ජම්මු කාශ්මිර් ප්‍රශ්නය විසඳෙයිද? දිග්ගැහෙයිද?

 ඡායාරූපය:

ජම්මු කාශ්මිර් ප්‍රශ්නය විසඳෙයිද? දිග්ගැහෙයිද?

ඉන්දීය රජය සිය ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය නිර්මාණය කළේ යැයි පසුගිය සතියේ මෙරට මාධ්‍ය වාර්තා කළේය. එහෙත් එවැන්නක් සිදු වූ බවට අන්තර්ජාලයේ කිසිදු පුවත් අඩවියකින් සාක්ෂියක් සොයා ගන්නට නැත. කෙසේවෙතත් පසුගිය සතියේ පාකිස්තානයට හා ඉන්දියාවට මායිම් වූ ජම්මු හා කාශ්මිරය ප්‍රාන්ත (state of J & K) මධ්‍යම රජයේ පාලනය යටතට පවරාගෙන යුනියන් ටෙරිටරි (union territory) දෙකක් බවට පත් කළේය. ඒ ජම්මු සහ කාශ්මිර් හා ලඩාක් වශයෙනි. ලඩාක් යනු පෙර එම ප්‍රාන්තයේම කොටසක් විය. දැන් යුනියන් ටෙරිටරි තත්ත්වය ලැබී ඇති එහි ජනගහනයෙන් සියයට 70ක් ඉක්මවන ප්‍රමාණයක් බෞද්ධය.

ඒකීය ෆෙඩරල් රාජ්‍යයක් වන ඉන්දියාවේ මධ්‍යම රජය හැඳින්වීමේ දී Union Government යන පදය යොදනු ලැබේ. අැමෙරිකා එක්සත් ජනපදයේ (United States of America) නිල නාමයේ ඇත්තේද සමාන අරුතකි.

ඉන්දියාව ප්‍රාන්ත කිහිපයක සංගමයක් බව මේ අනුව පැහැදිලි විය යුතුය. 1951දී 22ක් වූ ප්‍රාන්ත සංඛ්‍යාව මේ වන විට 29ක් වන අතර ඔක්තෝබර් 01 දින සිට ජම්මු හා කාශ්මිර් ඉන් ඉවත් වීමෙන් පසු 28ක් වනු ඇත. එම ප්‍රාන්ත පාලනය වන්නේ ආරක්‍ෂාව, ජනසන්නිවේදනය වැනි විශේෂ විෂය දෙකතුනක් හැරුණු විට අනෙක් සියලු බලතල ඇතිවය. මුදල් සහ පොලිස් බලතල පවා ඇත.

කෙසේ වෙතත් මේ ඉන්දීය භූමිය තුළ ප්‍රාන්තවලට අයත් නොවන මධ්‍යම රජයේ පාලනයට නතු විශේෂ පාලන ඒකක 7ක් තිබේ. යුනියන් ටෙරිටරි කියන්නේ ඒවාටය. උදාහරණයක් ලෙස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පිහිටා තිබූ දේශයේ අගනුවර වන නවදිල්ලිය 1956දී ප්‍රාන්තයෙන් වෙන් වූ යුනියන් ටෙරිටරියක් බවට පත් කරන ලදි. ඔක්තොබර් 01 දින සිට ලඩාක් සහ ජම්මු හා කාශ්මිර්ද ඊට එක්වීමෙන් එම සංඛ්‍යාව 9 දක්වා ඉහළ යනු ඇත. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය නම් ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තය, යුනියන් ටෙරිටරි බවට පත් ඉන්දියාවේ ප්‍රථම ප්‍රාන්තය වන බවයි. මේ වනාහි පසුගිය මැයි මාසයේ පැවැති මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූවකි. මැතිවරණයේදී එම සන්ධානය ආසන 545න් 353ක් දිනා ගත්තේය.

ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් ජම්මු හා කාශ්මිර් විශේෂය. ඒ අනෙක් ප්‍රාන්තවලට නැති යම් යම් විධිවිධාන එම ප්‍රාන්තයට පමණක් විශේෂ ව පවතින නිසාය. උදාහරණයක් ලෙස ගතහොත් එම ප්‍රාන්තයේ ඉඩම් වෙනත් ප්‍රාන්තයක අයකුට හෝ විදේශිකයකුට මිල දී ගැනීමට දැඩි සීමාවන් පැවැතීම ගත හැකිය. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 ව්‍යවස්ථාවේ මේ ප්‍රාන්තය සඳහා පනවා ඇති විශේෂ විධිවිධානවලින් එබඳු සීමා පනවා තිබිණි. ඉතාම කෙටියෙන් සරලව එසේ කීවත් මේ පිටුපස දීර්ඝ විස්තරයක් වෙයි.

ඉන්දියාව සහ පාකිස්තානය වෙන්වීමේදී ජම්මු හා කාශ්මිර්ද ලඩාක්ද ඇතුළත් විශාල ප්‍රදේශය අයත් විය යුත්තේ කාටද යන්න ගැටලුවක් විය. මේ පෙදෙසේ වෙසෙන්නේ පාකිස්තානයේ මෙන් මුස්ලිම්ද නොවන, ඉන්දියාවේ මෙන් හින්දුන්ද නොවන චීනුන්ද නොවන කාශ්මිර් ජනයාය. ලඩාක්හි හැර අනෙක් පෙදෙස්වල බහුතරය ඉස්ලාම් ලබ්ධිකයෝය. මෙය යටත් විජිත පාලනය ඉන්දියාවට එනවිට හරි සිං නමැති මහාරාජා කෙනකුට අයිති ‘කුමාරධානියක්’ (Princely State) වූ අතර දිගටම එසේම පැවැතියේය. ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු හරි සිං විසින් එය ඉන්දියාවට පවරා දෙන ලදි. එහෙත් එය ඉන්දියාවට පමණක් නොව කොටසක් පාකිස්තානයටත් තවත් කුඩා ප්‍රමාණයක් චීනයටත් අයත් විය යුතු බව එකල පවා පිළිගැනිණි. එම ඒ ගැටලුව විසඳන්නට යටත් විජිත පාලනය කරදර වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ තමන් විසින්ම බිම් මැන සකස් කරන ලද සිතියමේ පැන්සල් ඉරි මගින් දේශ සිමා ලකුණු කොට ඒවා පිළිගන්නා ලෙස ඒ රටවල්වලට බල කිරීමය.

