ලොතරැයි ජය අනුන්ගේ සතුටට කැප කළ දේවදූතිය

 ඡායාරූපය:

ලොතරැයි ජය අනුන්ගේ සතුටට කැප කළ දේවදූතිය

රේචල් ලැපියර්

"සතුට කියන්නේ, ඒක බෙදෙන මොහොතෙදි වැඩි වෙන දෙයක්" බ්‍රසීලියානු ලේඛක පාවුලෝ කොයියෝ

ඔව්. සතුට කියන්නෙ බෙදෙන මොහොතෙදි වැඩි වෙන දෙයක් තමයි. තමන්ට විතරක් විඳින්න පුලුවන් සතුට එහෙම තමන් විතරක් නොවිඳ බෙදාහදාගෙන විඳින මහා පරාර්ථකාමී මිනිස්සු මෙි ලෝකෙ ඉන්නව. රේචල් ලැපියර් කියන්නෙ එහෙම කාන්තාවක්. එයා ජීවත්වුණේ කැනඩාවෙි මොන්ට්‍රියල් ප්‍රාන්තයේ. එයා වෘත්තියෙන් සෞඛ්‍ය සේවිකාවක්. ඒ වගේම එයා තමයි 1982 දි මොන්ට්‍රියල් වල රෑප රැජිණිය. අපි දන්නව රෑප රාජිණියක් කිව්වහම මොනවගේ ලෝකයකද එයාල ජීවත්වෙන්නෙ, මොනවද එයාලට අවශ්‍ය සහ අත්‍යවශ්‍ය දේවල් කියල. මෙි රේචල් ලැපියර් කියන්නෙ බොහොම දුක්විඳපු පහළ මධ්‍යම පන්තියක ඉපදුණු තවමත් ඒ පන්තියේම ජීවත්වන ගැහැණියක්. දවසක්, නොසිතූ විදිහට කැනඩාවෙ දිනුම් අදින ලොකුම ජයමල්ලක් තියන ලොතරැයියක් එයාට ඇදෙනවා. ඒ 2013 අවුරුද්දෙ දවසක. ඒක ඇදිච්ච පුද්ගලයාට මුලු ජීවිත කාලයටම හැම සතියකම එයා මිය යනකන් ඩොලර් 1000 ක් දෙනව එම ලොතරැයි ආයතනය. ඒක දැවැන්ත මුදලක්. ලංකාවෙ මුදලින් නම් මාසෙකට ලක්ෂ 7 ක් වගේ.

මේක ඇදිච්ච ගමන් එයා හෙද සේවයෙන් අයින් වුණා. දැන් ඇයට අලුත් ගෙයක්, අලුත් කාර් එකක්, වටිනා ඇඳුම් පැළඳුම් ගන්න ඕනන තරම් අවස්ථාව. නමුත් රැචල් කල්පනා කළා එයා විඳපු දුක්කන්දරාව.

"දැන් සතුටෙන් ඉන්න පුලුවන් තමයි. නමුත් හොඳ නැද්ද මෙි සල්ලි තවත් අයගේ සතුට වෙනුවෙන් වියදම් කරන්න. අපි ඉපදුණේ සල්ලි නැතිව. අපි මැරෙනකොට සල්ලි අරන් යන්නෙත් නැහැ. ඒත් අපි මැරෙන මොහොතේ අපිට මතකයට එන්නේ අපි කරපු හොඳ විතරයි. අපි මලාට පස්සෙ මෙි සමාජය මතක තියාගන්නෙත් අපේ හොඳ මිසක් අපේ සල්ලි නෙවෙයි."

