මුස්ලිම් සරණාගතයන් බැහැර කරන්නට ඉන්දියාව නීති සදයි

 ඡායාරූපය:

මුස්ලිම් සරණාගතයන් බැහැර කරන්නට ඉන්දියාව නීති සදයි

ඉන්දියාව පුරා සැමතනකම මේ වනවිට විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් පවතිනු ලෝ පතළය. විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුම්වලින් මේ වන විට 22 දෙනෙක් මරණයට පත් වූ බව වාර්තාවල දැක්වේ. එහෙත් සංඛ්‍යාව ඊට වැඩි විය හැකි බව ද පැවසේ.

ඉන්දියානුවන් මෙසේ පාරට බැස සිටින්නේ පසුගිය 11දා එරට ව්‍යවස්ථාදායකය විසින් සම්මත කැර ගන්නා ලද පුරවැසි පනතේ සංශෝධනයට එරෙහිවය.

මෙලෙස සංශෝධනය වූයේ 1955 අංක 57 දරන පුරවැසි පනතයි. මේ එයට ගෙන ආ පස් වන සංශෝධනය වේ. මීට පෙර එය 1986, 1992, 2003 සහ 2005 දී සංශෝධනය වී තිබේ.

මෙවර සංශෝධනයට මෙලෙස ජනතා විරෝධය එල්ල වන්නේ විවිධ හේතු නිසා බව සඳහන් ය. එහෙත් එය ඇරැඹුණේ ඉස්ලාම් ලබ්ධිකයන් හෙවත් මුස්ලිමුන්ට අනෙක් ලබ්ධිකයන්ට දෙන සහනය නොදෙන බවට අර්ථ දක්වනු ලබන වගන්ති නව පනතට ඇතුළත් බැවිනි.

යාබද රාජ්‍යවල අර්බුද උද්ගත වන විට ඒ රටවල වෙසෙන පීඩාවට පත් වන ජනතාව ඉන්දියාවට පලා ඊම සාමාන්‍යයෙන් සිදු වන්නකි. උදාහරණයක් ලෙස 1983න් පසු ලාංකීය ජනතාව ලක්ෂයක් පමණ ඉන්දියාවේ රැකවරණ පතා එරටට පලාගිය බව සඳහන් වේ. මෙලෙස යාබද රාජ්‍ය වන පාකිස්තානයෙන්, ඇෆ්ගනිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් 2015ට පෙර පලා ආවුන්ට පුරවැසිබව ලබා දීම මේ පනත නීතිගත කිරීමේ අරමුණ බව අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුඵ ඉන්දීය පාලක පක්ෂයේ නායකයන් විසින් ලෝක් සභාවේදී සහ ඉන් පිටතත් පවසන ලද නමුත් ජනතාව එයට එකඟ වන්නේ නැත.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන දෙරටම ‘ඉස්ලාමීය ජනරජය’ යන්න නිල නාමයට ඇතුළත් කැර ගන්නා ලද රාජ්‍යයෝ වෙති. බංග්ලාදේශය එසේ නොවුණත් එරට සමස්ත ජනගහනයෙන් 89.4%ක්ම ඉස්ලාම් ලබ්ධිකයන්ය. ඒ රටවල ඉස්ලාමයට ඇති ප්‍රමුඛත්වය නිසා ඉස්ලාම් ලබ්ධිකයන්ට ඒ රටවලදී හිරිහැර සිදු වන්නේ නැති බව ඉන්දීය රජයේ මතයයි. වෙනස්කම්වලට භාජනය කරනු ලැබ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, පාර්සි සහ ජෛන වැනි ලබ්ධිකයන්ටය. ඒ නිසා ඔවුන් සරණපතා 2015ට පෙර ඉන්දියාවට පලා අවුත් දැනට සරණාගතයන් ලෙස හිමිකම් කිසිත් නැති අවිධිමත් ජීවිත ගත කරමින් සිටින්නේ නම් ඔවුන්ට පහසුකම් සැලසීම මේ පනතේ අරමුණ බව ප්‍රකාෂිතය. ඒ අනුව රටවලින් පලා අවුත් දැනට ඉන්දියාවේ වෙසෙන ඉස්ලාම් ලබ්ධිකයන් පෙරළා සිය මව්රටට යා යුතුය.

එහෙත් සමස්ත ඉන්දියාව පුරාම ජනතා විරෝධය මේ කාරණය නිසාම පැන නැගුණක් විය නොහැකි බව ඒ ගැන සිතා බලන විට පැහැදිලි විය යුතුය. අන්තර්ජාතික ප්‍රජාව ඉන්දියාව විවේචනයට ලක් කරන්නේ එක් ආගමක් බැහැර කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ගනිමිනි. එහෙත් ඉන්දිය ජනයාට ඇති ප්‍රශ්න ඒවා නොවන බව පෙනෙයි.

