ඉස්ලාමීය රාජ්‍යය ගැන ආරක්‍ෂක බලධාරීන් දන්නා තරම මදි

 ඡායාරූපය:

ඉස්ලාමීය රාජ්‍යය ගැන ආරක්‍ෂක බලධාරීන් දන්නා තරම මදි

මේ දවස්වල අපේ රටේ බොහෝ සෙයින් වැහැරෙන පදයක් වනුයේ ISය. ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත සංවිධානයක් මේ නමින් හැඳින්වෙන බව ඒ සමගම බොහෝ දෙනා දනිති.

පසුගිය පාස්කු ඉරිදා අපේ රටේ ස්ථාන කිහිපයක වූ පිපිරීම් ඊට පසුගාමී වශයෙන් සිදු වූ පිපිරීම් සහ වෙඩිතැබීම් යනාදියේ ප්‍රතිඵල ලෙස මේ වනවිටත් ජනතාව බියෙන් මුසපත් වී නොවෙතත් හිරිවැටී සිටින බව නම් අමුතුවෙන් කිවයුතු නැත. ඒවායේ කර්තෘ IS ත්‍රස්තයන්ය.

කෙටි නාමය එසේ වුවද එහි සම්පූර්ණ නාමය Islamic State of Iraq and Syria - ISIS වෙයි. එයින් අදහස් කෙරෙන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයි. ඇතැම්විට Islamic State of Iraq and Levant - ISIL ලෙසද හැඳින්වෙන අතර වඩාත් ප්‍රකට IS ලෙසය. මෙහි Levant යනු ඉරාකය සහ සිරියාව ඇතුළත් මධ්‍යධරණී වෙරළේ පැතිර ගිය භූමිභාගයකි.

IS යනු සුන්නි ඉස්ලාමයේ සලාෆි ජිහාදීය (Salafi Jihadist) සටන්කාමී කණ්ඩායමකි. ඒ සංවිධානයේ අරමුණු මේ නම්වලින් ප්‍රකටය.

අරුත දැන ගැනීම සඳහා මේ වචන දෙක වෙන් වෙන් වශයෙන් ගැනීම සුදුසු බව පෙනෙයි. ඒ අනුව සලාෆි යනු සලාෆ් යන්නෙන් බිඳි එන්නකි. එහි දළ අරුත ගෞරවනීය මුතුන්මිත්තන් හෙවත් ආදි කර්තෘවරුන්ගෙන් පැවත එන කණ්ඩායම වේ. සලාෆි ව්‍යාපාරය 18 සියවසේ මැද භාගයේ වර්තමානයේ සෞදි අරාබිය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ ඇරඹිණැයි සැලකේ. පසුව එය තුර්කිය දක්වා ව්‍යාප්ත විය. බටහිර අධිරාජ්‍ය විසින් ඉස්ලාම් ලබ්ධිකයන් බහුලව වෙසෙන රාජ්‍ය යටත් කැර ගැනීමෙන් පසු ඔවුන් විසින් පතුරුවන ලද විවිධ සංස්කෘතිකාංගවලට එරෙහි මතවාදයක් මෙයින් ඉදිරිපත් විය. මෙය ඉස්ලාමයේ සුන්නි පාර්ශ්වයෙන් පැන නැඟුණකි.

අතීතයේ ඉස්ලාම් ලබ්ධිකයන් අතර වැහැරුණු ඇතැම් වචන වර්තමානයේ වෙනස් අරුත් සහිතව භාවිත වන බව පෙනේ. මේ නව අරුත් වාක්කෝෂවල පවා නොමැත. ඉංගිරිසියේ මෙය Neology යනුවෙන් හැඳින්වේ. මේ ආකාරයෙන් ඇතැම් ආගමික භාවිතාවල සමහර වචනවලට සහ පදවලට ආගම් කතුවරුන් සිතන්නටවත් නැති අර්ථ දැක්වීම් සහ නිර්ණායකයන් වර්තමානයේ ඉදිරිපත් කෙරෙනු දක්නා ලැබේ.

4 - 5 සියවස්වල ජිහාඩ් යන පදය ව්‍යවහාර කරන ලද්දේ ඉස්ලාමය ප්‍රචාරය කිරීම සඳහා කිසියම් මෙහෙවරක යෙදුණු අයකු හැඳින්වීම සඳහාය. ඔවුන් සිය ඉපැයීමවලින් කිසියම් කොටසක් දිළිඳු ඉස්ලාම් ලබ්ධිකයන්ගේ යහසාධනය සඳහා යෙදවිය යුතු විය. ‘මුජාහිද්’ යනු එවැන්නකු හැඳින්වීම සඳහා යොදන ලද තවත් පදයකි. මුජාහිදින් යනු එහි බහුවචනයි. වර්තමානයේ මේවා සන්නද්ධ සටන්කරුවන් හැඳින්වීමේදී භාවිත වෙයි.

