සුඩාන විරෝධතා සාර්ථක වන ලකුණු

 ඡායාරූපය:

සුඩාන විරෝධතා සාර්ථක වන ලකුණු

පසුගිය දෙසැම්බර් අග සතියේ සුඩාන රජයට එරෙහි පෙර නොවූ විරූ විරෝධතා ව්‍යාපාරයක් ඇරඹිණි. නිමිත්ත වූයේ තිරිඟු පිටි සහ පාන් මිල ඉහළ යාමයි. එතැන් සිට මේ දක්වා එහි පවතින්නේ දැඩි වියවුලකි. මේ වනවිට එය ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි ජනතා ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් විරෝධතාකරුවෝ ජනධිපති මන්දිරය තුන් පැත්තකින් වටලා සිටිති. ඒ අසලම හමුදා කඳවුරක් ඇතත් හමුදාව වෙනදා මෙන් හතර අතේ ප්‍රහාර එල්ල කරන බවක් නොපෙනේ. තමන්ට අවශ්‍ය දුර්දාන්ත පාලකයා පළවා හරින්නට බවත් ඊට සහාය දෙන ලෙසත් විරෝධතාකරුවෝ හමදාවට හඬ නගා කියති.

වෙනදා ජනතාව වීදි බැස්ස විට හමුදාව වෙඩි තබා ඔවුන් පළවා හළේය. තමන් එසේ කරන්නේ සාමකාමී ජනතාවගේත් රජයේ දේපළවලත් ආරක්‍ෂාවට බව හමුදාව ඒ හැමවිටම ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශ අමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රමුඛ රටවල් පිළිගන්නවා වැනිව කුමක් හෝ කිවයුතු නිසා කනස්සල්ල පළ කරමින් ඉවත බලා ගනියි.

ජනවාරි 21 දින ගාඩියන් වෙබ් අඩවියේ සුඩානයේ කලබල ගැන පළවූ වාර්තාවකින් ගත් මේ උධෘතයෙන් එරට වත්මන් තත්ත්වය මොනවට විදහා දැක්වේ.

“සෑම දිනකම ලේ ගැලීම් සහ අහිමිවීම් පිළිබඳ නැවුම් කතන්දර අසන්නට ලැබේ. සෑම දිනකම මළ දරුවන්ගේ කුණ කරපින්නාගෙන හැඬුම්බර මුහුණින් යුතුව නිවෙස් කරා පැමිණෙන මවුවරුන්ගේ දර්ශන රැගත් විඩියෝ පට නරඹන්නට ලැබේ. ඒ අතර සේවා ස්ථානවලින් සහ නිවෙස්වලින් පිටතට අවුත් පතොරම් වරුසාවලට ළය පාන මිනිසුන්ගේ දසුන්ද බහුලය. ඒ, තවදුරටත් උද්ධමනය නිසාම නොවේ. පසුගිය කාලය මුළුල්ලේම දූෂණය, වාර්ගික බෙදීම්, ජාලගත කිහිප දෙනෙකුගේ වාසිය පිණිස බහුතරය දිළින්දන් බවට පත්වීම සහ ඝාතනය කිරීම් විසින් රටම වැළඳ ගනුලැබ තිබේ. දකුණ, නැඟෙනහිර සහ බටහිර රජයට අයත් ස්වීය වූ අවතාර නිවාස සහ වධක කුටි තුළ ඝාතන පිට ඝාතනය. ඒවායේ සහ රෝගී බිළිඳුන් සඳහා ඔක්සිජන් කැනිස්ටර් නැති රෝහල් වාට්ටුවල මරණයම අරක්ගෙන සිටියි. නැග එන මහජන කෝපය ඉවුරු බිඳගෙන යන්නට වෙන අතක් නොමැතිව මහ පාර දිගේම ගලා යන්නේ රජයේ ආරක්‍ෂක හමුදා වට කරමින් එහි ආරක්‍ෂාවට තර්ජන එල්ල කරමින්ය.”

