තාලිබාන් සමග සාම සාකච්ඡා කොයිබටද?

 ඡායාරූපය:

තාලිබාන් සමග සාම සාකච්ඡා කොයිබටද?

ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තයන්ට වඩා එරට රජයට ආධාර කරන එක්සත් ජනපදයේ සහ නේටෝ හමුදා විසින් සිවිල් වැසියන් මරා දමමින් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වෙයි. එහි දැක්වෙන පරිදි 2019 මුල් අඩවස තුළ හමුදා ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත් සිවිල් වැසියන් ගණන 1,336කි. 2,412ක් තුවාල ලබා ඇති අතර ඒ අනුව විපතට පත් මුළු සංඛ්‍යාව 3,812කි. වාර්තාව ඉදිරිපත් කොට ඇත්තේ ‘එක්සත් ජාතීන්ගේ ඇෆ්ගන් සහාය මෙහෙවර’ (UNAMA) විසිනි. එහෙත් මේ වාර්තාවෙන් උපුටා ගත් සංඛ්‍යා ලෙස බීබීසී වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඊට අඩු සංඛ්‍යාවකි. එයට අනුව ඇෆ්ගන් හමුදාව විසින් 403ක්ද නැටෝ හමුදාව විසින් 314ක් සහ තාලිබාන් ප්‍රමුඛ සටන්කාමීන් විසින් 531ක් ද ඝාතනය කරනු ලැබ ඇත. එහි දැක්වෙන පරිදි සන්නද්ධ ත්‍රස්තයන් විසින් මරා දමා ඇත්තේ හමුදා විසින් මරන ලද සංඛ්‍යාවට අඩුවෙනි. ‘ද ගාඩියන්’ද සමාන සංඛ්‍යා දක්වයි. සමහරවිට බීබීසී වාර්තාවෙන් උපුටා ගත්තා විය හැකිය.

UNAMA පෙන්වා දෙන පරිදි වැඩිපුර ජනයාට මැරෙන්නට සිදු වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යානා විසින් බෝම්බ හෙළුෑ අවස්ථාවලදීය. මුල් සමස තුළ ඒවාට ගොදුරු වූ ගණන 363කි. අතදරුවන්ද ඇතුළත්ව ළමෝ 89 දෙනෙක් ඒ අතර වෙති. මෙය ප්‍රතික්‍ෂේප කරන ඇමෙරිකානු හමුදාව කියන්නේ එතරම් සංඛ්‍යාවක් මිය නොගිය බව තමන්ට විශ්වාස බවයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන විශ්වාස කළ නොහැකි බවත් වඩා නිවැරදි සංඛ්‍යා තමන් සතු බවත් ඔවුහු පෙන්වා දෙති. එහෙත් ඇත්ත සංඛ්‍යාව කීයදැයි නොකියති.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය එකිනෙකා මරා ගැනීමේදී සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලට පිච්චියක තරම් වටිනා කමක් නොදෙන බව නම් මෙහිදී ප්‍රකටය.

ඇෆ්ගනිස්තානයේ පවතින දේශපාලන හා සමාජ කලබැගෑනිය වසර හතළිහක් ඉක්මවන කාලයක් පුරා පවතියි. මේ වනවිට එය පිළිකාවක් හා සමානව සමස්ත ඇෆ්ගන් දේහයම පුරා අසාධ්‍ය අන්දමින් පැතිර පවතියි. නොයෙක් ආකාර පිළියම් නොයෙක් දෙනා ඉදිරිපත් කරන නමුත් ඒ සියල්ලෙන් සිදු වූයේ තවදුරටත් රෝගියා පෙළීම පමණි.

1979 දෙසැම්බරයේ සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයට ඇතුළු විය. මෙය ආක්‍රමණයක් ලෙස ඇතැම් විට සඳහන් කැරුණද ඇත්තටම එය එරට එවක පැවැති නුර් මොහමඩ් තරාකිගේ ආණ්ඩුවේ වුවමනාවට සිදු වූවකි. මීට එරෙහිව කුඩා සන්නද්ධ කණ්ඩායම් පෙළ ගැසුණු අතර ඔවුහු ඇෆ්ගන් රජයේ හමුදාව සහ සෝවියට් හමුදාව සමග සටන් වැදුණෝය.

සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්තානය අල්ලා ගනු ලැබුවහොත් එමඟින් එක් පැත්තකින් පාකිස්තානය තුළින් ඉන්දියාවට ද අනෙක් පසින් ඉරාණය තුළින් මැද පෙරදිගට ද කොමියුනිස්ට් ආක්‍රමණ සිදු වනු ඇතැයි අනෙක් බලකඳවුර උපකල්පනය කිරීම පුදුමයට හේතුවක් නොවිය යුතුය. වඩාත් බියපත් වූයේ පාකිස්තානයයි. මන්දයත් බැලොචිස්තානය නම් පාකිස්තාන පළාත යටත් කැර ගැනීමටද සෝවියට් හමුදාවේ සැලසුමක් ඇතැයි එරට ඒත්තු ගැනීමය. එයින් ගැලවීම සඳහා එවකට එහි ජනාධිපතිවරයාව සිටි ස්සියා උල්-හක් අැමෙරිකානු ආධාර ඉල්ලා සිටියේය.

එවකට ලෝකය අැමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඇලිය හෙවත් ධනවාදී කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ කමියුනිස්ට් රටවල් සමාජවාදී කඳවුර ලෙස බල කඳවුරු දෙකකට බෙදී සිටි බවත් එකිනෙකාට ප්‍රතිමල්ලවයන්ව සිටි බවත් 20 වැනි සියවසේ ලෝක ඉතිහාසය ගැන අත්දැකීම් ඇත්තෝ සහ අධ්‍යයනය කළාහු දනිති. මේ පාර්ශ්ව දෙකටම අයත් නැති රාජ්‍ය නොබැඳි පිළිවෙතක් අනුගමනය කළේ වුව ඇතැම් රටක් එක් පාර්ශ්වයකට නැඹුරුවක් පෙන්වීය. ඒ අනුව එසමයේ ඇෆ්ගනිස්තානය සමාජවාදී කඳවුරට නැඹුරු වූ රටක් වූ අතර පාකිස්තානය ධනවාදී කඳවුරට නැඹුරු වූ රටක් විය.

ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් සෝවියට් හමුදා එරට තුළට පිවිස ක්‍රියාකාරකම්වල යෙදීම නීත්‍යනුකූල ලෙස සිදු වූ බැවින් ඔවුන් එරටින් පලවා හැරීමේ අවශ්‍යතාව කොතෙක් තිබුණද ඍජුවම ආක්‍රමණකාරී ලෙස එයට මැදිහත් වන්නට ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඇලියට හැකියාවක් නොතිබිණි. ඒ නිසා ඔවුන් කළේ ඇෆ්ගන් රජයට සහ සෝවියට් හමුදාවට එරෙහි එරට වැසියන්ගෙන් සැදුම්ලත් කැරලිකාර කණ්ඩායමක් නිර්මාණය කිරීමය. මේ සඳහා ඒ වනවිටත් සටන් වැදී සිටි කණ්ඩායම්වලින් තරුණයන් තෝරා ගන්නා ලදි. ඇමෙරිකාවේ වියදමින් පාකිස්තාන භූමිය තුළ තලේබාන් හෙවත් තාලිබාන් නමැති සන්නද්ධ කණ්ඩායම බිහිවූයේ එලෙසිනි.

සෝවියට් හමුදාව සහ ඇෆ්ගනිස්තානයේ විවිධ සන්නද්ධ කණ්ඩායම් අතර 1979 දෙසැම්බර් 24 සිට 1989 පෙබරවාරි 15 දක්වා සටන් පැවැතිණි. බොහෝ ජනයා එරට හැර පලා ගියහ. ඛාලිඩ් හොසෙයිනි එසේ පලා ගිය අයගෙන් කෙනෙකි. එසමයේ සිදුවූ ගැටුම් සහ ඒ සම්බන්ධයෙන් සිය අත්දැකීම් ඇතුළත් කොට ඔහු විසින් ලියන ලද The Kite Runner නම් නවකතාව ඒ ගැන පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරයි. මේ කෘතිය ‘සරුංගල් ලුහුබඳින්නා’ නමින් සිංහලට පර්වර්තනය වී තිබේ.

