙමින් පවතිනවා. අප සිටින්නේ මිනිස්වග මිහිතලයෙන් තුරන්ව යෑමේ ආරම්භක අදියරේයි. ඔබ සැමට කතා කළ හැක්කේ මුදල් ගැනම පමණයි. ඔබ කෙතරම් නිර්භයද?.....”

ඇගේ සංකල්පයක් අනුව 2018 වසරේ අරඹන ලද සිකුරාදා දිනවල පන්ති කාමරවලින් බැහැරව සිටීම හෙවත් “සිකුරාදා දිනය අනාගතය වෙනුවෙන් කැප කිරීම” (Fridays For Future - FFF) මේ වසරේ ලොව පුරා පැතිර ගොස් තිබිණි. ඉන්දියාවේ පළ වන Outlook සඟරාව පෙන්වා දෙන පරිදි ඇමේසන් ගිනිවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඇය නැඟී සිටීම 2019 වසර ‘දේශගුණික හදිසි අවස්ථා වසරක්’ (Year Of Climate Emergency) ලෙස හඳුන්වා දෙනු ලැබීමට හේතුකාරක වී තිබේ. 2010 වසරේ සිට ශබ්දකෝශවලට එක්ව තිබෙන Climate Emergency යන වචන දෙකකින් සමන්විත පදය ‘2019 වසරේ පදය’ ලෙස තෝරා ගනු ලැබීය. 2018 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසරේ එය භාවිත වූ ප්‍රමාණය මෙන් දසදහස් වාරයක් එය එතැන් සිට 2019 සැප්තැම්බර් අවසානය දක්වා භාවිත වීම එසේ තෝරා ගනු ලැබීමට හේතු වී තිබේ.

කෙසේවෙතත් පසුගිය 02 - 13 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පැවැති එක්සත් ජාතීන්ගේ 25 වන කාලගුණ සමුළුව එතරම් සාර්ථක අවසානයක් කරා ළඟා නොවීම 2019 වසරේ කනගාටුදායක සිද්ධියක් බව සඳහන් කළ යුතුය.

මේ වසරේ ජනවාරි මැද ඇරැඹුණු අමේසන් වනගිනි තවමත් අවසන් නැත. එම වනයෙන් 65%ක් පමණ බ්‍රසීලය තුළ පිහිටා තිබෙන අතර බ්‍රසීල රජයේ පිටුබලය සහිත විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වන විනාශය ඇරැඹිණි. මේ වන විට දහනය වී අවසන් වූ වපසරිය අක්කර මිලියන 2.5කි. මේ අතර එබඳුම මිනිසා විසින් ඇති කරන ලද්දක් නොවන ස්වභාවිකව හටගත් ඔස්ට්‍රේලියාවේ ළැව්ගිනි පසුගිය අගෝස්තු මස ඇරැඹුණු අතර එය මෙතෙක් අවසන් නැත. මේ වන විට ඒ නිසා දැවී අවසන් වන ගහනය අක්කර මිලියන 12.4ක් බව සඳහන්ය. වැනසුණු ගොඩනැඟිලි සංඛ්‍යාව 2,500කට අධිකය.

මේ වසරේ වූ සුවිශේෂී සිද්ධි 10, වසර 98ක් පැරණි පර්යේෂණ ආයතනයක් වන අැමෙරිකා එක්සත් ජනපදයේ Council on Foreign Relations (CFR) පෙළ ගස්වන්නේ මෙසේය.

1. ලොව පුරා විරෝධතා සහ උද්ඝෝෂණ

පසුගිය වසරේ නොවැම්බර් 17 වැනි දින ඇරැඹි ෆ්‍රංසයේ කහ උඩු කබා උද්ඝෝෂණ සමඟ වසර උදා විය. උද්ඝෝෂකයන් ආණ්ඩු පෙරළියක් ඉල්ලා නොසිටින නමුත් ඔවුන්ගේ ඉල්ලීිම් මෙතෙක් ඉටු වී නොමැති හෙයින් දෝ එය 2020ටත් පවත්වාගෙන යන බව පැහැදිලිය.

