බලවත් රටවලත් කරණම් ගැසූ අයිසිස්

 ඡායාරූපය:

බලවත් රටවලත් කරණම් ගැසූ අයිසිස්

නිරායුධ සිවිල් ජනතාව ඉලක්ක කොට ආසියානු ඉතිහාසයේ එල්ල වූ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට IS ත්‍රස්තවාදීන් කටයුතු කළේ පසුගිය ඉරිදා දවසේය. මේ ලිපිය ලියන අවස්ථාව වන විට එම අති අමානුෂික ප්‍රහාරයෙන් මිය ගිය ගණන 359ක් වන බවත් ඒ අතර අවම වශයෙන් විදෙස් ජාතිකයන් 31 දෙනකු සිටින බවත් රජය තහවුරු කර සිටියි. UNICEF පවසන ආකාරයට මෙම ප්‍රහාරයෙන් දරුවන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

1999 වර්ෂයේදී කුප්‍රකට අල්-කයිඩා සංවිධානයේ ක්‍රියාකාරීත්වයෙන් පන්නරය ලැබූ කුඩා කණ්ඩායමක් ලෙස ඇරඹුණු බවට සඳහන් වන IS සංවිධානය කරළියට එන්නේ 2014 වර්ෂයේ මැයි මාසයේදීය. 2013 වර්ෂයේදී ඉරාකයේ විවිධ ස්ථාන සහ පිරිස් එල්ල කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මේ මිනීමරු කණ්ඩායම සිය IS අනන්‍යතාව සහිතව ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ඉරාක දේශ සීමාවෙන් පිට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන්නේ බෙල්ජියමේ යුදෙව් කෞතුකාගාරය ඉලක්ක කර සිදුකළ වෙඩි ප්‍රහාරයත් සමඟය. මෙහිදී නෙම්මෝච් නමැති ප්‍රහාරකයා සිදු කළ වෙඩි ප්‍රහාරවලින් සිව් දෙනකු ඝාතනය විය. ප්‍රථම වරට ප්‍රහාරය සිදු කළ ස්ථානයේ තිබී සුදු පැහැති කොළයක Islamic State නම ප්‍රදර්ශනය කර තිබිණි.

ප්‍රහාර සඳහා IS ත්‍රස්තවාදී සාමාජිකයෝ ප්‍රධාන ක්‍රම දෙකක් අනුගමනය කරති. ඉන් එකක් නම් ඔවුන්ගේ සෘජු මැදිහත්වීම මත ප්‍රහාරකයන් යෙදවීමයි. දෙවැන්න ඔවුන්ගේ අන්තවාදී දේශන හරහා ඉස්ලාම් භක්තිකයන්ගේ හැඟීම් උලුප්පා ඔවුන් ස්වයං ප්‍රහාරකයන් බවට පත් කර ඔවුන් හරහා තනි තනි සිදුවීම් ඇති කිරීමයි.

අයිසිස් (ISIS) ත්‍රස්තවාදීන් සිය රහස් ඔත්තු අංශවල හැකියාව වැඩි වශයෙන් භාවිත කරමින් ඉතිහාසයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ බිහිසුණුම ප්‍රහාරයක් ලෙස සැලකෙන ස්පෙයිකර් කඳවුරු ප්‍රහාරය එල්ල කළේ 2014 වසරේ ජුනි මාසයේදීය. මෙම ප්‍රහාරය සඳහා අන්තවාදී ඉරාක හමුදා ප්‍රධානීන්ගේද සහාය හිමි වූ බවට ඉරාක රජය චෝදනා කළේය. කඳවුරේ සිටි ඉරාක ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් හට දින 15ක නිවාඩුවක් ලබාගෙන නිවෙස්වලට යන ලෙස ඉහළ හමුදා නිලධාරීන් අණ දුන් බව පැවසේ. ඔවුන් නිවෙස්වලට යෑම සඳහා ප්‍රධාන මාර්ගයට පැමිණි අවස්ථාවේ ආයුධ සන්නද්ධව පැමිණි අයිසිස් ත්‍රස්ත පිරිස් ගුවන් හමුදා කැඩෙට් භට පිරිස් පැහැර ගෙන ගොස් ඔවුන් අතරින් ෂියා ඉස්ලාම් ලබ්ධිකයන් සහ මුස්ලිම් නොවන භට පිරිස් ඝාතනය කිරීමට කටයුතු කළහ. මේ සිදුවීම වන විට කඳවුරේ ගුවන් හමුදා භටයන් 4,000ත් 11,000ත් අතර පිරිසක් සිටි අතර ඉන් අවම අවශයෙන් 1,566ක් ඝාතනය කිරීමට මේ බිහිසුණු ත්‍රස්තයෝ කටයුතු කළහ.

