අන්තර්ජාලයට සීමා

 ඡායාරූපය:

අන්තර්ජාලයට සීමා

අන්තර්ජාලය සඳහා නියාමනයක් අවශ්‍ය බව සඳහන් කරමින් ෆේස්බුක් වෙබ් අඩවියේ සමාරම්භක මෙන් ම වර්තමාන සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ෂකර්බර්ග් විසින් සපයන ලද ලිපියක් පසුගිය සෙනසුරාදා ‘දවොෂින්ටන්පෝස්ට්’ වෙබ් අඩවියෙන් කියැවිය හැකි විය. මෙය එහි මුද්‍රිත පිටපතේ කර්තෘ වාක්‍ය පිටුවේ පළ වී තිබුණකි.

දීර්ඝ ලිපියක් වන එහි ආරම්භක ඡේදවල දළ අදහස මෙපරිදි ය:

‘තාක්‍ෂණය යනු අපගේ ජීවිතවල ප්‍රධාන අංගයකි. එසේම ෆේස්බුක් වැනි සමාගම්වලට අති විශාල වගකීම් සම්භාරයක් පැවරී තිබේ. සෑම දිනකම අපි කවර භාෂණයක් හානිකරද කවර පළකිරීමක් දේශපාලන දැන්වීම් ප්‍රචාරණය කරයිද සූක්ෂ්ම සයිබර් ප්‍රහාරවලින් ගැලවෙන්නේ කෙසේද යන ඒවා ගැන සාකච්ඡා කොට තීරණ ගනිමු. අපගේ ප්‍රජාව ආරක්‍ෂා කැර ගැනීම සඳහා මේවා ඉතා වැදගත්ය. එහෙත් ආරම්භයේ සිටම අප දැනගෙන සිටි කාරණයක් නම් සමාගම්වලට පමණක් එකලාව මේ තීරණවලට එළැඹිය නොහැකි බවය.

ආණ්ඩුවල සහ නියාමන යාන්ත්‍රණයේ සක්‍රිය දායකත්වයක් ඒ සඳහා අවශ්‍ය බව අපගේ වැටහීමයි. අන්තර්ජාලය සඳහා රෙගුලාසි යාවත්කාලීන කිරීම මගින් අපට ශක්ති ප්‍රමාණයෙන් ඒවා ආරක්‍ෂා කැර ගත හැකිය. ජනතාවට ස්වීය හැඟීම් ප්‍රකාශයට පත් කිරීමට සහ අලුත් දෑ තැනීම සඳහා ව්‍යවසායකයන්ට අවස්ථා ලබා දීමට නිදහස තිබිය යුතු අතරම සමාජය පුළුල් හානිවලින් ආරක්‍ෂා කැර ගැනීමද කළ යුතු වේ.

පසුගිය කාලය පුරා මෙහි නියැලී සිටීමෙන් මා උගත් දෑ අනුව සිව් වැදෑරුම් වපසරියක නියාමනයක් තිබිය යුතු බව මගේ වැටහීමයි. ඒවා නම් හානිකර අන්තර්ගත, මැතිවරණවල අවංකත්වය, පුද්ගලිකත්වයේ ආරක්‍ෂාව සහ දත්ත හුවමාරුව යන ඒවායි.’

ෆේස්බුක් සතුව පමණ ඉක්මවා යන භාෂණයේ නිදහසක් ඇති බව විවිධ රටවල රට කරවන අැත්තන් තමන් සමග පවසන බවත් තමා නිහතමානීව එයට එකඟ වන බවත් ෂකර්බර්ග් සිය ලිපියේ සඳහන් කරයි. ජනයාට තමන් කැමති දෙයක් එහි පළ කරන්නට නිදහස ඇති අතර තමන්ට අහිතකර දෙයක් පළ වී ඇතිනම් ඒවා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නට අගතියට පත් පාර්ශ්වවලට අවස්ථාවද තිබේ. ඒ අනුව ඉවත් කළ යුතු දෑ පිළිබඳව තීරණද ගෙන තිබේ.

සියලු සමාජ ජාලා වෙබ් අඩවි නියාමනය කෙරෙන රෙගුලාසි මාලාවක් කිසියම් තුන්වන පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එසේම එසේ හඳුන්වා දෙනු ලබන්නේ නම් ඒවා ඒ ආකාරයේ සියලු වෙබ් අඩවිවලට සමාන විය යුතු බවත් ඔහු ලියයි. එනයින් හානිදායක දෑ ඉවත් කිරීම පහසු මෙන්ම සාධාරණද වනු ඇත.

