විරෝධතාවලින් ලොවම කැලඹෙයි

 ඡායාරූපය:

විරෝධතාවලින් ලොවම කැලඹෙයි

පසුගිය සතියේ අගමැතිවරුන් දෙනෙකුගේ ඉල්ලා අස්වීම් පිළිබඳ මාධ්‍ය වාර්තා පළ විය. ඒ ඉරාකයේ අගමැති ආචාර්ය අඩිල් අබුදුල් මහ්ඩි සහ මෝල්ටාහි අගමැති ජෝසප් මස්කට් ගේය. පෙර සතියේ බොලීවියාවේ ජනාධිපති ඊවෝ මොරාලේස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී රට හැර පලා ගිය අතර ධුරයෙන් පහ කරනු ලැබූ සුඩාන ජනාධිපති ඔමාර් අල්-බෂිර් මේ වන විට නිවාස අඩස්සියේ පසුවෙයි.

මෙලෙස ඒ පුද්ගලයන්ට තනතුරු අතහැර යෑමට හේතු වූයේ ඔවුන්ට එරෙහිව පැවැති ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරයි.

මේ අතරින් පසුගිය ඉරිදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ මෝල්ටා අගමැති ජෝසප් මස්කට්ගේ කතාව තරමක වෙනස් මුහුණුවරක් ගනී. ඔහු ඉල්ලා අස්වීමට යන්නේ තනිකර මානුෂික හේතු මත වීම එහි ඇති විශේෂයයි.

2017 ඔක්තෝබර් 06 දින එරට ප්‍රමුඛ පෙළේ දූෂණ විරෝධී ක්‍රියාකාරිනියක් මෙන්ම මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක් වූ ඩැෆ්නි ඈන් කරුආනා ගැලීෂියාගේ වාහනයට බෝම්බයක් අටවා ඝාතනය කැරිණි. මේ පිළිබඳව අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන මුල සිටම මැදිහත් වූ අතර කරන ලද විමර්ශනවලින් එරට අංක එක දරන ධනවතා වන යෝගන් ෆෙනෙච් සැලසුම් කළ බව අනාවරණය විය. ගැලීෂියා වෙසෙන නිවස්නයේ රිය අංගණය තුළ වූ කාරයේ බෝම්බය ඇටවීමේදී මැදිහත්කරු වී ඇත්තේ මෙල්වින් තෙයුමා නමැත්තෙකි. තෙයුමා සහ අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී කීත් ශෙම්බ්රි අතර කිට්ටු සබඳතාවක් ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා එක්ව හිඳ ගන්නා ලද ඡායාරූප රැසක් සොයාගෙන ඇත. ජනයා අගමැතිවරයාට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ මූලික හේතුව එයයි.

එරට ජාතික රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් ඔහු කීවේ වර්ෂාන්ත නිවාඩුව අවසන් වූ පසු ජනවාරි 12 දිනා තමා පාලක ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බවත් ඉන්පසු අගමැතිධුරයෙන්ද ඉල්ලා අස්වන බවත්ය. ‘සියලු වගකීම්වලට උරදෙන්නට සිදුව ඇත්තේ මටයි. එහෙත් ඒ කිසිවක් වින්දිතයාගේ පවුලේ අයගේ විඳවිල්ලට සම කළ නොහැකියි.’ මස්කට් සිය කථාවේදී සඳහන් කළේය.

2018 නොවැම්බර් 17 දින ඇරැඹි ෆ්‍රංසයේ කහ උඩු කබා විරෝධතා පසුගිය ඉරිදා ප්‍රථම සංවත්සරය සැමරීය. එහෙත් එරට විරෝධතාවල අරමුණ රජය පෙරළා දැමීම නොව කප්පාදු කළ සහන නැවත ලබා ගැනීමය. පසුගිය මාර්තු 15 දින ඇරැඹි හොංකොං විරෝධතා තවමත් අවසන් නැත.

පෙර සඳහන් පරිදි තිස් වසරක් සිය රට පාලනය කළ දුර්දාන්ත පාලකයා වූ ඔමාර් අල්-බෂිර් පළවා හැරීම අරමුණු කැර ගත් සුඩාන වැසියන්ගේ විරෝධතා ව්‍යාපාරය ඇරැඹුණේ පසුගිය වසරේ දෙසැම්බර් මැදය. එමගින් පසුගිය අප්‍රෙල් 11දා අල්-බෂිර් පලවා හරින්නට ඔවුහු සමත් වූහ. වෙනිස්‍යුලාවේද එවැනිව මේ වන විටත් වීදි විරෝධතා දියත් වේ. එරට ජනාධිපති නිකොලස් මදුරෝ පලවා හරින්නට තැත් කළත් අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය සහිත ජුආන් ගුඅයිඩෝ නම් එරට ව්‍යවස්ථාදායකයේ සභාපතිවරයාට තවමත් හැකි වී නැත. මේ වන විට ගුඅයිඩෝ විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දෙමින් එමගින් මදුරෝ පලවා හැරීමේ ප්‍රයත්නයක යෙදී සිටියි. අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඇලිය සහ අමෙරිකානු සංගමයේ රටවල් ද අතුළු ලොව පුරා රාජ්‍ය 55ක් මේ වන විට ගුආඉඩෝ එරට ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා නමුත් මදුරෝ ද නොසැලී සිටියි.

