කිම් ජොංග්-උන් චීනයට ගියේ ඇයි?

 ඡායාරූපය:

කිම් ජොංග්-උන් චීනයට ගියේ ඇයි?

මෑත දිනවල ලෝක දේශපාලන කරළියෙහි ප්‍රධාන ම මාතෘකාවක් වූයේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් චීනයෙහි කරන ලද සංචාරය යි. මෙය බැලූ බැල්මට චීනය සහ උතුරු කොරියාව අතර මිත්‍රත්වය පිළිබඳ සාධකයක් සේ පෙනුණ අතර උතුරු කොරියානු මාධ්‍ය විසින් ද එවන් අදහසක් පළ කරන ලදි. නමුත් එය එතරම් පහසුවෙන් විග්‍රහ කල හැකි කරුණක් නොවන බව වඩාත් විමසිල්ලෙන් පිරික්සා බැලූ විට පෙනී යයි.

මෙම කරුණ අඟවන එක් සාධකයක් වූයේ චීන රාජ්‍ය මාධ්‍ය මෙම සංචාරය වාර්තා කළ අන්දම ය. උතුරු කොරියානු නායකයාගේ සංචාරය "නිල නොවන" එකක් වූ බව චීනයේ ෂින්හුවා පුවත් සේවය පැහැදිලි කර සිටියේ ය.

තවද, උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පිං හමු වූ නමුත් රටවල් දෙක​ අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණේ නැත. මෙය ද ඇතැම් විචාරකයින්ගේ මවිතයට හේතු වූයේ ය.

කලාපීය ස්ථාවරත්වය​

චීනය කෙමෙන් කෙමෙන් සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින අතර දකුණු චීන මුහුදෙහි සමුද්‍ර සීමා අරභයා අග්නිදිග ආසියානු රටවල් කිහිපයක් සමඟ ද​, ෂෙන්කාකු දිවයින්වල අයිතිය අරබයා ජපානය සමඟ ද විවිධ අවස්ථාවල මතභේද ඇතිකර ගනිමින් සිටියි. එසේ වුවද මෙම රටවල් අතර විශාල ආර්ථිකමය සබඳතා පවතී. එහෙයින් කලාපයේ උණුසුම්, අවිනිශ්චිත තත්ත්වයක් ඇති වීම කෙරෙහි චීනය සහ අනෙකුත් කලාපීය රටවල් බියක් දක්වයි.

එක් අතකින් උතුරු කොරියාව සතුවූ කේවල් කිරීමේ බලයට ද අනෙක් අතින් උතුරු කොරියාව සහ චීනය අතර භේද ඇතිවීමට ද මෙය හේතු වී ඇතැයි පෙනී යයි. විශේෂයෙන් ම 2017 වසර මුළුල්ලේ උතුරු කොරියානුවෝ මිසයිල අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් මෙන්ම මහා පරිමාණයේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් ද සිදු කළෝ ය​. මේ සමඟ ම කලාපය දැඩි යුධ උණුසුමකින් වෙළා ගියේ ය​. උතුරු කොරියානුවන් විසින් සිදු කළ එක් මිසයිල අත්හදා බැලීමක් චීනයේ පැවති සමුලුවට සමගාමීව සිදු කරන ලද බවද මෙහිදී වැදගත් සේ සැළකෙන කරුණකි.

මේ හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ චීනය ද, උතුරු කොරියාව කෙරෙහි දැක්වූයේ දෙබිඩි පිළිවෙතකි.  උතුරු කොරියාවට එරෙහිව වඩා ප්‍රබල සම්බාධක පැනවීම සඳහා චීනය සහය පළ කළේ ය​. එමෙන් ම චීනය විසින් උතුරු කොරියානු ගල් අඟුරු ද මිලදී ගැනීම අඩු කළේ ය. උතුරු කොරියානු ආනයන - අපනයන වෙළෙඳාම සියයට 90 ක් ම චීනය හරහා සිදු වන බැවින් මෙය උතුරු කොරියාව කෙරෙහි පීඩනයක් එල්ල කළේ ය​. නමුත් අනෙක් අතින් එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි චීනය සම්පූර්ණ බාධාවන් නොකළ අතර, කලින් තිබුණාට වඩා අඩුවෙන් වුවද​, නීති විරෝධී වෙළෙඳාම ද තවමත් ක්‍රියාත්මකය. උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම කඩා වැටෙනු දැකීම චීනයේ අපේක්ෂාව නොවන්නේ ය. මක් නිසාද යත්, එවන් සිද්ධියක ප්‍රතිඵල කුමක් වුවද​, එය චීනයට වාසි සහගත විය නොහැකි බැවිනි.

බටහිර සමඟ මිත්‍රත්වය​

උතුරු කොරියානු පාලනය දකුණු කොරියාව සමඟ හදිසියේ ඇති කරගත් මිත්‍රත්වයට එක් හේතුවක් විය හැක්කේ තම රට කෙරෙහි චීනය විසින් සිදු කරන බලපෑම සීමා කිරීම ය​. එක් අතකින් උතුරු කොරියානු පාලනය කඩා වැටීමට චීනය ඉඩ නොදෙන බව පැහැදිලි නමුත්, එම ආරක්ෂාව පදනම් කරගෙන චීනය කෝප ගැන්වෙන ආකාරයේ ක්‍රියාවන් හි නිරත වීමටද උතුරු කොරියාවට නොහැක​. 2017 වසරේදී චීනයේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අතරතුර උතුරු කොරියානුවන් මිසයිල අත්හදා බැලීමක් කරතැයි විවිධ අනාවැකි පළ වුවද එවැන්නක් සිදු වූයේ නැත​. ඊටද චීනය විසින් කරන ලද බලපෑම් හේතු වී යයි සැක කළ හැක​.

මෙවන් තත්ත්වයක් යටතේදී, 2018 වසරේ මුල් කාලය තුළ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඇති වූ මිත්‍රත්වය පිළිබඳ චීනයේ සත්‍ය අදහස පැහැදිලි නැත​. චීනය ඊටත් වඩා කලබලයට පත් වීමට හේතු විය හැක්කේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මුණ ගැසීමේ සූදානම ය​.

දැනට සැලසුම් කර ඇති පරිදි කිම් ජොංග්-උන් අප්‍රේල් මාසයේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් මුණ ගැසෙනු ඇති අතර මැයි මාසයේදී ට්‍රම්ප් මුණ ගැසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන ගමන​

කිම් ජොංග්-උන් 2011 දී නායකත්වයට පත්වූ දා පටන් චීන සංචාරය වන තෙක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවී ය​​. රහසින් ම මාර්තු 25 වනදා චීනයට ළඟා වූ ඔහු එරට සංචාරය කළ බව නිල වශයෙන් මාධ්‍යයන් හි පළ වූයේ මාර්තු 28 වනදා එම සංචාරය නිමා වූ පසුව ය​. ඊළඟ සතිවල සිදු වීමට නියමිත වැදගත් හමුවීම් දෙකකට පෙර කිම් ජොංග්-උන් මෙසේ චීනයට ළඟා වීම මවිතයට හේතුවක් විය​.

මෙහිදී එක් මතයක් වූයේ චීනයේ සහය තමන්ට ලැබෙන බව දකුණු කොරියාවට සහ ඇමරිකා එක්සත් ජනපදයට පෙන්වා සිටීමේ අරමුණින් කිම් මෙසේ චීනයට සංචාරය කළ බව ය. ළඟ එන රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්වලට පෙර මේ අයුරින් සිය ශක්තිය පෙන්වා සිටීම උතුරු කොරියාවට වැදගත් වන බව ඇතැම් විචාරකයෝ කියා සිටියෝ ය. නමුත් පසුගිය මාස කිහිපය තුළ චීනය සහ උතුරු කොරියාව අතර ඇතිවූ යම් යම් විරසකයන් සලකා බැලීමේදී, කිම්ගේ අවශ්‍යතාවට ඔහු හා මුණ ගැසීමට ෂී ජින්පිං කටයුතු කළේ යයි සැලකීම තරමක් අසීරු ය​.

ඊට වඩා ඉඩකඩ ඇත්තේ චීනයේ අවශ්‍යතාව මත කිම් එරටට පැමිණීම ය. උතුරු කොරියාව කෙරෙහි චීනයට දැක්විය හැකි බලපෑමේ ස්වභාවය කෙතරම් ද යත් එවැනි බලකිරීමක් කළහොත් එය ප්‍රතික්ෂේප කිරීමට උතුරු කොරියාවට ඇති ඉඩකඩ ඉතාම අවම ය​. චීන බලපෑම අඩු කිරීම සඳහා උතුරු කොරියාවට ඇති එකම මාර්ගය දකුණු කොරියාව සහ ඇමරිකාව දෙසට ළං වීම වුවද​, එම රටවල් හා අනවශ්‍ය ලෙස මිත්‍ර වීමේ අවදානම ද උතුරු කොරියාව දනී. ඕනෑවට වඩා ලෝකයට විවෘත වීම කෙරෙහි උතුරු කොරියානු පාලනය සාධාරණ බියක් දක්වයි. ඔවුනගේ පාලන තන්ත්‍රයේ මූලික ශක්තිය නම් සිය ජනතාව ලෝකයට විවෘත නොකිරීමයි.

චීන ජනාධිපති ෂී ජින්පිං අනෙකුත් රටක නායකයකු කිම් ජොංග්-උන් හමු වීමට පෙර තමා වෙත ඔහුව ගෙන්වා ගත්තේ ය​. එමගින් ෂී දකුණු කොරියාවට සහ ඇමරිකාවට දෙන සරල එමෙන්ම දැඩි පණිවිඩය නම්, උතුරු කොරියාව සමඟ කටයුතු කිරීමේදී කිසි ලෙසකින් හෝ චීනය අමතක නොකළ යුතු බව යි.

[චාමර සුමනපාල]


ජනප්‍රිය ලිපි