මහ රැජිනගේ ලංකා සංචාරය සහ මුද්දර කතා | ඇස පාදන රැස


මහ රැජිනගේ ලංකා සංචාරය සහ මුද්දර කතා

 ඡායාරූපය:

මහ රැජිනගේ ලංකා සංචාරය සහ මුද්දර කතා

බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් කිරුළ දැරූ රැජිනිය හැටියට වික්ටෝරියා රැජිනිය තබා තිබුණ වාර්තාව දෙවන එළිසබෙත් රැජිනිය අභිබවා ගියාය.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ දැරූ තැනැත්තිය හැටියට දෙවන එළිසබෙත් රැජින වාර්තා පොතට එක්වෙයි.

මහ බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ 6 වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු රජකමට පත්වූයේ එතුමාගේ දියණිය වූ දෙවන එලිසබෙත් රැජිනයි. මහ රැජිනගේ මෞලි මංගල්‍යය වර්ෂ 1953 ජූනි 02 වැනිදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. ඉක්බිතිව එතුමිය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සංචාරයක් ආරම්භ කළාය. ශ්‍රී ලංකාව ද මෙම සංචාරයේ එක් නැවතුමක් වූ බැවින් එම රාජකීය සංචාරයේ මතකයන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් අතරට ගැනේ.

මහ බ්‍රිතාන්‍යයේ කිරුළ පැලදි රාජ්‍ය නායකයෙකු දිගු කලකට පසුව ලංකාවේ සිදු කරනු ලබන මෙම සංචාරය අපට ලබාදුන් ගෞරවයක් වශයෙන් සලකා එය ඉතාමත් උතකර්ෂවත් අයුරින් සැමරීමට ලක් රජයද කටයුතු කළේය. වර්ෂ 1954 අප්‍රේල් 10 වෙනිදා ගොතික් නම් නෞකාවෙන් රාජකීයයන් කොළඹට සම්ප්‍රාප්ත විය. එතුමිය පිළිගැනීම සඳහා එවකට ලංකාවේ අග්‍රාමාත්‍ය ගරු ජෝන් කොතලාවල, අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි, රැජිනගේ ලංකා සංචාරයේ කටයුතු භාර අමාත්‍යවරයා වු ඔලිවර් ගුණතිලක ඇතුළු කැබිනට් අමාත්‍යවරු ද විශේෂ ආරාධිතයෝ රැසක් ද සහභාගි වූහ.

අප්‍රේල් 11 වෙනිදා රාජකීය යුවල වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් සහ රාජකීය භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. රාජකීය සංචාරයේ වැදගත්ම සිදුවීම යෙදී තිබුණේ අප්‍රේල් 12 වැනිදාටයි. ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම එදිනට යෙදි තිබුණු අතර එය සිදුවූයේ නිදහස් චතුරශ්‍ර යේදීය. එංගලන්තයේ රැජින ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරයක් විවෘත කිරිම සඳහා පෞද්ගලිකවම පෙනී සිටි මුල්ම අවස්ථාව මෙය විය.

ඉක්බිතිව රජය වෙනුවෙන් ස්තුති කථාව සිදුකිරීම සභානායක, ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් සිදුකරන ලදි.

අප්‍රේල් 15 වැනිදා විශේෂයෙන් සරසන ලද දුම්රියකින් රැජින පොලොන්නරුවේ සංචාරයක නිරත වූවාය. එදින පෙරවරුවේ එතුමිය ඇතුළු රාජකීයයන් ඓතිහාසික සීගිරිය නැරඹීමට පැමිණි අතර සීගිරියේ බටහිර කඳු බෑවුමෙහි වු මුරගල මුදුනේ සිට ඇය දුරදක්නයක් ආධාරයෙන් බිතු සිතුවම් නිරීක්ෂණය කළාය. මේ අවස්ථාවට පුරාවිද්‍යා ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහභාගි වු අතර සීගිරිය පිළිබඳව හා සිතුවම් පිලිබඳව එතුමන්ගේ පැහැදිලි කිරිම රැජින ඉතාමත් සාවධානව අසා සිටි බැව් වාර්තා වල සඳහන් වේ.

අප්‍රේල් 19 වැනිදා රැජින මහනුවර බලා පිටත් වූවාය. දළදා මාලිගාවට පැමිණි එතුමිය ඉතාමත් භක්තිමක්ව දළදා වහන්සේට ගෞරව කළාය. එදින රාත්‍රියේදි රජ පෙරහැර නැරඹුවාය.

අප්‍රේල් 20 වැනිදා පේරාදෙණිය මල්වත්තේ සංචාරයක නිරත වු එතුමිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විවෘත කිරිමකට සහභාගි වී එදින සවස දුම්රියෙන් කොළඹට සැපත් වූවාය.

අප්‍රේල් 21 වැනිදා ලංකාවට තවත් විශේෂිත දිනයක් විය. මෙතෙක් ලංකාවේ ආණ්ඩුකාරධුරය හෙබවු සෝල්බරි සාමිගේ නිල කාලය අවසන් වන බැවින් වර්ෂ 1954 ජූලි 17 වැනිදා සිට නව ආණ්ඩුකාර වශයෙන් සිංහල ජාතිකයෙකු පත් කිරීම එම විශේෂත්වයයි. ඒ ඔලිවර් ගුණතිලක මැතිඳුන්ය.

එලිසබෙත් රැජිනගේ දින 12ක ලංකා සංචාරය නිමවා එදින රාත්‍රියේදි ලංකාවෙන් පිටත් වූවාය.

[නිරෝෂණ පීරිස්]

මාතෘකා