වෙනිසියුලාවේ ආභාසයෙන් ලතින් අමෙරිකානු රටවල් කිහිපයකම පාලනයට එරෙහි විරෝධතා ව්‍යාපාර ඇරැඹිණි. බොලීවියාවේ ඇරැඹි විරෝධතා ව්‍යාපාර නිසා එරට ජනාධිපතිවරයාව සිටි ඊවෝ මොරාලේස්ට ධුරය අතහැර රටින් පලා යන්නට පවා සිදු විය. පසුගිය ඔක්තෝබර් 21 දින පැවැති මහ මැතිවරණයේ දී ඡන්ද වංචාවක් සිදු වූ බව පවසමින් සමාජවාදය සඳහා ව්‍යාපාරය නම් දේශපාලන සංවිධානය විසින් එය මෙහෙයවන ලදි. ඡන්දය නිසි පරිදි පැවැත්වුණා නම් බලයට පත් වනු ඇත්තේ ප්‍රතිවාදී අපේක්‍ෂිකාව වූ ජැගි ඇනෙස් බව විරෝධතාකරුවන්ගේ මතයයි. නැවත මැතිවරණයකට යෑමට මොරාලේස් යෝජනා කළ නමුත් එරට හමුදාවේ සහ පොලිසියේ දැඩි බලපෑම මත ඉල්ලා අස්වන්නට ඔහුට සිදු විය. පුරප්පාඩු වූ ජනාධිපතිධුරයේ ඇනෙස් දිව්රුම් දුන් අතර මොරලේස් දින දෙකකට පසු මෙක්සිකෝවට පලා ගියේය. මොරාලේස්ට පක්‍ෂපාත විරෝධතා ව්‍යාපාරද දියත් වෙයි. එම විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්වලින් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් පනහකට පමණ තුවාල වූ බව සඳහන්ය.

ලතින් අමෙරිකාවේම තවත් රාජ්‍යයක් වන ඉක්වදෝරයේ පසුගිය ඔක්තෝබර් දෙවෙනිදා ඇරැඹි විරෝධතා ව්‍යාපාරවලද තවමත් නිමාවක් නැත. ඉක්වදෝර වැසියන් පවත්නා රජයකට එරෙහිව මෙතරම් දැඩි විරෝධතාවක නිරත ප්‍රථම අවස්තාව මෙය බව පැවසේ. මේ විරෝධතා එරට වත්මන් ජනාධිපති ලෙනින් මොරනෝගේ අන්ත දක්ෂිණාංශික පාලනයට එරෙහිවය. පෙර එරට ජනාධිපතිව සිටි රෆායෙල් කොරෙයා මෙන් නොව ඔහු අමෙරිකා එක්සත් ජනපදයට ගැතිකම් පාන්නෙකි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඉන්ධන මිල ඉහළ දමන්නට සහ ජනතාවට පීඩාකාරී අන්දමේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්නට ඔහු විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ජනතාවගේ කෝපයට හේතු වී ඇත. විරෝධතා නිසා එරට පාලනය මේ වන විට අගනුවර වන ක්විටෝ වෙතින් වරාය නගරයක් වන ගුආයාක්විල් වෙත ගෙනගොස් ඇත. හමුදාව සමග ගැටීම නිසා දස දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී අසූවක් තුවාල ලබා තවත් අසූවක් අත්අඩංගුවට පත් ව සිටිති. මේ වන විට විරෝධතාවලට වෘත්තිය සමිති, ශිෂ්‍යයන් සහ ආදිවාසී ජනයාද එක්ව සිටින බව පැවසේ.

