විෂබීජ ගුහාවක සිට පැමිණි තායි ළමෝ

 ඡායාරූපය:

විෂබීජ ගුහාවක සිට පැමිණි තායි ළමෝ

තායිලන්තයේ ගල්ගුහාවක සිරවී සිටි ළමුන් බේරා ගැනීමේ ප්‍රවෘත්තිය පසුගිය දින කිහිපය පුරාවට කතාබහට ලක්වුණා. ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලගේම ප්‍රමුඛ පුවත බවට පත්ව තිබුණේ මෙම පුවතයි. ‘රැස’ පුවත් පත හරහාත් මේ පිලිබඳ වටිනා ලිපි පලවී තිබුණා. මෙම මෙහෙයුම ලෝකයට පාඩම් කිහිපයක් කියාදුන් මෙහෙයුමක්. ඒ අතර සුවිශේෂම කාරණය වන්නේ එම සිදුවීම් පෙළ තාක්ෂනය, ආපදා මෙහෙයුම් කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා, මාධ්‍ය හැසිරීම යනාදී අංශ කිහිපයක ලොව ලබා ඇති දියුණුව උරගා බැලුණු අවස්ථාවක් වීමයි. මෙම ළමුන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ජාත්‍යන්තර සහයද ඇතිව එරට සෞඛ්‍ය අංශය සිදු කරන මෙහෙයද ඉතා සංකීර්ණ සහ වගකීම් සහිත වූවක්. මේ ගැන සොයා බැලීම අපටත් යම් වටිනාකමක් එක් කරනවා.

සති දෙකකට ආසන්න කාලයක් ගුහාවක් තුළ

පසුගිය සිකුරාදා දින ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර මෙම ළමුන් සහ පුහුණුකරු සති දෙකකට ආසන්න කාලයක් ගුහාව තුළ සිටියා. එයිනුත් දවස් නවයක් බාහිරෙන් කිසිදු උදව්වක් නොමැතිව සිට තිබෙනවා. ඔවුන් ගුහාවේ සිරවූයේ පසුගිය ජුනි 23 වෙනිදා වන අතර ඔවුන්ව සොයා ගත්තේ ජුලි 03 වෙනිදායි. ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය සිකුරාදා දිනයේ සිටයි. අඟහරුවාදා ඔවුන්ව සොයාගන්නා තුරු ඔවුන් සිටි ගුහාව කිසිදු ආලෝකයක් නොමැති, පිරිසිදු පානිය ජලය නොමැති, තෙත් පරිසරයකින් යුක්තයි. ඔවුන් සතුව තිබුණේ එන විට රැගෙන ආ කෙටි ආහාර පමණයි. මෙම දරුවන් පිරිස අවුරුදු 11 සහ 16 අතරත් පුහුණුකරු අවුරුදු 25 කුත් වුණා.

යම් කෙනෙක් එවැනි පරිසරයක දීර්ඝ වෙලාවක් සිටින විට ඔවුන්ගේ දේහ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. මින් වඩාත්ම බැරෑරුම් වෙනස්කම් ඇතිවන්නේ දේහ උෂ්ණත්ව නියාමනයේ සහ ප්‍රතිශක්ති පද්ධතියේයි. සීතල පරිසරයක සිටින විට දේහ උෂ්ණත්ව නියාමනය ක්‍රමයෙන් අඩපණ වී සිරුරේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහත වැටී අඩු දේහ උෂ්ණත්ව තත්වයට පත්වනවා. මෙය හඳුන්වන්නේ හයිපොතර්මියා (hypothermia) ලෙසයි. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමේදීත් පැය පහක පමණ කාලයක් පුරා දිය තුළ කිමිදෙමින් ගත කරන නිසා දේහ උෂ්ණත්වය පහත වැටෙනවා. මෙම අඩු උෂ්ණත්වයේදී දේහය තුළ අනෙක් සියලු පද්ධති එනම් රුධිර සංසරණය, ස්වසනය, ආහාර දිරවීම ආදී, අඩපණ වෙනවා. මෙම පද්ධති අතර තිබෙන ප්‍රතිශක්ති පද්ධතිය අඩපණ වීම නිසා ශරීරයට පිටතින් පැමිණෙන රෝගකාරක විෂබීජවලට මුහුණ දීමට ඇති හැකියාව දුර්වල වෙනවා.