එරට රජයේ හමුදා මිනිසුන් මරා දමන්නේ නාසි හමුදා තරම් සංවිධානාත්මක සහ සැලසුම් සහගත ලෙස නොවූවත් එතරම්ම, සමහර විට ඊටත් වඩා කෲර ලෙසිනි. නාසි හමුදා යුද අවියක් ලෙස ස්ත්‍රී දූෂණය භාවිත කළ බවට තොරතුරු නැත. එහෙත් මොවුන්ගේ ප්‍රධානතම යුද අවිය වනුයේ එයයි. ඊට විරුද්ධ වන ගැහැනු මරා දැමෙයි. තෙදිනක් වයසැති බිළිඳියකගේ මවක් තවමත් සුව නොවූ ප්‍රසව තුවාල සහිතව සිටියදී පවා කෲර ලෙස දූෂණයට ලක්වූ අයුරු විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබිණි. එසේ නොකළා නම් ඔවුන් තමා වෙඩි තබා ඝාතනය කරනු ඇති බවත් ඊට මුහුණ දෙන්නට තරම් තමා නිර්භය නොවූ බැවින් ඔවුන්ගේ බලහත්කාරයට ඉඩ දුන් බවත් ඇය පවසා ඇත.

නිදිගත් මිනිසුන් සිටින නිවෙස් ගිනි තැබීම නාසින්වත් නොකළ ම්ලේච්ඡ අපරාධයකි. සුඩාන හමුදාව එවැනි දේද කරයි. ජනවාරි 19දා බීබීසී වෙබ් අඩවියේ පළවූ වාර්තාවක වෛද්‍යවරයකු අහේතුකව මරා දැමුණු ආකාරය විස්තර වේ. එම වෛද්‍යවරයා මරා දැමීමේ සිද්ධියත් සමඟ සුඩානයේ මිනිස් ඝාතන සම්බන්ධ පුවත් නැවත මාධ්‍යයේ ඉස්මතු වන්නට විය. ඇමරිකා එක්සත් ජනපදය ඒ ගැන කනස්සල්ල පළ කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් එය හෙළා දුටුවාය. එරට සමූල ඝාතන සහ ස්ත්‍රී දූෂණ යුද අවියක් ලෙස භාවිත වන බව එක්සත් ජාතීන් විසින් නිරීක්‍ෂණය කරන්නට පටන්ගනු ලැබුවේද අද ඊයේ නොවේ.

එරට ජනාධිපති ඔමාර් අල් බෂිර් ධුරයට පත්වූයේ 1989 ජුනි 30දාය. නොබෝ කලකින්ම ඔහුගේ කෲර පාලනය ලොවට අනාවරණය වන්නට විය. එරට හමුදාවට මනුෂ්‍ය ජීවිත තුට්ටුවක් තරම් නොවටිනා බව ජාත්‍යන්තරයේ පිළිගැනීමයි. බෂිර්ගේ 30 අවුරුදු පාලන සමය තුළ 400,000ක් පමණ මනුෂ්‍ය ජීවිත විනාශ වීමත් මිලියන 3ක් පමණ රටින් පළා යාමත් ඉහත වැකිය සනාථ කරයි.

සුඩානයේ කොටසක් දකුණු සුඩානය ලෙස 2011 වසරේ වෙන් විය. ඒ ව්‍යාපෘතියේ සැලසුම වොෂින්ටනයේ බව ප්‍රකටය. එය බෂිර්ගේ වික්‍රම ගිණුමට බැර වෙයි.