තලේබාන් යන කෙටි නමින් හැඳින්වෙන්නේ වුව එහි සම්පූර්ණ නම ‘ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය එමයිරේටය’ Islamic Emirate of Afghanistan වෙයි.

1979 ඔක්තෝබර් 08 දින නූර් මොහමඩ් තරාකි ඝාතනය වූ අතර රට අරාජික විය. තාලිබාන්ලා වේදිකාවට ගොඩවන්නේ එවිටය.

තාලිබාන්, ඒ වන විට එරට තිබූ ඇෆ්ගනිස්තාන ජනරජය ප්‍රතිස්ථාපනය කොට සිය එමයිරේටය 1996 වසරේ ස්ථාපනය කළේය. එතැන් සිට 2001 දෙසැම්බර් දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළේ ඔවුන්ය.

සෝවියට් හමුදා සහ ඇෆ්ගන් මුජාහිදීන් සටන්කාමීන් අතර අවුරුදු 9ට අධික කාලයක් පුරා පැවැති සටන්වලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තා නැත. කෙසේවෙතත් ලක්ෂ පහමාරත් මිලියන දෙකත් අතර ගණනක් නිරායුධ අහිංසක මිනිසුන් එසමයේදී දිවි දෙන්නට ඇතැයි පැවසේ.

තාලිබාන් යනු සුන්නි ඉස්ලාමයේ ශාරියා නීතියට අනුව රාජ්‍ය පාලනය කළ යුතු යැයි සිතන ජිහාඩිස්ට් කණ්ඩායමකි. සිය ලබ්ධියට නොඑළැඹෙන අන්‍ය ලබ්ධිකයන් ඝාතනය කළ යුතු යැයි සඳහන් කුරාණයේ නියමය අනුව ක්‍රියා කරන ඔවුහු ඉස්ලාමයෙන් බැහැර නීති පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරති. ජිහාඩ් යන්නේ අරුත මතභේදකාරී වන නමුත් ඉන් කියැවෙන්නේ සටන් කිරීම ගැනය. ශාරියා නීතිවල විශේෂත්වය නම් එහි ඇති අධිකරණයේ ස්වභාවයයි. ඉස්ලාමය ලොව ඇරැඹෙන සමයේ නොතිබූ පසුව මානව වර්ගයාට සාධාරණය ඉටු කිරීම සඳහා විශ්ව ව්‍යාප්ත මූලික නීති ශාරියා ක්‍රියාත්මක කරන පාලකයෝ බැහැර කරති. ස්වාභාවික යුක්තියට අදාළ මූලික සිද්ධාන්ත මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම්ද ඒ අනුව බැහැර ය. හිංසනය නීතිගත සේ සැලකෙන අතර කාන්තාවන් යනු පිරිමින්ගේ වහලියන් ලෙස සේවය කරන්නට බැඳී සිටින සත්ත්ව විශේෂයක් ලෙස එම නීති ක්‍රියාත්මක කරන්නෝ සලකති. සුප්‍රකට බාමියන් ස්මාරක සුන්නද්දූලි කරන ලද්දේ ඔවුන්ගේ පාලන සමයේය. එසමයේ කොපමණ සිවිල් වැසියන් ඝාතනය වූවාද කියා ඒ මිනිසුන් ඇදහූ දෙවියන් වහන්සේ සන්තකයේ පවා සංඛ්‍යා සටහන් නොමැති බව මේ ලියුම්කරු පෞද්ගලිකව විශ්වාස කරයි.