ගල්ගුහාවක් යනු විෂබීජ ගුහාවක් !

සාමාන්‍යයෙන් ගල් ගුහාවක් තුළ තිබෙන පරිසරය අනෙක් පරිසරවලට වඩා හාත්පසින්ම වෙනස් නිසා එම පරිසරය තුළ වෙසෙන විෂබීජවල ස්වභාවයද වෙනස්. සාමාන්‍ය පරිසරයේ නිතර අපට මුණ නොගැසෙන ක්ෂුද්‍ර ජීවින් බොහොමයක් ගුහා තුළ සිටිනවා. මියන් සහ වවුලන් යනු එවැනි පරිසරයක සුලබ ජීවි කොට්ටාශ දෙකක්. මොවුන් හරහා සම්ප්‍රේෂණය වන බැක්ටීරියා, වයිරස බොහොමයක් තිබෙනවා. තවම හඳුනා නොගත් රෝගකාරක ක්ෂුද්‍ර ජිවිනුත් මෙවැනි පරිසරවල සිටිය හැකි යැයි ඇතැම් විද්‍යාඥයින් මත පළ කරනවා. සමහර අවස්ථාවල වයිරස් වැනි රෝග කාරක අධ්‍යයන සඳහා විද්‍යාඥයින් ගුහා තුළ ජිවත් වන වවුලන් යොදා ගැනීමත් සිදු කරනවා. දරුවන් සති දෙකක් පමණ ගත කළ ගුහාව තුළත් එවන් රෝග කාරකයින් සිටිය හැකියි. මෙම කාල සාමය තුළ ඔවුන් සිටියේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු අපිරිසිදු වාතයේ යි. එසේ සිටින අතරතුර වවුලන්, මීයන් වැනි සතුන්ගේ අපද්‍රව්‍යවලින් බැහැර වන විෂබීජ වලට ඔවුන් නිරාවරණ වීම අනිවාර්ය කරුණක්. විශේෂයෙන් ඔවුන් ගුහාව තුළ ඇති ජලය පානය කළ බව පැවසෙනවා. මෙම ජලය තුළත් රෝග කාරකයින් සිටිය හැකියි.

එවන් නිරාවරණයවීම්වලින් ඔවුන්ට වැලඳීමට අවදානම ඇති විශේෂ රෝග කිහිපයක් කෙරෙහි තායි සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා.

හිස්ටෝප්ලාස්මෝසිස් හෙවත් cave disease

මෙම රෝගය ඇති කරන්නේ හිස්ටෝප්ලාස්මා කැප්සියුලාටම් (Histoplasma capsulatum) නම් දිලීර විශේෂයක් විසින්. මෙම දිලීරය ගංගා අසබඩ ඇති ගල් ගුහා ආශ්‍රිතව සුලබයි. වවුලන්ගේ සහ කුරුල්ලන්ගේ වසුරු ඇති තෙත් පස්වල දිලීරය වැඩි ගහනයක් පෙන්වනවා. විශේෂයෙන් වවුලන්ට මෙම දිලීරය ආසාදනය වී ඔවුන්ගේ මලපහ හරහා ව්‍යාප්ත වීමක් සිදු වෙනවා. මෙම රෝගයට cave disease නැතහොත් ගුහා රෝගය යන නම පටබැඳි ඇත්තේ මුලින්ම 1948 දී මෙම රෝගය හඳුනා ගෙන ඇත්තේ ඇමෙරිකාවේ ආකැන්සා ප්‍රදේශයේ දඩයමේ ගොස් අතරමන් වූ පිරිසක් වෙත වැළඳීමෙන් පසුවයි. ඔවුන් අතහැර දමා තිබු පතුළක දින කිහිපයක් ගත කර තිබුණා.

මෙම රෝග කාරකය ඇතුළු වන සාමාන්‍ය පුද්ගලයින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. නමුත් ප්‍රතිශක්තිය හීන වූ කෙනෙකුට මෙය ශරීර ගත වුවහොත් භයානක ප්‍රතිපළ පෙන්විය හැකියි. ඒ අතරට නියුමෝනියාව, ස්වසන අපහසුතා වැනි මරණීය තත්ත්ව පවා වෙනවා.

