ලොව ජීවත්වන විශාලතම පක්ෂීන්

 ඡායාරූපය:

ලොව ජීවත්වන විශාලතම පක්ෂීන්

ලෝකයේ ජීවත්වන විවිධාකාර සතුන් අතර ඔවුන් විවිධ අංගවලින් එකිනෙකට වෙනස් වනවා. විශේෂයෙන් එලෙස සතුන් එකිනෙකාගෙන් වෙනස් වන සාධක අතර ප්‍රමාණය ප්‍රධාන සාධකයක්ද වනවා. එක් ජීවී විශේෂයක් වැලි කැටයක තරම් කුඩා ප්‍රමාණයක් වන විට තවත් ජීවියෙක් කුඩා නිවසක් තරම් විශාල වෙනවා.

කුරුලු ලොවද එසේය. කුරුලු ලෝකය විවිධ ප්‍රමාණයේ පක්ෂීන්ගෙන් පිරී තිබෙන මේ සටහන ලොව ජීවත්වන විශාලතම පක්ෂී විශේෂයන් කිහිපයක් ගැනයි.

පැස්බරා

ලොව ජීවත්වන විශාලතම පක්ෂියා පැස්බරා වන අතර හොඳින් වැඩුණු පැස්බරකු කිලෝග්‍රෑම් 150ක පමණ බරකින් යුක්ත වන අතර උපරිම වශයෙන් අඩි 6ක් පමණ උසකට වැඩෙනවා. පැස්බරාට වේගයෙන් දිවිය හැකි අතර ඔවුන් ලොව වේගයෙන්ම දිවිය හැකි පක්ෂී විශේෂයද වෙනවා. ඔවුන්ට පැයකට කිලෝමීටර් 70ක පමණ වේගයකට ළඟාවිය හැකි අතර විශාලතම බිජුව දමන පක්ෂි විශේෂය වන්නේත් පැස්බරායි.

පියෑඹීමට නොහැකි මේ පක්ෂීන් වර්ගය සර්ව භක්ෂක වර්ගයට අයත්වනවා. ඔවුන් සාමාන්‍යයෙන් විවිධ ඇට වර්ග, පැළෑටි, මල් හා කුඩා කෘමීන් වැනි දේ ආහාරයට ගන්නවා. මීට අමතරව ආහාර අඹරා ගැනීම සඳහා කුඩා ගල් කැබලිත් සිය මුඛයේ රුවාගන්නවා. අප්‍රිකාවේ ස්වාභාවික පරිසරයේ ජීවත්වන පැස්බරුන් හට දින කිහිපයක් වුවත් ජලය නොමැතිව විසිය හැකිය. ආක්‍රමණශීලී විශේෂයක් වන පැස්බරුන් කණ්ඩායම් ලෙස සතුරාට පහර දෙනවා. පැස්බරුන් වසරකට බිත්තර 60ක් පමණ දමන අතර එක් බිත්තරයක් සාමාන්‍යයෙන් අඟල් 5.1ක විෂ්කම්භයක් හා කිලෝග්‍රෑම් 1.4ක බරක් දරනවා. සදර්න් කැසවරි

ඉන්දුනීයාවේ සහ ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරවලට ආවේණික කැසවරි ලොව දෙවනුවට විශාලතම පක්ෂියා ලෙස සැලකෙනවා. මෙම විශාල කළු පැහැති පක්ෂියාටද පියෑඹීමේ හැකියාවක් නොමැති අතර අඩි 5.1ක පමණ උසකට වැඩෙනවා.

අඩි 6ක් පමණ උස් වන මොවුන් කිලෝග්‍රෑම් 60ක පමණ බරකින් යුක්තයි. මොවුන් ඕස්ට්‍රේලියාව පුරා ඇති වනාන්තර ආශ්‍රිතව හමුවනවා. මේ පක්ෂීන්ටද වේගයෙන් දිවිය හැකි අතර පැයට කිලෝමීටර් 48ක පමණ වේගයෙන් දිවිය හැකියි. සර්වභක්ෂකයන් වන මොවුන් කෘමීන්, කුඩා පැළෑටි, දිලීර වර්ග වැනි දේ ආහාරයට ගන්නවා. ගිම්හාන කාලයේදී මෙම විශේෂයේ ගැහැනු සතෙක් බිත්තර 8 සිට 10 අතර ප්‍රමාණයක් දමනවා. පිරිමි සත්ත්වයා විසින් එය දින 50කට වැඩි කාලයක් රැකීම සිදුකරනවා.

ඉමියු

ඔස්ට්‍රේලියාවට ආවේණික ඉමියු එරට ජීවත් වන විශාලතම පක්ෂියෙක් වෙනවා. අඩි 6ක් පමණ උස් වන මොවුන් කිලෝග්‍රෑම් 60ක පමණ බරකින් යුක්තයි. මොවුන් ඔස්ට්‍රේලියාව පුරා ඇති වනාන්තර ආශ්‍රිතව හමුවනවා. ඉමියු සත්ත්වයන්ද සර්ව භක්ෂක වන අතර පැළෑටි, ධාන්‍ය, පලතුරු, කටුස්සන් සහ කෘමීන් මත යැපෙනවා. පැස්බරුන්ට සමීප බන්ධුතාවක් දක්වන මොවුන්ද ආහාර අඹරා ගැනීමට ගල් කැබලි යොදාගන්නවා.

