ට්‍රම්ප් - පුටින් සමුළුව අවසන් "සාදර‍ෙයන් පිළි නොගනිමු" යැයි විෙරා්ධතා

 ඡායාරූපය:

ට්‍රම්ප් - පුටින් සමුළුව අවසන් "සාදර‍ෙයන් පිළි නොගනිමු" යැයි විෙරා්ධතා

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් අතර හමුවක් පසුගිය සඳුදා (ජුලි 16) ෆින්ලන්තයේ හෙල්සිංකි අගනුවරදී පැවැත්විණි. මේ හමුව ගැන පළමු අවශ්‍යතාව තිබුණේ අමෙරිකානු ජනාධිපතිවරයාටය. ඔහු ඒ බව ප්‍රකාශයට පත් කළ විට රුසියානු ජනාධිපතිවරයාගේ එකඟතාව ඊට පළ විය.

ජනාධිපති ට්‍රම්ප්, කිසිම අමෙරිකානු ජනාධිපතිවරයකුට කළ නොහැකි වූ නැතහොත් කරන්නට වුවමනාවක් නොතිබුණු උතුරු කොරියා නායකයා හමුවීම තරම්ම ප්‍රමුඛ තත්ත්වයේ ප්‍රචාරයක් මේ කාරණයට මාධ්‍ය විසින් දෙන ලද බව මුල් දවස්වල කාලය තුළ අපට දැක ගන්නට තිබුණේ නැත.

පසුගිය මාර්තු මස 18 දින පැවැති ජනාධිපතිවරණයේ දී ව්ලදිමිර් පුටින් සියයට 77 ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කළ අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්වර ම සුබ පැතුවේ නැත. සුබ පතන්නට තරමක් කල්පනා නළ යුතු බව මුල දී කී ඔහු සුබ පැතුවේ 20දාය. ඒ වනවිට යුරෝපා නායකයන් පුටින්ට සුබ පැතීම වර්ජනය කොට තිබූ බවද සිහිපත් කළ යුතු වෙයි. ඒ සුබ පැතීම ගැන ජෝන් මැකේන් කීවේ පුටින් වැනි ඒකාධිපතියකුට සුබ පැතීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන අමෙරිකාවේ ජනාධිපතිවරයකු විසින් නොකළ යුතුව තිබූ බවයි. ජෝන් මැකේන් යනු 2008 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වූ රිපබ්ලිකන් අපේක්‍ෂකයාය.

තමා රුසියානු නායකයා හමුවන්නට අපේක්‍ෂා කරන බව ඒ අවස්ථාවේ ජනාධිපති ට්‍රම්ප් කීවේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පුවත් මවන්නකු වන බැවින් ඔහුගේ වඩාත් කලබලකාරී මෙන්ම ආක්‍රමණකාරී අනෙක් පුවත් තුළ මේ පුවත ගිලී ගිය සෙයක් දක්නා ලැබිණි.

ට්‍රම්ප් - පුටින් හමුව ට්‍රම්ප් - කිම් හමුවට වඩා ව්‍යාකූල පුවත් මැවීය. කිම් යනු ආර්ථික හයියක් නොමැති විශාල සම්බාධක ගණනාවකට මුහුණ දෙමින් එක්සත් ජාතීන්ගේ පවා විරෝධයට ලක්ව සිටින රටක හිතුවක්කාර නායකයෙකි. එහෙත් පුටින් එසේ නොවේ.

