තලිබාන් සමඟ සාකච්ඡා සාර්ථකයි

 ඡායාරූපය:

තලිබාන් සමඟ සාකච්ඡා සාර්ථකයි

පසුගිය 09 සිකුරාදා ඇෆ්ගන් තාලිබාන් සංවිධානය ප්‍රථම වරට ඇෆ්ගනිස්තානයේ සාමය පිළිබඳව අන්තර්ජාතික මට්ටමේ සාකච්ඡාවකට සහභාගි විය. මොස්කව් නුවර ජනාධිපති හෝටලයේ පැවැති මෙම සාකච්ඡාවට තාලිබාන් නියෝජිතයන් මෙන්ම රුසියාව, පාකිස්තානය, චීනය, ඉරාණය, ඉන්දියාව සහ අතීත සෝවියට් සංගමයේ සාමාජිකයන්ව සිටි දැන් නිදහස් රාජ්‍යයන් වන උස්බෙකිස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, කසකස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවලද නිලධාරීහු සහභාගි වූහ. ඇෆ්ගනිස්තාන රජයේ නියෝජිත කණ්ඩායමක් සහභාගි නොවූ අතර එරට ඉහළ සාම කවුන්සිලය නම් අර්ධ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් සිව් දෙනෙක්ද අමෙරිකා එක්සත් ජනපදයෙන් නිරීක්‍ෂණ මට්ටමින් නිලධාරියෙක්ද අමතර වශයෙන් සහභාගි වූහ.

මෙය කිසිසේත්ම සාම සාකච්ඡාවක් නොවන බවත් සිය අවශ්‍යතාව වන්නේ අමෙරිකා එක්සත් ජනපදය සමග එකඟතාවලට එළැඹීම බවත් තාලිබාන් සංවිධානය පවසා තිබිණි. සාකච්ඡාවලින් පසුවද ඔවුන්ගේ එම ස්ථාවරයේ වෙනසක් නොවූ බව සඳහන් ය. එහෙත් මෙය ‘කික්ස්ටාර්ට්’ එකක් ලෙස හඳුන්වන රුසියාව තම උත්සාහය බොහෝද ුරට සාර්ථක බව පවසයි.

පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ වෙසෙන ජන කණ්ඩායමක් වන පස්තුන්වරුන්ගේ බසින් තලිබ් යනු ශිෂ්‍යයාය. ඒ අනුව තාලිබාන් යනු ශිෂ්‍යයන්ගේ ව්‍යාපාරය යන අරුත් දෙයි. මේ ශිෂ්‍ය ගණයා වනාහි සාම්ප්‍රදායික සුන්නි ඉස්ලාම් ආගමික ආයතනවල ශිෂ්‍යයන්ය.

1978 සෝවියට් රුසියාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. යාබද පාකිස්තානයේ එවකට ජනාධිපතිවරයා වූ ෂියා උල්-හක් සිය රටේ කොටසක් වන බැලොචිස්තානයද සෝවියට් ග්‍රහණයට නතු වනු ඇතැ’යි බිය විය. උල්-හක් එසමයේ පාකිස්තානයේ සමීපතම සගයා මෙන් ම නින්දගම් හිමියාද වූ අමෙරිකා එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලීය. අමෙරිකා එක්සත් ජනපදය හා සෞදි අරාබිය විසින් මුදල් පොම්ප කරන ලදුව පාකිස්තාන කඳවුරුවල ඇෆ්ගන් පස්තුන් සිසුන් 800කට අවි පුහුණුව ලබා දෙන ලදී. තාලිබාන් යනු ඔවුන්ය. මේ කණ්ඩායම 1994 වන විට 30,000 ඉක්මැවීය. මේ වන විට එය දෙගුණයක් වන බව ඇතැම් මාධ්‍යයක දැක්වේ.

1994 වසරේ ඔවුහු ඇෆ්ගනිස්තාන හමුදාව සමග සටනට පිළිපන්හ. 1996 වසරේ ඔවුන් විසින් රටේ තුනෙන් දෙකක පමණ පාලනය සියතට ගන්නා ලදි. ඔවුන්ගේ රජයේ නාමය ‘ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය එමයිරේටය’ නම් විය. අගනුවර කාබුල් සිට කන්දහාර් වෙත ගෙන යන ලද අතර ශාරියා නීතිය ක්‍රියාත්මක කරන ලදි. මේ ආණ්ඩුව විදෙස් රටවල් සහ එක්සත් ජාතීන් විසින් පිළි නොගන්නා ලද බැවින් 2001දී අභාවයට ගියේය. එතැන් සිට බෙලහීනව සිටි තාලිබාන් සංවිධානයට පණ පොවන ලද්දේ පාකිස්තානය විසින් බවට චෝදනා නැගේ. මේ වන විට ඔවුහු ඇෆ්ගන් හමුදාව සමග සටන් කරමින් සිටිති.