එහෙත් ලොව පුරා රාජ්‍ය නායකයෝ බෂිර් සමඟ එක්ව උත්සවවලට, සාදවලට සහ භෝජන සංග්‍රහවලට සහභාගි වෙති. මිතුරෙකු ලෙස ඔහුව පිළිගනිති. වත්මන් චීන ජනාධිපති ෂී ජිං පිංගේ පූර්වගාමියා වූ හු ජින්තාඕ ඔහු වැළඳ “හායි මගේ සහෝදරයා” යැයි කියූ බව සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කොට එය ඔහු අත පත්කරනු නොහැකිව බලා හිඳී. එම අධිකරණයේ අභිචෝදක ලුයි මොරෙනෝ ඔකැම්පෝ මේ සිද්ධියේදී පත්ව හිඳිනුයේ බලවත් දුෂ්කරතාවකටය. 2008 ජුලි මාසයේදී බෂිර්ට එරෙහිව නඩු පැවරුවත් චූදිතයා විභාගයට නොපැමිණෙයි. ඔහුට එරෙහි චෝදනා වනුයේ සමූල මිනිස් ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධය.

ධුර කාලය තුළම ජනාධිපතිවරයෙකුට යුද අපරාධ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

අන්තර්ජාතික අපරාධ අධිකරණය ක්‍රියාත්මක වීමේ මූලික ලියැවිල්ල වන ඔස්ලෝ සම්මුතියට සුඩානය අත්සන් තබා නොමැති හෙයින් ඔහු එයට කැන්දා ගැනීම අභව්‍යය. ඊට අත්සන තබා නොමැති ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවල් බෂිර්ගේ පැත්තේ හිඳීම ඔහුට පිටුබලය සපයන බව පෙනෙයි. සුඩානයේ නොයෙකුත් ව්‍යාපාර පවත්වාගෙන යන චීනය බෂිර් බලයේ රැඳී සිටිනවාට කැමතිය. අන්ත දූෂිතයකු වන බෂිර් නම්මවා ගැනීම පහසු බව දන්නා රටවල් ඔහුගේ අපරාධ විෂයයෙහිලා මුනිවත රකියි.

සුඩානයේ ඛාටුම් අගනුවර පැවැත්වුණු තවත් විරෝධතාවකදී 34 හැවිරිදි පාසැල් ගුරුවරයෙකු පොලිසිය විසින් මරා දමනු ලැබීමත් සමඟ ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි උද්ඝෝෂණ තවත් වේගවත් විය.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා, නීතිඥයන්, ශිෂ්‍යයන්, කම්කරුවන් යනාදී සියලු තරාතිරම්වල ජනයා මේ වනවිට සිය සංවිධානවල බැනර යටතේ පාරට බැස සිටිති. මේ විරෝධතාකරුවන් අතරින් හතරෙන් තුනක්ම ස්ත්‍රීන් බව සඳහන්ය. පොලිසිය හා හමුදාව එක්ව කරන කඳුළු ගෑස් හා වෙඩි ප්‍රහාරවලට නිරායුධව වීදි බැස සිටින ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ “නිදහස, සාමය, සාධාරණත්වය” යනුවෙන් ශබ්ද නඟා හඬගෑම පමණි.

සුඩානයේ නැත්තේද ඒවාමය. රටේ ආර්ථිකයේ පිරිහීමට වගකිව යුත්තේ 31 වසරක් පුරා එරට පාලනය කරන ජනාධිපති බෂිර් වුවද ඔහු හෝ ඔහුගේ ආණ්ඩුව හෝ එබව පිළි නොගනියි. ඔවුන් මේ උද්ඝෝෂණ දකින්නේ 2011 දෙසැම්බර් මස ඇරඹි 2012 වසර පුරා පැවැති අරාබි නැඟීසිටීම්වල වෙනස් මුහුණුවරක් ලෙසය. ඒ නිසා එය මර්දනය කිරීම රජයට පැවරී ඇති මෙහෙවරක් බව ජනාධිපති බෂිර් ජනවාරි 26දා කයිරෝහිදී පැවසීය. ඒ, ඊජිප්තු ජනාධිපති හමුවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදීය.