සමාජ මාධ්‍ය ජාලාවල ගුණාත්මකභාවය සඳහා ඔහු ඊට අමතර වශයෙන් ඉදිරිපත් කරන අනෙක් යෝජනා මෙසේ ය:

සෑම තාක්ෂණ සමාගමක්ම කාර්තුවක් පාසා මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන සේ සිය විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් (a transparency report) ද ඉදිරිපත් කළ යුතුය.

මැතිවරණවල අවංකභාවය ආරක්‍ෂා කිරීම සඳහා ලොව පුරාම බලවත් නීතිරීති හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු අතර දේශපාලන ක්‍රියාධරයන් හඳුනා ගැනීම පිණිස සියලු වෙබ් අඩවි පොදු ප්‍රමිති සකස් කළ යුතුය.

නීති සකස් කළ යුත්තේ අපේක්‍ෂකයන් සහ මැතිවරණ ඉලක්ක කැර ගනිමින්ම පමණක් නොවේ. නිල වශයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කොට අවසානය දක්වා වන කාල සීමාව තුළ මතභේදාත්මක දේශපාලන අර්බුදවලට අදාළවද එබඳුව ක්‍රියා කළ යුතුය.

අන්තර්ජාලය හරහාා ඡන්දය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබා දී ඇති විට දේශපාලන ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යෑම පාලනය කෙරෙන සමාජ මාධ්‍යජාලාවලට විශේෂයෙන් බලපාන ප්‍රමිති සකස් කළ යුතුය.

පසුගිය වසරේ යුරෝපා සංගමය සම්මත කොට භාවිතයේ යොදවන පෞද්ගලිකත්වයට අදාළ නීති අනෙක් රටවලද ක්‍රියාත්මක කිරීම සුදුසුය.

ජනතාවගේ පෞද්ගලික දත්ත හා තොරතුරු එක් සේවාවකින් තවත් සේවාවකට ලබා ගැනීම පාලනය කිරීමටත් ඒවාට වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවිය හැකි වන පරිදිත් නීති සකස් කළ යුතුය.

නීති සකස් කිරීමේදී ගෝලීය ප්‍රමිති රාමුවක් තුළ එය සිදු විය යුතු අතර සෑම රටක්ම සමාන නීති යොදා ගන්නේ නම් සුදුසුය.

පසුගිය 15දා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාම් දේවස්ථානයක් තුළට ගිනි අවි රැගෙන පිවිසි ත්‍රස්තයෙක් හිටි වනම වෙඩි තබා මිනිසුන් 49ක් ඝාතනය කළේය. තවත් 50ට පමණ තුවාල සිදුවිය. තුවාලකරුවන් අතරින් අයෙක් රෝහලේදී මළේය. ඒ අනුව මියගිය සංඛ්‍යාව 50කි. මේ සිද්ධිය ලොවම කම්පාවට පත් කළේය.

ඝාතකයා සිරස්කයක් පැලඳ සිටි අතර එහි සවිකළ ස්වයංක්‍රිය කැමරාවක් මගින් සියල්ල විඩියෝ ගත වන්නට සලස්වා ඒ දර්ශන සක්‍රිය ව ෆේස්බුක් හරහා මුදා හැරියේය. පැමිණිල්ල ලද වහාම එය අත්හිටුවන ලද නමුත් බීබීසී වාර්තාවක දැක්වෙන පරිදි ඉවත් කරන්නට පෙර අවස්ථා 4,000ක් එය නරඹා තිබිණි. බීබීසි පුවත් සේවයේම තවත් වාර්තාවකට අනුව ඒ වනවිටත් මිලියන 1.5 දෙනා අතර එය සංසරණය වී තිබිණි. එයින් පිටපත් කැර ගත් දර්ශනයක් දෝ, සවස 6.55 ප්‍රවෘත්ති විකාශයකින් අපටත් එම දර්ශන නැරඹීමට පහසුකම් සලසා තිබිණි.

මේ කාරණය සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත විරෝධයක් එල්ල විය. ඕනෑම ක්‍රියාවක් සජීවීව ෆේස්බුක් මගින් ලොව වටා සංසරණය කිරීමේ හැකියාවක් තිබීම මෙසේ හානිදායක දෑ ප්‍රචාරණයට ඉවහල් වෙයි. මේ චෝදනා ගැන සලකා බැලූ ෆේස්බුක් සමාගම එලෙස ප්‍රචාරණය අත්හිටුවන ලද බව පසුගිය සතියේ නිවේදනය කළේය.

