ඉන්දියාව ස්ත්‍රී දූෂණ කුසලාන දිනයි

 ඡායාරූපය:

ඉන්දියාව ස්ත්‍රී දූෂණ කුසලාන දිනයි

පසුගිය දෙසතිය තුළ දූෂණය කොට මරා දැමිම් සම්බන්ධයෙන් ඉන්දියාව නැවත ලෝකයාගේ අවධානයට ලක් විය. ඉන් ප්‍රමුඛතම වූයේ පසුගිය 27 දින තෙළඟන ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරෝපාන්තයේ ප්‍රියංකා රෙඩ්ඩි නමැති විසිහත් හැවිරිදි රුවැති පශූ වෛද්‍යවරියක් මරා දැමීමේ සිද්ධියයි. දෙවැන්න එකී සිද්ධියට සැකපිට අත්අඩංගුවට ලනු ලැබු පුද්ගලයන් සිව් දෙනා පසුගිය 06 දින පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියයෑමයි. තුන්වැන්න එදිනම උත්තර් ප්‍රදේශයේ උන්නාඕහිදී තමා දූෂණය කළ අපරාධකරුට එරෙහිව පැවැති නඩු විභාගය අවසන් වී නිවස බලා යමින් සිටි වින්දිත කාන්තාවට පහර දී පණපිටන්ම පුළුස්සා දැමීමයි.

ඒ අතරම පසුගිය සතියේ වාර්තා වූ තවත් සිද්ධියක් වූයේ නිර්භයා යන ආරූඪ නාමයෙන් හැඳින්වුණු අතුරු වෛද්‍ය උපාධි අපේක්ෂිකාව 2012 දෙසැම්බර් අග සතියේ දූෂණය කොට මරා දමා මරණීය දණ්ඩනයට නියම ව සිරබත් කන විනේ ෂර්මා නම් අපරාධකරුවා විසින් සමාව ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පතට අදාළව දිල්ලි විශේෂ කලාපයේ ආණ්ඩුකාරවරයා (lieutenant Governor) එය ප්‍රතික්ෂේප කරමින් මධ්‍යම රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමය.

හයිද්‍රබාද් ඇවිලීමෙන් පසු ජයා බච්චන් සහ රාහුල් ගාන්ධි වැනි නමක් දිනා ගත් දේශපාලනඥයන්, ඉන්දිය අගවිනිසුරු ශරාද් අරවින්ද් බොබ්දෙ වැනි අය විසින් ප්‍රකාශ කරන ලදුව මාධ්‍යයේ පළ වූ ආන්දෝලනාත්මක ප්‍රකාශද ‘ඉන්දියාව යනු ස්ත්‍රී දූෂණයට තෝතැන්නක්ය’ යන අදහස ස්ඵුට කිරීම සඳහා සාධක ලෙස පවතිනු ඇත.

‘ඉන්දියාව දැන් ස්ත්‍රී දූෂණයේ මූලස්ථානය බවට පත්ව තිබෙනවා. සැමදාම පත්තරවල ස්ත්‍රී දූෂණයක් හෝ මිනීමැරුමක් ගැන වාර්තා තිබෙනවා. මේවා කියවන තරුණියන්, සහෝදරියන් සහ මවුන් සිටින්නේ මරබියෙන්’යි රහුල් ගාන්ධි පැවසූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස වර්තමාන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවද ඔහුගේ විවේචනයට ලක්විය. ඊට හේතුව දේශපාලනිකම නොවේ. ඔහු කියන්නේ භාරතීය ජනතා පක්ෂයේ ව්‍යවස්ථාදායක සභිකයකු වන උන්නාඕ සිද්ධියේ ප්‍රධාන චුදිතයා ‘තමන්ගේ කමට’ මෝදි ආණ්ඩුව ආරක්ෂා කරන බවයි. උත්තර් ප්‍රදේශයෙන් ලෝක්සභාවට පැමිණි කුල්දීප් සිං සෙන්ගාර් ප්‍රදාන චුදිතයාය. වින්දිත තරුණිය සිය නීතිඥයාද ඥාති ස්ත්‍රීන් දෙනෙකුද සමග රියකින් ගමන් කරමින් සිටි අතරතුර රාඒබෙරලිහිදී ට්‍රක් රියක් පැමිණ ඔවුන් හප්පා මහත් අනතුරක් සිදු කළේය. ඒ අනතුරින් නෑ ස්ත්‍රීන් දෙන්නාම මිය ගිය අතර නීතිඥයා සහ වින්දිත තරුණිය බරපතළ ලෙස තුවාල ලදහ. රාඒබෙරලි යනු ඉන්දිරා ගාන්ධිගේ අසුනයි. මේ සිද්ධිය සෙන්ගාර් සම්බන්ධ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණද පොලිසිය සෙන්ගාර්ට එරෙහිව කිසිවක් කළේ නැති බව රහුල් ගාන්ධි පවසයි.