එහෙත් සුඩාන ජනතාවගේ පැත්තෙන් එය එසේ නොවේ. කොයි වෙලේ ගියත් ඒටීඑම් යන්ත්‍රවල මුදල් නැත. ආහාර ද්‍රව්‍ය හිඟය. තිබුණත් මිල ඉතා අධිකය. පැය අටක් වෙහෙසී එන කම්කරුවා පාන් පෝලිමේ පැය හතරක් සිටිය යුතුය. ඉස්සර සුඩානයට තමන්ගේම කියා ෆොසිල ඉන්ධන තිබිණි. දැන් සුඩානය සතුව ඒවා නොමැති අතර ලෝකයේ ෆොසිල ඉන්ධන මිල ඉහළම රට එය බව පිළිගැනේ.

අල්-බෂිර් යටතේ සුඩානයේ වාර්තාව යහපත් එකක් නොවේ. ඔහු යටතේ සුඩානයේ කිසිදා සාමයක් නම් නොවීය. 1993 ක්ලින්ටන් පාලන සමයේ එරට ත්‍රස්ත රාජ්‍ය ලේඛනයට ඇතුළත් කොට සම්බාධක පැනැවිණි. එය අල්කයිඩා, හමාස් සහ හිස්බුල්ලා යන අවිගත් ජන ඝාතක කණ්ඩායම් සමඟ සමීප සබඳතා පවත්වමින් ඒවායේ නායකයන්ට රැකවරණය සලසා දුන් රාජ්‍යයක් ලෙස එරට නම් දරා සිටියි. ඇමරිකාවේ ත්‍රස්ත රාජ්‍ය ලැයිස්තුවේ ඇතුළත් සිය නම ඉවත් කරවා ගැනීම සුඩානයේ අභිලාෂයයි. ඇමරිකාව පෙන්වා දෙන එක් කාරණයක් නම් සුඩානය, දකුණු සුඩානය නම් ස්වෛරී රාජ්‍යයට එදිරිවාදිකම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඊට පිළිතුරු වශයෙන් සුඩාන විදේශාමාත්‍ය එල්-ඩර්බිරි පවසා ඇත්තේ සිය රට දකුණු සුඩානය සමඟ එදිරිවාදිකම් අත්හිටුවීමේ ගිවිසුමක් අත්සන් තබා මාස දෙකක් පමණ ගතවී ඇති බවයි.

ඔමාර් අල්-බෂිර් කලක් ඉරාණය සමඟද සබඳකම් පැවැත්වීය. 1993දී ඇරඹි ඒ සබඳතා අනුව ඉරාණ සන්නද්ධ කණ්ඩායම්වලට සුඩානය රක්‍ෂණාවරණ ස්ථානයක් වී තිබිණි. ඇමරිකාවේ දැඩි බලපෑම් නිසා 2015 වසරේ ඒ සබඳකම් නවත්වා දමන්නට සුඩානයට සිදුවිය. හේතුවක් ලෙස පෙන්වා දුන්නේ යේමන යුද්ධයට ඉරාණය පහසුකම් සලසන නිසා ඊට එරෙහිව තමන් ඉරාණයට විරුද්ධ බවයි.

සුඩානයේ මානව හිමිකම් වාර්තාව කිසි දිනෙක යහපත් තත්ත්වයේ පැවැතියේ නැත. බෂිර්ගේ පාලන සමය එබඳු සිද්ධින්ගෙන් ගහණය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ හ්‍යුමන් රයිට්ස් වොච් ඒ පිළිබඳව සපයා ඇති වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවද ඒ පිළිබඳ වාර්තාවක් (Fact Sheet) 2005 සැප්තැම්බරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 60 වැනි සමුළුවට ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම ධාර්පූර් හි අරාබි නොවන ජනයා සංහාරය කිරීමට රජයේ හමුදා පියවර ගැනීම නිසා උද්ගත වූයේ බරපතළ තත්ත්වයකි.