පෙබරවාරි 16දා ඇල්ජීරියානු උද්ඝෝෂණ අරැඹිණි. 20 වසරක් එරට පාලනය කළ අබ්දෙල්අසිස් බෞටෙප්ලිකාට ධුරයෙන් ඉවත් වන සේ බල කිරීම එහි එක් අරමුණක් විය. අප්‍රේල් 02දා ඔහු ඉල්ලා අස් වූ අතර අබ්දෙල් කාදර් බෙන්සාලා උභය මන්ත්‍රී මණ්ඩලය විසින් පත් කරන ලදී. ඉන්පසු ජනතාව ඔහුටද ඉවත්ව යන සේ බල කරන ලදින් පසුගිය 19 වැනි දින ඔහුද ඉල්ලා අස් විය. දැන් එරට ජනාධිපතිවරයා වන්නේ අබ්දෙල්මජිඩ් තෙබුආනාය. ඔහුටද ඉල්ලා අස් වන ලෙස බල කෙරෙන අතර සාධාරණ ජනාධිපතිවරණයකට යන ලෙස ජනතාව ඉල්ලා සිටියි. එම විරෝධතා මෙතෙක් අවසන් නැත.

පසුගිය මාර්තු 15 වැනි දින ඇරැඹි හොංකොංහි විරෝධතා ලොව වැඩිම අවධානය දිනාගත් විරෝධතා ව්‍යාපාරය ලෙස හැඳින්වුවොත් සදොස් නොවනු ඇත. එයද මෙතෙක් අවසන් නැති අතර කවදා අවසන් වේදැයි කිව නොහැක්කේ විසඳුමක් දෙන්නට තවමත් බලධාරීන් අපොහොසත් වී ඇති නිසාය. විරෝධතා ඇරැඹුණේ උදර්පණ නීතිවලට ගෙන එන්නට සූදානම් වූ සංශෝධනයක් හේතුවෙනි. ඒ නීතිය එහි පාලනය විසින් ආපසු කැඳවන ලද නමුත් විරෝධතා ඉදිරියටම යයි.

ලොව පුරා රාජ්‍ය 20ක පමණ මෙලෙස විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. මෙබඳු විරෝධතා නිසා ඉරාකයේ අගමැති ආචාර්ය අඩිල් අබුදුල් මහ්ඩි, මෝල්ටාහි අගමැති ජෝසප් මස්කට් සහ බොලීවියාවේ ජනාධිපති ඊවෝ මොරාලේස් සිය ධුරවලින් ඉල්ලා අස් වූහ.

මේ මස මුල ඉන්දියාවේ පුරවැසි පනතේ සංශෝධන පනතට එරෙහිව අරැඹුණු විරෝධතා තවමත් අවසන් නැත.

2019 විරෝධතාවල වසර ලෙස නම් කෙරෙන්නේ පෙර නොවූ විරූ පරිදි රාජ්‍ය විස්සක පමණ පාලකයන්ට එරෙහිව විරෝධතා මේ වසර තුළ ක්‍රියාත්මක වීමත් රාජ්‍ය පාලකයන් හත් අට දෙනෙකුට තනතුරු අතහැර යන්නට සිදු වීමත් නිසාය. මේ අතරින් සුඩාන් පාලකයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි.

පෙර සඳහන් සිසුන්ගේ ‘අනාගතය වෙනුවෙන් සිකුරාදා’ විරෝධතාවලට අමතරව ආණ්ඩුවකට එරෙහිව නොව වෙනත් කාරණාවක් මුල් කරගෙන පැවැති විරෝධතා අතර විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාංශ්ට සාධාරණය ඉටු කරන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් සහ අැමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලමින් ලොව පුරා නගර කිහිපයක වරින්වර විරෝධතා ව්‍යාපාර පැවැත්විණි.

2. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අැමෙරිකාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් දෝෂාභියෝගයකට ලක් කරනු ලැබ යෝජනා සම්මුතියෙන් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට යටත් වූ තුන්වැන්නාය. එසේම ඒ තිදෙනා අතරින් එකම රිපබ්ලිකන් පාක්‍ෂිකයාය. ට්‍රම්ප්ට එරෙහිව චෝදනා කොංග්‍රස් මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් සම්මත වූ නමුත් සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්දයෙන්ද සම්මත විය යුතු වන හෙයින් ඔහුට ධුරය අතහැර යන්නට සිදු වනු ඇත’යි යන සමභාවිතාව ඉතා පහළ මට්ටමක පවතී.

3. සිරියාවෙන් අයිසිස් ත්‍රස්තයන් පළවා හැරීම

කුර්දිශ් සටන්කාමීන් විසින් ඉතා බරපතල කාර්යභාරයක් ඉටු කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට අවි සහ පුහුණුවද මූල්‍යාධාරද සැපයීය. එහෙත් ජයග්‍රහණයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදය කුර්දිශ්වරුන්ට පහර දෙන්නට තුර්කියට ඉඩහැර සිය සහාය ආපසු කැඳවීය.

4. ඉන්දියානු පාලනය හින්දු ජාතිකත්වයට නැඹුරු වීම

මේ වසරේ සිදු වූ සුවිශේෂී සිදුවීම් අතරින් සිව්වැන්න ලෙස CFR දකියි. අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‍ෂය මැයි මස පැවැති මහ මැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබා ගැනීමට ‘රාෂ්ඨ්‍රීය ස්වයංසේවක් සංඝ්’ (RSS) වැනි අන්තවාදී හින්දු සංවිධාන සහ දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීම නිසා මෙසේ සිදු විය.

5. ඇමේසන් වනය දැවීම

ඔවුන් අංක 5 යටතේ දක්වා ඇති සුවිශේෂ සිද්ධිය වේ. මෙය බ්‍රසීල ජනාධිපති බොල්සෙනාරෝගේ සංවර්ධන ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි. මීට එරෙහිව ලෝක ජනමතයක් ගොඩනැගී ඇති නමුත් බොල්සෙනාරෝ සිය වෑයම අත්හරින පාටක් නැත.

6. මේ වසර තුළ පර්සියානු ගල්ෆ් කලාපයේ යුද උණුසුම තීව්‍ර වීම

මැයි මාසයේ දිනෙක හෝමුස් සමුද්‍ර සන්ධියේදී වෙළෙඳ නැව් හතරක් ප්‍රහාරයට ලක් විය. චෝදනා එල්ල වූයේ ඉරාණයටය. ජුනි 06 දින හෞති කැරලිකරුවන් විසින් යේමනයේදී අැමෙරිකානු ඩ්‍රෝනයක් බිම හෙළන ලදී. ඊළඟ දෙසතිය තුළ සිය දේශ සීමා උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ඉරානය ඇමෙරිකානු ඩ්‍රෝන දෙකක් බිම හෙළීය. සැප්තැම්බර් 14 දා හෞති කැරලිකරුවන් විසින් වගකීම බාර ගන්නා ලද ඩ්‍රෝන ප්‍රහාර දෙකක් සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල විය. එහෙත් සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එහි වගකීම ඉරානයට පැවරූහ. ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකාව පර්සියන් ගල්ෆ් කලාපයේ භටයන් 3,000ක් සහිත යුද නැව් ස්ථානගත කළේ සෞදි අරාබියේ ආරක්‍ෂාවට යැයි පවසමිනි. මේ වන විට එම භට සංඛ්‍යාව 14,000 දක්වා වැඩි කරනු ලැබ ඇති බව වාර්තා වෙයි. මේ කාරණයේදි ඉරානයට රුසියාවේ පිටුබලය තිබේ.

