රාජකීය විවාහය බ්‍රිතාන්‍ය ජනතාවට බරක්ද​?

 ඡායාරූපය:

රාජකීය විවාහය බ්‍රිතාන්‍ය ජනතාවට බරක්ද​?

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය මැයි 19 වනදා පැවැත්වේ. මේ කරුණු කිහිපයක් මත විශේෂිත වූ විවාහයකි. මාර්කල් ඇමරිකානු කාන්තාවක වීම​, හැරී කුමරුට වඩා වයසින් වැඩිමහල් වීම, අප්‍රිකානු-ඇමරිකානු ජාතික කාන්තාවකගේ දියණියක වීම සහ කතෝලික පසුබිමක උපන් අයකු වීම, කලින් විවාහ වූ කාන්තාවක වීම ආදී කාරණා හේතුවෙන් සාමාන්‍ය බ්‍රිතාන්‍ය රජපවුලේ විවාහයකට වඩා වෙනස්කම් රැසක් මෙම විවාහය සමඟ බැඳී ඇත​.

විශේෂයෙන්ම යුරෝපයේ මෙකළ පවතින දේශපාලන තත්ත්වයද සමඟ මාර්කල්ගේ මිශ්‍ර පවුල් පසුබිම හේතුවෙන් ඇතැම් ජාතිවාදී ප්‍රකාශයන් ද ඇය වෙත එල්ල වූ අතර බ්‍රිතාන්‍ය රජ පවුල එම අවස්ථාවල එවන් මඩ ගැසීම්වලට එරෙහිව තද ප්‍රකාශයන් ද සිදු කළේ ය​.

මාර්කල් සහ හැරී කුමරු අතර ප්‍රේම සම්බන්ධයට දැන් වසර දෙකක් පමණ වේ. හැරී කුමරු එලිසබෙත් රැජිණගේ ද අවසරය සහිතව මාර්කල්ට විවාහ යෝජනා කළ අතර 2017 අග භාගයේදී විවාහය පිළිබඳ නිවේදනය රජ පවුල විසින් කරන ලදී.

වියදම්

රාජකීය විවාහයක් සමඟම මතුවන විවාදාත්මක කාරණාවක් වන්නේ එහි වියදම් සහ ආදායම්ය. මෙවන් උළෙලවල් විවේචනය කරන්නන් එල්ල කරන ප්‍රධාන චෝදනාවක් නම් මේවා අනවශ්‍ය වියදම් බවයි.

හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහයේ සමස්ත වියදම් පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඇත​. එහි එක් එක් අංශ කෙරෙහි වන වියදම් පිළිබඳ දළ අදහසක් ඇති නමුත් නිවැරදිම අගයක් කිව නොහැක්කේ ඊට සම්බන්ධ පාර්ශවයන් විසින් නිවැරදි දත්ත හෙළි නොකරන නිසාය​.

විවාහය සඳහා සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 43 ක් තරම් විශාල වේ යයි විවාහ සැලසුම් ආයතනයක් වන බ්‍රයිඩ්බුක් (Bridebook) විසින් ඇස්තමේන්තු කර තිබේ. කෙසේ නමුත් එයින් මිලියන 40ක්ම ආරක්ෂාව සඳහා වන වියදම් සඳහා වන ඇස්තමේන්තුවයි. ඉතිරි ඩොලර් මිලියන තුනක වියදම විවාහය​, දිවා භෝජනය සහ රාත්‍රී භෝජනය ආදී අංගයන් උදෙසා වේ.

බ්‍රිතාන්‍ය රජ පවුල සඳහන් කරන්නේ විවාහය සම්බන්ධ ප්‍රධාන වියදම්, එනම් විවාහ උත්සවය සහ භෝජන සංග්‍රහ ආදිය සඳහා වන වියදම්, රජ පවුල විසින් දරනු ඇති බවයි.

ආරක්ෂක අංශ සඳහා වන වියදම් පිළිබඳ විවිධ ඇස්තමේන්තු පවතී. 2011 දී විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් අතර විවාහය සිදු වූ අවස්ථාවේ පොලිසිය ඇමරිකානු ඩොලර් මිලියන 8ක පමණ මුදලක් ආරක්ෂාව සඳහා වැය කළ බව වාර්තා විය. මෙවර එය ඊට වඩා විශාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධි තාක්ෂණික උපකරණ, ස්නයිපර් වෙඩික්කරුවන්, පොලිස් ඒජන්තයින් ආදී විවිධ ආරක්ෂක පියවරයන් මෙවරද පොලිසිය විසින් අනුගමනය කරනු ඇත. තවද විවාහය නැරඹීම සඳහා වින්ඩ්සර් වෙත පැමිණෙන්නන් පරීක්ෂා කිරීමද සිදු වේ. ආරක්ෂක වියදම් පිළිබඳ විශාල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ එබැවිනි. මේ වියදම් මූලික වශයෙන් මහජනතාව මත පැටවෙන බරක් වනු ඇත​.