2001 වසරේ සැප්තැම්බර් මස 11 දින අමෙරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරය ඇෆ්ගනිස්තානය වාස භූමි කැර ගත් අල්-ඛයිඩා සංවිධානය විසින් දියත් කරන ලද්දකි. ඒ ප්‍රහාරයෙන් මසක් ඉක්ම යන්නටත් කලින් නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය.

එම හමුදාවට අල්-ඛයිඩා මර්දනය කළ හැකි වුවත් තාලිබාන් සංවිධානය හිස ඔසොවන්නට විය. තවද මෙහි දී සැලකිය යුතු කාරණයක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය 9/11 සිද්ධිය නිසා අල්-ඛයිඩා සමග කෝපයෙන් සිටියත් තාලිබාන් සංවිධානය සමග ආරෝවක් නැති බවය. එය ඇෆ්ගනිස්තාන රජයේ අභ්‍යන්තර ප්‍රශ්නයකි. ඒ නිසා තාලිබාන් සංවිධානය සමූලඝාතනය කිරීමේ වුවමනාවක් අමෙරිකා එක්සත් ජනපදයට නොමැත.

2014 දී නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව ගිය නමුත් අමෙරිකානු හමුදාවේ බලඇණි කිහිපයක් එහි නතර විය.

අද පවතින්නේ තාලිබාන් සංවිධානය පිහිටැවු සමයේ තිබූ භූදේශපාලනය නොවේ. දැන් සෝවියට් දේශයක් නැත. එහෙත් ඊට එරෙහිව පිහිටුවා ගන්නා ලද තාලිබාන් සංවිධානය තිබේ. රාජ්‍ය පාලනයේ දී ශාරියා නීතිය යොදා ගතයුතුය යන්න තාලිබාන් සංවිධානයේ මතයයි. තාලිබාන් සංවිධානයේ මේ මතය සෞදි අරාබිය අනුමත කරයි. අමෙරිකා එක්සත් ජනපදය සෞදි අරාබියත් සමග එක පෙළට සිටගනියි. ඒ නිසා තාලිබාන්ලාට අමෙරිකන් බැල්ම තිබේය යන්න පිළිගත හැකි තර්කයකි. එහෙත් ඇෆ්ගනිස්තානයේ අමෙරිකන් හමුදාව සහ තාලිබාන් අතර ගැටුම් පවතියි. ඇෆ්ගනිස්තානයට යාබද ඉරාණය ඉස්ලාමයේ ෂියා පාර්ශ්වයට ළැදිය. ෂියා දහම අනුව රාජ්‍ය පාලනය ගෙන යා යුතුයයි සිතන ඉස්ලාමීය රාජ්‍යය නම් සංවිධානයට මෙන්ම හිස්බුල්ලා සහ හෞති සටන්කාමීන්ටද ඉරාණය ආධාර කරන්නේය’යි චෝදනා නැගේ.

පාකිස්තානයේද තාලිබාන් සටන්කාමී කණ්ඩායමක් සිටියි. එය ටෙහ්රික්-ඉ-තාලිබාන්- පාකිස්තාන් (ටීටීපී) නමි. තාලිබාන් නම දරන ත්‍රස්ත කල්ලි 13ක් ඇති බව සඳහන්ය. ඒවා පෙර සඳහන් කළ සෝවියට් දේශයට එරෙහිව සීඅයිඒ විසින් සෞදි අරාබියේ මූල්‍ය අනුග්‍රහයෙන් පාකිස්තාන රජයේ සත්කාරකත්වයෙන් බිහි වූ තාලිබාන් සංවිධානයේ ශාඛා හෝ බිඳීගිය හෝ ඒවාය.

ඒ අනුව මේ සාකච්ඡා කෙරන්නේ ඇෆ්ගන් තාලිබාන් සමග බව වටහා ගත යුතුය.

ඇෆ්ගනිස්තානයේ සාමය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමේ අදහස මුලින්ම ඉදිරිපත් කොට ක්‍රියාත්මක කොට ඇත්තේ චීනයයි. 2013 අප්‍රේල් මාසයේ බෙයිජිං නුවරදී එරට රුසියාව සහ පාකිස්තානය සමග ඒ ගැන සාකච්ඡා වටයක් පැවැත්වීය. එහි දෙවැන්න එම නොවැම්බරයේ ඉස්ලාමාබාද් හි පැවැත්විණි. එහෙත් ඉන් අනතුරුව එය ඇනහිටි සෙයක් දක්නා ලැබිණි.

