දකුණු කොරියාවේ කුප්‍රකට සූනියන් දිනය

 ඡායාරූපය:

දකුණු කොරියාවේ කුප්‍රකට සූනියන් දිනය

දකුණු කොරියානුවෝ එම දිනය හඳුන්වන්නේ කුප්‍රකට සූනියන් දිනය ලෙසයි. එය සෑම වසරකම නොවැම්බරයේදී උදාවන අතර මාසයේ දිනය පමණක් වෙනස් විය හැක. එය මොනතරම් නම් සුවිශේෂී දිනයක්ද යත් දකුණු කොරියාවේ හදවත බඳු කොටස් වෙළෙඳපොළ පටන් ගන්නේ ප්‍රමාදවය. සියොල් නුවර ගුවන් යානා අහස කරා නොනඟී. සාප්පු සංකීර්ණ අගුළුලයි. සියොල් නුවර සියලු යුද අභ්‍යාස නවතී. බැංකු නිවාඩුය. මහා පරිමාන ඉදිකිරීම් නවතා දමයි. මහා මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන අතර වාහන තදබදය සහ නලා හැඬවීම අවම කරනු වස් උමං මාර්ග හා වෙනත් විකල්ප මාවත් භාවිත කරන ලෙස සියලු රියැදුරන්ට උපදෙස් දෙයි.

මේ සියල්ල කුමක් සඳහාද? දකුණු කොරියානු සිසුන්ට නිදහසේ සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගනු ලබන තීරණාත්මක විභාගයට හිත සැහැල්ලුවෙන් ඉඳගැනීමටය. එහි පැවැත්වෙන්නේ එක විෂයකි. එය කොරියානු භාෂාව පමණකි. තමාට කැමති විෂය ධාරාව ඔවුන් තෝරාගන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ පසුය. මේ වසරේ නොවැම්බර් 15 දින එය පැවැත්විණි. ලක්ෂ හයක් සිසු සිසුවියෝ ඊට මුහුණ දුන්හ. එය දකුණු කොරියානු සිසුවාගේ අනාගතය තීරණය කරන දවසයි. යම් සිසුවකු විශ්වවිද්‍යාලයකට සමත් වෙනවා යනු ඔහුගේ අනාගතය අතිශය සුරක්ෂිත අනාගතයක් යනුවෙන් කොරියානුවෝ විශ්වාස කරති. රාජ්‍ය අනුග්‍රහය පවා මේ සිතිවිල්ල පෝෂණය කරයි.

එමෙන්ම කොරියාවේ Eun Suh, Sky සහ Yonsei විශ්වවිද්‍යාල ත්‍රිත්වය ඔවුහු ලෝකයේ කෙමිබ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්, යෙල් සහ හාවඩ් විශ්වවිද්‍යාල සේ පිළිගනිති. මේ නොවැම්බර් 15 දින ලක්ෂ හයක් දරු දැරියෝ විභාගයට පෙනී සිටින විට තවත් ලක්ෂ 12ක් ඔවුන්ගේ මවුපියන් පන්සල් හා කෝවිල් වෙත ගොස් තම දරුවා සමත් කර දෙන ලෙස ඉල්වමින් නොයෙකුත් පුද පූජා පවත්වති. කොටින්ම එක දිනයකදී ලක්ෂ 18ක් දෙනා ආතතියෙන් පෙළෙති. මෙය දකුණු කොරියාවේ ඛේදනීය තත්ත්වයක් ලෙසත්, නිහඬ ඛේදවාචකයත් ලෙසත් රටේ ආර්ථික හා මානසික වර්ධනයේ බිඳ වැටීමක් බවත් බහුතර මහාචාර්යවරුන්ගේ හා ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. එහෙත් කළ හැකි වෙනත් පිළිමයක් නැත. තරගය එතරමටම ප්‍රබලය. එහෙත් දකුණු කොරියානු රැකියා වියුක්තියේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කළහොත් රැකියා වියුක්තිකයන් හතර දෙනකුගෙන් එක් අයකු උපාධිධාරියකි.