මේ හේතුව නිසා 2008 ජුලි මස එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණයේ ඔමාර් අල්-බෂිර්ට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. මනුෂ්‍යත්වයට එරෙහි පංචම චෝදනා ඔහුට එල්ල කර ඇත. මිනි මැරීම, සමූලෝත්පාඨනය (extermination), බලහත්කාරයෙන් අන් තැනකට යැවීම, වද දීම සහ ලිංගික දූෂණය යනු ඒ පහයි. වාර්ගික සමූලඝාතනය (genocide) යන චෝදනාව ඒ අවස්ථාවේ ඉදිරිපත් නොකෙරිණි. එහෙත් ධාර්පුර් හි අරාබි නොවන ජන වර්ග තුනක් මිහිතලයෙන් අතුගා දැමීමේ අරමුණ ඇතිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ යෙදුණු බවට පසුව චෝදනා කෙරිණි.

ජනාධිපති බෂිර් එම අධිකරණය හමුවට පැමිණීමෙන් වැළකී සිටියේය. ඒ අනුව 2009 මාර්තු සහ නැවත 2010 ජුලි මස වරෙන්තු නිකුත් කළත් ඔහු සුපුරුදු පරිදි අධිකරණයට නොපැමිණෙයි. අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ රෝම සම්මුතියට සුඩානය අත්සන් තබා නොමැති නිසා ඔහුට චෝදනා කරන්නට එම අධිකරණයට බලයක් නැතැයි බෂිර්ගේ හිතවත්තු ප්‍රකාශ කරති.

මුළු අරාබි ලෝකයම සහ සමස්ත අප්‍රිකාවද බෂිර්ගේ පැත්තේය. ඔහුගේ හිතවත්තු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අභිචෝදක ලුයිස් මොරෙනෝ ඔකැම්පෝට නොයෙක් අන්දමින් පරිභව කරති. එකල ලිබියාවේ ජනාධිපති මෙන්ම අප්‍රිකානු සංගමයේ සභාපති වූ මුවම්මර් අල්-ගඩාෆි එසේ පරිභව කළ අය අතර ප්‍රමුඛයාය.

අල්-බෂිර් විසින් රටේ ධනය කොල්ලකෑමෙන් උපයන ලද මුදල් විදෙස් බැංකුවල සඟවා තිබෙන්නේය යන චෝදනාව ඉදිරිපත් කෙරේ. ඔකැම්පෝ පෙන්වා දෙන්නේ ඒ බව එම රටවල් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ නම් අල්-බෂිර්ට ජනතාවගේ ඇති ලැදියාව නැති වනු ඇති බවයි. එහෙත් කිසිම රටක් එසේ කරන්නේ නැත.

සුඩාන ජනතාව භේදයකින් තොරව දැන් වීදි බැස සිටියාට ඉහත සඳහන් යුද අපරාධ චෝදනා ඉදිරිපත් වූ දවස්වල එරට ජනතාව පාරට බැස උද්ඝෝෂණය කළේ අල්-බෂිර් වෙනුවෙනි. ඔහු රැක ගන්නටය. එහෙත් දැන් තත්ත්වය වෙනස්වෙලාය. දැන් එරට වැසියන් සිය දහස් ගණනින් විදි බැස උද්ඝෝෂණය කරමින් සිටින්නේ ඔහු කෲර පාලකයකු බව කියමින් ඔහු ඉවත් කිරීමේ අභිලාෂයෙනි.

1999 සිට 2019 දක්වා ඇල්ජීරියාවේ ජනාධිපතිව සිටි අබ්දෙල්ලාසිස් බඋටෙෆ්ලිකාට එරෙහිව පසුගිය පෙබරවාරි 16 සිට විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් වූ අතර ඉල්ලා අස්වීම හැර විකල්පයක් නොවූයෙන් බඋටෙෆ්ලිකා පසුගිය අඟහරුවාදා අසුනින් බැස ගියේය.

මාතෘකා