ඉන්දීය චෙස් ශූරිය ඉරාන තරඟ වර්ජනයක

 ඡායාරූපය:

ඉන්දීය චෙස් ශූරිය ඉරාන තරඟ වර්ජනයක

කාන්තාවන්ගේ හිස ආවරණය කිරීමේ නීති අනුගමනය කළ යුතු බැවින් ඉරානයේ පැවැත්වෙන ආසියානු තරගාවලියකට සහභාගි නොවීමට ඉන්දීය චෙස් ශූරියක වන සෞම්‍යා ස්වාමිනාතන් තීරණය කර තිබේ.

29 හැවිරිදි චෙස් ශූරිය පවසන්නේ මෙම නීතිය ඇගේ පෞද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් බවය.

"වර්තමාන තත්වය යටතේ, මගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට ඇති එකම මඟ ඉරානයට නොයා සිටීමයි," යනුවෙන් ඇය ඇගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයකට තුඩු දී තිබුණි.

ආසියානු චෙස් ශූරතාවලිය ලබන මාසයේ ඉරානයේ දී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාවේ චෙස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව සෞම්‍යා ස්වාමිනාතන් (Soumya Swaminathan) පසුවන්නේ පස්වන ස්ථානයේය.

ආසියානු චෙස් ශූරතාවලිය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ බංග්ලාදේශයේ බව ඇය දේශීය මාධ්‍යයට පවසා තිබිණි. "නමුත් නව දිනය සහ ස්ථානය ගැන දැනගත් විගස මම එයට සහභාගි නොවීමට තීරණය කළා," ඇය පැවසීය.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවක දී, ශූරතාවලිය පැවැත්වෙන ස්ථානය ගැන සමස්ත ඉන්දීය චෙස් සම්මේලනය (AICF)විරුද්ධ විය යුතු දැයි විමසූ විට ඇය කියා සිටියේ "මගේ මතයට සමාන මතයක් හැමෝම දැරිය යුතුයි කියලා මම අපේක්ෂා කරන්නේ නැහැ. එකිනෙකාගේ මතය අනුව මේ ප්‍රශ්නය දෙස බලන ආකාරය වෙනස් වෙනවා" යැයි පැවසීය.

කෙසේ වුවත් සිය ෆේස්බුක් පිටුවේ ඇය සඳහන් කර තිබුණේ "ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් එතරම් තැකීමක් නොකර නිල ශූරතාවලියක් සංවිධානය කිරීම ගැන කලකිරීමට පත්ව සිටින" බවය.

ක්‍රීඩකයන් බොහෝ විට තමන් නියැලී සිටින ක්‍රීඩාව වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් සිදු කළත්, "ආගමික ඇඳුමක් ඇඳීම" එයට අයත් නොවිය යුතු අතර, "සමහර දේවල් සරලව විසඳා ගත නොහැකිය" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු සෞම්‍යා ස්වාමිනාතන්ගේ තීරණය පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබිණි.

මෙවැනි ගැටලුවක් මුල්කොටගෙන ඉන්දීය ක්‍රීඩිකාවක තරගාවලියකින් ඉවත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

හිස ආවරණය කිරීමේ නීති පිළිපැදීමට සිදුවන බැවින්, 2016 දී ඉරානයේ පැවැත්වූ ආසියානු වෙඩි තැබීමේ ශූරතාවලියට සහභාගි වීම ඉන්දීය වෙඩි තැබීමේ ශූරියක වූ හීනා සිදූ ද ප්‍රතික්ෂේප කළාය.

2016 දී ඉරානයේ පැවැත්වූ කාන්තා ලෝක චෙස් ශූරතාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇමරිකානු ජාතික චෙස් ක්‍රීඩිකාව වන නාසි පයිකිඩ්සේට (Nazi Paikidze) ජාත්‍යන්තර අවධානය යොමු විය. "කාන්තාවන්ට මූලික අයිතිවාසිකම් පවා නොමැති ස්ථානයක තරගාවලියක් පැවැත්වීම නුසුදුසුයි" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණි.

මාතෘකා