දරු දැරියන් විශ්වවිද්‍යාලයට තෝරා ගනු ලබන මෙම තරග විභාගය නිරීක්ෂණය කිරීම සඳහා ඔවුහු 500ක් ගුරුවරු තෝරා ගනු ලබන අතර විභාගය පැවැත්වීමට මසකට පෙර ඔවුන්ගේ සියලු නිවාඩු අවලංගු කොට, කිසිවකුට තම නිවෙස් වෙත යෑම තහනමට ලක්කොට ඈත කඳුකරයේ නම නොදන්නා ස්ථානයක රඳවා තබයි. පුරා මාසයක් ඔවුන්ට අන්තර්ජාලය තහනම් කර සියලු ජංගම දුරකථන රාජ සන්තකයට ගෙන සියලු බාහිර සම්බන්ධතා අවහිර කරයි. විභාගයේ රහස්‍යභාවය එතරම් දැඩිය. තියුණුය. විභාග මධ්‍යස්ථානයට ඇතුළු වන විට කිසිඳු ලෝහමය ද්‍රව්‍යයක්, දුරකථනයක්, පොතක් පතක් ගෙන ඒමට හෝ අත් ඔරලෝසුවක් පැලඳීමට පවා දරුවාට තහනම්ය.

මේ අසාමාන්‍ය තරගකාරී විභාගයට මුහුණ දීම සඳහා එරට සිසුවෝ ඊට වසර 4කට පෙර සිට ලක ලැහැස්ති වෙති. ඔවුහු උදේ 7ට පාසල් යන අතර පාසල නිමා වී පැමිණ උපකාරක පන්තිවල රාත්‍රි 9 දක්වා ගත කරති. ඉන් අනතුරුව Hagwons නමැති අතිශය ජනප්‍රිය පෞද්ගලික ගුරුවරු විසින් උගන්වන අන්තර්ජාලයේ පන්තිවලට සහභාගි වෙති. එය රාත්‍රී 11ට අවසන් වේ. දකුණු කොරියාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කර ඇති නිසා තම දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා බහුතර කොරියානුවන්ට අසාමාන්‍ය පිරිවැයක් දැරීමට සිදු වේ.

ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ වැඩිම මුදලක් වැය වන්නේ තම දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටය. එය ඉතා ඉහළ අගයකි. එහි අගය කොතෙක්ද යත් ස්මාටි ස්කූල් නමැති පෞද්ගලික පන්තිවල ගුරුවරු වසරකට උපයන මුදල ඩොලර් බිලියන 20කි. අධ්‍යාපනයේ මේ අධික පිරිවැය නිසා බොහෝ මවුපියෝ සිය දරු උපත් සීමා කරති. ලෝක උපත් අනුපාත දර්ශකයේ දකුණු කොරියාව තිබෙන්නේ බොහෝ පහතිනි. මෙයට පිළියමක් ලෙස 2018 වර්ෂයේ සිට කොරියානු රජය සෝල් නුවර සියලු පෞද්ගලික පාසල්වලට එක් දරුවකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවම මිලක් තීරණය කර ඇත.

පුරා වසර හතරක් සිය විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වන දරුවා උදේ සිට රාත්‍රි 11 දක්වා අධ්‍යාපනයට සීමා වෙයි. ඔවුහු සිය යාළු මිත්‍රයන්ගේ ඇසුර සීමා කරති. ඥාතීන් මුණ ගැසීම වර්ජනය කරති. සමහර විට ඔවුහු පාඩම් කරන්නේ කාමරවල අගුළු දමාය. අතිශය හුදෙකලා පරිසරයක් තමා අවට ගොඩනඟා ගන්නා දරුවා තමන්ගේ ලෝකයේ තනිවෙයි. කාන්සියෙන් වෙහෙසට පත්වෙයි. ඒ සා වෙහෙස මහන්සි වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ විභාගය තමා අසමත් වු බව දැනගත් විට හේ සියදිවි නසා ගනී. ආසියාවේ වැඩිම සියදිවි නසාගන්නා රට ජපානය වන අතර දෙවැනි ස්ථානය දකුණු කොරියාවට හිමි වේ. කොරියානු රජය මවුපියන්ගේ මෙන්ම දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම සදහා විවිධ ප්‍රචාරණයන් සිදුකරයි. ඔවුහු මානසික ප්‍රතිකාර සදහා වසරකට බොහෝ රෝහල්වල සායනයන් විවෘත කරන අතර ඒවායේ ඇඳන් සංඛ්‍යාව නිරන්තරයෙන් ඉහළ දමයි. එහෙත් වසරින් වසර වයස අවුරුදු 10ත් 30ත් අතර තරුණ දරුවෝ සියදිවි නසා ගැනීමේ වර්ධන වේගය දකුණු කොරියාවේ ඉහළ අගයක් ගනී.

[උපාලි ජයසිංහ]

මාතෘකා