විකිලික්ස් නිර්මාතෘ ජුලියන් අසාංශ් පාවාදීම ලෙනින් මොරානෝගේ බටහිර ගැති පිළිවෙත හඳුනා ගැනීමට ඉවහල් වන සාධකයකි. ලොව නන්දෙස විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයන්ගේ සහ හමුදාවල නොයෙකුත් අකටයුතු කම් ලොවට හෙළි කළ අසාංශ් අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෛරයට බඳුන් වී ඔහුට එරෙහිව නඩු පවරන්නට පියවර ගනිමින් සිටින විට ඔහුට රැකවරණය දෙනු ලැබුවේ ලන්ඩන්හි පිහිටි ඉක්වදෝරියානු තානාපති කාර්යාලය විසිනි. ඒ 2012 ජුනි මස දිනෙකය. රෆායෙල් කොරෙයා එසමයේ එරට ජනාධිපති විය. අනුප්‍රාප්තික මොරෙනෝගේ නියෝගය පරිදි පසුගිය අප්‍රෙල් 11 දින අසාංශ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර දෙන ලදි. මේ වන විට බ්‍රිතාන්‍යයේ සිර දඬුවමක් විඳින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බව සහ බන්ධනාගාර රෝහලේ නිසි ප්‍රතිකාර නොලැබෙන හෙයින් ඔහුගේ ජිවිතය බේරා ගන්නට නම් විශ්වවිද්‍යාල රෝහලකට ඇතුළත් කළ යුතු බව වෛද්‍යවරුන් 40 දෙනෙකු විසින් බ්‍රිතාන්‍ය රජයට පෙන්වා දෙනු ලැබ ඇතත් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැති බව සඳහන්ය.

ජුලියන් අසාංශ්ට නිදහස ලබා දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කෙරෙන විරෝධතා රැලිද ලොව බොහෝ නගරවල වරින්වර පැවැත්වෙනු දැකිය හැකිය.

ලතින් අමෙරිකානු රාජ්‍යයක් වන හොන්දුරාස් ජනාධිපති ජුආන් ඕර්ලැන්ඩෝ හෙර්නැන්ඩස්ට එරෙහිව එරට නිදහස් දිනය යෙදෙන සැප්තැම්බර් 21දින ඇරැඹි විරෝධතාද මෙතෙක් අවසන් නැත. හෙර්නැන්ඩස්ගේ බාල සහෝදරයකුට එරෙහිව අමෙරිකානු අධිකරණයක මත් ද්‍රව්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීම නිසා හෙර්නැන්ඩස්ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ බවට චෝදනා කරමින් ජනයා ඔහුට ඉල්ලා අස් වන ලෙස බලකරමින් සිටිති.

ලතින් අමෙරිකානු කලාපයේම පේරු රාජ්‍යයේ ගුරුවරු පසුගිය 22 දින සිට පාරට බැස සිටිති. මෙය රජයට එරෙහි විරෝධතාවක් වන නමුත් පොදු මහජන නැගීසිටීමක් බවට තවමත් පත් වී නොමැත.

පසුගිය ජුනි මාසයේ හයිටි අගනුවර වන පෝට් අඋ ප්‍රින්ස් හි විරෝධතා හා උද්ඝෝෂණ ක්‍රියාත්මක විය. ඒ ජනාධිපති ජොඑනල් මොයිස්ගේ දූෂණ සහ වංචාවලට විරෝධය පළ කරමිනි. පසුව එය තුනී වී ගිය අතර පසුගිය අගෝස්තු මාසයේ නැවත විරෝධතා ඇරැඹිණි. ඒ ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීම නිසාය.

පසුගිය 20දා සිට කොලොම්බියාවේ රජයට එරෙහි උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර දියත් වේ. විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මුලින්ම පාරට බැස්සේ විශ්‍රාමිකයන් වන අතර පසුව නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කරමින් ශිෂ්‍යයෝ, ගුරුවරු සහ වෙනත් වෘත්තිකයෝද ඔවුන්ගේ වෘත්තිය සංවිධානද දේශීය ජනයාද ඊට එක් විය. ජනාධිපති ඉවාන් ඩුකේ මාර්කේස්ට ධුරය අතහැර යන ලෙස බල කරමින් ඔවුන් බොගෝටා අගනුවර පුරා උද්ඝෝෂණයේ යෙදී සිටින අතර පොලිසිය අවම බලය පාවිච්චි කරන බව සඳහන්ය. මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

පසුගිය ඔක්තෝබරයේ ඇරැඹි ඉරාක ආණ්ඩුවට එරෙහි විරෝධතා උත්සන්න වූයෙන් අගමැති ආචාර්ය අඩිල් අබුදුල් මහ්ඩිට ඉල්ලා අස් නොවී සිටින්නට නොහැකි විය. ඔහුගේ ඉල්ලා අස්වීම පෙරේදා එරට පාර්ලිමේන්තුව විසින් පිළිගන්නා ලද අතර නව අගමැතිවරයකු නම් කරන ලෙස ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් කතානායක වෙත දැනුම් දී ඇත. රජයේ හමුදා සහ රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලි විසින් වීදි බට ජනයා වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් 400 අධික සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත් වූ සහ දහස් ගණනක් තුවාල ලැබූ බව වාර්තා විය.

