මොස්කව් නුවරින් ලොව පුරා දෝරෙ ගැලූ ආදරය

 ඡායාරූපය:

මොස්කව් නුවරින් ලොව පුරා දෝරෙ ගැලූ ආදරය

බ්ලැටර් වෙනුවට ඉන්ෆැන්ටිනෝ

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අවසන්ය. විසි එක්වැනි වතාවට සංවිධානය වුණු මෙවර ලෝක ශූරතාවයේ සත්කාරකත්වය රුසියාව දිනාගනිද්දී ලෝක පාපන්දු ප්‍රධානිය ෂෙප් බ්ලැටර්ය. මූල්‍ය වංචා, නිලවරණ අල්ලස් ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලෝකයේ ලොකුම ක්‍රීඩා සමාගම යැයි සැලකිය හැකි ලෝක පාපන්දු සම්මේලනය එසේත් නැතහොත් ෆිෆා ආයතනයේ ලොකු පුටුව ඔහු ඇතුළු බ්ලැටර් හා සමීපව සිටි කණ්ඩායමට අහිමිව ගොසිනි. ඒ අනුව ව්ලැද්මීර් පුටින්ගේ නායකත්වයෙන් යුත් රුසියාවට විසි එක්වැනි තරගාවලියේ සත්කාරකත්වය ලබාදුන් එවකට ෆිෆා සභාපති සෙෆ් බ්ලැටර් ඉන් නෙරපා රුසියානු නායකයා සමඟ හරි හරියට සිට ගැනීමට වරම් ලැබුවේ නව සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝය. ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ තරග නරඹද්දී පාපන්දු ලෝලීන් නොවන මෙවර පාපන්දු ලෝලීන් බවට එළැඹුණ බොහෝ දෙනෙක් මුඩු කළ හිසක් සහිත මේ මිනිසා කවුරුන්දැයි විමසා බැලූ බව නිසැකය. ඒ ලෝකයේ බලවත්ම පුද්ගලයන් අතරින් එක් අයකු ලෙස සැලකිය හැකි ස්විස්ටර්ලන්තයෙන් ලෝක පාපන්දු මුල් පුටුවට පැමිණි ඉන්ෆැන්ටිනෝය. එය බලවත් තනතුරකැයි අප පවසන්නේ එකසිය දහ හතර වසරක් තුළ ජගත් පාපන්දු සම්මේලනයට පිවිසි ලොව නව වැනි සභාපතිවරයා ඔහු බැවිනි. මෙම නිත්‍ය සභාපතිවරුන් නව දෙනාට අමතරව තවත් වැඩබලන සභාපතිවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් ශත වර්ෂය ඉක්මවන ජගත් පාපන්දු සම්මේලන ඉතිහාසයේ වාර්තාවෙයි.

ලෝකයට ලබාදුන් අපේක්ෂාව

ලෝකය පුරා විශිෂ්ටතම පාපන්දු රාජ්‍යයන් 32ක් මෙවර ලෝක ශූරතාව වෙනුවෙන් රුසියාවේ තරග වැදිණි. පසුගිය මාසයේ 14 වැනිදා සිට මෙම තරගාවලියේ ඇරඹීම සනිටුහන් වූ අතර එය පුරා මාසයක් ලෝකයම එකම අරමුණක පිහිටුවා තිබූවාක් බඳු විය. රුසියාව නමැති මහා සංස්කෘතියක සෙවණ යට පැවති ලෝක පාපන්දු තරගාවලියේ උණුසුම දින දින ඉහළ ගියේය. මූලික වටයේ තරගාවලිය ජයගන්නා කණ්ඩායම් නියෝජනය කරන කාණ්ඩවල ඉහළින්ම රැඳීමට සමත්වන කණ්ඩායම් ද්විත්වය 16 දෙනාගේ වටයට පිවිසිණි.