හයිද්‍රබාද් සිද්ධිය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජයා බහදූරි මෙබඳු සාහසික අපරාධකරුවන් පහර දී මරා දැමිය යුතු බව ලෝක් සභාවේදී පැවසූ බව සඳහන්ය.

හයිද්‍රබාද් සැකකරුවන් මරා දැමීම පිළිබඳව පොලිසියට ප්‍රශංසා කරමින් රැලියක් පැවැතිම විශේෂයකි. ‘වීරෝදාර පොලිස් නිලධාරීන් දිනේවා’, ‘ප්‍රියංකා රෙඩ්ඩිගේ ආත්මයට සැනසීම උදා කළ පොලිස් නිලධාරීන්ට අත නොතබනු’ වැනි පාඨ රැගත් පුවරු උද්ඝෝෂකයන් අත තිබූ බව සඳහන්ය. මන්ත්‍රීනි ජයා බච්චන්ද පොලීසියේ එම අනීතික ක්‍රියාව සාධාරණීකරණය කරමින් ඔවුන්ට ප්‍රශංසා කරන්නට පසුබට වූයේ නැත. ‘මගේ දුවට සාධාරණය ඉටු වුණා. දැන් ඇගේ ආත්මයට සැනසීම ලැබෙනවා ඇති.’ ප්‍රියංකාගේ පියා පවසු බවද සඳහන්ය.

බීබීසී වාර්තාවකට අනුව 2017 වසරේ ඉන්දීය පොලිසිවල ලියා පදිංචි වූ ස්ත්‍රී දූෂණ සිද්ධිවලට අදාළ පැමිණිලි සංඛ්‍යාව 33,658ක් වන අතර ඒ අනුව දිනකට 92කි.

එහෙත් 2010 වසරේ nationmaster.com නම් වෙබ් අඩවියේ සඳහන්වන පරිදි වාර්තා වූ ස්ත්‍රී දූෂණ අතරින් ඉන්දියාව සිටින්නේ ලෝකයේ 94 වන තැනය. ප්‍රථම ස්ථානය දකුණු අෆ්‍රිකාවට හිමි වන අතර එරටේ ස්ත්‍රීන් ලක්ෂයකට 134.4ක් 2010 වසරේ දූෂණයට ලක් වූ බව වාර්තා වී තිබේ. ස්වීඩනයේ එම සංඛ්‍යාව 63.5 වෙමින් ලෝකයේම 6 ස්ථානයේ සිටීම ඇදහිය නොහැක්කක් ලෙස පෙනෙනු ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ සංඛ්‍යාව 27.3 වන අතර 14 වන ස්ථානයේ පවතියි. බංග්ලාදේශය එහි 41 වන ස්ථානයේ ද, ශ්‍රී ලංකාව 49 ස්ථානයේ ද ඇති බව ඒ සමගම සඳහන් කළ යුතු ය.

කෙසේ වෙතත් ඉන්දියාව ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දිනාගැනීමට හේතු ගණනාවක් තිබේ. පළමුවැන්න ලෙස ගිණිය හැක්කේ ඒවා සාමූහික වීම ය. බොහෝවිට සැලසුම් සහගතය. දෙවැන්න වාර්ගික පදනමක් තිබිය හැකි වීමය. වඩා වැදගත් මෙන්ම භයානකද හේතුව ලෙස ගිනිය හැක්කේ සාමූහික වශයෙන් දූෂණය කොට කුරිරු ලෙස ඝාතනය කිරීමය. තවත් හේතුවක් විය හැක්කේ එබඳු සිද්ධිවලින් අනතුරුව සිවිල් සමාජය විරෝධතා දියත් කිරීමයි.