ඉන්දීය මුල් පුරවැසි පනත අනුව 1950 ජනවාරි 26 දිනට පෙර ඉන්දියාවේ උපත ලැබූ සියල්ලන් යම් යම් ව්‍යතිරේකවලට යටත්ව ඉන්දිය පුරවැසියන් ලෙස සැලකේ. ඉන්පසු ගෙන එන ලද සංශෝධන අනුව 1987 ජුලි 01 දිනට පෙර ඉන්දියාවේ උපත ලද්දවුන් එරට පුරවැසියන් ලෙස ගැනෙන අතර ඉන් පසු උපන් අයට ඔවුන්ගේ දෙමාපියන් ඉන්දීය පුරවැසියන් නම් පුරවැසි අයිතිවාසිකම් හිමි වේ.

ඇසෑම් ප්‍රාන්තය මෙයින් බැහැරය. එහි එක් දේශ සීමාවක් වන්නේ පෙර නැගෙනහිර පාකිස්තානය නමින් හැඳින්වුණු වර්තමාන බංග්ලාදේශයයි. සුන්දර පෙදෙසක් වන ඇසෑමය එකල ජනාකීර්ණ නොවීය. නොයෙක් හේතු නිසා නැගෙනහිර පාකිස්තානයේ වැසියෝ ඇසෑමයට පැමිණ ඉඩම් අල්ලාගෙන පදිංචි වූහ. ඔවුන් සහ ස්වදේශිකයන් අතර නිරන්තර ගැටුම් ඇති වූ අතර ඇසෑම් වාසී මුල් පදිංචිකරුවෝ නවදිල්ලි පාලනයෙන් ඊට විසඳුම් සෙවූහ. සංක්‍රමණිකයන් පිටුවාහල් කළ යුතු ය යන්න ඔවුන්ගේ ඉල්ලීම විය. ප්‍රතිඵලයක් නොලද තැන එහි සිසුහු සංවිධානය වී උද්ඝෝෂණවල නිරත වූහ. 1979 ඇරැඹි එම උද්ඝෝෂණ ඉන්දීය රජය සහ ඇසෑම් ප්‍රාන්ත පරිපාලනය අතර ‘1985 අසෑම් සම්මුතිය’ අත්සන් කරන තුරුම අඛණ්ඩ ව පැවැතිණි. එය ක්‍රියාත්මක කරන්නට 1986 පුරවැසි පනත සංශෝධනය කරන ලදි. ඒ අනුව පුරවැසියන් ලියාපදිංචි විය යුතු අතර ලියාපදිංචිය සිදු වූයේ මුල් පුරවැසි පනත මෙන්ම 1946 විදේශිකයන් පිළිබඳ පනත සහ 1920 ගමන් බලපත් පනතේ විධිවිධානයන්ට යටත්වය. 1951 සංගණනය මූලික කැර ගනිමින් පුරවැසියන් ලියාපදිංචි කොට ඇසෑමයේ ජාතික පුරවැසි ලේඛනයට (National Registry of Citizens - NRC) එහි පුරවැසියන්ගේ නම් ඇතුළත් කිරීම සිය නියාමනයන්ට යටත්ව කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේ තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව අර්බුදයකට තුඩුදුන් බව සඳහන්ය. කෙසේ වෙතත් ඒ සඳහා ඉන්දීය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත් කරන ලද අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් ඇරැඹුණු එම ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නට වසර හයක් පමණ ගතවිය. ඒ සඳහා 52,000ක් රාජ්‍ය නිලධාරීන්ගේ බල ඇණියක් දහසක් පමණ ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානවල ඒ කාර්යයේ නිරත විය. වියදම සඳහන් නොවෙතත් එක් මධ්‍යස්ථානයක් උදෙසා ඉන්දිය රුපියල් මිලියනයක් තරම්වත් වැය වන්නට ඇති බව පිළිගැනේ. ඒ අනුව ඇසෑමයේ ජනයා ලේඛන ගත කිරීම පසුගිය අගෝස්තු 30දින අවසන් විය. ඒ ක්‍රියාවලියේදී නොයෙක් හේතු නිසා ප්‍රතික්‍ෂෙප වූ අයදුම්පත් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්න බව පැවසේ. ඒ ජනයා සිය රටේ පුරවැසියන් බව ඒත්තු ගන්නන්නට සමත් බව ඔප්පු කළ හොත් තම රජය ඔවුන් බාර ගන්නට සූදානම් බව බංග්ලාදේශ රජය ඉන්දියාවට නිල වශයෙන් දන්වා ඇත.