පියෑඹීමට නොහැකි මේ සතුන්ට වේගයෙන් දිවිය හැකිය. මොවුන්ට ළඟාවිය හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ වෙනවා. ග්‍රීෂ්මයේදී මේ විශේෂයේ ගැහැනු හා පිරිමි සතුන් ජෝඩු වන අතර ශීත කාලයේ දී ගැහැනු සත්ත්වයා තද කොළ පැහැති බිත්තර 8-10 අතර ප්‍රමාණයක් දමනවා. මේ බිජුවක් රාත්තලක පමණ බරකින් යුක්ත වෙනවා.

වරක් ඉමියු සතුන්ට එරෙහිව ඔස්ට්‍රේලියානු රජය “මහා සංග්‍රාමයක්” දියත් කළ බවද වාර්තා වනවා. එම්පරර් පෙන්ගුයින්

එම්පරර් පෙන්ගුයින් ලොව වෙසෙන විශාලතම මෙන්ම බරැතිම පෙන්ගුයින් විශේෂය වෙනවා. මේ වර්ගයේ පෙන්ගුයින් සත්ත්වයෙක් අඩි 3යි අඟල් 9ක් පමණ සාමාන්‍ය උසකින් යුක්ත වන අතර කිලෝග්‍රෑම් 45ක පමණ බරකින් යුක්ත වෙනවා. ඇන්ටාක්ටිකාවේදී පමණක් හමුවන මොවුන් හට ආහාර සොයාගැනීම සඳහා කිලෝමීටර 80ක් පමණ ඇවිද යා හැකි අතර අඩි 1500ක් පමණ දිය යටට කිමිදිය හැකියි.

මේ විශේෂයේ පිරිමි සතුන් ගැහැනු සතුන් විසින් ලන බිජුවල වගකීම් බාරගන්නා අතර මාස 2ක පමණ බිජු රකින කාලය තුළ එම පිරිමි සත්ත්වයා කිසිදු ආහාරයක් ලබාගන්නේ නැහැ. මේ කාලය තුළ ගැහැනු සත්ත්වයා ආහාර සොයා ඔබමොබ යනවා. මේ කාලයේ ගන්නා ආහාර ඇය විසින් වමාරා සිය පැටවුන්ට කවනවා. ග්‍රේටර් රීයා

පියෑඹීමට නොහැකි පක්ෂී විශේෂයක් වන මේ වර්ගයේ සතුන් දකුණු ඇමෙරිකාවේ වෙසෙන විශාලතම පක්ෂියා වෙනවා. මොවුන් අඩි 4.1 සිට 4.5ක් දක්වා උසට වැඩෙනවා. මේ වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 27ක් පමණ වෙනවා. විශාල පියාපත් යුගලයක් දැරුවද මොවුන්ට පියෑඹීමේ හැකියාවක් නැහැ. එනමුත් භූමිය මත දිවීමේදී ක්ෂණිකව දිශාව මාරුකර ගන්නට ඔවුනට එය උපකාරී වෙනවා.

ග්‍රේටර් රීයා සතුන් සාමාන්‍යයෙන් හමුවන්නේ තෘණබිම් හා තෙත්බිම්වලයි. මාංස භක්ෂකයන් වන මොවුන් කෘමි සතුන්, කටුස්සන් හා කුඩා පක්ෂීන් ආහාරයට ගන්නවා. මොවුන්ට පැස්බරුන් මෙන් දිගු, ශක්තිමත් දෙපා යුග්මයක් පිහිටනවා. මේවා ඔවුන්ට අනතුරුවලින් ආරක්ෂා වන්නට උපකාරී වෙනවා. මෙම වර්ගයේ ගැහැනු සතෙකු තනි කැදැල්ලක බිත්තර 50ක් පමණ දමනවා.

කෝරි බස්ටර්ඩ්

මේ වර්ගයේ සතුන් සැලකෙන්නේ ලොව ජීවත් වන පියෑඹීමේ හැකියාව දරන විශාලතම පක්ෂියා ලෙසයි. අප්‍රිකා මහාද්වීපයට ආවේණික මේ වර්ගයේ සතුන්ගේ පිරිමි සතුන් ගැහැනු පක්ෂියාට වඩා දෙගුණයකින් පමණ බරින් වැඩියි. අඩි 4ක පමණ දිගින් යුතු මේ පක්ෂියෙක් සම්පූර්ණයෙන් පියාපත් විහිදූ විට ඒවා එක් කොණක සිට අනෙක් කොණට දිග අඩි 9ක් පමණ වනවා.

සර්ව භක්ෂකයන් වන කෝරි බස්ටර්ඩ් පක්ෂීන් සාමාන්‍යයෙන් කටුස්සන්, හූනන්, සර්පයන්, ධාන්‍ය වර්ග, බෙරි වර්ග වැනි දේ ආහාරයට ගන්නවා. මේ පක්ෂි වර්ගයේ තවත් විශේෂයක් වන්නේ ඔවුන් ජලය පානය කරන්නේ උරා බීමෙන් වීමයි. පියසැරීමේ හැකියාව දැරුවද, ඔවුන් වැඩිපුරම කාලය ගතකරන්නේ භූමිය මතයි. විශේෂයෙන් භූමිය මත ඔබමොබ ඇවිදිමින් කුඩා කෘමි සතුන්, පණුවන් සොයා ආහාරයට ගැනීමට මොවුන් විශේෂ ලැදියාවක් දක්වනවා.

දිනිඳු ඒකනායක- Roar

 

මාතෘකා