ඒ 16 දෙනා එකිනෙකා ගැටී කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කෙරුණේය. ඒ අට දෙනා අතර පැවතුණු තරගකාරීත්වයෙන් අවසන් පූර්ව වටය පැවැත්වුණු අතර ඉන් තේරුණු කණ්ඩායම් ද්විත්වය වූයේ අපරාජිත ප්‍රංශය හා ක්‍රොඒෂියාව යන යුරෝපා රාජ්‍යයන් ද්විත්වයය. බෙල්ජියම හා එංගලන්තය නැමැති යුරෝපා ජාතීන් පරදවා ඔවුහු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ. ඔට්ටු තබන්නන්ගේ අපේක්ෂාව වූයේ විවිධ පාර්ශ්ව දරන මත ලෝකය තුළ ගැටුමට ලක්කරමින් ඔට්ටු තැබීමය. ඇතැමුන් කීවේ ප්‍රංශය දිනනවා කියාය. එහෙත් ඇතම්හූ කිසිදා ලෝක කුසලානයක් දිනා නැති ක්‍රොඒෂියාව එය සිදුකරන බව කීහ. අවසන පීඩනය පැමිණ දක්ෂතා යටපත්කර ක්‍රොඒෂියාව අතින් වැරදි වැඩි වශයෙන් සිදුවන හා අවස්ථා සාර්ථක කරගැනීමට නොහැකි අවස්ථාවක් නිර්මාණය කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රතිවාදීන්ට ලබාදුන් ගෝලයක්, අතේ පන්දුව වැදීමත් සමඟින් ලැබුණු දඬුවම් පහරෙනුත් ප්‍රංශය ගෝල 4-2ක් ලෙස ඉදිරියට පැමිණීමය. එහෙත් පසුගිය 15 වැනිදා නිමාව දුටු ලෝක ශූරතා පාපන්දු අවසන් මහා තරගයත් සමඟින් මාසයක් පුරා ලෝකවාසීන් සිය අපේක්ෂා එක්තැන් කළ අරමුණු විසිරී ගියේය. ක්‍රීඩාවට මානව සිත්සතන් කොතරම් ධ්‍යාන ගත කළ හැකිදැයි මොනවට පෙන්වූ පාපන්දු ලෝක ශූරතාවේ උණුසුම් හැඟීම් තවත් සැලකිය යුතු කාලයක් මතකයෙන් විතැන් නොවුණ බවනම් සත්‍යයකි.

හැඟීම්වලට නිෂේධ බලය දිනාදුන් ප්‍රංශ ජනාධිපති

ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී මහා සංස්කෘතියකට හිමිකම් කියන ප්‍රංශය නියෝජනය කරමින් හතළිස් එක් හැවිරිදි, ලොව ළාබාලම ජනාධිපති ලෙසද සැලකෙන එම්මානුවෙල් මැක්රොන් ප්‍රභූන් සඳහා වෙන්කර තිබූ ප්‍රේක්ෂකාගාරයේ මේසය මතට වී නිරතවූ අභිමානනීය නර්තනය ලොව පුරා සුවහසක් පාපන්දු ප්‍රේක්ෂකයන් තුළ ඇති කළේ ගැඹුරු ආදරයකි. නේටෝ රාජ්‍යයන් අතර, යුරෝපා සංගමය තුළ, ලෝක බලවතුන් අතර බොහෝ බලයක හිමිකරුවා, හැසුරුම්කරුවා වූ මැක්රොන්, රුසියානු පාපන්දු ප්‍රේක්ෂකාගාරයක් තුළ දැක්වූ ඒ උන්මාදනීය හැසිරීම බොහෝ දෙනෙකු තුළ ඇතිකළේ විචිත්‍රත්වය.

ආදරය දෝරෙ ගැලූ මොහොතක් වන එම අවස්ථාවේදී, රාජ්‍ය නායකයන් සතු චර්යා ධර්ම අමතක කළ ඔහු හැසිරුණේ නියම මිනිසකු ලෙසිනි. අව්‍යාජ ප්‍රංශ ජාතිකයකු විලසිනි. ඔහු නියෝජනය කරන මහා ප්‍රංශ සංස්කෘතිය ගොඩනැගුණේ මේ නිසඟ හැඟීම් පිට දැමීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව මැක්රොන් නිහඬව ලෝකයට ඒත්තු ගන්නට අවස්ථාවක් උදාකර දුන්නේය. සිර කළ හැඟීම් කිසිවිටෙකත් මහා සංස්කෘතියක්, මහා නිර්මාණ ගොඩනොනංවන බව ඔහු ප්‍රකාශ කළේ නිහඬවය.