ෆේස්බුක් ප්‍රධානියා විසින් මේ ලිපියේ සඳහන් කරනු ලැබ නැතත් මේ ලිපිය නිකුත් කිරීමේ ආසන්නතම හේතුව එය විය හැකි බව මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබ තිබේ. එහෙත් එය ම පමණක් නොවන බව ෆේස්බුක් ගැන අන්තර්ජාලයේ සොයන විට පැහැදිලි වෙයි.

එපමණක් නොවේ. සුදු ජාතිකවාදී, සුදු වර්ගෝත්තමවාද සහ නියො-නාසිවාදී යනාදී තමා අයත් වර්ගය හැර අනෙක් වර්ගවලට අයත් ලෙස ඔවුන් දකිනා අයට එරෙහිව විවිධ මතවාද ප්‍රචාරය කරන නොයෙක් අන්තවාදී සංවිධානවල වෛරී ප්‍රකාශනද පළ කළ සැණෙන් ඉවත් කරන්නට ෆේස්බුක් පියවර ගනිමින් සිටින බව අල්-ජසීරා වාර්තාවක සඳහන්ය.

2016 අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ තරගයේදී ඩිමොක්‍රැටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට එරෙහිව බරපතළ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් විය. මෙය ෆේස්බුක් හරහා මතු නොව කෙටි පණිවුඩ සේවාව හරහාද ක්‍රියාත්මක කැරිණි. කෙටි පණිවුඩ යවන්නට නම් ජංගම දුරකථන අංක තිබිය යුතුය. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවන බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සමාගමක් විසිනි. එම සමාගම දුරකථන අංක ලබා ගෙන ඇත්තේ ෆේස්බුක් සම්බන්ධ වූ ජනමත විමසුමකින් බව අමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් අනාවරණ කැර ගන්නා ලදි. ජනාධිපති ට්‍රම්ප් ජයග්‍රහණය කළ 2016 ජනාධිපතිවරණ දූෂණ සෙවීම සඳහා පූර්ව ජනාධිපති බරක් ඔබාමා විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබූ අතර ඒ සම්බන්ධයෙන් මාර්ක් ෂකර්බර්ග්ට එම කමිටුව ඉදිරියේ වග උත්තර බඳින්නට සිදුවිය.

ෆේස්බුක් සමාගම අමෙරිකානු ජනතාවගේ පෞද්ගලිකත්වයට බරපතළ ලෙස හානි පමුණුවා ඇති බැවින් අදාළ නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා කමිටු වාර්තාව ඒකාබද්ධ වෙළෙඳ කොමිසම (Federal Trade Commission) නම් රාජ්‍ය ඒජන්සිය වෙත යොමු කරන ලදි.

අමෙරිකාවේ සමාගම් ක්‍රියාත්මක වන්නේ ඒවා නියාමනය සහ පරිපාලනය කරන ඒකාබද්ධ වෙළෙඳ කොමිසම සමග ගිවිසුම්වලට එළැඹීමෙනි. ෆේස්බුක් සමාගම අවසන්වරට එම ආයතනය සමග සිය ගිවිසුම අලුත් කොට ඇත්තේ 2011 වසරේ ය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මිලියන 87ක් පමණ ජනයාගේ දුරකථන අංක නීත්‍යනුකූල නොවන ආකාරයකින් ලබා ගෙන ඇති බවත් එසේ ලබා ගැනීමට අදාළ ව ෆේස්බුක් වගකිව යුතු බවත් එම ඒජන්සිය දීර්ඝ විභාගයකින් පසු පෙබරවාරි 14දා තීන්දු කළේය. ඒ අනුව ඇ.ඩො. බිලියන 2 ඉක්මවන දඩයක් ෆේස්බුක් සමාගමට ගෙවන්නට සිදු වනු ඇති බවට වාර්තා වේ. එම වාර්තාවලට අනුව එම දඩය අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ තාක්‍ෂණික සමාගමකින් අය කෙරෙන විශාලතම දඩය ලෙස ඉතිහාස ගත වනු ඇත. මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්නට ෆේස්බුක් අදහස් නොකරන බව පැවසේ. දඩය පිළිබඳ එකඟත්වකට පැමිණ එය ගෙවා දමන්නට සමාගම පියවර ගනු ඇත.