ඉන්දියාව පුරා මේ වනවිට පවතින උද්ඝෝෂණ හා විරෝධතාවලට මූලික හේතුව පුරවැසි සංශෝධන පනතින් මුස්ලිමුන් බැහැර කිරීම නොව NRC ලේඛනය සමස්ත ඉන්දියාව පුරාම ක්‍රියාත්මක කරන්නට (pan-India NRC) මේ පනතින් විධිවිධාන සැලසීම බව විරෝධතා ගැන විමසා බලන විට පැහැදිලි වේ. විරෝධතාකරුවන් අතැති පුවරු බහුතරයක ඒ බව දැකිය හැකිය. එසේ වුවහොත් බොහෝ සංක්‍රමණික ජනයා - විශේෂයෙන් මුස්ලිම් - රටක් නැති තත්ත්වයට පත් වනු ඇති අතර ඔවුන්ට සෞඛ්‍ය, අධ්‍යාපන මෙන්ම දිළිඳුසහන වැනි සමාජ ප්‍රතිලාභද අහිමි වනු ඇත.

ඉන්දීය පාලක පක්‍ෂය දකින්නේ එය ජාතික අවශ්‍යතාවක් ලෙසිනි. ස්වදේශාමාත්‍ය අමිත් ෂා පාර්ලිමේන්තුවේදී පවා එය තහවුරු කොට ඇත.

එහෙත් අග්‍රමාත්‍ය මෝදි පසුගිය ඉරිදා නවදිල්ලි අගනුවර පැවැති රැස්වීමකදී එය ප්‍රතික්‍ෂෙප කළේය. ‘මම මේ කියන්නේ කෝටි 130ක් වන ඉන්දිය ජනතාවටයි. ඇසෑමයේ ක්‍රියාත්මක කළ ලියාපදිංචිකිරීමේ නීති රටේ අනෙක් ප්‍රද්ශවල ක්‍රියාත්මක කරන්නට යනවාය කියා මතයක් මේ වන විට මේ රටේ ප්‍රචාරය වෙමින් පවතිනවා. එය බොරුවක්’. අගමැතිවරයා ඒ කියන්නේ බොරුවක්ය කියා නොකියන නමුත් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ භාරතීය ජනතා පක්‍ෂය 2014 සහ 2019 යන අවස්ථා දෙකේදීම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල එය ඇතුළත් කැර තිබූ බවයි.

එසේම අග්‍රාමාත්‍යවරයා පුනපුනා කියන්නේ ඉන්දියාවේ නිජ බිම වන මුස්ලිමුන්ට මේ පනතින් කිසිදු අසාධාරණයක් නොවන බවය.

භාරත දේශය හින්දුස්තානය හෙවත් ඉන්දියාව සහ පාකිස්තානය ලෙස බෙදන ලද නමුත් ඉන්දියාවේ ඉස්ලාම් ලබ්ධිකයන් මෙන්ම පාකිස්තානයේ හින්දු හා ජෛන ලබ්ධිකයෝ ද පුරාතන පෙරදිග ඇදහිල්ලක් වන පාර්සි අනුගාමිකයෝද වෙසෙති. පෙරද සඳහන් කොට ඇති පරිදි ආගම මුල්කැර ගනිමින් යාබද බංග්ලාදේශය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල මුස්ලිමුන්ගේ ප්‍රහාරවලට ලක්වන අන්‍ය ලබ්ධිකයන් සිය ගම්බිම් හැර දමා පලා ආයේ ඉන්දියාවටය. මෙය ඉන්දීය ජනගහනය වැඩි වීමට එක් හේතුවක් වන බව ස්වදේශිකයන් විසින් හඳුනා ගෙන ඇති බව ඉහත ඇසෑම් උදාහරණය අනුව පැහැදිලිය.

මේ හිසරදය තුරන් කරන බව භාරතීය ජනතා පක්‍ෂය 2014 මැතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළේය. ඒ ඡන්දයෙන් ජය ලබා ආණ්ඩුව පිහිටුවුවත් එම පාලන සමය තුළ එය ක්‍රියාත්මක කළ නොහැකි විය. නැවත 2019 මැතිවරණයේදීද එය ක්‍රියාත්මක කරන්නට බලය ඉල්ලා සිටි අතර බහුතර හින්දුන් ඊට මනාප බව මැතිවරණ ප්‍රතිඵල අනුව කිව හැකිය. ඒ කියන්නේ එයම පමණක් හේතුව වූ බව නොවේ; ඉන්දියාවේ වැඩි අයිතිය ඇත්තේ හින්දු ලබ්ධිකයන්ටය යන්න ඉස්මතු කෙරෙන භාරතීය ජනතා පක්‍ෂයේ අනෙක් ප්‍රතිපත්ති සමග එයද පෑහුණු බවය.

ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ නිදහස් ඉන්දියාව මෙවැනි ක්‍රියාමාර්ගයකට ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි. සිය න්‍යායාචාර්ය රාෂ්ඨ්‍රීය ස්වයංසේවක් සංඝ (RSS) නමැති ෆැසිස්ට්වාදී අන්ත ජාතිවාදී සංවිධානයේ මග පෙන්වීම අනුව ක්‍රියා කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාව හින්දුන්ගේ රාජයයක් බවට පත් කරමින් සිටින්නේය යන්න ප්‍රකට කාරණාවකි. ඉස්ලාම් ලබ්ධිකයන්ට එහි සංහිඳියාවෙන් යුතුව ජීවත් වන්නට නම හින්දු අධිකාරීත්වය පිළිගෙන ඊට යටත් විය යුතුය යන්න ඔවුන්ගේ ත්‍රියාමාර්ගවල යටිපෙළ අරුතයි.

මේ වනවිට උද්ඝෝෂණයන් මර්දනයට ගෙන ඇති පියවර විස්තර කිරීම නිරර්ථකය. බොහෝ තැන්වල සිදුවනවාක් මෙන් මහජන ආරක්‍ෂක පනතේ විධිවිධාන ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගල්මුල් පහරදීම් සහ ප්‍රති ප්‍රහාර රූපවාහිනී පුවත්වල නැරඹිය හැකිය. මෙසමයේ මෙබඳු විරෝධතා ක්‍රියාත්මක වන අවස්ථාවල බොහෝ රටවල මෙන් අන්තර්ජාලයට බාධා පැමිණැවීමද ක්‍රියාත්මක වේ. මේ විරෝධතා සාමකාමී නොවන අතර අනෙක් ඕනෑම එවැනි විරෝධතා ව්‍යාපාරයකදී මෙන්ම මෙහිදීත් උද්ඝෝෂකයන් විසින් රාජ්‍ය සහ පෞද්ගලික නිශ්චල චංචල දේපළවලට අලාභහානි සිදු කරනු දැකිය හැකිය.

අග්‍රමාත්‍ය මෝදි පෙර සඳහන් කැරුණු රැස්වීමේදී තවත් වැදගත් අදහස් කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. ව්‍යවස්ථාදායකය කිසියම් නීතියක් සම්මත කළ විට ජනතාව එය පිළිගන්නට සැදී පැහැදී සිටිය යුතුය යන්න ඉන් එකකි. ඔහු කියන්නේ අදාළ පනත සම්මත කැර ගන්නා ලද්දේ ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ බහුතර ඡන්දයෙන් නිසා ඒ ගැන දැන් විරුද්ධ වන්නට ජනතාවට අයිතියක් නොමැති බවයි. දෙවැනි කාරණය නම් පොලිස් නිලධාරීන්ට ආරක්‍ෂක කටයුතුවල නියැලෙන්නට මහජනයා ඉඩ දිය යුතු බවයි. ඔවුන් කරන්නේ සේවයකි. එය අගය කළ යුතුය. තුන්වැනි කාරණය නම් පෙරද සඳහන් කොට ඇති පරිදි ඉන්දීය මුස්ලිමුන්ට මෙයින් කිසිදු අගතියක් නොවනු ඇති බවයි.

ඉන්දීය නීතිඥ සංගමය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත සමාලෝචනය කරන්නට පියවර ගෙන ඇති බැවින් එහි දැන් උද්ඝෝෂණ අත්හැර දැමීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දෙයි. උද්ඝෝෂකයන් විසින් පොලිස් නිලධාරීන්ට පහර දීම මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානි පැමිණැවීම වහා නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව මත විමසීමක් සිදුවිණිදයි පැහැදිලි නැත. එහෙත් පනතේ නිත්‍යනුකූලභාවය විනිශ්චයට භාජනය කරන මෙන් මහජන සංවිධාන විසින් ඉදිරිපත් කැරුණු ඉල්ලිම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙර කීවේ උද්ඝෝෂණ හා විරෝධතා නවතා දැමීමෙන් පසු තමන් ඒ ගැන සලකා බලනු ඇති බවයි. එහෙත් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය එය විමසීම අරඹා තිබේ. පාකිස්තානයේ මෙන් ම ඉන්දියාවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මෙබඳු අවස්ථාවල මැදිහත්වීම් කරන්නට ‘සුඔමොටො’ නම් විශේෂ විධිවිධාන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබේ. එහි තීන්දුව අද හෝ හෙට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාදන් ලෝකුර් හින්දුස්තාන් ටයිම්ස් විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් කියන්නේ මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ව්‍යවස්ථාව අනුව ඉන්දියාව නිරාගමික වන අතර එක් ආගමික කණ්ඩායමක් බැහැර කිරීමෙන් මේ පනත එම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි.

මාතෘකා