ඉහත සඳහන් හයිද්‍රබාද් සිද්ධිය එබන්දකි. ඝාතකයන් සැලසුම් සහගත ලෙස ඇගේ යතුරු පැදියේ රෝදයක් අබලන් වන්නට සලස්වා ඇයට එයින් යන්නට නොහැකි වූ කල උදව් කරන ව්‍යාජයෙන් පැමිණ සිහි නැති වන තුරුම කිහිපවිටක් ඇය දූෂණය කොට ඉන් අනතුරුව ගිනිබත් කළ බව වාර්තාවල සඳහන්ය. ඇයට ගිනි තබන්නට ඇත්තේ පණපිටින්ම බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

අඟුරු වි ගිය ඇගේ සිරුරේ කොටස් සොයාගෙන ඇත්තේ සිද්ධිය වී පැය 36කට පමණ පසු එය වූ තැනින් කිලෝමීටර් 25ක් පමණ දුර මහ මග අද්දර දමා තිබියදීය.

එම සැකකරුවන්ට එරෙහි ව සමූහ ස්ත්‍රී දූෂණය, මිනී මැරීම සහ සාක්ෂි වසන් කිරීම යන බරපතළ ගණයේ අපරාධ චෝදනා එල්ල වන බව හයිද්‍රබාද් පොලිසිය පැවසූ අතර ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටින්නට තෙළඟන නිතිඥ සංගමය තීරණය කොට තිබිණි.

ඉන්දීය මාධ්‍යවේදිනියක, ගත්කතුවරියක මෙන්ම සමාජ ක්‍රියාධාරිනියක වන සෝනි සන්ග්වන් විසින් ලියන ලදුව ‘අවුට්ලුක්’ වෙබ් අඩවියේ දෙසැම්බර් 03 දින පළ වු සිය ලිපිය අරඹන්නී මෙලෙසිනි:

“මගේ දියණිය මේ වනවිට rape යන්නේ අරුත විමසීම අත්හැර දමලාය. පත්තර පිටුවල සිරස්තල පමණක් කියවන නව හැවිරිදි ඇය “මොකක්ද අම්මා rape කියන්නේ”යි අසන්නට හුරුව සිටියාය.

ස්ත්‍රී දූෂණය යන්න නව හැවිරිදි දැරියකට විස්තර කර දීම තරම් අප්‍රසන්න දෙයක් දෙමාපියන්ට තිබිය නොහැකිය. වේගයෙන් වැඩෙමින් සිටින එවන් දරුවකුගේ අහිංසකත්වය ඔබ සොරා ගනිමින් සිටින්නහුය. ඒ නිසාම ඒ ගැන සිතන්නට යොමු වෙමින් සිටිමි. එමගින් දරුවකු අසහනයට, වේදනාවට, පීඩාවට පත් වීම දරාගත නොහැකිය.”

මේ ලිපිය පළ වූයේ හයිද්‍රබාද් පොලිසියේ ‘වික්‍රමාන්විත මෙහෙයුම’ට පෙරය. මෙහි දී සංග්වන්, ජයා බච්චන්ගේ මතය නිවැරදිය යන ආස්ථානයක සිටින බව පැහැදිලිය.

පෙර හයිද්‍රාබාද් නගරය කලබලයෙන් තොර, ව්‍යාපාරාකීර්ණ නොවූ, සාමකාමී නගරයකි. තෙළඟන ප්‍රාන්තය ලෙස වෙන්වන්නට පෙර එකල අන්ද්‍රා ප්‍රදේශ් ලෙස පැවැති එම ප්‍රාන්තයේ 1995 සිට 2004 දක්වා මහ ඇමති ව සිටි චන්ද්‍රතිලක නායිදු විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ආයෝජකයන් සහ වානිජ ව්‍යවසායයන් එහි පැමිණි අතර එනිසා හයිද්‍රාබාද් ජනාකීර්ණ විය. මයික්‍රොසොෆ්ට්, ගූග්ල්, ෆේස්බුක් වැනි සමාගම් එහි ශාඛා ස්ථාපනය කළ අතර ඉකෙයා නම් සුප්‍රකට ගෘහ උපකරණ නිශ්පාදන සමාගමේ ප්‍රථම ඉන්දිය ශාඛාව එහි විවෘත කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස පිටත සිට පැමිණෙන සේවා නියුක්තීන්ගෙන් නගරය ජනාකීර්ණ විය. එහිද ප්‍රතිඵලයක් ලෙස නගරයට කල්ල කඩත්තයන්ගේද අඩුවක් නොවීය.