ආදායම්

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) ආයතනය පවසන පරිදි මෙම විවාහය හේතුවෙන් බ්‍රිතාන්‍යයට ලැබෙන ආර්ථික වාසිය පවුම් බිලියන 1.05ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1.42ක්) තරම් වනු ඇත. මේ අතර සංචාරක කර්මාන්තයේ වර්ධනයෙන් සිදු වන ආදායම, බ්‍රිතාන්‍යයට ලැබෙන ප්‍රසිද්ධිය සහ ප්‍රචාරය හේතුවෙන් ලැබෙන වාසිය, ආපනශාලාවලට ලැබෙන ආදායම​, ඇඳුම් මෝස්තර සහ අනෙකුත් සමරු භාණ්ඩ ආදිය වෙළෙඳාමෙන් ලැබෙන ආදායම ආදිය මේ සඳහා බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

2011 දී විලියම් සහ කේට් අතර විවාහය සිදුවූ මාසය තුළ සියයට තුනකට වඩා වැඩි ප්‍රමාණයකින් සංචාරකයින් පැමිණීම වර්ධනය වූ අතර එම කරුණ සැලකීමේදී සංචාරක කර්මාන්තය හේතුවෙන් පවුම් මිලියන 300ක පමණ අමතර ආදායමක් බ්‍රිතාන්‍යයට ලැබේ යයි බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් සමාගම කියයි. මේ අතර බ්‍රිතාන්‍යයට ලැබෙන ප්‍රසිද්ධිය හේතුවෙන් ලැබෙන ආර්ථික වාසිය ද එපමණ වේ යයි ඔවුනගේ අදහස වී තිබේ. ආපනශාලා, තැබෑරුම් ආදියට පවුම් මිලියන 250 ක අමතර ආදායමක් බලාපොරොත්තු වන එම ආයතනය මේගන් මාර්කල්ගේ සහ විවාහයට පැමිණෙන අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ ඇඳුම් මෝස්තර සඳහා ඇතිවන උද්‍යෝගය ඔස්සේ පවුම් මිලියන 150ක අමතර ආදායමක් ලැබේ යැයි ද අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් මෙම අනාවැකිය පිළිබඳව සම්පූර්ණ එකඟතාවක් ආර්ථික ක්ෂේත්‍රයන්හි නොමැත​. ඇතැම් විශ්ලේෂකයන්ට අනුව මෙම උත්සවයට අදාලව කෙටි කාලීන ආර්ථික වාසියක් ලැබිය හැකි නමුත් දිගු කාලීනව එහි ප්‍රතිලාභයක් ලැබෙනු නැත.

යුරෝපියානු සංචාරක සංගමය (ETOA) සඳහන් කරන පරිදි මෙම විවාහය හේතුවෙන් විශාල විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට පැමිණේ යයි විශ්වාස කළ නොහැක​. රාජකීය විවාහය හා සම්බන්ධ වැඩිම උද්‍යෝගය ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් තුළ වීම ඊට හේතුව ලෙස එම ආයතනය දකියි. ගුවන් ගමන් පිළිබඳ සමීක්ෂණය කරන ෆෝර්වර්ඩ් කීස් (ForwardKeys) ආයතනය ද සඳහන් කරන්නේ බ්‍රිතාන්‍යය වෙත පැමිණෙන පිරිසගේ විශාල වැඩිවීමක් මෙම විවාහය සමඟ පෙන්නුම් නොකෙරෙන බවය​.

තවද බොහෝ ආයතන මෙම විවාහය හේතුවෙන් සිය සේවකයන්ට වැඩිපුර දිනක නිවාඩුවක් ලබා දෙන අතර මේ හේතුවෙන් ව්‍යාපාර කටයුතු සිදු නොවීමෙන් ඵලදායීතාව අඩු වීමට ද ඉඩ ඇති බවත් ඇතැම් විචාරකයන්ගේ අදහසයි. මෙම නිවාඩුව උපයෝගී කරගෙන ඇතැම් බ්‍රිතාන්‍ය වැසියන් විදෙස් නිවාඩු කරා යොමු වීමේ ප්‍රවණතාවයක් ද දකින්නට තිබේ.

ජනමාධ්‍ය​

විවාහය පවත්වන වින්ඩ්සර් නගරයේ සහ අවට නවාතැන්පලවල් මෙම සති අන්තය තුළ පිරී ගොස් ඇති නමුත් ඊට ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගේ පැමිණීම බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් පුවත්පත සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ආදී පොදු රාජ්‍ය මණ්ඩල රටවල මෙම විවාහය වෙත විශාල මාධ්‍ය අවධානයක් යොමු වී තිබේ. එහෙයින් එම තත්ත්වය ඇති වී තිබෙන බව එම පුවත්පත අදහස පළ කරයි.

මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත්, වින්ඩ්සර් නගරයටත් විශාල ප්‍රසිද්ධියක් මෙම උත්සවය මගින් ලැබීම නිතැතින් ම සිදුවනු ඇති අතර මේගන් මාර්කල් ඇමරිකානු නිළියක වීම හේතුවෙන් එරටෙහිද යම් උද්‍යෝගයක් මේ පිළිබඳ ඇති වනු ඇත​. නමුත් එයින් ජනතාවට සහ රටට ලැබෙන දීර්ඝ කාලීන වාසිය පිළිබඳ ඇත්තේ බලාපොරොත්තුවක් පමණි.

[චාමර සුමනපාල]

මාතෘකා