මෙලියෝයිඩෝසිස් (Melioidosis)

මෙහි රෝග කාරකයා බර්කෝල්ඩෙරියා සියුඩෝමැලි (Burkholderia pseudomallei) නම් බැක්ටීරියා විශේෂයයි. මෙම රෝග කාරකයත් බහුලවම දක්නට ලැබෙන්නේ තෙත් අඳුරු පරිසරවලයි. සිරුරේ ඇති සියුම් තුවාලවලින් හෝ බැක්ටීරියාව සහිත දුහුවිලි ආශ්වාසයෙන් මොවුන් සිරුරට ඇතුළු විය හැකියි. ප්‍රමුඛව පෙනහළු ආසාදනයෙන් නියුමෝනියාව හෝ පෙනහළු තුළ සැරව ගෙඩි (abscess) බවට පත්වීම සිදු වේ. නමුත් රෝගය දරුණු වූ විට බැක්ටීරියාව රුධිරය හරහා ගමන් කර සිරුරේ අනෙක් අවයවත් ආසාදනය කරනවා. තායිලන්තයද ඇතුළු ගිනිකොණ දිග ආසියාවේ මෙම බැක්ටීරියාව සුලභයි. මේ නිසා තායි දරුවන්ටද මෙය ශරීර ගත වී ඇතිදැයි වෛද්‍යවරුන් විශේෂ සලකනු නොඅනුමානයි. මෙම බැක්ටීරියාවේ විශේෂත්වය නිසාම ඇතැම් අවස්ථාවල ත්‍රස්තවාදී අවියක් ලෙසත් යොදා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කර තිබුණා.

මී උණ (Leptospirosis)

ලංකාවෙත් මෙම රෝගය ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. මෙය ඇති කරන්නෙත් ලෙප්ටොස්පයිරා නම් බැක්ටීරියාවක් මගින්. මෙම බැක්ටීරියාව ගෙන යන ප්‍රධාන වාහකයෙක් වන්නේ මීයන්. මියන්ගේ ශරීර තුළ සිටින බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍රා හරහා ජලයට හෝ තෙත පස්වලට එකතු වී සති ගණන් විනාශ නොවී සිටිය හැකියි. එම ජලය පානයෙන් හෝ සමේ සීරුණු ස්ථාන හරහා මිනිස් ශරීරයට ඇතුළු විය හැකියි. ගුහා තුළ මීයන් විශාල වශයෙන් සිටින නිසා ඔවුන්ගේ මුත්‍රා ගුහාවේ ජල මුලාශ්‍රවලට එකතු වී තිබීමට ඉඩ තිබෙනවා. සිරවී සිටි ළමුන් එවැනි ජලය පානය කළ බව පැවසෙන නිසා ඔවුන් මි උණ රෝගකාරක බැක්ටීරියාවට නිරාවරණය වී තිබිය හැකියි. මී උණ රෝගයේ භයානකකම වන්නේ එය වකුගඩු, අක්මාව, හෘදය, පෙනහළු වැනි වැදගත් අවයවවල දරුණු සංකුලතා ඇති කරන නිසයි. නමුත් මුල් අවස්ථාවේදීම රෝගයට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා ගතහොත් සම්පුර්ණ සුවය ලැබිය හැකියි. මඩ සහිත කුඹුරු, ගංගා, ඇළ දොළ වැනි අවදානම් සහිත ස්ථානවලට යාමට පෙර රෝග වලක්වා ගැනීම සඳහා වන ඖෂධ ලබා ගතහොත් රෝගය වැළඳීමේ අවදානම අඩු කරගැනීමටත් පුළුවන්.

