ට්‍රම්ප් - කිම් ජොන් හමුවේ ඇතුල් කතා

 ඡායාරූපය:

ට්‍රම්ප් - කිම් ජොන් හමුවේ ඇතුල් කතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-ඉල් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා හි දී අති සාර්ථක අන්දමින් සිදු වුණි.

ට්‍රම්ප්ගේ වචනවලින් කිවහොත් කිසිවකුත් බලාපොරොත්තු වූවාට වඩා සාර්ථකව එම හමුව සිදු කෙරුණි. ඊට කදිම සාධකයක් වූයේ නායකයින් දෙදෙනා ලියවිල්ලකට ද අත්සන් තැබීමයි.

මෙම දෙදෙන තමන් නැවතී සිටි හෝටල්වලින් සිංගප්පූරු වේලාවෙන් උදෑසන 8.30 ට පමණ පිටත් ව සෙන්තෝසා හි කැපෙල්ලා හෝටලය වෙත පැමිණියෝ ය. එරට වෙලාවෙන් උදෑසන 9 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6.30 ට) දෙදෙනාගේ හමුව සැලසුම් කර තිබිණ. කලින් සූදානම් කර තිබූ ස්ථානයකට දෙදෙනා දෙපස කොරිඩෝ දෙක ඔස්සේ පැමිණ, හමු වී, කලින් සැලසුම් කර නොතිබූ අයුරින් එතැනදී ම වචන කිහිපයක් හුවමාරු කරගත් හ. එය නිරීක්ෂණය කරන අයකුට එක් අතකින් ට්‍රම්ප්ගේ ප්‍රතාපවත් අංග චලනයන්, කිම්ගේ නුහුරුකමත්, දෙදෙනාම පොදුවේ දක්වන ලද මිත්‍රශීලීභාවයත් පැහැදිලි විය.

ට්‍රම්ප් මෑතක දී එම්මානුවෙල් මැක්‍රොන්ට සැලකූ අයුරින් උපහාසාත්මකව හෝ ජස්ටින් ටෘෘඩෝට මෙන් අපහාසාත්මකව හෝ කිම්ට සැලකුවේ නැත. ඒ වෙනුවට ඔහු කිම් හා පෙන්නුම් කලේ කලක පටන් මිත්‍රශීලී වූ නායකයකුට දක්වන සැලකිල්ලකි.

මොවුන් දෙදෙනා මෙසේ හමු වූ පසු එක්ව හෝටලයේ පුස්තකාලය කරා ගමන් කළේ පුද්ගලික හමුවක් සඳහා ය. එය ආරම්භයෙදී ඩොනල්ඩ් ට්‍රම්ප් දෙරට අතර මිත්‍රත්වය පිළිබඳ තමාට වන විශ්වාසය පළ කළේ ය. කිම් ද අදහස් දක්වමින් කලින් වූ වැරදි සහ බාධක අභිබවා ඔවුන් මෙම පියවරට සපැමිණීම පිළිබඳ සතුට පළ කළ අතර ට්‍රම්ප් ද එම ප්‍රකාශය ඉහලින් ම අනුමත කළේ ය.

මේ දෙදෙනා විනාඩි 40 ක පමණ කාලයක් සාකච්ඡාවල නිරත වූ අතර ඉන්පසු දෙදෙනා සිය රටවල අනෙක් නිලධාරීන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවට එක් වූහ.

මෙම සාකච්ඡාව පැවැත්වීමට යොදා ගන්නා ලද්දේ වසර 80 ක් පැරණි, කලින් සිංගප්පූරු ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබී දැන් එරට ජාතික කලාගාරය සතුව තිබෙන මේසයකි. එම කරුණ පවා සිංගප්පූරු මාධ්‍යයන් හි විශේෂිතව සඳහන් වීම සිංගප්පූරුව මෙම සමුළුව පිළිබඳ දැක්වූ උද්‍යෝගය සඳහා කදිම සාක්ෂියකි.

මෙම සාකච්ඡාවලින් පසු දෙරටෙහි නියෝජිතයෝ දිවා භෝජනය සඳහා සහභාගී වූහ. ඊට බටහිර ආහාර මෙන්ම කොරියානු ඇතුළු ආසියාතික ආහාර ද ඇතුලත්ව තිබුණි.

දිවා භෝජනයෙන් පසු නායකයන් දෙදෙන මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් කළහ. මෙම අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැණයකට පිලිතුරු දෙමින් ට්‍රම්ප් කියා සිටියේ ඉතා කඩිනමින් කොරියාවේ න්‍යෂ්ටිකහරණ වැඩපිළිවෙල ඇරඹෙනු ඇති බව ය. තව ද තමන් කිම්ට ධවල මන්දිරය වෙත පැමිණීමට ආරාධනය කරන බව ද ඔහු කියා සිටියේ ය.

නායකයින් දෙදෙනා වෙන්ව යාමට නියමිත වූයේ ඔවුන් මුලින් ම හමුවූ ස්ථානයේම ය. ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ පෙළ ඉදිරියේ සිටගත් ඔවුන්ගෙන් මාධ්‍යවේදීහු තවත් ප්‍රශ්න නැගූ හ. ඉංග්‍රීසි බස හැසිරවීම අපහසු වීම හේතුවෙන් දෝ කිම් අදහස් දැක්වූයේ නැත. ට්‍රම්ප් කියා සිටියේ ඔවුන් දෙදෙනාම ඔවුන් දෙදෙනා ගැනම බොහෝ දෑ මෙම හමුවෙන් උගත් බවයි.

කිම් යනු දක්ෂ පුද්ගලයකු මෙන්ම තම රටට ආදරය කරන්නකු යයි ට්‍රම්ප් කියා සිටියේ ය.

[චාමර සුමනපාල]

මාතෘකා