ලොව නිෂේධ බල හිමි රාජ්‍ය නායකයකු වශයෙන් එම බලයට හිමිකම් කියන භූ දේශපාලනය තුළ මහා ප්‍රතිරූපයක් වූ ව්ලැද්මීර් පුටින් වැනි රාජ්‍ය නායකයකු ඉදිරියේ තමන්ගේ හැඟීම්වලට නිෂේධ බලය හිමිකරදුන් මැක්රොන් ලෝක පාපන්දු ක්‍රීඩාව තුළ පමණක් නොව සමස්ත ලෝක සංස්කෘතිය තුළද අමතක නොවන අසමසම ආදරණීය මිනිසෙකි.

සොඳුරු ක්‍රොඒෂියා ජනපතිනියගේ ආලිංගනය

ජගත් පාපන්දු කිරුළ දිනාගත් කණ්ඩායමට මෙන්ම අනුශූරතාව දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එකලෙස සෙනෙහස පෑවුන් අතර ඇය ප්‍රමුඛය. ඇයට ප්‍රංශයද එසේත් නැතහොත් ක්‍රොඒෂියාවදැයි වෙනසක් තිබුණේ නැත. ලෝකය තනියායකි. ඒ යායේ මිනිසා යනු සහෝදරයින් පිරිසකි. කළු, සුදු භේද නැති, උස්, මිටි පහත්කම් නැතිව මිනිසා සැබැවින්ම එක්කාසු කරන්නේ, සහෝදරත්වයෙන් බැඳදමන්නේ ක්‍රීඩාවෙන් හා කලාවෙනි. ක්‍රීඩාව සමාජයේ පැවැත්ම වෙනුවෙනි. බිඳී ගිය මිත්‍රතා අලුත්කරවන, නව සබඳතා වැඩි වර්ධනය කරවන්නකි. කොලින්ඩා ගාබර් කිටරොවික් නැමැති ක්‍රොඒෂියාවේ රාජ්‍ය නායිකාව වන ඇය සිය මන බඳනා සිනහවත්, ලොව සනහන ආදරයෙන් අසුරු සැණින් ලෝකය දිනාගත්තීය. ඇය ප්‍රතිවාදී ප්‍රංශ කණ්ඩායමේ රාජ්‍ය නායකයා වන එම්මානුවෙල් මැක්රොන් සැබෑ සුහදත්වයෙන් වැළඳගත්තීය. තම කණ්ඩායමේ පුහුණුකරු හා එක්ව ඔහුගේ ගෙල වැළඳ ශෝකයෙන් හඬාවැටුණීය. තුටින් සිනාසලන සුවහසක් ප්‍රංශ ජාතිකයන් හා සිනාසුණාය. ඇය ලෝකයට පෙන්නූයේ අටලෝ දහමෙන් කම්පා නොවී සිටින්නේ කෙසේද යන්නය. අහිමිවීම් ඉදිරියේ නොසැලී නැගී සිටින්නේ කෙලෙසින්ද කියාය. ලෝකය හමුවේ ලෝකයේම දෙනෙත් යොමුව ඇති මොහොතේ බෙදී වෙන්වී, කැබලි වන්නට වෙර දරණ ලෝකය යළි එක්කරගන්නේ කෙසේද කියාය. ඇයත් ප්‍රංශ ජනාධිපතිවරයාසේම ලෝකයට අමතක නොවන අසමසම ආදරණීය ගැහැණියකි.

