#MeToo ලිංගික චෝදනා එල්ල වූ ඇමති ඉල්ලා අස්වෙයි

 ඡායාරූපය:

#MeToo ලිංගික චෝදනා එල්ල වූ ඇමති ඉල්ලා අස්වෙයි

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල වී සිටින ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම්.ජේ. අක්බර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, නීතියෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වන තමන් සදාචාරාත්මක ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

කෙසේ වෙතත්, ඔහු මීට පෙර පවසා තිබුණේ, අසත්‍ය චෝදනා හමුවේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ය.

ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා තමන්ට චෝදනා කළ මාධ්‍යවේදිනියකට එරෙහිව ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම් ජේ අක්බර් අපහාස නඩුවක් ගොනු කර තිබේ.

මාධ්‍යවේදිනී ප්‍රියා රමණි අමාත්‍යවරයාට කළ චෝදනාවත් සමග ඔහු "බලහත්කාරකම්" කළ බවට තවත් කාන්තාවන් කිහිප දෙනෙක් චෝදනා කළහ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යවේදිනී ප්‍රියා රමණි පැවසුවේ, අසත්‍ය ප්‍රකාශ කළ බවට ඇයට එරෙහිව නගා ඇති චෝදනාවලට එරෙහිව සටන් කිරීමට තමන් "සූදානම්" බවය.


ඇමති මණ්ඩලයෙන් 50%ක් කාන්තාවන්

දැනට මාස හතකට පමණ පෙර බලයට පැමිණි ඉතියෝපියාවේ නව අග්‍රාමාත්‍යවරයා සිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුරවලින් හරි අඩක් සඳහා කාන්තාවන් පත් කර ඇත.

කැබිනට් අමාත්‍යධුර ගණන 28 සිට 20 දක්වා අඩු කර ඇති අතර, ඉන් අමාත්‍යධුර 10ක් පිරිනමා ඇත්තේ මන්ත්‍රිවරියන්ටය. එරට ඉතිහාසයේ ප්‍රථම වරට ආරක්ෂක අමාත්‍යධුරය ද අයිෂා මොහොමඩ් මොහොමඩ් නැමැති මන්ත්‍රිවරියට පිරිනමා තිබේ.

ප්‍රතිසංස්කරණවාදී දේශපාලඥයකු ලෙස ප්‍රකට අබි අහමඩ් අගමැතිවරයා, ඉතියෝපියාවේ ප්‍රධාන සතුරු රාජ්‍යය ලෙස හැඳින් වූ එරිත්‍රියාව සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නැගීමටද, දහස් ගණනක් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටද කටයුතු කළේය.


බෝම්බ පිපිරීමකින් ජීවිත රැසක් අනතුරේ

මෑතකදී යුක්‍රේනය සහ රුසියාව අතර පරිපාලනමය මතභේදයට හේතු වූ ක්‍රිමියාවේ, ඊයේ (17) සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකුට අධික ජිවිත රැසක් අහිමිව, 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව රුසියාව ප්‍රකාශ කර ඇත.

කර්ච් පොලිටෙක්නික් විද්‍යාලයේ භෝජන ශාලාවේ තිබූ පාර්සල් බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව ප්‍රකාශ කරයි.

විපතට පත් වූ බහුතරය තරුණයින් බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම අවශ්‍ය නම් ප්‍රතිකාර සඳහා මොස්කව්හි හෝ රුසියාවේ පිහිටි වෙනත් රෝහලකට ඔවුන්ව රැගෙන ඒමට කටයුතු කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව, ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේය.

මාතෘකා