මෙම සමූල ඝාතනය වන විට ඉරාක රජයට දැඩිව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර සන්ධානයේ සහාය හිමිව තිබිණි. මෙම ප්‍රහාරය වන විටත් ඉරාකය, ලෝකයේ ධනවත්ම රටවල් 25 අතරේ සිටි අතර ඉරාක ජාතික බුද්ධි සේවාවද ප්‍රබලව තිබිණි. මෙම සමූල ඝාතනයෙන් අනතුරුව 2014 වර්ෂයේදී ලෝක බලවතුන් කිහිප දෙනකුටම අනතුරු හැඟවීම් කරමින් සෘජු සහ තනි සිදුවීම් ලෙස ප්‍රහාර එල්ල කිරීමට අයිසිස් දේශන ඔස්සේ අන්තවාදී ස්වරූපයට රූපාන්තරණය වූ පිරිස් කටයුතු කළහ. එම ප්‍රහාර මාලාව තුළ පීඩනයට ලක් වූ රටවල් බවට පත් වූයේ ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය යන ලෝක බලවතුන්ය. කෙසේ වෙතත් බලවතුන් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම මේ වන විට අයිසිස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රමුඛ අභිප්‍රාය බවට පත්ව තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රමුඛත්වය හිමි වූයේ නිශ්චිත භූමියක් තම සෘජු පාලනයට නතු කර ගැනීමයි.

ත්‍රස්තයන්ගේ මීළඟ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වූයේ සෞදි දේශසීමා ආරක්ෂක හමුදාවය. 2015 වසරේ මුල් තෙමස තුළ ලිබියාවේ සිදු කළ කාර් බෝම්බ ප්‍රහාරය, ඩෙන්මාර්කයේ කෝර්පන්හේගන් වෙඩි ප්‍රහාරය, ටියුනීසියාවේ බාර්ඩෝ ජාතික කෞතුකාගාරයට එල්ල කළ ප්‍රහාරය මෙන්ම යේමනයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල කළ බිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාරවලින් බොහෝ නිරායුධ සිවිල් වැසියෝ ඝාතනය වූහ. මේ අතරින් යේමනයට එල්ල වූයේ ඉස්ලාම් ආගමම අදහන වෙනත් නිකායක පල්ලියකට එල්ල වූ ප්‍රහාරයක් වීම මොවුන්ගේ අන්තවාදී ස්වරූපය සහ බිහිසුණු බව ප්‍රකට කරයි. මෙම ප්‍රහාරයෙන් සහෝදර ඉස්ලාම් භක්තිකයන් 142ක් මරණයට පත් කර 350කට අධික පිරිසකට අත පය අහිමි කිරීමට තරම් ඔවුහු සාහසික වූහ.

2015 ජුනි මාසයේදී තුර්කිය, ප්‍රංශය, ටියුනීසියාව සහ එක්සත් ජනපදයට අයිසිස් මිනීමරු කල්ලියේ ප්‍රහාරයට නැවත ලක්වීමට සිදු විය. කුවේටයේ ප්‍රහාරයට ලක් වූයේද ෂියා මුස්ලිම් දේවස්ථානයකි. එම මරාගෙන මැරෙන ප්‍රහාරයට ජීවිත 27ක්ද ටියුනීසියා වෙඩි ප්‍රහාරයට ජීවිත 38ක්ද බිලි විය.

