ඉම්රාන් ඛාන් අසීරු ගමනක් ඉදිරියෙන්

 ඡායාරූපය:

ඉම්රාන් ඛාන් අසීරු ගමනක් ඉදිරියෙන්

පාකිස්තාන මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන් විසින් නායකත්වය ලබා දෙන පාකිස්තාන් තහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය ඉදිරියෙන් සිටින අතර පාර්ලිමේන්තුවේ විශාලම පක්ෂය බවට එය පත් වනු ඇත. මේ අතර ඔහුගේ සාම්ප්‍රදායික බල කඳවුර වූ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේද ඉම්රාන් සිය බලය තහවුරු කරගෙන තිබෙන බවක් දිස් වේ.

කෙසේ නමුත් ඉම්රාන් ඛාන්ට තනිව රජයක් පිහිටුවීම අපහසු බව පෙනී යයි. එම හේතුව නිසා ඔහුට ඉදිරියේදී යම් කිසි පක්ෂයක් සමග සන්ධානගත වීමට සිදුවනු ඇති.

නමුත් මූලික ම ගැටලුවක් වනු ඇත්තේ අනෙකුත් ප්‍රධාන පක්ෂ දෙක මෙම මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා බව මේ වනවිට ද පෙනී ගොස් තිබීම ය.

ඉම්රාන්ගේ පූර්වාදර්ශය

2013 වසරේදී ඉම්රාන් ඛාන් බලයට පැමිණීම කෙරෙහි විශාල බලාපොරොත්තු තබා තිබුණි. නමුත් ඔහුට මැතිවරණයේදී ජයගත හැකි වූයේ ආසන 35 ක් වැනි ප්‍රමාණයක් පමණි. මෙහිදී ඔහු චෝදනා කළේ නවාස් ෂරීෆ් විසින් නායකත්වය දෙන පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් (PML-N) පක්ෂය විසින් ක්‍රමානුකූල ලෙස මැතිවරණ වංචා සිදු කළ බව යි. මෙසේ චෝදනා කළ පක්ෂය ඊට එරෙහිව මහා උද්ඝෝෂණයක් සංවිධානය කළේ ය.

කෙසේ නමුත් එම පක්ෂය මැතිවරණය අවසන් වූ වහා මෙසේ උද්ඝෝෂණ ආරම්භ නොකළේ ය. PTI පක්ෂය සඳහන් කළේ මැතිවරණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කළ උත්සාහයන් සියල්ල අසාර්ථක වූ තැන ඔවුන් ජනතා උද්ඝෝෂණ කරා යොමු වූ බව ය. 2014 වසරේ පාකිස්තාන නිදහස් දිනය දා ඇරඹි මෙම උද්ඝෝෂණ පිළිබඳ ගැටළුව නිරාකරණය කරගැනීමේ ක්‍රමයක් දිස් නොවී ය. රජය ද ඉම්රාන් ඛාන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඉම්රාන් ද තමන් ආරම්භ කළ උද්ඝෝෂණය අත හැරීමට සූදානම් නොවී ය.

මේ අවස්ථාවේ පෙශාවර් ත්‍රස්ත ප්‍රහාරය (පෙශාවර් පාසැල් සමූලඝාතනය) සිදු වූ අතර එයින් පසුව පක්ෂය එම උද්ඝෝෂණ අවලංගු කළේ ය.

යුධ හමුදා සහාය

පාකිස්තානයේ දේශපාලනය තුළ යුධ හමුදාව යනු ප්‍රධාන සාධකයකි. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයට පිටිපසින් සිට සැබෑ ලෙස එරට පාලනය කරන්නේ යුධ හමුදාව බවට චෝදනාවක් පවතී. නිදහස් පාකිස්තානයේ ඉතිහාසයෙන් අඩක පමණ කාලයක් එරට ඍජුවම පාලනය කළේ ද යුධ හමුදාවම ය.

නවාස් ෂරීෆ් යුධ හමුදාව සමග නිතර ගැටුම් ඇති කරගත්තෙකි. මේ හේතුවෙන් යුධ හමුදාව ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය අපේක්ෂා නොකරන බව ප්‍රබල චෝදනාවක් විය. නවාස්ගේ ආධාරකරුවන් සඳහන් කරන්නේ යුධ හමුදාව සහ බුද්ධි අංශ PTI පක්ෂයට සහාය දක්වන බවයි. විශේෂයෙන්ම පසුගිය සමයේ PML-N පක්ෂයෙන් ඉවත් වූ ප්‍රබලයින් කිහිප දෙනෙකු PTI පක්ෂයට සහාය දුන් අතර PML-N පක්ෂ ආධාරකරුවන්ගේ මතය වන්නේ යුධ හමුදාව විසින් බිය වැද්දීමෙන් එම දේශපාලකයන්ට PTI පක්ෂය වෙත එක් වීමට බලපෑම් කරන ලද බව ය.