එහෙම හිතපු රේචල් තීරණය කරනව සතියකට මෙි ලැබෙන ‍ඩොලර් 1000 නැති බැරි අයගේ අවශ්‍යතා වෙනුවෙන් බෙදා දෙන්න. ඊට පස්සෙ, හැම සතියකම එයාට ලැබෙන මුදල් වලින් එයා මුළු මොන්ට්‍රියල් ප්‍රාන්තයෙම දුප්පත් දරුවන්ට පොත්පත් ඇඳුම් පැළඳුම් සෙල්ලමි බඩු අරන් දෙන්න පටන් ගත්තා. දුප්පත් තරුණියන්ට ඇවිත් ඒකෙන් ඉගෙනගෙන මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියාවක් හොයාගන්න, කියුබෙක් වල මෝස්තර විලාසිතා පාසැලක් පටන් ගත්තා.

තවත් ටිකක් කල් යනකොට එයාට හිතුණා. කැනඩාවෙ දුප්පත් මිනිස්සුනට වඩා දුක් විඳින රටවල් ලෝකෙ තියෙනව. වඩා හොඳයි මම එහෙම රටවල් වල දරුවන්ට මිනිස්සුන්ට උදවි කරන එක කියල. එයා ඉස්සෙල්ලම ගියා සෙනගාලයට. ඊට පස්සෙ හයිටියට. එයා ඒකට Le Book Humanitaire කියන මානව සංවිධානයෙන් වෛද්‍ය ආධර කණ්ඩායමක් එක් කර ගත්තා. දැන් රේචල් ලැපියර් වයස 52යි. මෙි දවස්වල එයා ඉන්නෙ ඉන්දියාවෙ කල්කටා නුවර. තනියෙන් නෙමෙයි, එයාගෙ වෛද්‍ය සායන කණ්ඩායමත් එක්ක. රේචල් කල්කටාවෙ පාලම් යට, පදික වෙිදිකාවේ, දුමිරිය ස්ථානයේ නිවාස අහිමි අයට තුවාල වලට වගේම සාමන්‍ය ලෙඩට දුකට බෙහෙත් කරනවා. කන්න බොන්න දෙනවා. පාසැල් ළමයින්ට ඇඳුම් පැළඳුම් දෙනවා. හිටපු ගමන් පදික වේදිකාවේ ජීවත්වෙන ළමයි කණ්ඩායම් එක්කගෙන එයාලට සාප්පු ගානෙ ඇවිදලා, අලුත් ඇදුම් අරන් දීලා, චිත්‍රපටියක් වගේ දෙයක් පෙන්නලා සතුටු කරනව. කල්කටාවෙ පදික වේදිකාවල, පාලම් යට දුගී පැල්පත්වල ජීවත්වෙන මිනිස්සුන්ට දැන් මේ සුදු ගැහැණිය දේවාතාවියක්.

"මේක මට මුලු කල්කටාවට දෙන්න බැරි විත්තියත් හැමදාම දෙන්න බැරි විත්තියත් මම දන්නව. නමුත් මගේ ජීවිත කාලයටම සතියකට ලැබෙන ඩොලර් දහස මම මේ මිනිස්සුන්ගෙ අවශ්‍යතාව සඳහා වියදම් කරනවා.

මම වෙන කාගෙවත් සල්ලි මෙි වැඩේට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අලුත් ගෙයක් අලුත් කාර් එකක් ගත්තොත්, මට සතුටක් දැනෙයි. නමුත් මම ඔබේ සතුට වෙනුවෙන් ඒ හිස් දේවල් අතඅරිනවා.

මම මගේ රැකියාවෙන් අයින්වෙලා ඉන්නේ. ඉතින් මට සමාදානයෙන් සැතපෙන්න මේ මතකයන් ඇති. මම මේක කියන්නෙ මගේ හදවතින්."

රේචල් එහෙම කියනවා.

තමන්ගේ සතුටට වඩා අනුන්ගේ සතුට වෙනුවෙන් තම ජීවිතයද, මුදල්ද කැප කළ රේචල් ලැපියර්, ඔබ විශිෂ්ට මානව හිතවාදිනියකි.

දිගු කලක් සතුටෙන් ජීවත්වෙන්න, අනෙකා‍ව ද සතුටු කරමින්.

[උපාලි ජයසිංහ]

මාතෘකා