දැන් රටවල් බෙදන්නට බොහෝ තැත් දරන බටහිර බලවතුන් ඒ අවස්ථාවේ මේ ප්‍රදේශය වෙනම රාජ්‍යයක් කළා නම් කිසිම ගැටලුවක් ඇති නොවන්නට ඉඩක් තිබිණි. යටත් විජිත පාලකයන් ගැටලුව පවරා දී හින්දුස්තානය දෙකඩ කොට නික්ම ගිය පසු එය දෙරට කුලල් කාගන්නා වෛරයකට නිමිත්ත විය. ආරම්භයේදී ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තයට ප්‍රාන්ත සභාවක් නොතිබි අතර එම ප්‍රාන්ත සභාව පිහිටුවන තෙක් එම ප්‍රදේශය අනෙක් ප්‍රාන්තවලින් වෙන් කොට පවත්වා ගැනීම සඳහා හරි සිං විසින් යටත් විජිත පාලනයට ඉදිරිපත් කොට සම්මත කරවා ගත්, එවකට වලංගුව පැවැති ‘ප්‍රතිග්‍රහණයේ විධාන’ නම් ආඥාපනතක් යටතේ ඉදිරිපත් කරන ලද කොන්දේසි හතක් නිදහසින් පසු ඉන්දිය රජය විසින්ද පිළිගන්නා ලදි. 370 ව්‍යවස්ථාව එය ඇතුළත් විධානයයි. එය එම ව්‍යවස්ථාවේ 35A හා එක්ව ගත යුතු යැයි සඳහන්ය. ‘තාවකාලික, සංක්‍රාන්තිමය සහ විශේෂ’ විධාන ඇතුළත් ව්‍යවස්ථාවක් වූ එය ප්‍රාන්ත සභාව පිහිටුවීමෙන් පසු අහෝසිවන බවත් එහි සඳහන්ය. එහෙත් ප්‍රාන්ත සභාව පිහිටුවීමෙන් පසුව එම සභාවද එම ව්‍යවස්ථාව පිළිගත් අතර ඒ අනුව දිගටම එය අනෙක් ප්‍රාන්තවලින් වෙනස් බලතල සහිතව පැවැතිණි. 35A සමග කියැවෙන 370 ව්‍යවස්ථාවේ විධාන ඉන්දීය ජනාධිපතිවරයාගේ නියමයෙන් උභය මන්ත්‍රී මණ්ඩලයේ සම්මුතියෙන් අහෝසි කරන්නට ප්‍රතිපාදන තිබිණි. විවිධ ජනාධිපතිවරුන් විසින් 370 ව්‍යවස්ථාව යටතේ විධාන පනවා ඇතත් එය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්නට නියෝග කළ එකම අවස්ථාව මේ ය.

ඒ අනුව පසුගිය 05 දින ජනාධිපති රාම්නාත් ගෝවින්ද් නිකුත් කළ නියෝගය අනුව ස්වදේශාමාත්‍ය අමිත් සිං ඊට අදාළ පනත එදිනම ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවට ඉදිරිපත් කළ අතර සම්මත විය. එදිනම සවස් වරුවේ එය පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාව යනුවෙන් හැඳින්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරුණු අතර එහිදී විශාල බහුතරයකින් සම්මත විය. ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය ප්‍රතිපත්තිමය වශයෙන් ඊට විරුද්ධ වුවද එහි පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පනතට පක්‍ෂව ඡන්දය දුන්හ.

ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තයේ අයිතිය උදෙසා 1947 වසරේ දෙරට අතර ඇති වූ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ කොටස ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තය ලෙසත් පාකිස්තානයේ අසාද් කාශ්මිරය ලෙසත් වෙන් විය. මේ අවස්ථාවේ එවකට දෙරට පාලනය කළ ඉතා සාධාරණ පාලකයන් ලෙස පිළිගැනෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය මොහමඩ් අලි ජින්නාද ඉන්දීය අග්‍රමාත්‍ය ජවහර්ලාල් නේරුද මේ ප්‍රශ්නයේදී තමන්ගේ මතයේම දැඩිව එල්බගෙන සිටීම අභාග්‍යයක්ම විය.

ඉන්දියාව දිගටම කියන්නේ ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තයේ සම්පූර්ණ භූමි ප්‍රදේශ තමන්ට අයත් විය යුතු බවය.

සංශෝධනය මගින් ඉන්දිය රජයේ අපේක්‍ෂාව ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තය මධ්‍යම රජයේ පාලනය යටතට ගැනීම බව පැහැදිලිය. එමඟින් දේශ සිමා ආරවුල් නැති වී සාමය උදාවනු ඇතැයි රජයේ විශ්වාසයයි. පසුගිය සෙනසුරාදා ජාතිය අමතා කතාකළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දිය රජය එසේ කරන්නට හේතු ගණනාවක් ඉදිරිපත් කළේය.

