ඔබේ ජංගම දුරකථනයේ ඒ දරුවන්ගේ කඳුළු ඇත

 ඡායාරූපය:

ඔබේ ජංගම දුරකථනයේ ඒ දරුවන්ගේ කඳුළු ඇත

කො‍‍බොල්ට් නමැති ඛනිජය විදුලිබලයෙන් දුවන මොටර් රථ, ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකවලට අවශ්‍ය බැටරි සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මෙය බහුල ලෙස කියුබාවෙහි තිබුණද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ තහංචි අනුව ඒවා එරටට අපනයන කළ නොහැක. මෙම ඛනිජය රුසියාවේ, කැනඩාවේ සහ ඔස්ට්‍රේලියාවේ තිබුණද ඒවායේ මිල අධිකය. එහෙත් අප්‍රිකානු මහාද්වීපයේ කොංගෝ රාජ්‍යයේ කොබොල්ට් ඛනිජවල මිල බොහෝ සෙයින් පහළය. මක්නිසාද ඒවා ගොඩට ගන්නා ශ්‍රමයට දිය යුත්තේ ඉතා අඩු වැටුපකි. එබැවින් ලෝකයට අවශ්‍ය කොබොල්ට් ඛනිජයෙන් සියයට 60ක් නිස්සාරණය කරන්නේ කොංගෝවේය. මෙහි ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ ඇපල් සහ සැම්සුන් නමැති බහුජාතික සමාගම් දෙකය. ඔවුහු ඉන් ඩොලර් බිලියන ගණනින් උපයති.

එහෙත් මඩ කාගෙන දෝනා හරහා දුෂ්කර ගමනක යෙදෙමින් ඒවා පොළොවෙන් උඩට ගන්නා මිනිසුන්ට දවසකට ලැබෙන්නේ ඩොලර් දෙකකි. නැත්නම් ඩොලර් 3කි. ඉනුත් කොංගෝව පුරා ඇති මෙම කොබොල්ට් පතල්වල වැඩකරන සම්පූර්ණ ශ්‍රම බලකායෙන් හතළිස් දහසක්ම කුඩා දරුවන් බව ජාත්‍යන්තර යුනිසෙෆ් ආයතනය අවධාරණය කරයි. මෙම දුප්පත් දරුවන් වයස අවුරුදු පහේ සිට දහය, දොළහ වයස් කාණ්ඩ දක්වා දිගු වන අතර ඔවුන්ට ලැබෙන්නේ එදිනෙදා වේල පිරිමහගත හැකි ආහාරයක් සඳහා වන සොච්චම් මුදලකි. අත්‍යන්තයෙන්ම ඔවුහු මහා පරිමාණ සූරාකෑමක ගොදුරුය, ඔබද ඒ සූරාකෑමට ඈතින් සිට සහාය දේ. ඒ කෙසේද යත් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ මධ්‍යම අප්‍රිකානු රටේ ළමයින් විසින් හෑරූ කොෙබාල්ට් සහිත බැටරියක් අඩංගු වීමයි.

දිනකට පැය 12ක් වැඩකරන මේ දුගී දරුවන් දිනපතා ඔවුන්ගේ ළපටි සිරුරුවලට ඔරොත්තු දිය නොහැකි තරම් වේදනාවන්ගෙන් පෙළෙති.

ආරක්ෂිත උපකරණ නොමැති පතල් කම්කරුවන් විසින් පතල් උමං හාරන අතර උමං මාර්ග සඳහා ආධාරක නොමැතිව ඒවා වර්ෂාවේදී කඩා වැටේ. කොබොල්ට් පතල් කැණීමෙන් ළමුන් කී දෙනකු මියගොස් ඇත්දැයි කිසිවකු දන්නේ නැත. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුව එය වසරකට 80ක් යැයි සටහන් කර ඇති නමුත් තවත් බොහෝ මරණ ලියාපදිංචි නොවී ඇති අතර ඒ දරුවන්ගේ කුඩා සිරුරු; කඩා වැටුණු උමංවල සුන්බුන් අතර තැන්පත් කර ඇත. පතල්වල අවුරුදු දහයක තරම් වයසැති ගැහැනු ළමයින් ලිංගික අතවරයන්ට ලක්වන අතර වයසින් වැඩි දැරියන් බොහෝ දෙනකු ගැබ් ගැනීමට ලක්ව තිබේ. අඩු වයස්වල ළමයින් වහල්භාවයට පත් කිරීම තහනම් කරන DRC නීතියක් ඇතත් කොංගෝවේ එය බලාත්මක නොකරයි. මක්නිසාද හතළිස් දහසක් දරුවන් හාමතේ මිය යෑමට වඩා මෙය යම් සාධණීය තත්ත්වයක් වන බැවිනි.

වහල් තත්ත්වයන් ලෙස පමණක් හැඳින්විය හැකි මෙම පතල්වල දිනපතා පිරිමි, කාන්තාවෝ සහ ළමයි වැඩකරති. නිල නොවන, නියාමනය නොකළ, පාලනය නොකළ මෙවැනි පතල් කොංගෝව පුරා දහස් ගණනක් ඇත.

‍මේ කුඩා දරුවන්ට ආරක්ෂක මුකවාඩමක් හෝ නොමැත. ඔවුන්ගෙන් කිසිවකුට අත්වැසුම් පවා නැත. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොෙබාල්ට්වලට නිරාවරණය වීම සහ එහි දූවිලි, දුම ආශ්වාස කිරීම දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවයි. කොංගෝ ආණ්ඩුවලට මෙකී පතල්වල වැඩ කරන්නේ වයස අවුරුදු 5ක ගැහැනු ළමයකුද පිරිමි ළමයකුද ඔවුන් පාසල් නොයන්නේ ඇයි? ඔවුන්ට පතල් කර්මාන්තය නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද යන්න ගැන සතපහකට වැඩක් නැත. ඔවුන්ට කොබොල්ට් පැමිණෙන්නේ කොහෙන්ද හෝ එය නිස්සාරණය කිරීමට වැඩ කළේ කවුරුන්ද යන්න පිළිබඳවද වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය කොබොල්ට් ඛනිජයට නිසි මිලක් පමණි. 2040 සිට පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ විකිණීම තහනම් කර විදුලි වාහනවලට මාරුවීමට බ්‍රිතාන්‍ය දුන් ඓතිහාසික පොරොන්දුවෙන් පසුව තවත් දහස් ගණනක් අසරණ දරුවන් මෙම දෛනික පැවැත්මට ඇදගෙන වැටෙනු ඒකාන්තය.

[උපාලි ජයසිංහ]

News Order: 
0
මාතෘකා