රුසියාවේ ආර්ථිකය දැන් ශක්තිමත්ය. මේ හමුව බොක්සිං තරගයක් නම් පුටින්, ට්‍රම්ප්ට වැටෙන්නට ගහන්නට පවා ඉඩ ඇත. ඔහු ට්‍රම්ප් මෙන් දේශපාලනයට නවකයකු නොව බහුල අත්දැකීම් ඇත්තෙකි. එයින් අමෙරිකානු අභිමානය පලුදු විය හැකිය. එහෙත් අමෙරිකානු ඔත්තුසේවා නිලධාරියකු වන ඩෑන් බෙන්ගියෝ ෆොක්ස් නිව්ස් සමග වැඩ සටහනකට සහභාගි වෙමින් කීවේ පුටින්ට කරට කර සිටින දේශපාලනඳයකු ලොව සිටිත් නම් ඒ ට්‍රම්ප් පමණක් බවයි.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයේ ප්‍රමුඛ නායකයන්ගේ පවා විරෝධය මේ හමුවට එල්ල විය. ඒ අතර කොන්ග්‍රස් ලෙස හැඳින්වෙන අමෙරිකානු පාර්ලිමේන්තුවේ කතානායක පෝල් රයන් ද සිටියි. ඔහු කියන්නේ රුසියාව අමෙරිකානු ඇලියට අයත් නොවන නිසා මේ සාකච්ඡාව නොකළ යුත්තක් බවයි. අමෙරිකන් විරෝධය මේ කරුණු දෙක පදනම් කැර ගත්තේය. පළමුවැන්න නම් පුටින් ඒකාධිපතියෙකි. දෙවැන්න ඔහු අපට නම්මවා ගත හැක්කෙක් නොවේ.

මෙවර ජනාදිපති තරගයෙන් ජය ලැබීමෙන් පසුව පුටින් ලෝකයේ ඕනෑම තැනකට පහර දෙන්නට තරම් අවි තමා සතුව ඇති බව කීය. සාමාන්‍යයෙන් වහසිබස් නොදොඩන්නකු වන ඔහු එසේ කීවේ අමෙරිකාව ඉලක්ක කැර ගනිමිනි. සිරියාවේ අර්බුදයට රුසියාව මැදිහත් වීම ගැන ට්‍රම්ප් රුසියාවට කිහිපවිටක් ම දොස් නැගූ බවද ප්‍රකටය. එසේම රුසියාව අමෙරිකාවේ ඉරාණ විරෝධී ප්‍රතිපත්තියට එකඟ නැත.

පෝල් රයන් එසේ කීවත් රුසියානු උත්තර මන්ත්‍ර මණ්ඩලයේ කතානායක වැලැන්ටිනා මැටවියෙන්කෝ මේ හමුව පිලිබඳව දරන්නේ සුබවාදී ආකල්පයකි. සමුළුවෙන් පසු ඇය මෙසේ පැවසුවාය. ‘රුසියානු සහ අමෙරිකානු නායකයන් අතර හමුවක් සිදුවනු ඇතැයි ලොකු අපේක්ෂාවක් නොතිබුණත් ඒ පිළිබඳ බලාපොරොත්තුවක් නම් තිබිණි. එය සාමාන්‍ය දේශපාලන සංවාදයක් නොඑසේ නම් දෙරටක් අතර සබඳතා ගොඩනැගීමක් ම පමණක් නොවේ. මේ වනාහි මුළු ලොවට - ලොවේ ස්ථාවරතාවට - වෙසෙසින්ම වැදගත් වන හමුවකි. මෙයින් ලොව යම් පමණකින් සන්සුන් වනු ඇත.

එහෙත් මැටවියෙන්කෝ කියන තරම් දෙයක් සමුළුව අවසානයේ ලොවට දැක ගන්නට නොලැබිණි.

ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගේ විරෝධය ඊට වෙනස් එකකි. පසුගිය ජනාධිපතිවරණයේ දී පුටින් විසින් සිය ඔත්තු සේවා නිලධාරීන් යොදවා ඩිමොක්‍රැටික් අපේක්‍ෂක හිලරි ක්ලින්ටන් පරදවන්නට කටයුතු කළේයැයි ඔවුහු චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් එෆ්බීඅයි විසින් පරීක්‍ෂණයක් පවත්වමින් සිටින අතර පරීක්‍ෂකවරුන් ජනාධිපති ට්‍රම්ප්ගේ නිබඳ විවේචනයට ලක්වෙයි. සිය රටේ ජනාධිපතිවරණයට මැදිහත් වූ විදේශ නායකයකු හමුවන්නට යාම සදාචාර විරෝධී දෙයක් බව ඔවුන්ගේ අදහසයි.