නොවැම්බර් 15 දින ඉරානයේ ඇරැඹි විරෝධතා ව්‍යාපාරද එතරම්ම දරුණු ලෙස මර්දනයට ලක් වූවකි. මේ විරෝධතාව මුලදී ඇරැඹියේ සියයට 300කින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව වන අතර මේ වන විට එය වර්තමාන ඉරාණ රජයට මෙන් ම අග්‍රෙෂ නායක අයතොල්ලා ඛමෙයිනිටද එරෙහිව නගර කිහිපයක් පුරා පැතිර පවතින්නකි. වාර්තාවලට අනුව රජයේ හමුදාව හෙවත් විප්ලවයේ ආරක්‍ෂක හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් සංඛ්‍යාව 200 ඉක්මවන බව සඳහන්ය.

රාජ්‍යවලට එරෙහි මේ විරෝධතා ව්‍යාපාර ගැන බිබීසී විසින් නිර්මාණය කරන ලද ප්‍රවෘත්තිමය විඩියෝවක් එම පුවත් අඩවියේ නැරඹිය හැකිය. එහි සඳහන් පරිදි මෙම ආණ්ඩු විරෝධී ව්‍යාපාරවල අරමුණු විග්‍රහ කිරීමේදී සාධක තුනක් හඳුනාගත හැකිය. සමාජ විසමතාව, වංචා හා දූෂණ සහ දේශපාලන නිදහස අහිමි වීම යනු ඒවායි.

සමාජ විසමතාව ඇති වන්නේ ආර්ථිකය එක තැන රැඳි සිටීම, රාජ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම වැනි කාරණා නිසාය. අඩු ආදායම්ලාභී අවවරප්‍රසාදිත පන්තිය ඒ නිසා පීඩාවට පත් වීම ඒ යටතේ දැක්විය හැකිය. ඡන්දයෙන් තේරී පත් වන මහජන මුදලින් නඩත්තු වන දේශපාලකයන් පොදුජන අපේක්ෂා ඉටු නොකරමින් කාමභෝගී සැප පහසු දිවි පෙවෙත් ගත ගත කිරීම නිසා ජනතාව සැම විටම සිටින්නේ අතෘප්තියෙනි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු මේ වන විට ලෝක ආර්ථිකයේ නැග්මක් නොමැති වීම තදින්ම බලපාන්නේ අඩු ආදායම්ලාභීන්ට බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

දූෂණය සහ වංචාව යන්නට අයත් වනුයේ පොදුඅරමුදල් දේශපාලනඥයන් විසින් නොමසුරු ලෙස සිය පරිහරණයට ගැනීම සහ නාස්තිකාර රජයේ වියදම්ය. තමන්ට ප්‍රයෝජනයක් නොමැති මෙම වියදම් ජනතාවගේ ද්වේශයට හේතු වෙයි. මෙය බොහෝ රටවල දක්නා ලැබෙන අතර ඌණ සංවර්ධිත රටවල ජනයාට දරාගත නොහැකි තරම්ය.

දේශපාලන නිදහස අහිමි වීම පොදු ජන අසහනයට ප්‍රබල හේතුවකි. භාෂණයේ නිදහස අහිමි කිරීම මෙන්ම උද්ඝෝෂණ හා පෙළපාලි විසුරුවා හරින්නට පොලිසිය සහ හමුදාව භාවිත කරන කෲර උපක්‍රමද ඊට ඇතුළත්ය.

ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාතට වෙනම රාජ්‍යයක් ඉල්ලා බාසිලෝනාහි උද්ඝෝෂණයක් පැවැත්වෙන අතර එහි අරමුණු ඉහත සඳහන් ඒවා සමග සසඳන කළ වෙනස් මුහුණුවරක් ගනී. ඉහත බිබිසී විඩියෝවට අනුව එය සහ හොංකොං විරෝධතා වැටෙන්නේ දේශපාලන නිදහස අහිමි වීම යන ප්‍රවර්ගයටය. වෙනස් මුහුණුවරක් ගන්නා තවත් විරෝධතා ව්‍යාපාරයක් වනුයේ ග්රිටා තුන්බර්ග් නමැති ස්විඩිශ් පාසැල් ශිෂ්‍යාව විසින් අරඹන ලද දේශගුණ හිතකාමී විරෝධතා ව්‍යාපාරයයි. ලොව පුරා කොතැනක හෝ නගරයක පාසැල් සිසුහු සිකුරාදා දිනවල පුවරු රැගෙන නිහඬව පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීමට එරෙහි පියවර නොගැනීම ගැන කාර්මික රටවලට නිහඬව සිය විරෝධය පළ කරනු දැකිය හැකිය.

News Order: 
1
මාතෘකා