7. මේ වසර තුළ ට්‍රම්ප් පරිපාලනය

ඇමෙරිකා එක්සත් ජනපදයට යාබද රාජ්‍යවලින් ඇතුළු වන සරණාගතයන්ට බරපතල ලෙස සීමා පැනවීමද සුවිශේෂී කාරණාවකි. ට්‍රම්ප්ගේ මූලික සංකල්පය වනුයේ ජනතාවගේ බදු මුදල්වලින් ‘අපතයන් නඩත්තු කළ නොහැකි’ බවයි. සරණාගතයන් පිළිබඳ වොෂින්ටනයේ නව ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සරණාගත ප්‍රඥප්තිවලට පටහැනි බව පෙන්වා දී ඇති නමුත් වොෂින්ටනය සිය ප්‍රතිපත්තියේ අචල වැ සිටියි.

8. ඇමෙරිකානු බදු පැනවීම

පසුගිය වසරේ ජනවාරි මස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රාජ්‍ය කිහිපයකින් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු පැනවීය. චීනයෙන් ආනයනය කෙරෙන රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය පැනල සඳහා විශේෂයෙන් බදු පනවන ලදී. මේ ලෙස එකිනෙක වැඩි කරමින් චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ දහසකට අධික සංඛ්‍යාවකට මුලින් සහ සියලුම භාණ්ඩවලට පසුව බදු වැඩි කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය චීනයට එරෙහිව වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශයට පත් කළේය. මේ යුද්ධය මේ වසර පුරාමත් පැවැති අතර ඉදිරි වසරේද නිමා වන බවට සලකුණක් නැත.

9. බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය

මේ වසර තුළද නිමක් දුටුවේ නැත. මේ අර්බුදය නිසා තෙරේසා මේ අග්‍රාමාත්‍යධුරයෙන් සමුගත්තාය. ඉන්පසු පත් වූ බොරිස් ජොන්සන්ටද තත්ත්වය සමනය කැර ගන්නට තවත් කල් ගත වනු ඇති බව පෙනේ.

10. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං උන්

අැමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර 2018 ජුනි 12 දින සිංගප්පූරුවේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සාකච්ඡාවේදී පැමිණි එකඟතා අනුව දෙවන සාකච්ඡාවක් සඳහා දින නියම කැර ගන්නා ලදී. ඒ සාකච්ඡාව මේ වසරේ පෙබරවාරි 27 සහ 28 දෙදින පුරා වියට්නාමයේ හැනොයිහිදී සිදු විය. ඉන්පසු පසුගිය ජුනි 30දා ජනාධිපති ට්‍රම්ප් උතුරු- දකුණු කොරියා දේශ සීමාව පසු කොට උතුරු කොරියා භූමියට පය තබා නායක කිම් සමඟ සුහද කතා බහක නිරත විය. ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් උතුරු කොරියාවට පා තැබූ ප්‍රථම අවස්ථාව ඒ ය. තම රටට පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙස උතුරු කොරියානු නායකයා ඉල්ලා සිටි නමුත් ඇමෙරිකානු නිලධාරීන් ඊට එකඟ වූයේ නැත. ඒ නිසා ඒ සාකච්ඡා එතෙකින් අවසන් විය. එය මේ වසරේ සිදු වු තවත් සුවිශේෂී සිදුවීමකි.

මිට අමතරව තවත් සුවිශේෂි සිද්ධි දෙකක් තිබේ. එකක් නම් වෙනිස්‍යුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ඉවත් කොට එතැන ගන්නට එරට ව්‍යවස්ථාදායකයේ සභාපති ජුආන් ගුඑයිඩෝ විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය සහිතව ගන්නා ලද උත්සාහයයි. එයද මේ වර්ෂාවසානය තෙක් නිමාවක් දැක නැත. අනෙක් කාරණය නම් අයිසිස් නායක අබු බකර් අල්-බග්දාදි ඝාතනය කරනු ලැබීමයි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පසුගිය ඔක්තෝබර් 26දා බටහිර සිරියාවේ ඔවුන්ගේ කඳවුරකට එල්ල කරන ලද ප්‍රහාරයකින් සිදු විය.

News Order: 
1
මාතෘකා