ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමන සැලැස්මට ඉන්දියාවේ පූර්ණ සහාය

 ඡායාරූපය:

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමන සැලැස්මට ඉන්දියාවේ පූර්ණ සහාය

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පැවති සාකච්ඡාවේදී ඉන්දු ශාන්තිකර කලාපය තුළ සාමූහික ක්‍රියාදාමයකට එක්වෙන අතරතුර ඉන්දීය සාගර කලාපීය අනන්‍යතාවක් ඇතිකරලීම සඳහා ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

පසුගිය (20) වෙනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවර ටජ් හෝටලයේ නිස්වාන් ශාලාවේදී පැවති සාකච්ඡාවේදී තවදුරටත් අවධාරණය කෙරුණේ ඉන්දීය පදනම මගින් සංවිධානය කෙරෙන ඉන්දීය සාගර සමුළුවේ කාර්යයන් තවදුරටත් පුළුල් කරලීම අතිශය වැදගත් බවයි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන සර්ව පාර්ශ්ව වැඩ සැලැස්ම සඳහාද ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව සුෂ්මා ස්වරාජ් මහත්මිය එහිදී පැවසුවාය.

ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍ර සබඳතා ශක්තිමත් කරලීම හා පුළුල් කරලීම උදෙසා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දරන වෑයම පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිනිය සිය කෘතඥතාව පළ කළාය. කලාපීය ගැටලු හා ප්‍රවණතා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් තෙල් මිලදී ගන්නා බැවින්, ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමක් සිදු වුවහොත් ගත යුතු පියවර ගැන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා උපදෙස් ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධව ඉන්දියානු ප්‍රතිපත්තිය ගැන ස්වරාජ් මහත්මිය පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවටද ඒ අනුවම ක්‍රියා කළ හැකි බව එහිදී තහවුරු කෙරිණි. වැඩිදුර තොරතුරු අමාත්‍ය රණතුංග මහතා වෙත යොමු කිරීමට කටයුතු කරන බවද ඉන්දීය බලධාරීහු පැවසුහ.

උතුරු නැෙඟනහිර සංවර්ධන කාර්යයන් හා ඒවා කඩිනම් කරලීමේ අවකාශයන් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

මාතෘකා