මේ කවර විරෝධතා තිබුණත් ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුව සිදුවිය. සාකච්ඡා පැවැත්වුණු හෙල්සිංකි ජනාධිපති මන්දිරය පිහිටා ඇති පහළ නාගරික වීදිය දෙපස දහස් ගණනක් විරෝධතාකරුවෝ ‘සාදරයෙන් පිළි නොගනිමු’ (Not Welcome) යන පාඨය සඳහන් පුවරු අත දරා සිටියහ.

රුසියානු සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර හමුවීම් හෙල්සිංකි නුවර පැවැත්වෙන්නේ මේ තුන්වන වතාවටය. අමෙරිකානු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් සහ සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් අතර හමුවක් 1975 ජුලි 30 දින දල ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සහ මිඛායෙල් ගොර්බචොව් අතර හමුවක් 1995 සැප්තැම්බර් මසද මේ ස්ථානයේම පවත්වන ලද නමුත් ඒ අවස්ථාවල විරෝධතා එල්ල නොවිණි. ඊට හේතුව ඒ අවස්ථාවල ඔවුන් හමුවූයේ ලොවට වැදගත් සම්මුති අත්සන් කිරීමට බවත් එහෙත් මෙවර ඔවුන් මෙහි එන්නේ ඔවුන්ට පමණක් විශේෂ රහසිගත සාකච්ඡාවකට බවත් මෙවර විරෝධතාකරුවන් විසින් පවසන ලද බැව් සඳහන්ය.

සමුළුවේ දී සිදු වූයේ කුමක්ද? එහි ඔවුන් සාකච්ඡා කළේ මොනවාද? ඒවා රහස්ය. ඇත්තටම මේ සඳහා සහභාගි වූයේ ජනාධිපතිවරුන් දෙදෙනා සහ භාෂා පරිවර්තකයන් දෙදෙනා පමණි. උපදේශකයන් සහ නිලධාරීන් ඊට සහභාගි නොවුණු බැවින් සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳ ව මාධ්‍යයට විස්තෘත තොරතුරු යන්නට ඉඩක් නොමැත. ඒ බව පසුදා පළ වූ මාධ්‍ය වාර්තාවලින් බලා ගත හැකිය.

අල්-ජසීරා වෙබ් අඩවිය එය වාර්තා කළේ ‘සමුළුවේදී ට්‍රම්ප් අභිබවා පුටින් විජයග්‍රණය කරයි’ යන හිසිනි. 2016 ජනාධිපතිවරණයේදී තමා රුසියානු රහස් ඔත්තු සේවා භාවිතයෙන් මැදිහත් විණි’යි එල්ල කෙරෙන චෝදනාව රුසියානු ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී ප්‍රතික්‍ෂෙප කළ බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එය ඉතා කැමැත්තෙන් භාරගත් බවත් ජනාධිපති පුටින් සමග පැවැති පැය හතරක සාකච්ඡාවලින් අනතුරුව වූ මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවසූ බව එම වාර්තාවේ සඳහන්ය.

මහා පරිමාණ ව්‍යාපාරිකයකු ජනාධිපතිධුරය සඳහා පත් කරන්නට ක්‍රෙම්ලිනය යටිකූට්ටු වැඩක් නොකළ බවත් එසේ කියන සිය නිලධාරීන් අමන මරි මෝඩයන් බවත් ජනාධිපති ට්‍රම්ප් පැවසූ යැයිද එහි වැඩිදුරටත් දැක්වේ. 2016 පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ පවතින එෆ්බීඅයි විමර්ශනයක් ඇරඹූයේ 2016 ඔක්ෙතා්බර් තරම් ඈත සන්දියේ ය. එහි පරීක්‍ෂණ මේ වනවිට අවසන් ව ඇති අතර ට්‍රම්ප් - පුටින් හමුවට දෙදිනකට පෙර රුසියානු නිලධාරීන් 12 දෙනෙකුට ඒ සම්බන්ධයෙන් චෝදනා නැගෙන බව අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

හමුවෙන් පසු ජනාධිපති පුටින් පැවසුවේ රුසියානු නිලධාරීන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නට අමෙරිකානු රජයට හැකියාවක් නොමැති බවත් චෝදනා සිය රජයට භාර දිය යුතු අතර ඒ අනුව සිය රජය ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වනු ඇති බවත්ය. සිය නිලධාරීන් මෝඩයන්ය කියා ට්‍රම්ප් ජනාධිපතිවරයා කීවේ එයට අදාළවය.