එහෙත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුවේදී ඊට පෙරදින පැවසුවේ ඉන්දීය රජයේ මේ හදිසි ක්‍රියාමාර්ගය නිසා ඉදිරියේදී පුල්වාමා පන්නයේ ප්‍රහාරවලට පාර කපනු ඇති බවයි. පුල්වාමා ප්‍රහාරය යනු පසුගිය වැලන්ටයින් දා ජම්මු හා කාශ්මිර් ප්‍රාන්තයේ පුල්වාමාහිදී ඉන්දීය ප්‍රධාන සංචිත පොලිස් බලකායේ රිය පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. පාකිස්තානයේ බලාකෝට් නම් කඳුකර පියසේ ක්‍රියාත්මක

ජායිෂ්-ඉ-මුහම්මද් නම් ත්‍රස්ත කල්ලියේ ප්‍රමුඛත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාරයෙන් භටයෝ 40 දෙනෙක් ඝාතනය වූහ. ස්වයංඝාතක ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා වූ අදිල් අහ්මඩ් දාර් ඉන්දියානුවකු වූ අතර වසර කිහිපයකට පෙර දේශසීමාරක්ෂක හමුදා විසින් හුදෙක් මුස්ලිම් වීම පමණක් හේතු කොට ගෙන බරපතළ ලෙස පහර දෙනු ලැබීම නිසා ඉන්දීය ආරක්‍ෂක හමුදා සමග පැසවන වෛරයෙන් යුතු වූවෙකි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයෙන් ගත් උධාතයකි මේ: ‘ඉන්දියාවේ අදහස ජම්මු හා කාශ්මිර් සම්පූර්ණයෙන්ම එරට භූමිය තුළ පිහිටි එකක් කියායි. ඔවුන් සිතන්නේ පාකිස්තානය එහි කොටසක් අල්ලාගෙන සිටින්නේය කියායි. ඉන්දියාවේ මේ ක්‍රියාව නිසා ඇතිවන ආතතිය තුළින් න්‍යෂ්ටික බලය සහිත රටවල් දෙකක් අතර ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකිය. කාශ්මිර ජනයා විරෝධතා ඇති කරනු වැළැක්විය හැකි නොවනු ඇති අතර ඉන්දීය රජය ඊට ප්‍රහාරාක්මක ප්‍රතිචාර දක්වනු ඇති බව නිසැකය. පුල්වාමා සිද්ධිය වැනි ඒවා ඉදිරියට ඇති විය හැකි යැයි අනාවැකියක් කිව හැකිය. එය ඒකාන්තය. ඉන්පසු ඔවුන් අපට දෝෂාරෝපණය කරනු ඇත. එය ඇරඹුමයි. ඔවුන් පහර දෙනු ඇති අතර ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට අපටද සිදු වනු ඇත. ඉතින් එවිට ප්‍රතිඵලය කුමක් වනු ඇතිද? යුද්ධයකින් කවුරු නම් දිනනු ඇත්ද? කිසිදු යුද්ධයකින් කිසිවකු දිනන්නේ නැති අතර මුළු ලොවටම කනගාටු වන්නට සිදුවනු ඇත. ඔවුන් ජම්මු හා කාශ්මිර්හි වැඩ කරන්නේ ඔවුන්ගේ මතවාදයට අනුවය. ඒ මතවාදය වර්ගවාදීය. මහත්මා ගාන්ධි ඝාතනය කරන ලද්දේ මේ වර්ගවාදය විසිනි. ලෝකය, සම්මත නීති අනුව මීට ප්‍රතිචාර දක්වන්නට නොඑන්නේ නම් අප වගකියන්නේ නැත. ලෝකයේ මතය සාධාරණත්වයේ පැත්තට යොමු කරවා ගැනීමට අපි සෑම ආකාරයකින්ම එළැඹෙන්නෙමු. එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය හමුවට මේ ප්‍රශ්නය ගෙන යන්නට රජය දැනටමත් තීරණය කොට ඇත. මා පාලනය අතට ගත්දා පටන්ම ලොව සියලු රාජ්‍ය වෙත සාමයේ දෑත් දිගු කළ නමුත් ඉන්දියාව ඊට එකඟ නැත. මා මුලින්ම ඉන්දියාව සමග අදහස් හුවමාරු කැර ගත් අවස්ථාවේ ඔවුහු පාකිස්තාන භූමියේ සිට ත්‍රස්ත කණ්ඩායම් ක්‍රියාත්මක වීම ගැන සිය කනස්සල්ල පළ කළහ. පෙෂාවර් හමුදා පාසලකට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු සියලු ත්‍රස්ත කල්ලි විසුරුවා හැර ඇති බැවින් එසේ නොවන බව මම අගමැති මෝදිට පැවසීමි. එහෙත් මගේ අදහස නම් ඔවුන් අප කියන දෑ කනකට නොගන්නා බවයි. ෂැංහයි කෝපරේෂණ් සමුළුවේදී මට ඒ බව පසක් විය. ඉන්දියාව සිතන්නේ සාමයට ඇති අපගේ නැඹුරුව දුබලකමක් කියාය. එබැවින් ඉන්දියාවට සාම සාකච්ඡාවලට ඇරයුම් කිරීම අපි අතහැර දැමීමු.’