අයිසිස් ත්‍රස්තයන්ගේ නවතම ඉලක්කය බවට පත්වන්නේ ලොව බලවත්ම ආර්ථිකයන් විස්ස අතරට සිටින වේගවත් ආර්ථික වර්ධනයකට හිමිකම් කියන ඊජිප්තුවය. ජෙනරල් ඉන්ටෙලිජන්ස් ඩිරෙක්ටරේට් හෙවත් 'මුකබරට්' නමින් හැඳින්වෙන අති ප්‍රබල රහස් ඔත්තු සේවයක් සහිත ඊජිප්තුවට 2015 ජූලි මාසයේදී කයිරෝහි පිහිටි ඉතාලි කන්සියුලර් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෝ පොලිස් ස්ථාන කිහිපයකට එල්ල වූ වෙඩි ප්‍රහාර වළක්වා ගැනීමට හැකි වූයේ නැත.

එම වර්ෂයේදීම ලෙබනනය සහ ටියුනීසියාවට නැවත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අයිසිස් ත්‍රස්තයන්ගේ බෝම්බ මීළඟට දිශාගත වන්නේ තුර්කිය දෙසටය. තුර්කියේ අන්කාරා අගනුවර සාම රැලියකට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිත 103ක් බිලි ගැනීමට තරම් ත්‍රස්ත සාමාජිකයෝ සාහසික වූහ.

 

අයිසිස් ගැන ලෝක අවධානය සහ ඔවුන්ට එරෙහිව ලොව පුරා දැඩි වෛරයක් ඇති වීමට හේතු වූ බිහිසුණුම ප්‍රහාරය බවට පත් වූයේ ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයයි. මරාගෙන මැරෙන බෝම්බ, වෙඩි ප්‍රහාර මෙන්ම අත්බෝම්බ සහ ප්‍රාණ ඇපයට ගැනීම වැනි බිහිසුණු ක්‍රියාමාර්ග ගණනාවකින් සමන්විත වූ මෙම ප්‍රහාරය පිළිබඳව එරට ප්‍රබල බුද්ධි අංශ දැනුවත්ව සිටියද එම ප්‍රහාර වළක්වා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වූයේ නැත. ප්‍රංශ ප්‍රහාරයෙන් 130 දෙනකු ඝාතනයට ලක් විය.

ලොව ආර්ථික බලවතකු මෙන්ම යුද බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය 'සෙලවී යන' ප්‍රහාරකට මුහුණ දෙන්නේද 2015 වර්ෂයේදීමය. කැලිෆෝනියාවේ සැන් බර්නාඩිනෝ නගරයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයකදී විවාහක යුවලක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර මාලවකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් බරපතල තුවාල ලැබූහ. අයිසිස් අන්තවාදී දේශන ඔස්සේ ඉස්ලාම් අන්තවාදය වැළඳ සිටි මෙම යුවලගේ ප්‍රහාරය එක්සත් ජනපද රහස් බුද්ධි අංශ සලිත කිරීමට සමත් විය.

වැදගත්ම කාරණය වන්නේ අයිසිස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කරන විට ඔවුන්ගේ ප්‍රමුඛත්වය හිමිව තිබුණේ ස්වකීය පාලනයට යටත් භූමිය පුළුල් කර ගැනීම මිසක තැනින් තැන ප්‍රහාර එල්ල කර තම ශක්තිය විදහා දැක්වීම නොවීමය. වැඩිම ඉස්ලාම් භක්තිකයන් පිරිසක් ජීවත්වන රට ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ අගනුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ තානාපති කාර්යාල බහුතරයක් පිහිටා ඇති ප්‍රදේශයක 'ස්ටාර්බක්ස්' අවන්හලකට සහ පොලිස් ස්ථානයකට සිදු කළ ප්‍රහාරය අග්නිදිග ආසියාවේ අයිසිස් ක්‍රියාකාරීත්වය දැඩිව ප්‍රකට වූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. එමෙන්ම ලොව වඩාත් සාමකාමීම රාජ්‍යයක් වන බෙල්ජියමේ බ්‍රසල්ස් ගුවන් තොටුපොළේ සහ මෙට්‍රෝ මධ්‍යස්ථානයක සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාර තුන සමස්ත යුරෝපයම භීතියට පත් කිරීමට සමත් විය.