19 වන සියවසේ මැද භාගයේ පමණ මේ වචන අලුතින් අර්ථ ගන්වන ලදී. වෙනස් ආකාරයකින් කිවහොත් සන්නද්ධ ඉස්ලාම් අන්තවාදීන් සිය ත්‍රස්ත ක්‍රියා සාධාරණීකරණය සඳහා ඒවා යොදා ගන්නවා විය හැකිය. ඒ අනුව ජිහාඩ් යන පදයේ නව අර්ථ දැක්වීම වන්නේ දළ වශයෙන් ඉස්ලාමයේ නාමයෙන් කුරාණය අනුදත් පරිදි ප්‍රශස්ත අරමුණක් අනුව අරගල හෝ සටන් හෝ කිරීමයි. මෙම අරගල සහ සටන් සන්නද්ධද එසේ නොමැතිද විය හැකිය. එසේම ප්‍රශස්ත අරමුණ යන්නටද නිශ්චිත අර්ථ දැක්වීමක් නැති අතර 20 වන සිය වසේ අගභාගයේ සිට එය ‘ඉස්ලාම් නොවන අනෙක් ලබ්ධිකයන් මිහිතලයෙන් අතුගා දැමීම’ යන තරම් පුඵල් වී තිබේ. සමහරවිට මේ නව අර්ථ දැක්වීම් ඉස්ලාමයේ ආදිකර්තෘ වන මුහම්මද්තුමා සිතුවේවත් නැති ඒවා විය හැකිය.

සුන්නි ඉස්ලාමයේ පංචශීලයක් වෙයි. ශ්‍රද්ධාව, යාඥාව, පරිත්‍යාගය, උපවාසය සහ හජ් වන්දනාව යනු ඒ පහයි. ජිහාඩ් හය වැන්න ලෙස මෑතක සිට සැලකේ. එයින් පෙනීයන්නේ අන් ඇදහිල්ලක් ඇති හෝ ධර්මයක් අනුගමනය කරන මිනිසුන් ඝාතනය සිය ආගමේ මූලික වෘතයක් ලෙස ජිහාඩ්වාදීන් සලකන බවයි.

ලොව පුරා ජිහාඩ් සංවිධාන සිය ගණනක් තිබේ. මුජාහිදින් සංවිධානද සිය ගණනකි. මොවුහු අවි අත දරන රහසිගත කණ්ඩායම්ය. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය වැනි ආසියාතික රටවල දුරස්ත කඳුකර පෙදෙස්වල අවි රැගෙන ඔබමොබ යන ඉස්ලාම් ත්‍රස්තයෝ විරළ නොවෙති. අප්‍රිකානු රටවලද එසේය. මැදපෙරදිග කලාපයේ රටවල පාලනය වෙනස් කිරීම සඳහා මෙම සන්නද්ධ කල්ලි ක්‍රියාත්මක වනු ප්‍රකටය. ඒ අතරින් IS වර්තමානය වන විට ප්‍රබලතම සහ දරුණුතම මෙන්ම වඩාත් ව්‍යාප්ත වුණු සංවිධානය බවට පත්ව තිබේ.

එම සංවිධානයේ මෙහෙවර ප්‍රකාශනය, දැක්ම සහ අරමුණුද න්‍යායපත්‍රයද සකස් වී ඇත්තේ ඉස්ලාමීය නොවන අන්‍ය ලබ්ධින් මිහිමතින් තුරන් කර දැමීමේ අරමුණින් බව වටහා ගත යුත්තකි.

ඉසිස් ආරම්භ වූයේ 1999 වසරේ බව පැවසේ. ඒ ඉරාක භූමියේය. එය මුලදී තවත් සුන්නි සටන්කාමී කණ්ඩායමක් වන අල්-ඛයිඩා සමග සබඳකම් පවත්වා ඇති අතර පසුව ස්වාධීන විය. ඔවුන්ගේ ක්‍රියාන්විතවල කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ 2014 ජුනි මස මුල ඉරාකයේ මොසුල් නගරය අල්ලා ගැනීමත් සමගය. ඒ අවස්ථාවේ ඉරාක හමුදාව තමන් සතු අවි සහ වාහනද අනෙකුත් මෙවලම් ඔවුන්ට ගන්නට ඉඩ හැර පලා ගිය හෙයින් ඔවුන්ගේ පාලනය එහි ස්ථාපිත විය. ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඔවුන් විසින් පැහැර ගන්නා ලද මුදල ඇ.ඩො මිලියන 500ක පමණ වටිනාකමකින් යුත් බව පැවසේ. පසුව ඔවුහු අමෙරිකානු හමුදාව විසින් පලවා හරින ලද්දෝය.