පාකිස්තානය මෙයින් කෙතරම් කෝපයට පත්ව සිටින්නේද යත් ලාහෝර් පාලනය ඉන්දියාවේ සිටි සිය තානාපතිවරයා ආපසු කැඳවා ඇති අතර වෙළෙඳ සබඳකම් නවත්වා දමන බව ප්‍රකාශයට පත් කොට ඇත.

මේ පනත මගින් නව පාලන ඒකක පිහිටුවීම 1947 සිට ජම්මු හා කාශ්මිර් පෙදෙසේදී දිවි පිදූ දහස් ගණනක් දෙනාට උපහාර පිදීමක් වනු ඇතැයි අවුට්ලුක් වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි.

මේ වන විට ජම්මු හා කාශ්මිර් ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර 30,000ත් 40,000ත් අතර අතිරේක බලඇණි ආරක්‍ෂාව සඳහා යොදා ඇති බව සඳහන්ය. සියලු ආගමික උත්සව අවලංගු කොට ඇති අතර පාසල් සහ විද්‍යායතනද සංචාරක නිකේතනද නැවත දැනුම් දෙන තුරු වසා දමනු ලැබ පවතී. සියලු දුරකථන සහ අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර දේශපාලන නායකයෝ නිවාස අඩස්සි ගත කරනු ලැබ සිටිති. එහෙත් ජනතාව වීදි බැස සිටින බැව් වාර්තා වේ.

ඉන්දීය රජයේ මේ ක්‍රියාව විවේචනය කරන්නේ පාකිස්තානය පමණක් නොවේ. අැමෙරිකා එක්සත් ජනපදයේ අදහස ඉන්දියාව එවැන්නකින් වැළැකි සිටිය යුතුව තිබුණු බවයි. එහෙත් රුසියාව කියන්නේ මෙය ඒ රටේ අභ්‍යන්තර ව්‍යවස්ථාපිත කර්තව්‍යයක් බැවින් සහ ඉන්දියාවේ නීතියට සහ අන්තර්ජාතික නීතිවලට පටහැනිව මෙහි කිසිවක් සිදුව නැති නිසා පිටස්තර අයට අත පොවන්නට හේතුවක් එහි නැති බවයි. මෙය ඉන්දියාවේ අගමැති, ජනාධිපති, ස්වදේශ ඇමති සහ හමුදාවල තෝරාගත් නිලධාරීන් පිරිසක් එක්ව රහසේ සැලසුම් කොට අමාත්‍ය මණ්ඩලයට හදිසියේ ඉදිරිපත් කොට සම්මත කැර ගන්නා ලද නීතියක් බවට විවේචන එල්ල වේ. කරන තෙක්ම කිසිවකු දැන සිටියේ නැත. සමස්තයක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය පවා.

මාතෘකා