2016 ජුනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරලැන්ඩෝහි සමරිසි ප්‍රජාව සඳහා වෙන් වූ රාත්‍රී සමාජ ශාලාවකට එල්ල වූ ප්‍රහාරය නැවතත් අයිසිස් භීතිය ඇමෙරිකානු මහාද්වීපවලට පැතිරවීමට සමත් විය. 26 හැවිරිදි ඔමාර් මටීන් නමැති පුද්ගලයා විසින් සිදුකළ වෙඩි තැබීම් හමුවේ 49 දෙනකුට ජීවිත අහිමි විය. ලොව අතිශයින් ප්‍රබල රහස් ඔත්තු සේවා ගණනාවක මූලස්ථානය වන ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් අයිසිස් උපක්‍රම හමුවේ පරාජයට පත් විය.

එම වසරේම ජූලි මාසයේදී ප්‍රංශයේ බැස්ටයිල් දිනය සමරමින් සිටි පිරිසක් වෙත කාර්ගෝ ට්‍රක් රථයක් ධාවනය කළ 31 හැවිරිදි ටියුනීසියානු ජාතික අයිසිස් සාමාජිකයා ජීවිත 86ක් බිලිගත් අතර 434 දෙනකු හට තුවාල සිදු කළේය. ජර්මනියේ බර්ලින්හි පොලිස් ට්‍රක් රථයක් පැහැරගෙන නත්තල් වෙළෙඳසැලක් වෙත ධාවනය කළ අයිසිස් සාමාජිකයා බිහිසුණු ලෙස ජීවිත 12ක් උදුරා ගත්තේය.

මෙලෙසම 2017 සහ 2018 වසරවලදීද පාකිස්තානය, එක්සත් ජනපදය, ඉන්දියාව, පිලිපීනය, ස්පාඤ්ඤය, රුසියාව මෙන්ම ඉරානය වැනි ශ්‍රී ලංකාවට සාපේක්ෂව අති ප්‍රබල රහස් ඔත්තු සේවා සහ ආරක්ෂක අංශ සහිත රටවලට පවා අයිසිස් ත්‍රස්තවාදීන්ගේ හුදකලා ප්‍රහාරවලින් මෙන්ම සැලසුම් සහගත ප්‍රහාරවලින්ද ගැලවීමට නොහැකි විය. ලොව ඕනෑම කොනක සිදුවන සියුම් ක්‍රියාවක් පවා ග්‍රහණය කර ගත හැකි තරම් තාක්ෂණයෙන් සහ පිරිස් බලයෙන් පරිපූර්ණ ආරක්ෂක අංශවලට වළක්වාගත නොහැකි තරමට සූක්ෂ්මව ප්‍රහාර එල්ල කිරීමටත් ඕනෑම අමානුෂික ආකාරයකින් ජීවිත හානියක් සිදු කිරීමටත් ඔවුන් පසුබට වන්නේ නැත.

2018 දක්වාම තමන්ගේ 'කැලිෆේටය' ලෙස පවත්වා ගත් සිරියානු සහ ඉරාක පාලන ප්‍රදේශ මේ වන විට ඔවුන්ට අහිමිව ඇත. 2016 වන විට කැලිෆේටයේ මූලස්ථානය වෙත පැමිණෙනවා වෙනුවට තමන්ට වැඩි හැකියාවක් ඇති ශාඛා (රටවල) සේවය කරන ලෙස අයිසිස් නායකයා තම අනුගාමික සාමාජිකත්වයට උපදෙස් දුන්නේ තම බලය පාලන ප්‍රදේශවලින් ගිලිහීම තම සංවිධානයේ බලයට බලපෑමක් සිදු කිරීම අවම කිරීමට විය යුතුය. ඒ අනුව මේ වන විට අයිසිස් ත්‍රස්තවාදීගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ විවිධ රාජ්‍යයන් සහ ජාතීන් බියට පත් කරන සාහසික ප්‍රහාර එල්ල කිරීම බවට ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන්ගේද අදහස වී ඇත. තම භූමිය අහිමි වීම අයිසිස් ලැබූ පරාජයක් ලෙස අර්ථකථනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව වගකීම බාර ගනිමින් කළ ප්‍රකාශයට සමගාමීවම ප්‍රචලිත කිරීමට අයිසිස් වෙත සහාය දක්වන මාධ්‍ය කණ්ඩායම් පැවසුවේ ඒ නිසා විය යුතුය.

[උපුලි ජයරත්න]

මාතෘකා