2001 සැප්තැම්බර් 11 දින 9/11 නමින් දන්නා ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල විය. මේ අනපේක්‍ෂිත ප්‍රහාරය තලේබානුන්ගෙන් ව්‍යුත්පන්නව එමෙන්ම ඇෆ්ගනිස්තානයේ ඈත කඳු පෙදෙස් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය කැරගත් අල්-ඛයිඩා නම් වඩා බලවත් සංවිධානය විසින් එල්ල කරන ලද්දකි. මේ කණ්ඩායම් දෙකම සුන්නි මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වන අතර අල්-ඛයිඩා අන්තර්ජාතික මට්ටමේ සංවිධානයකි. තමන්ට එල්ල වූ ප්‍රහාරය ඇතිකළ නින්දාව නිසා උපන් කෝපය ඇමෙරිකා එක්සත් ජනපදය පිට කළේ දින 26ක් ඉක්මෙන්නට මත්තෙන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙනි. මෙහිදී එක්සත් ජාතීන් පවා කිසි විරෝධයක් පළ කළේ නැත. එතැන් සිට මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ ඇලිය ඇෆ්ගනිස්තානයේ ස්ථානගත වී සිටිමින් තාලිබානුන් සමග යුද්ධ කරමින් සිටියි.

මේ වනවිට අල්-ඛයිඩා සංවිධානය හිස ඔසොවන්නට බැරි තරම් බලහීන වී සිටියි. එහි නායකයාව සිටි ඔසාමා බින්-ලාඩන් අැමෙරිකා එක්සත් ජනපදය විසින් මෙහෙවන ලද විශේෂ මෙහෙයුමකින් 2011 මැයි 02 දින ඝාතනය කරන ලදි. අල්-ඛයිඩා නායකත්වයට පසුව පත් වූ ඔහුගේ පුත්‍රයා වන 30 හැවිරිදි හම්සා බින් ලාඩන් මියගිය බව පසුගිය සතියේ ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබිණි. ඒ පුවත මිස වෙනත් විස්තර නැත. ඒ ගැන ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසන ලදුව ඔහු පවසා ඇත්තේ ඒ ගැන කමෙන්ට් කරන්නට තමා අකමැති බවයි. කෙසේවෙතත් යේමනයේ ක්‍රියාත්මක එම සංවිධානයේ ශාඛාව විසින් යුද්ධයෙන් පීඩිත එරට හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයක් මගින් 19ක් එතැනම ජීවිතක්‍ෂයට පත් බැව් සඳහන්ය.

2001 ඇරැඹි වත්මන් ඇෆ්ගන් යුද්ධයෙන් මේ වනවිට සිවිල් ජනයා 31,000ක් මරණයට පත්ව තවත් 30,000ක් තුවාල ලැබූ බව සඳහන්ය.

අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘අමෙරිකානු මිතුරු සේවා කමිටුවේ’ යුද්ධයේ පිරිවැය නමැති ව්‍යපෘතිය විසින් රැස් කරන ලද දත්ත අනුව මේ කාලය තුළ මිය ගිය සොල්දාදුවන්, සටන්කාමීන් සහ සිවිල් ජනයාගේ සංඛ්‍යා එකතුව 360,000ක් පමණ වෙති’යි සඳහන්ය.

මේ වන විට මේ යුද්ධය ඇෆ්ගනිස්තානයට මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයටත් ඇති වී ඇත්තාක් මෙන් පෙනෙයි. එහෙත් තලේබානුන්ට පිටුබලය සපයන සෞදි අරාබිය ප්‍රමුඛ හිතවතුන්ට නම් එසේ බවක් නොපෙනේ. සටන් අවසන් කිරීමේ එකඟත්වයකට පැමිණීම සඳහා කිසිවකු සමග සාකච්ඡා කිරීම තලේබාන් මුලදී ප්‍රතික්‍ෂේප කළ නමුත් අමෙරිකා එක්සත් ජනපදය සමග සාකච්ඡා කරන්නට පසුව එකඟ විය. රුසියාවෙද ඒ සම්බන්ධ උත්සාහයක් දැරූ නමුත් ඒවා ප්‍රගතියක් අත් කැර ගත් බවක් වාර්තා නොවේ.