ඒකාධිපතිවාදයට කුඩ ඉහළීම

මොස්කව් අහස හඬා වැටුණේ සතුටින්ද, එසේත් නැතිනම් දුකින්ද යන්න දන්නේ එකී වර්ෂාව සමීපව ඇසුරුකළ වුන්ය. ක්‍රොඒෂියානුවන් එය දුක යැයි අර්ථ ගැන්වූවද, ප්‍රංශ ජාතිකයන් සතුටටයැයි අර්ථකථනය කළහ. තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය සිදුවන විට වැටුණු ඒ වර්ෂා දියෙන් බේරීමට රුසියානු රාජ්‍ය නායක ව්ලැද්මීර් පුටින් ගේ හිසට ඉහළින් කුඩයක් අල්ලනු ලැබුවේ රුසියානු ආරක්ෂක අංශ නිලධාරියෙක් විය යුතුය. ඔහු කුඩය යට සිට අත්පොලසන් දෙද්දී ප්‍රංශ ජනාධිපති මැක්රොන් හා ක්‍රොඒෂියානු ජනාධිපතිනී කොලින්ඩා සතුට හා දුක වෙනුවෙන් වට වර්ෂාවේ තෙමුණහ. ඒ වර්ෂාව පුරා මාසයක් රුසියානු බිම උණුසුම් කළ පාපන්දු උණුසුම සමහන් කරන්නට ඇද වැටුණු සොබාදහමේ වර්ෂාවක් ලෙස ව්ලැද්මීර් පුටින් සිතන්නට ඇත.

මෙම සමාප්ති තරගයට ආරාධනා ලැබූ අවසන් මහා තරගයට සහභාගිවූ රාජ්‍යයන් ද්විත්වයේ නායකයන්ට වඩා රුසියානු නායකයා දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති හෙයින් ඔහුගේ හිසට ඉහළින් පළමුව කුඩයක් එසැවිය යුතුයැයි රුසියානු නිලධාරී පන්තිය සිතන්නට ඇත. එහෙත් සිදුවිය යුතුව තිබුණේ තමන්ට කුඩ ඉහළනවා වෙනුවට ආගන්තුක අමුත්තන්ට නොතෙමෙන්නට කුඩ එසැවීමය. එසේත් නැතහොත් කිසිවකුත් කුඩ යටට ආවරණය නොවෙමින් මේ සතුට, දුක හා ස්වාභාවික යැයි සිතෙන වර්ෂාවේ තෙමීමය. එසේත් නැතහොත් තිදෙනාටම එකවර කුඩ ඉහළීමය. එහෙත් සිදුවුණේ වෙනකකි.

සියල්ල වෙනස් වන්නට ගතවන්නේ අසුරු සැණකි. කිරි කළයට ගොම බිංදුවක් මුසු කිරීමට ගතවන්නේ එය දොවන්නට ගතවූ කාලයෙන් එක් නිමේශයකි. රුසියාවේද සිදුවුණේ එයමය. සමාජවාදය තුළ නිලධාරීවාදය පුපුරු ගසන ආකාරය හා ප්‍රජාතන්ත්‍රවාදය තුළ සුගම බව හා සැහැල්ලුව දෝරෙගලන ආකාරය මෙම සිදුවීම් මාලාවෙන් නිර්මිතවෙතැයි ඇතැම්විට කියන්නට හැකිය. මේ කුඩය එසැවුණේ රුසියානු ඒකාධිපතිවාදයට යැයි කියන්නටද පුළුවන. ඒකාධිපතිවාදය රටකට, ලෝකයට නුසුදුසුවන්නේ ඇයිදැයි කියන්නටත් මෙම සිදුවීම අපූරු සාක්ෂියකි. ඒකාධිපතිවාදය ඇතිතැන ඇතිවන්නේ එහෙයියන්ය. බියගැන්වුණු, නිර්මානශීලීත්වයෙන් තොර සුවච කීකරුවූවන්ය. දැන් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට වට වර්ෂාව හමුවේ අපූරු දේශපාලන සමීකරණයක් පිළිබිඹු කෙරුණේය. ඒ ප්‍රජාතන්ත්‍රවාදයටද, සමාජවාදය ආදී සියලු වාද දුරලා ඒකාධිපතිවාදය පෙරට පැමිණි බවය. එය ලෝක කුසලානයේ සමාප්ති උළෙල සම්බන්ධයෙන් සංවිධානයේ පටුබව විද්‍යාමාන කළ ප්‍රබල අවස්ථාවකි. එය ලෝකයට කිසිදා අමතක නොවන බවද ස්ථිරය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා