දේශපාලඥයන් හා පොලිසිය නැති ලොව සතුටු නගරය

 ඡායාරූපය:

දේශපාලඥයන් හා පොලිසිය නැති ලොව සතුටු නගරය

මාරියා චුරායස් ගොන්සාලේස් ,ජොසපිනා එස්ට්‍රඩා සහ මෙලීසා මෙක්සිකෝ ඉතිහාසය වෙනස් කලෝය. ඔවුහු මෙක්සිකොව උඩියටිකුරු කළහ.

මෙක්සිකෝවේ අපරාධ රජයන නගර අතරින් චැරන් Cheran නගරය ඇත්තේ අංක එකටය.2010 ඡනවාරි සිට මැයි අතර කාලය තුළ එහි මරා දැමූ මිනසුන්ගේ සංඛ්‍යාව 599 කි. විසිදහසක ඡනගහණයක් ඇති මේ කුඩා නගරයේ දිනපතා කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය වෙළදාම නිසා මිනිසුන්ට අතපය අහිමි විය; ජීවිත අහිමි විය.

වඩාත් බැරෑරුම් වූයේ නගරයට ජලය සපයන ජලපෝෂිත ප්‍රදේශවල දිය උල්පත් දැව ඡාවාරම්කරුවන්ගේ පොරෝ පහරවලින් ගස් කපා වනාන්තර එලි කිරීමෙන් දිනපතා සිඳී යාමට පටන් ගැනීමයි.. නගරයට ජලය නැතිවුවහොත් එය අපායක් වනවාට කිසිම සැකයක් නැත. චැරන් හි ගැහැනු තිදෙනෙක් මූලික වී වනාන්තරයට වැදී දැව ඡාවාරම්කරුවන්ට මෙසේ පැවසූහ.

'' දැනටමත් දිය උල්පත් හිඳිල ! ඉතිරි උල්පත් ටිකත් ඔය විදිහට ගස් කැපුවොත් හිඳිල යයි. ඔබේ දරුවනුත් අපේ දරුවනුත් බොන්නෙ මොනවද ?

තිත්ත කුණුහරපෙන් ඔවුනට බැණවැදුණ දැව ඡාවාරම්කරුවෝ මේ අසරණ ගැහැණුන්ව පන්නා ගත්හ. එහෙත් ඔවුන් ගියේ පුපුරා යන තරම් කේන්තියෙනි. ප්‍රංශ විප්ලවයේදී පිරිමින්ට වඩා දරුණු වූයේ ගැහැණුන් බව ඔබ සමහර විට අසා ඇත. චෙරන්හි ගැහැණුත් එසේ වූහ. ඔවුහු මුලු නගරයේම ගෙන් ගෙට ගියහ. සාකච්ඡා කළහ. මනා ලෙස සංවිධානය වූහ.

2011 අප්‍රේල් 15 උදෑසන චෙරන් නගරයේ සියලුම පල්ලිවල ඝණ්ඨා නාද දිණි. විප්ලව‍ය ඇරඹී තිබිණි. මුකවාඩමි ලා ගත් ගැහැණු කැති පොරෝ මන්නා ගෙන ගෙවලින් එළියට බැස්සෝය. මරියා ඡුරායස් ගොන්සාලෙස් , ජොසපිනා එස්ට්‍රාඩා සහ මෙලීසා අත තුවක්කු තිබිණි. ඔවුහු පළමුව නගරයට පිටතින් ඇති ප්‍රදේශවලින් නගරයට සම්බන්ධ වන පාරවල් තුනෙහිම ආයුධ සන්නද්ධ මිනිසුන් තබා පාරවල් වසා දමා මුර කපොලු දැමූහ. අනතුරුව ගැහැණු සෙමින් සෙමින් වනාන්තරයට ඇදුණහ. ගස් කපා ලොරිවලට පටවාගෙන එන පළමු ට්‍රක් රථය තුවක්කු පෙන්නා නතර කළහ.

බිමට ඇදගත් ලොරි රියදුරා සහ සහායකයාව බැඳ දැමූහ. මෙසේ 30දෙනෙක් අත්අඩංගුවට ගත් පසු ට්‍රක් රථ 7 ක් මහ මාර්ගය මැද ගිනි තැබූහ. ඡාවාරම්කරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ. මුර කපොලු හරහා පොලීසිය සමඟ ආ නගරාධිපතිවරයා පන්නා ගත්හ. පොලිසිය මේ නගරයෙන් පිටවිය යුතු බවට තර්ජනය කළෝය . පොලීසිය නගරයෙන් පිටවිය. නමුත් ඔවුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් ක‍ෙළ් නැත. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවිය යුතු යැයි අණ කළහ. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවූහ. අනතුරුව මේ ප්‍රචණ්ඩ ගැහැණු නගරය තම අත්වලට ගත්හ.

නගරයේ සියලු දෙනාම සන්නද්ධ කළ ඔවුහු නගරය වටා ආරක්ෂක වළල්ලක් සෑදූහ. මුර කපොලුවලින් පිටතින් එන්නවුන් තම අනන්‍යතාව පෙන්විය යුතුය. එය සෑහේ නම් පමණක් ඔවුන්ට නගරයට ඇතුළුවිය හැක. ඔන්න ඔහොම දැන් මේ නගරය පාලනය කරන්නේ ඒ නගරයේම මිනිස්සුය. උසාවිවල නඩු අහන්නේ නගරයේ කීර්තිමත් මිනිසුන්ය. ඔවුන්ට විභාග කිරීමට බැරි නඩු මෙක්සිකෝ නීතිපති වෙත හරවා යවයි.

 නගරයේ අවංක මිනිසුන් අතින් නගර සභාව පාලනය වේ. දැව ඡාවාරම්කරුවන් අතින් විනාශ වී ගිය හෙක්ටයාර් 3000 ක වනුයේ ඔවුහු නැවත රුක් රෝපණය කරති. 2010 අප්‍රේල් සිට මැයි දක්වා ඝාතන 599 ක් සිදුවූ අතර ඔවුන් පාලනය බලය ලබාගත් 2011 වසරේ සිට 2015 දක්වා එකදු ඝාතනයක් හෝ වාර්තා වී නැත. ඒ ඔවුන් නගරයෙන් පාතාල මැරයන් පන්නා දැමු බැවිනි. මෙක්සිකෝ රඡය මේ වනවිට චැරන්හි ස්වාධීන පාලනය පිළිගෙන ඇත.

අප මේ කියන්නේ දැන් මෙක්සිකෝවේ චැරන් නගරය සුඛිත මුදිත බව නොවේ.තවමත් එහි දරිද්‍රතාව තිබේ. තවමත් පුංචි රංඩු සරුවල් තිබේ. එහෙත් කලින් පැවතියාට වඩා එය දස දහස් ගුණයක් අගනේය. දේශපාලන පක්ෂ තහනම් කර ඇති නිසා එහි මිනිසුන්ට බෙදෙන්න දෙයක් නැත.

ඔවුහු කතාබහ කරමින් එකිනෙකාට උදව් කරමින් සිය ඡිවිත ගෙන යති. දැන් ඔවුන්ට මරණ තර්ජන නැත. අතපය අහිමිවීම් නැත. ගැහැණුන් නිකරුණේ වැන්දඹුවන් නොවෙති. දැන් ඇත්තේ නිදහසේ යමක් සොයාගෙන කා සතුටෙන් නින්දට වැටීමය.

වඩාත් වැදගත් වන්නේ මෙක්සිකෝවේ චෙරන් යනු අද ලෝකයේ දේශපාලකයන් නැති එකම නගරයයි. මැතිවරණ නොමැති එකම නගරයයි.

දේශපාලන පක්ෂ පාට නැති එකම නගරයයි. කොටින්ම රාඡ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන දැති රෝදයක් වන පොලිසියක් නැති නගරයයි. ඔවුන් ඔප්පු කර ඇත, තමන්ට දේශපාලකයන් නොමැතිව ජීවත් විය හැකිබව. නගරයට පොලීසියක් නැති වූවාට මිනිසුන් සාමකාමී නම් එකිනෙකාට ගරු කරන්නේ නම් නගරයකට පොලීසියක් අවශ්‍ය නැතිබව.

[උපාලි ජයසිංහ]

මාතෘකා