අැමෙරිකා එක්සත් ජනපදය සහ තාලිබාන් සමග සාකච්ඡා සත්කාරක කටාර් රාජ්‍යයේදී පැවැත්විණි. ඇෆ්ගන් රජය සහභාගි වන සාකච්ඡා සඳහා තමන් සහභාගි නොවන බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඊට හේතුව 250 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් රජය විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වීමයි. රජයේ නියෝජිත කණ්ඩායම 40 දක්වා අඩු කරන ලද අතර ඔවුන්ගේ සහභාගිත්වය පිළිගන්නේ රජයේ නියෝජිතයන් ලෙස නොව හුදු පුද්ගලයන් ලෙස නම් පමණක් බව දන්වන ලදි. රජයේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ට අවසර දෙන ලදි. පසුගිය මස මුල් සතියේ එහි හත්වන වටයේ සාකච්ඡා පැවැති අතර එය ඉතා සාර්ථක වූ බව එක්සත් ජනපදය වෙනුවෙන් සාකච්ඡා මෙහෙයවන මැදහත්කරු වන සල්මේ ඛලිසාද් කාබුල්හි සිට විශේෂ ප්‍රකාශයක් කළ බව මාධ්‍ය වාර්තා කළේය. අංශ 4කින් එකඟත්වවලට පැමිණීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් පවතී. ඒ අංශ 4 වනුයේ ත්‍රස්ත කටයුතුවලින් බැහැර වීම, එක්සත් ජනපදය පාර්ශ්වයෙන් නේටෝ භටයන් ආපසු කැඳවීම සහ තලේබාන් පාර්ශ්වයෙන් වෙනත් ත්‍රස්ත කණ්ඩායම් සම්බන්ධ කොට නොගැනීම, ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර පාර්ශ්ව - ඒ කියන්නේ තලේබාන් සහ රජය සහ දේශපාලන පක්ෂ සහ ගෝත්‍රික කණ්ඩායම් - අතර මනා සංවාදයක් පවත්වාගෙන යෑම එමඟින් එකඟතාවලට එළැඹීම සහ ස්ථිර සහ අවබෝධාත්මක අවිහරණයයි.

කාබුල් පාලනය බැහැර කොට කෙරෙන මේ එකඟතා කෙතරම් සාර්ථකදැයි කිව නොහැකි නමුත් ඛලිසාද් නම් කියන්නේ අති සාර්ථක බවය.

මේ ගැන විචාරක අදහස වන්නේ මේ සාකච්ඡා මේ ආකාරයෙන් ඉදිරියට ගොස් අවසානයේ ඇෆ්ගන රජයට අැමෙරිකාව සකස් කරන ගිවිසුමකට අත්සන් කරන්නට සිදු වුවහොත් එම ගිවිසුම තලේබාන්ට වැඩි වාසි සහිත එකක් වනු ඇති බවයි. මන්ද අැමෙරිකාවට දැන් අවශ්‍ය වී ඇත්තේ කවරාකාරයෙන් හෝ සටන් නවත්වා ඇෆ්ගන් යුද්ධය නමැති නාස්තිකාර වියදමෙන් ගැලවෙන්නට වන බැවිනි.

කෙසේ වෙතත් ඇෆ්ගන් සමාජයෙන් පළ වන්නේ මිශ්‍ර ප්‍රතිචාර බව සඳහන්ය. සාමාන්‍ය ජනයා සිතන්නේ ‘මොනවා වුණත් කමක් නෑ යුද්දෙ ඉවර වෙනවා නම්’ කියාය. එහෙත් යම් ප්‍රමාණයකට දැනුමක් ඇති සහ කල්පනා කළ හැකි මිනිසුන්ගේ අදහස වනුයේ තලේබාන්ට වාසි සහගත ලෙස ගිවිසුමක් පිළිගන්නට සිදුවුවහොත් පිහිටුවනු ලබන ඔවුන්ගේ ඉස්ලාමීය එමයිරේටය යටතේ ක්‍රියාත්මක වනු ඇති ශාරියා නීතිවලින් තමන්ට පීඩා විඳින්නට සිදුවනු ඇති බවයි.

මාතෘකා