‘මට බයක් දැනෙනවා’ මරණයට පෙර සිය නැගණිය තමා සමග පැවසූ බව ඇගේ වැඩිමහල් සොහොයුරිය පොලීසිය සමග පසුව පවසා ඇත.

හයිද්‍රබාද් දිවා සමයේ සෙනග ගැවසෙන විට ආරක්ෂිත බවත් මේ අනුව පෙනී යන්නේ සැන්දෑව එළැඹී ජනශූන්‍ය වනවිට සිදු වනු ඇත්තේ මොනවාද යන්න නිශ්චිතවම කිව නොහැකි බවත්ය.

සෝනි සංග්වන් තවදුරටත් මෙසේ කියන්නීය:

“මගේ දියණිය මෙවර ප්‍රශ්න නොනැගීම මගේ සිත වඩාත් අවුල් කළේය. එයින් අදහස් කෙරෙන්නේ වර්තමාන ඉන්දියාවේ ස්ත්‍රී දූෂණය කිසිවකුගේ සිත කම්පා නොකරන තරමට සාමාන්‍යකරණය වී ඇති බවද? ඊට අදාළ පුවත් සිරැසි විශාල සංඛ්‍යාවක් කියවා පුරුදු ඇය තවදුරටත් ඒ ගැන විමසන්නට දෙයක් නොමැත්තේය’යි සිතනවාද? නව හැවිරිදි වියේ දීම ඇය පමණට වඩා යමක් දන්නවාද?

මෙලෙස ස්ත්‍රී දූෂණය සාමාන්‍යකරණය වීම අපේ යුගයේ සාපයකි. මා ‘ගඔන් කනෙක්ෂන්’ නම් ග්‍රාමීය පුවත් ජාලයට සම්බන්ධව වැඩ කළ කෙටි කාලයේදී ඔවුන්ගේ ලිපිලේඛන ඉංගිරිසියට පරිවර්තනය කිරීම මට පැවරී තිබිණි. මේ සංවිධානය ගම්මට්ටමේ තෘණමූල පුවත්වල නිවරදි බව තහවුරු කරයි. ඒ වාර්තා අනුව උත්තර් ප්‍රදේශයේ පවුල්වල සැම වයස් කාණ්ඩයකම ස්ත්‍රීන් සිටින්නේ දැඩි බියකිනි. දූෂණය කිරීමෙන් අනතුරුව ඊට විරෝධය පාන වින්දිතයාගේ පවුලේ ඇත්තන්ට තර්ජනය කිරීමද නොකඩවා සිදුවේ. එක් දැරියක් අධිකරණයට පැමිණ සිටියේ ඇගේ දරුවාද කර පින්නාගෙනය. ඒ දරුවා ඇය ගමේ ප්‍රභූවරයකු අතින් දූෂණය වීමේ ප්‍රතිඵලයකි.

නිර්භයා සිද්ධියෙන් පසු කෝපය විදාරණය විය. “දැන් ඉතින් හොඳටෝම ඇති” අපි උගුර ලේ රහ වන තෙක් කෑ ගැසුවෙමු. “අවලමුන් කර අඹනු, ඔවුන් මැරෙන තෙක් එල්ලනු” අපි හඬ නගා ඉල්ලා සිටියෙමු. සිතේ භීතිය වෙනස් කැරගෙන සන්සුන් වන්න’යි අපට උපදෙස් දුන් දැනමිතියෝ ද වූහ. අප ඉල්ලු තුන් ආකාර දැඩි ක්‍රියාමාර්ග පිළිබඳ ඉල්ලීම් දැන් ඔවුන් වෙතින්ම ඉදිරිපත් වෙනු දැකිය හැකි ය. කර අඹනු, එල්ලනු, මරනු.

හයිද්‍රාබාද් සිද්ධිය තවමත් සිරස්තලවලින් ගිලිහී නැතත් මේ දවස්වල පවා ස්ත්‍රී දූෂණ අනවරතව සිදුවෙමින් පවතියි. ඒවාට එරෙහි පොලිසියේ ඇත්තේද ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. ඔඩිස්සාහි මහාචාර්යවරියක් තමා දූෂණයට ලක් වූ බව පොලීසියට පැමිණිළි කොට මසක් ඉක්ම ගියත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලද හෙයින් සිය පණ නසා ගත්තීය.