ට්‍රම්ප් මෙසේ ට්වීට් කරයි: ‘එක්සත් ජනපදයේ එදාවේල පිරිමසා ගැනීම සඳහා සතුරන් දඩයම් කරන්නාගේ වසර බොහෝ ගණනාවක මෝඩකම්වලට සහ අමනකම්වලට මෙන් ම පින්සිදු වන්නට රුසියාව සහ අප අතර සබඳතා නැති වූයේ නැත.’ ඔහු මෙයින් අදහස් කරන්නේ එෆ්බීඅයි නමැති රජයේ ආයතනයයි.

එසේ ම ක්‍රිමියාව ඈඳා ගැනීම ගැන මෙන් ම යුක්‍රේන ප්‍රශ්නයේ දී රුසියාව ක්‍රියා කළ ආකාරය ගැන අමෙරිකා එක්සත් ජනපදයට රුසියාව සමග කේන්තියක් ඇති කැර ගන්නට කිසිදු වුවමනාවක් ඇති බව තමාට නොපෙනෙන බවද ට්‍රම්ප්ගේ අදහසයි.

යුරෝපා නිදහස් ගුවන් විදුලියේ වෙබ් අඩවිය මේ හමුව වාර්තා කළේ ‘ඊළඟ ප්‍රශ්නය: ට්‍රම්ප් - පුටින් ප්‍රශ්නවලින් මගහැර යාමේ කලාව ලොවට ප්‍රදර්ශනය කරති’ යනුවෙනි. වාග් චාතුර්යයෙන් හෙබි දේශපාලනඥයන් මාධ්‍යය විසින් අසනු ලබන ප්‍රශ්නවලින් මග හැර යාමට දක්ෂ විය යුතු බව හෙල්සිංකිවලදී රුසියානු අමෙරිකානු ජනාධිපතිවරු දෙදෙනා මැනැවින් ඔප්පු කළෝය.

ඉහත සඳහන් ටීව්ටර් පණිවුඩය ගැන රොයිටර් මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නය ජනාධිපති ට්‍රම්ප් මග හැරියේ අමෙරිකාව පමණක් නොවෙයි රුසියාවත් ඒ දේ කළා යි පවසමිනි.

එහෙත් එෆ්බීඅයි ගැන සහ විශේෂ පරීක්‍ෂක රොබට් ම්‍යුලර් ගැන මාධ්‍ය සාකච්ඡාවේ දී ට්‍රම්ප් පළ කළ හෙලා දකින ආකාරයේ ප්‍රකාශ බොහෝ අමෙරිකානුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් වන බව ප්‍රකටය. නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියේ පළවන වාර්තාවක හෙඩිම ‘ට්‍රම්ප් පුටින් සමුඵව අවසන්: හිස කසනවාද? එච්චරම නෑ’ යන අරුත් ඇති වැකියකි. සමුළුව අවසන්ය. ඒත් අපි විපිළිසරව බලා හිඳිමු.

ට්‍රම්ප් සමුඵවට ආයේ බ්‍රසල්හි පැවැත්වුණු නේටෝ සමුඵව අවසන් වීමෙන් ඉක්බිතිය. පුටින් පැමිණියේ ලෝක කුසලාන පාපන්දු තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අවසන් වූ පසුය. සාකච්ඡා අවසානයේ මාධ්‍ය හමුව ආරම්භයේ පුටින් ට්‍රම්ප්ට පාපන්දුවක් තෑගි කළේ ‘දැන් පන්දුව ඔබේ පැත්තේ’ යි පවසමිනි. පුටින්ගේ මුහුණේ කලාතුරකින් දක්නට ලැබෙන මන්දස්මිතයක් ඒ මොහොතේ තිබිණි.

ට්‍රම්ප් නැවත පන්දුව පුටින් වෙතම යොමු කළේ ‘ඒක මම මගේ බාල පුතාට සෙල්ලම් කරන්නට දෙනවා’ යි කියමිනි.

ඔවුන් අතර පැවැති සාකච්ඡාවල සාරාංශය එයයි. -

මාතෘකා