රුසියාව වැඩට බහින්නේ 2016 දෙසැම්බර් මාසයේය. එවර සාකච්ඡාව මොස්කව්හි පැවැති අතර සහභාගි වූයේද බෙයිජිං සාකච්ඡාවට සහභාගි වූ කණ්ඩායමමය. එම කණ්ඩායමට ඉරාණය සහ ඉන්දියාවත් ඇෆ්ගනිස්තානයත් සහභාගි කරවා ගනිමින් 2017 පෙබරවාරි මස නැවත සාකච්ඡාවක් පැවැත්විණි. 2017 අප්‍රෙල් මස පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ දැනට ස්වෛරී රාජ්‍ය වන පෙර සඳහන් මධ්‍යම ආසියානු රටවල් ද ඊට එක්කැර ගන්නා ලදි.

රුසියාව මේ සාකච්ඡාවට අමෙරිකා එක්සත් ජනපදයට ද අවධාරණාත්මක ලෙසින් ආරාධනා කරන ලද නමුත් ජනාධිපති ට්‍රම්ප් එම ඇරයුම පසෙක තබා එවකට සිය ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මාස්ටර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගන් රජය සමග සාකච්ඡා කරනු පිණිස එහි යැවීය. අදිමදි කරමින් වුවත් මෙවර සාකච්ඡාවට නම් අමෙරිකා එක්සත් ජනපදය නිරීක්ෂක මට්ටමින් සහභාගි විය.

රුසියාවේ ඉල්ලීම පරිදි තාලිබාන් සංවිධානය දෝහා හි පිහිටි සිය දේශපාලන කාර්යාලයයේ නිලධාරීන් පස් දෙනකු සාකච්ඡාවට සහභාගි කරවා තිබිණි. තාලිබාන් මෙන්ම ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍යංශයද පසුව පවසා ඇත්තේ මේ සාකච්ඡාවල දී ඍජු එකඟතාවලට නොඑළැඹි බවය. එය ඇත්තක් බව පිළිගන්නා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මාධ්‍යයට පවසා ඇත්තේ සහභාගි වූ සියලු දෙනා සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා ඍජු දායකත්වයක් සැපයූ බවයි.

පසුගිය වසර කිහිපය තුළ රුසියාව සිරියාවේ සාමය ප්‍රතිස්ථාපනය කිරීම පිළබඳ ව තුර්කිය සහ ඉරාණය සංවිධානය කළ මූලික මට්ටමේ සාකච්ඡාවලට දායකත්වය සැපයීය. ඇෆ්ගනිස්තානයේ මෙන්ම සිරියාවේද අමෙරිකානු හමුදාව ඇටවුම් බැස සිටියි.

සාකච්ඡාවලට සහභාගි වූ තාලිබාන් දේශපාලන අංශයේ ප්‍රදානියා වන ශෙර් මොහමඩ් අබ්බාස් ස්ටැනෙක්ස්කි සිය කණ්ඩායම වත්මන් කාබුල් පාලනය සමග සාකච්ඡා නොකරන බව පවසයි. ඊට හේතු දෙකක් ඔහු පෙන්වා දෙයි. පළමුවැන්න වර්තමාන කාබුල් පාලනයේ නීත්‍යනුකූලභාවය තම සංවිධානය නොපිළිගනී. දෙවනුව එම රජයේ අනුග්‍රහයෙන් විදේශීය හමුදා රට තුළ සිටින හෙයින් ඔවුන් ඉවත්ව යනතුරු සාකච්ඡා කළ නොහැකිය. තමන් අමෙරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගන්හි කොන්සල් ජනරාල් ස්සල්මේ ඛලිසාද් සමග සාකච්ඡා කොට එකඟතාවලට ඊමට අපේක්‍ෂාවෙන් සිටියි. අඩු තරමින් මෙම සාකච්ඡාවට සහභාගි වන්නටවත් කාබුල් පාලනයට උනන්දුවක් නැති වීමෙන් පෙනී යන්නේ ඔවුන්ට සාමය වුවමනා නොවන බවය’යිද ස්ටැනෙක්ස්කි පවසයි.

මේ අතර රුසියාව කෙරේ විශ්වාසයක් තැබිය නොහැකි බව කාබුල් විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු විසින් පවසන ලද බව සඳහන්ය. එහෙත් රුසියාව කළේ සාකච්ඡාවලට සත්කාරකත්වය සැපයීමයි. මෙහිදී රුසියාවේ යටි අරමුණ අමෙරිකා එක්සත් ජනපදයට කළ නොහැකි දෙයක් තමන් කළේ යන්න ලොවට ඒත්තු ගැන්වීම විය හැකිය. සිය රටට නොපමාව සාමය උදා විය යුතුයයි අපේක්ෂා කරන චීනය, ඉරාණය, පාකිස්තානය, ඉන්දියාව සහ මධ්‍යම ආසියාවේ රටවල් පහද මෙම සාම වෑයමේ ඉන්නා බව ඇෆ්ගනිස්තානය නොසලක්නේ මන්දැයි වටහා ගැනීම අපහසුය.

මාතෘකා