මානසික බලපෑම

අතරමන් වූ දරුවන් සියලු දෙනා දැඩි ආත්ම විශ්වාසයකින් සිටි බවත් පුදුම එලවනසුලු ධෛර්යයවන්ත බවක් පෙන්වූ බවත් ඔවුන් සමග කතා බස් කළ ගලවා ගැනීමේ කණ්ඩායමේ නොයෙක් දෙනා ප්‍රකාශ කර තිබුණා. එවැනි තත්වයකට මුහුණ දීම සඳහා මානසික වශයෙන් ශක්තිමත් වීම වැදගත් වෙනවා. නමුත් මේ කාල පරිඡේදය තුළ ඔවුන් මුහුණ දුන් සිදුවීම් දාමය මානසික වශයෙන් වවිධ ගැටලු සහගත තත්ත්ව ඇති වීමට හේතු විය හැකි බව මනෝ වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. විශේෂයෙන් විෂාදය (depression), අනතුරෙන් පසු ඇතිවන කළමථය (Post-traumatic stress disorder), කාංසාව (anxiety) වැනි මානසික ව්‍යාධි ඇතිවීමේ අවදානමක් තිබෙනවා. අනාගතයේදී අඳුරු පරිසරයන්වලට යොමු වන විට, තනියම සිටින විට මෙන්ම ඒ ගැන විමසන විට තමන් මුහුණ දුන් අත්දැකීම් යළි යළිත් සිහිපත් වීමත් එමගින් දෛනික ජිවිතයේ විවිධ අපහසුතාවලට මුහුණ දීමටත් ඔවුන්ට සිදු වෙවි. මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ ක්‍රමානුකුලව ඔවුන්ව එම තත්ත්වවලට නිරාවරණය කිරීමෙන් එම අවදානම් මග හැර යා හැකි බවයි.

රෝහල තුළ අභියෝග

මේ වනවිට එම දරුවන් සහ පුහුණුකරු සිටින්නේ රෝහල තුළයි. රෝහල තුළත් බාහිර පරිසරයෙන් හුදෙකලා කර නිරෝධායන (Quarantine) තත්ත්ව තුළයි ඔවුන් සිටින්නේ. දෙමාපියන්ටත් ඔවුන්ට බැලීමට හැකි වන්නේ වීදුරු කවුළුවක් හරහා පමණයි. මෙසේ නිරෝධායන තත්වයක සිටීමට හේතුව ඔවුන් ඔක්සිජන් අඩු, සීතල පරිසරයක දුර්වල පෝෂණ තත්වයක සිටි නිසා ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයකින් අඩපණ වී ඇති නිසයි. එවැනි තත්ත්වයකදී බාහිර පරිසරයෙන් එන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක් වුවත් දරුණු ප්‍රතිවිපාක ඇති කරනවා. එම නිසා එවැනි රෝග කාරකවලට නිරාවරණය නොවී, ප්‍රතිශක්තිය යථා තත්වයට පත්වන තුරු සිටිය යුතු වනවා. මීට අමතරව පෙර සඳහන් කළ රෝග කාරක ශරීර ගත වී ඇති දැයි සොයා බැලීමත් සිදු වෙනවා. දරුවන්ගේ මානසික තත්වය පරික්ෂා කිරීම සඳහා මනෝ උපදේශකයින් සහ මනෝවෛද්‍ය වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද සුදානම් කර තිබෙන බව සඳහන්.

වාර්තාවන ආකාරයට ළමුන් තුන් දෙනෙක් සුළු පෙනහළු ආසාදන තත්වයක් පෙන්නුම් කරනවා. අනෙක් අය දුර්වල පෝෂණ තත්වය හැරුණු විට වෙන සෞඛ්‍ය ගැටළු පෙන්වන්නේ නැහැ. ඔවුන් දැන් සාමාන්‍ය ආහාරවලට ක්‍රමානුකුලව යොමු කිරීම සිදු වෙමින් පවතී. තවත් සතියකින් පමණ ඔවුන්ට රෝහලෙන් පිටව යා හැකි වනු ඇති.

ආපදා තත්වයක් සමග ගැටගැසුණු සෞඛ්‍යමය කාරණා ගැන ලෝකයේම අවධානය යොමු කළ තායිලන්ත සිදුවීම් දාමය ක්‍රමයෙන් අවසන් වෙමින් තිබෙනවා. එයින් ගත හැකි පාඩම් මෙන්ම ගවේෂණය කිරීමට ඇති නොදන්නා කරුණු බොහොමයකට මග විවරව තිබෙනවා. දිනෙන් දින සෞඛ්‍ය ක්ෂේත්‍රය කොතෙක් දියුණු වුවද ස්වභාවධර්මයෙන් පැන නගින ගැටලුවලින් ඉගෙන ගන්නා දේ අනාගතයට විශාල ආයෝජනයක් විය හැකියි.

[වෛද්‍ය හසිත උදලාගම]

මාතෘකා