මෙම චෝදනාව පාකිස්තාන අධිකරණ පද්ධතිය දෙසට ද එල්ල වීමට පටන් ගෙන තිබේ. ඊට හේතුව නම් දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ්ට එරෙහිව ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයන් ය. ඔහු අගමැතිව සිටියදී ම ඒ සඳහා ඔහු නුසුදුසු බව අධිකරණය විසින් තීරණය කරන ලදින් ඔහුට සිය තනතුර අත හැරීමට සිදු වූ අතර රජයේ තනතුරු දැරීම සම්පූර්ණයෙන් තහනම් විය. මේ අතර මහ මැතිවරණයට සති ගණනක් තිබියදී ඔහුට දූෂණ චෝදනා මත සිර දඬුවමක් ද නියම කරන ලදි.

මේ අතර මැතිවරණ දිනයේදී ද අක්‍රමිකතා සිදු වූ බව PML-N පක්ෂය පවසයි. එහි වත්මන් නායකයා වන නවාස්ගේ සහෝදර ශෙබාෂ් ෂරීෆ් කියා සිටියේ ඔවුන් මෙම මැතිවරණ ප්‍රතිඵලය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව ය. මේ අනුව ඉම්රාන් ඛාන් සභාග රජයක අගමැතිවරයා ලෙස පත් වුවද ඔහුට PML-N පක්ෂයේ බාධා කිරීම්වලට මුහුණ දීමට සිදු වනු ඇතැයි බියක් පවතී.

මෙවන් අවස්ථාවක අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වන පාකිස්තාන මහජන පක්ෂය (PPP) කිනම් ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතිද යන්න මෙතෙක් පැහැදිලි නැත. නමුත් එම පක්ෂය ද මෙම ප්‍රතිඵල පිළිනොගන්නා බව සඳහන් කොට තිබේ.

යම් හෙයකින් PTI විරෝධී දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් උද්ඝෝෂණ අරඹා එයින් විසඳුමක් නොඑන තැනකට පැමිණියහොත් හෝ කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත් හෝ එතුලින් හමුදාවට ඍජු ලෙසම දේශපාලනයට අත පෙවීම සඳහා අවස්ථාවක් ලැබීමේ අවදානමක් පවතී.

ඉම්රාන් ගැන සැක

ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණයට මූලික හේතුව වූයේ පවතින ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අප්‍රසාදය ය. නමුත් ඉම්රාන් ඛාන් පිළිබඳව ද ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ පාකිස්තානය වැනි විවිධ දේශපාලන බලවේග සහ ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වන රටක නායකත්වය දැරීමට ඔහු කෙතරම් සුදුස්සකු ද යන්න ය. කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ පාලනය ඔහුගේ පක්ෂය විසින් සිදු කෙරුණ ද ඉම්රාන් පරිපාලකයකු ලෙස කටයුතු කර නැත. එහෙයින් රටේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම ඔහුට විශාල අභියෝගයක් වනු නොඅනුමාන ය.

අනෙක් අතට මතවාදී වශයෙන් ඉම්රාන් තුළ සිදු ව ඇති විපර්යාසය පොදුවේ ගත් කල පාකිස්තාන දේශපාලනය පසුපසට ඇද දමන්නක් බව විචාරකයෝ පෙන්වා දෙති. 2013 මැතිවරණය වනවිට ද ඉම්රාන් ප්‍රගතිශීලී අදහස් දරන්නකු වූ නමුත් වර්තමානය වනවිට ඔහු පාකිස්තානයේ පවතින දේවාපහාස නීතියට පක්ෂ අදහස් දරන, ප්‍රතිගාමී කඳවුර දෙසට නැඹුරු වන තත්ත්වයක් පෙන්නුම් කරන බව පෙනී ගොස් තිබේ. මේ අතර අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමග සබඳතා ගොඩ නගා ගැනීම පිළිබඳව ද ඉම් රාන් වෙත චෝදනා එල්ල වෙමින් පවතී. මෙය දීර්ඝ කාලීනව පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එතරම් යහපත් බලපෑමක් සිදු කරනු ඇතැයි සිතිය නොහැක.

එමෙන්ම, ඉම්රාන් එම කඳවුර දෙස නැඹුරු වීම සිදු වුවහොත් එවන් තත්ත්වයක් කලාපයේ මූලික ම ගැටලුව වන ඉන්දු - පාකිස්තාන සබඳතා කෙරෙහි යහපත් නොවනු ඇත.

මේ අතර ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව ද බරපතළ ගැටලු පවතී. එක් අතකින් ඔහු "ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක්" ගොඩ නගන බව ප්‍රකාශ කර තිබේ. නමුත් සිය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවත්ව පැහැදිලි කිරීමට ඔහුට නොහැකි වී ඇත. අනෙක් අතට, ලෝකයේ බරපතළම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාතයන් පවතින, මානව සංවර්ධන දර්ශකයේ පහළීන් සිටින, ගෙවීම් ශේෂය ඉතා විශාල වන රාජ්‍යයක් සුබසාධන රාජ්‍යයක් ලෙස දියුණු කරන්නේ කෙසේද යන්න අපැහැදිලි ය.

මේ අනුව, එක් අතකින් ඉම්රාන්ගේ මැතිවරණ ජයග්‍රහණය පවතින ක්‍රමය අභියෝගයට ලක් කිරීම අතින් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ගත් කල විශාල ගැටලු මතු කරන්නකි.

[චාමර සුමනපාල]

මාතෘකා