චෝදනා ලද අය මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේය. වින්දිතයාගේ පවුලේ අයට අවහිර කළ පොලිස් නිලධාරීන්ගේ සේවය මේ වන විට අත් හිටුවනු ලැබ තිබේ. ඉතින් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණය මෙතැනින් අවසන් වනු ඇත්ද?”

මේ සිද්ධිය ගැන දැනුම් දුන්විට ‘ඉතිං ඉගෙන ගත් කෙනෙක් විදියට එයාට කරන්න තිබුණෙ පොලිසියට ෆෝන් කරන එකනෙ, 100 අංකය සැමවිටම විවෘතයිනේ’යි තෙළඟන ප්‍රාන්ත ඇමතිවරයකු වන මොහොමඩ් මහ්මූඩ් අලි පවසන විඩියෝවක් මාධ්‍යජාලවල නැරඹිය හැකිය. ඔහු එසේ කීවත් පොලිසිය වින්දිත වෛද්‍යවරියගේ පවුලේ අය පැමිණිලි කරන්නට පොලිසියට ආ විට බාධා පමුණුවා තිබේ. සේවය අත්හිටුවීමකට බඳුන් කරන ලද’යි ඉහත සඳහන් වන්නේ ඔවුන් තිදෙනා ගැනය.

මෙයට හේතුව සෝනි සංග්වන් පෙන්වා දෙන සාමාන්‍යකරණය විම නම් එය ඉතා සෝචනීය මෙන්ම භයානක දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ‘අප ජීවත් වන්නේ මවැනි ඇමතිවරුන් සිටිනා රටේද’ කියා සමාජ ක්‍රියාධාරිනියක් ප්‍රශ්න කොට තිබිණි.

2012 දෙසැම්බරයේ වූ නිර්භයා සිද්ධියෙන් පසු අපූර්ව පරිදි සමාජය විවෘතව මෙබඳු සිද්ධි ගැන කතා කරමින් සිටියි. ඒ වනවිට ‘මීටූ’ ව්‍යාපාරය (Me Too movement) ඇරැඹී තිබුණේ නැත. 2018 වසරේ එය ඇරඹෙන්නට නිර්භයා සිද්ධියෙන්ද කිසියම් අනුප්‍රාණයක් ලබන්නට ඇතැයි සිතිය හැකි බව සඳහන්ය. නිර්භයා සිද්ධියෙන් පසු ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයට අදාළ නීති දැඩි කරන ලද අතර නඩු විභාගද කඩිනම් කෙරේ. ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි ලැබෙනවාට වඩා නොලැබෙනවා වැඩි බව සාමාන්‍ය මතයයි. රජයේ දත්ත අනුව බාලලියන් දූෂණය කිරීම් බොහෝ විට සිදුවන්නේ ඥාතින් අතිනි. ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ දැන් සාමාන්‍ය එදිනෙදා පුවතක් බවට පත්ව ඇතැ’යි කාන්තා හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙයි.

ඉන්දියාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පුද්ගල ප්‍රවේශයද තිබේ. හයිද්‍රබාද් සිද්ධියේ දී අල්ලාගත් සැකකරුවන් එලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විමට එක් හේතුවක් විය හැක්කේ ඔවුන් සමාජයේ පහළ ස්ථරයෙන් පැමිණි අය විමයි. එහත් උන්නාඕ සිද්ධියේ මෙන් ම කාශ්මිරයේ හින්දු දෙවොලක අවෙතේවකරුවන් ඇතුළු පිරිසක් විසින් අට හැවිරිදි මුස්ලිම් දැරියක් කෲර ලෙස දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියේදීද එරට පොලිසිය සිහි මුර්ඡා තත්ත්වයේ පසු වූ බව පැහැදිලිය.

පසුගිය 07දා කිසියම් උත්සවයක දී ඉන්දීය අග විනිසුරු බොබ්දෙ මෙසේ පැවසී ය: ‘වෛරී සහගත වුවහොත් යුක්තිය සිය ප්‍රකෘතිය හැර යනු ඇත.’

ඉන්දීය අධිකරණයේ විනිශ්චය පමා වීම දූෂණ සිද්ධිවලට එක් හේතුවක් බව අගවිනිසුරු පෙනවා දෙයි.

කෙසේවෙතත් හියිද්‍රබාද් සිද්ධියේදී ඝාතනයට ලක්වූවන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්‍ෂණ සඳහා සුරැකිව තබා ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කරන ලද අතර ඒ පිළිබඳ මූලික විභාගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

මාතෘකා