එම පරීක්‍ෂණයට අදාළ මාධ්‍ය වාර්තා කියවන විට පැහැදිලි වන කාරණයක් නම් ෂුකර්බර්ග්ගේ ලිපියේ ඉදිරිපත් කෙරෙන කාරණා ෆේස්බුක් සමාගමට ඒකාබද්ධ වෙළඳ කොමිසම පනවා ඇති කොන්දේසිවල සංස්කරණයක් බවයි.

අමෙරිකාවේ 2016 ජනාධිපතිවරණයට රුසියානු ඔත්තුසේවා කණ්ඩායමක් මැදිහත් වූ බවට වන චෝදනාව තවමත් තිබේ. එරට නීතිපති විසින් නීති විශාරදයකු වන රොබර්ට් ම්‍යුලර් නම් විශ්‍රාමික නිලධාරියකු ලවා පවත්වන ලද පරීක්‍ෂණ වාර්තාවේ උදෘත පසුගිය සතියේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කැරිණි. එම වාර්තාව අනුව ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව චෝදනා නැගිය නොහැකි බව සඳහන්ය. එහෙත් අමෙරිකා කොන්ග්‍රස් මණ්ඩලය ලුහුඬු සටහන්වලින් පමණක් සෑහීමකට පත් නොවන අතර සම්පූර්ණ වාර්තාවම පළ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලා සිටියි. නීතිපති ඊට එකඟ වී ඇති අතර ඉදිරියේ දී එය එළිදකිනු ඇත. එම වාර්තාව නිකුත් වූ පසු ෆේස්බුක් තවත් අර්බුදවලට මුහුණ පානු ඇති බව විශ්වාස කෙරේ.

ෆෙස්බුක් සමාජ මාධ්‍ය ජාලය මුලදී ඇරඹුණේ විශ්වවිද්‍යාල සිසුන් අතර පහසු සන්නිවේදන යාන්ත්‍රණයක් සකස් කිරීමේ අරමුණ ඇතිවය. 2004 වසරේ මිතුරන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඇරැඹි මෙහි මේ වනවිට සක්‍රියව සම්බන්ධ ගිණුම් හිමි සංඛ්‍යාව බිලියන 2.2 පමණ වෙති’යි සඳහන් ය. මෙය තුළින් ක්‍රියාත්මක වන මැසෙන්ජර් වැනි කථන සබඳතා නිසා මෙහි ජනප්‍රියත්වය ඉතා ඉහළය. තමන්ට ලැබෙන තොරතුරක් හුවමාරු කැර ගැනීමේ පහසුකම නිසා කුතුහලාත්මක වීඩියෝවක් ඉතා කෙටි කාලයක් තුළ පරිහරණය කරන්නන් විශාල සංඛ්‍යාවක් අත පත්වීම ස්වාභාවිකය.

ෆේස්බුක් භාවිත කරන අයගේ අරමුණු විවිධය. එබැවින් සමාජ විරෝධී කොටස් ඒ අතර සිටීම අස්වාභාවික නොවේ. ඔවුන් පාවිච්චි කරන්නේ බූරුවන්ගේ නිදහසයි. ඒ බූරුවන් අතරින් බහුතරය මිනිස් ඇසුරෙන් දුරස් නිසා ඔවුන්ගේ නිදහස මිනිස්වගට හානිකර විය හැකිය. එබැවින් කිසියම් පාලනයක් තිබීම අත්‍යවශ්‍යය.

ඒ අතරම සැලකිය යුතු කාරණයක් නම් රාජ්‍ය පාලක පැලැන්තියේ සමාජ විරෝධී ක්‍රියාවලට එරෙහි ජනතා නැගිසිටීම්වල දී සමාජ මාධ්‍ය ජාලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. මේ නිසා ඇතැම් රටවල පාලන යාන්ත්‍රණ විසින් ඊට බාධා පැනවීම් සහ සීමා කිරීම් ද විරල නැත.

නියාමනය තුන්වන පාර්ශ්වයක් විසින් කළ යුතුය යන ඔහුගේ යෝජනාවට වැඩි බරක් තැබීම සුදුසු බව කිව හැකිය. මන්දයත් එවිට ඒ ඒ ආණ්ඩුවලට අවශ්‍ය පරිදි ක්‍රියා කළ නොහැකි වන හෙයිනි. එහෙත් ඊට විශාල යාන්ත්‍රණයක් තිබිය යුතු අතර මහා මුදල් කන්දරාවක් වැය කරන්නට සිදු වනු ඇත.

මාතෘකා