ඔවුහු එසමයේ බටහිර සිරියාවේ සිට නැඟෙනහිර ඉරාකය දක්වා භූමියේ ව.කි.මී. 88,000ක් පමණ නතු කැර ගෙන සිටියාහුය. ඉරාකයේ ඛනිජතෙල් කර්මාන්තය මුළුමනින්ම පාහේ ඔවුන් විසින් අල්ලා ගන්නා ලද අතර එමගින් ද පැහැරගෙනයෑම්, වහල්බවට විකිණීම්, කප්පම් ගැනීම්, මං පැහැරීම් යනාදියෙන්ද ඩොලර් බිලියන හත අටක් උපයා ගන්නා ලද බව සඳහන්ය.

පසුගිය වසරේ නොබල් සාම ත්‍යාගය සම ව දිනූ යිඩිශ් ජාතික නාදියා මුරාද්ගේ නෝබල් දේශනයේ ඔවුන් පිළිබඳ බොහෝ විස්තර ඇතුළත්ය.

කැලිෆ් (Caliph) යනු අල්ලාගේ නියෝජිතයාය. එබන්දකු විසින් පාලනය කෙරෙන රාජ්‍යයක් කැලෆේටයක් (Caliphate) ලෙස හැඳින්වේ. සිරියානු භූමිය සිය ග්‍රහණයට ගෙන කැලිෆේටයක් ගැන සිහින මවමින් සිටි ඔවුන්ට එය අතහැර පලා යන්නට පසුගිය මාර්තු අග සිදු විය.

ඔවුන් පරාජයට පත් කරනු ලැබුවේ අමෙරිකානු හමුදාවේ සහායෙන් පෙරමුණේ අභීතව සටන් කළ කුර්දි සටන්කාමීන් විසිනි. මේ කාර්යයේ ලා රුසියාව සිරියානු රජයට මිලිටරිමය වශයෙන්ද ගුවන් ප්‍රහාර සඳහා ප්‍රහාරක යානා සැපයීමෙන් හා මූල්‍යමය වශයෙන්ද ආධාර කළේය. අමෙරිකා එක්සත් ජනපදයේ සහ රුසියාවේ මැදිහත් වීම නොවන්නට ඔවුන් සිරියාව යටත් කොට බෂිර් අල්-අසාද් පලවා හැර හෝ ඝාතනය කොට සිය කැලිෆේටය පිහිටුවනවා නිසැකය.

IS විසින් අන්තර්ජාලයේ ඉංගිරිසියෙන් පළ කරනු ලබන ඩබික් (Dabiq) සඟරාවෙන් සිය මතවාදය ප්‍රචලිත කෙරේ. ඒවා කියැවූ බටහිර තරුණියන් කැලිෆේටයේ නායකයන්ට දාව ගැබ් ගෙන පසුව සිය රටවලට පැමිණ දරුවන් බිහිකොට යුරෝපයේ සහ අමෙරිකාවේ ඊළඟ ඉසිස් පරපුර ඇති කිරීමේ ප්‍රයත්නයක නිරතව සිටි බවද ඇතැම් තැනෙක සඳහන්ය. ඉසිස් පැරදී ගෙන යනවිට එබඳු කාන්තාවන් දෙනෙකු බ්‍රිතාන්‍යයට සහ අමෙරිකාවට පෙරළා පැමිණි බවත් දෙරටම ඔවුන් ආපසු බාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ බවත් මීට මසකට පමණ පෙර මාධ්‍ය වාර්තාවල දැක්විණි. මෙම සංඛ්‍යාව දහසක් පමණ වෙති’යි පැවසේ. බටහිර රටවලින් පැමිණ එම සංවිධානයට බැඳී සටන් කරන පුරුෂයන්ගේ සංඛ්‍යාව 15,000 ඉක්මවනු ඇති බවද සඳහන්ය.

එම සඟරාවේ දැක්වෙන පරිදි සමස්ත පෘථිවියම එක් කැලිෆේටයක් බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාෂයයි.

මේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන් ගන්නා විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඔවුන්ගේම වෙබ් අඩවියේ මෙන්ම යූටියුබ් සහ ෆේස්බුක් හි මුදාහැරීම ඔවුන්ගේ සාමාන්‍ය පිළිවෙතයි. ඉසිස් විසින් සිය මතවලට එරෙහි වූවන් ඝාතනය කරන ලද්දේ දහස් ගණනිනි. මේ ඝාතන විදේශවල ත්‍රස්ත ප්‍රහාරවලින්ද තමන් අල්ලාගෙන සිටි භූමිවල ගෙල සිඳීමෙන් සහ වෙනත් ආකාර දරුණු වධ පැමිණවීමෙන්ද කරන ලදි. එසේ කිරීමෙන් අනතුරුව ඔවුහු ඒවායේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරියෝය.

ග්‍රහණයට ගන්නා ලද සිරියානු සොල්දාදුවකු මතින් යුද ටැකියක් යවා ඔහු තළා දැමීම, අල්ලා ගන්නා ලද ජෝර්දාන ගුවන් නියමුවකු යකඩ කූඩුවක් තුළ දමා පණ පිටින් පිලිස්සීම, හසු වූ මාධ්‍යකරුවන් සහ සහන සේවකයන්ගේ හිස් ගසා දැමීම යනාදී වශයෙන් විදේශීය 'ද්‍රෝහීන්ට' දුන් සිය ගණනක් දඬුවම් එලෙස ප්‍රදර්ශනය කැරිණි.

අවාසනාවකට මෙන් පසුගිය සතිය තෙක් ධුරය දැරූ අපේ රටේ ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම තවමත් ධුරය දරන පොලිස්පතිවරයාට ලොව පුරා ප්‍රවෘත්ති ගැන අවබෝධයෙන් සිටින සාමාන්‍ය ජනයාට තරම්වත් වැටහීමක් නොතිබූ බව පැහැදිලිය. IS ත්‍රස්තයන්ගේ දරුණු ක්‍රියාවලින් සියයෙන් පංගුවක්වත් දැන සිටියා නම් ‘ආරංචිය නම් ලැබුණා. මං එච්චර හිතුවෙ නෑ’යි කිසිම රටක ආරක්‍ෂක ලේකම්වරයකු නොකියනු ඇත. එසේම තමන්ට දෙසතියකටත් පෙර ලැබුණු පුවත තමන් යටතේ සිටින නිලධාරීන්ට ලිපියක් මගින් පමණක් දන්වා සෑහීමකට පත්වන පොලිස්පතිවරයකුද කිසියම් රටක නොසිටිනු ඇත.

බරපතළකම අතින් කොටි ත්‍රස්තයන් = 1 නම්; ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් යනු 1,000 තරම් විශාල බව වටහා ගත යුතු දෙයකි. ඔවුන් සමස්ත ලෝකයම ඔවුන් ගැන සිටින්නේ දැඩි අවධානයෙනි. විවිධ මුජාහිදින් කණ්ඩායම් ගැන ලොව සැම රටකම පාහේ රහස් ඔත්තුසේවා සිටින්නේ ඇහැ ගසා ගෙනය. ඒ අනුව ‘අපේ රටට විතරක් නොවෙයි, අමෙරිකා එක්සත් ජනපදයටත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා’ කීමෙන් අපට වූ රිදීම සාධාරණීකරණය කළ නොහැකිය.

ජනතාවගේ බදු මුදල් ජාතික ආරක්‍ෂාවට විශාල වශයෙන් යට කරන බවත් වසරක් පාසා ආරක්‍ෂක අංශවල සහ පොලිසියේ වැය ශීර්ෂ ඉහළ යන බවත් අපි දනිමු. එසේ නම් ජනතාවට තමන් දරන වියදමට සරිලන ප්‍රතිලාභ ලැබිය යුතුය.

ඒ සඳහා ඉස්ලාම් අන්තවාදී සංවිධාන යන විෂය ආරක්‍ෂක අංශ විධිමත් ලෙස හැදෑරිය යුතුය. අරාබි බස පවා ව්‍යක්ත ලෙස හැසිරවිය හැකි රාජ්‍ය ඔත්තුසේවා නිලධාරීන් අවශ්‍යය. එසේ නොමැතිව ජිහාඩ් තර්ජනවලට මුහුණ දීම පහසු නොවනු ඇත.

මාතෘකා