ජී-20 සමුළුවේ අතිරේක ප්‍රතිඵල

 ඡායාරූපය:

ජී-20 සමුළුවේ අතිරේක ප්‍රතිඵල

20 දෙනාගේ කණඩායමේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවේ 13 වන වාර්ෂික රැස්වීම පසුගිය 30 සහ 01 යන දෙදින තුළ ආර්ජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවරදී පැවැත්විණි.

ලොව සියලු තටයුතුවලදී ප්‍රමුඛත්වය ගන්නා සහ වැඩිම දායකත්වයක් දරන රටවල් 19 සහ යුරෝපා සංගමය මෙම 20 දෙනාට අයත් වෙයි. ලොව ජනගහණයෙන් සියයට 85ක් සහ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් දෙකක් ඉක්මවන ප්‍රමාණ නියෝජනය කරන්නේ මේ විසි දෙනා විසින් වන බැවින් එය ඉතා වැදගත් සංවිධානයක් බවට වෙනත් හැඳින්වීමක් අවශ්‍ය නැත. එම 19 මෙසේ ය: ඔස්ට්‍රේලියාව, කැනඩාව, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, රුසියාව, දකුණු අෆ්‍රිකාව, තුර්කිය, ආර්ජෙන්ටිනාව, බ්‍රසීලය, මෙක්සිකෝව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් රාජධානිය, චීනය, ඉන්දුනීසියාව, ජපානය සහ දකුණු කොරියාව. මේ රටවල් කාණ්ඩ පහක් ලෙස ක්‍රියාත්මකය.

නිත්‍ය ආරාධිතයා ලෙස ස්පාඤ්ඤය සෑම සමුළුවකටම සහභාගි වෙයි. ඊට අමතර වශයෙන් යුරෝපා කවුන්සිලය, යුරෝපා මහ බැංකුව වැනි සංවිධානවලටද ඇරයුම් කරනු ලැබේ.

90 දශකයේ පැවැති ගෝලීය ආර්ථික අවපාතයට පිළියම් සෙවීම සඳහා මේ රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවක් මුලින්ම කැඳවන ලද්දේ 1999 වසරේය. එය 2008 දී ‘විසි දෙනාගේ කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුව’ බවට පත් විය. රාජ්‍ය නායකයන්ට අමතරව ඒ ඒ රටවල මුදල් අමාත්‍යවරුන් මෙන්ම විදේශාමාත්‍යවරුද මෙයට සහභාගි වෙති.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් කිහිපයක්ම මෙයට අයත් වන අතර පංච මහා බලවතුන් මෙන්ම විවිධ හේතු මත සංවිධානගත වෙනත් කණ්ඩායම් තුනක්ද මෙහි ඇතුළත්ය. ඉන් එකක් සත් දෙනාගේ කණ්ඩායමයි. (G-7) එහි සම්පූර්ණ සාමාජිකත්වයම ඒ කියන්නේ කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ එක්සත් රාජධානියද, බ්‍රික්ස් නමැති හවුලේ (BRICS) සාමාජිකයන් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අෆ්‍රිකාවද, මික්ටා නමැති එකමුතුවේ (MIKTA) සාමාජිකයන් වන මෙක්සිකෝව, ඉන්දුනිසියාව, කොරියාව (දකුණ), තුර්කිය සහ ඔස්ට්‍රේලියාවද යන රාජ්‍ය මෙය තුළ වෙන් වෙන් වශයෙන් සාමාජිකත්වය දරති.

වෙනදා කතා සාප්පුවක් ලෙස සැලකෙන මෙම රැස්වීම ගැන මෙවර ඊට වඩා වෙනස් ආකාරයකින් පෙර සිටම අදහස් පළ කරනු ලැබීම තරමක් වෙනස් දෙයකි.

ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයය තුළදී ඝාතනය වුණු මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ අවතාරය සැරිසරන බව ප්‍රකටය. මීට වගකිව යුතුයැයි සීඅයිඒ විසින් පවා නම් කොට සිටින සෞදි අරාබියේ තත්ත්වාකාර පාලක මොහමඩ් බින්-සල්මාන් (MbS) ආවොත් ‘හොඳවායින් දෙකක් කතා කරනවා’යි බටහිර නායකයන් දෙතුන් දෙනෙකුම පවසා තිබිණි. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඒ ගැන එම්බීඑස් විමසූ අතර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැන්වූ බව ද එම්බීඑස් ‘එහෙමයි’ යනුවෙන් පිළිවදන් දුන් බවද සඳහන්ය. රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුතින් ද ඒ ගැන ඔහුගෙන් සුහදව කරුණු විමසා ඇත.

චීනයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ප්‍රකාශ කොට තිබිණි. ඒ දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධයට අදාළවය. මේ හේතුවෙන් හොඳහිත පළුදු වී මාස කිහිපයක් ගතවෙතත් දෙරට ජනාධිපතිවරුන් අතර ඒ ගැන සාකච්ඡාවක් පැවැත්වුණේ නැත. කෙසේවෙතත් මේ කාරණය සම්බන්ධයෙන් දෙරටම සිටින්නේ ආපසු හැරෙන්නට නොහැකි ක්‍රියා මාර්ගවලට එළැඹී බව පැහැදිලිය. මේ වනවිට ලොව අංක 1 සහ 2 ආර්ථික අතර පවතින මේ විරසකය මුළු ලොවටම බලපායි. මේ මාස තුනෙන් පසු දිනුම්-දිනුම් එකඟතාවලට පැමිණෙනු දැකීම යහ ප්‍රාර්ථකයන්ගේ අපේක්‍ෂාව වෙයි.

දෙසම්බර් 01 දින සමුළුව අවසන් වීමෙන් පසු දෙරට නායකයන් සහ නිලධාරීන් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇති අතර ඉන් අනතුරුව දෙරට අතර සාකච්ඡාවක් පැවැති බවත් එයට පැය දෙකක පමණ කාලයක් ගත වූ බවත් වාර්තා වෙයි. එම සාකච්ඡාවෙන් පසු එකඟතා කිහිපයකට එළැඹි බව සඳහන්ය. චීනයෙන් අමෙරිකාව ගෙන්වන භාණ්ඩවලට පනවා ඇති තීරුබදු ක්‍රියාත්මක කිරීම දින 90කින් කල් දැමීම ඒ අතරින් ප්‍රමුඛය.

ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති පුතින් අතරද හමුවක් පැවැත්වීමට කලින් සැලසුම් කොට තිබුණත් එය අවලංගු කරන ලද බව සමුළුව පැවැත්වෙන්නට දින දෙකකට කලින්ම ධවල මන්දිරය නිවේදනය කළේය. ඊට හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේන නැව් තුනක් රුසියානු මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව ඉදිරිපත් කරමින් සිය භාරයට ගැනීමය. එහෙත් වොෂින්ටන් පෝස්ට් පෙන්වා දෙන්නේ සත්‍ය හේතුව එයම නොවන බවයි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි. එසමයේ ඔහුගේ සමාගම මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයට නුදුරින් නිව්යෝක් හි ඇති මොඩලයේ ට්‍රම්ප් ටවර් එකක් ගොඩ නගමින් සිටියේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටත් ඔහු එම කටයුතුවලින් ඉවත්ව සිට නැත. 2016 ජනාධිපතිවරණයේදී රුසියානුවන් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය උදෙසා ප්‍රතිවාදී අපේක්ෂාකාව වූ හිලරි ක්ලින්ටන්ට එරෙහිව සයිබර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව පසුව අනාවරණය විය. මෙයට ගූග්ල් සෙවුම් ජාලය මෙන්ම කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සේවා සපයන සමාගමක්ද විකිලීක්ද පටලැවී සිටියි. අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලයේ විශේෂ අනුකමිටුවක් විසින් පවත්වන ලද පරීක්‍ෂණයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර පසුගිය මාසයේ පැවැති අන්තර්වාර මැතිවරණයෙන් සෙනෙට් සභාවේ වැඩි බලය ඩිමොක්‍රැට්ක් පක්‍ෂයට හිමි වූ පසු දැන් වඩාත් තියුණු වෙමින් පවතියි. ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥයා ව සිටි මයිකල් කොහෙන් ප්‍රශ්න කිරීම සඳහා නැවත එය විසින් කැඳවන ලද අතර ට්‍රම්ප් ටවර් සෑදීමේ ව්‍යාපෘතියෙන් ජනාධිපතිවරණය වනවිට ට්‍රම්ප් ඉවත් ව සිටියේයැයි තමා පෙර අවස්ථාවකදී සෙනෙට් මණ්ඩලය හමුවේ බොරු කී බව පිළි ගත්තේය. මෙය ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන එන්නට තරම් බලවත් කාරණාවකි. වොෂින්ටන් පෝස්ට් පෙන්වා දෙන මෙම හේතුව ධවල මන්දිරය විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව සමග අත්සන් තබා තිබුණු නැෆ්ටා (NAFTA) යන කෙටි නාමයෙන් හැඳින්වුණු උතුරු අමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම අවලංගු කොට එක්සත් ජනපද - මෙක්සිකෝ - කැනඩා ගිවිසුම (USMCA) අත්සන් තැබීම නොවැම්බර් 30 දින ඨ20 සමුළුව පැවැති පරිශ්‍රයේ දී සිදුවිය. නැෆ්ටා ගිවිසුමෙන් අමෙරිකා එක්සත් ජනපදයට වෙළෙඳ අවාසියක් සිදු වේයැයි පවසමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදය එම ගිවිසුමෙන් ඉවත් වන බව පසුගිය සැප්තැම්බර් මාසයේ දැනුම් දුන්නේය. ඒ අවස්ථාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ එම ප්‍රකාශය සහ නිගමන අනෙක් පාර්ශ්වකරුවන්ගේ දෝෂදර්ශනයට ලක් වූ නමුත් සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගන්නට ඔවුහු සමත් වූහ. එදින අත්සන් තබන ලද්දේ පාර්ශ්ව තුනටම සාධාරණ රටවල් තුන විසින්ම එකඟවන ලද ගිවිසුමක් බව පැවසේ.

මෙවර න්‍යාය පත්‍රයට ගෝලීය දේශපාලනය, මූල්‍ය පාලනය, ගෝලීය ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්ති සහ ලතින් අමෙරිකානු කලාපයේ සංවර්ධනය යන කරුණු අන්තර්ගතව තිබිණි. මේ වන විට ලොව පුරා අවධානය දිනා ඇති දේශගුණ විපර්යාස පිළිබඳවද සාකච්ඡා කොට ඇති අතර පැරිස් සම්මුතිය වැඩි බරක් තබා ක්‍රියාත්මක කිරීම පිළබඳව අවසාන නිවේදනයට ඇතුළත් කරන්නට අමෙරිකා එක්සත් ජනපදය හැර අනෙක් 19 දෙනාම එකඟ වූ බව සඳහන්ය.

අමෙරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් බැහැර වීම පුනර්වාචනය කරමින් සිටිනා බවත් එහෙත් පැරිස් සම්මුතිය යනු ආපසු හැරවිය නොහැකි එකඟතා මාලාවක් බවත් දෙසැම්බර් 01 දින ඉදිරපත් කොට ඇති සමුළුවේ අවසන් නිවේදනයට ඇතුළත් කරනු ලැබ ඇතැයි පැවසේ.

ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත්තේ මේ කාරණයට අදාළව සිය රටට එරෙහි සන්ධානය දැන් වැරහැලි වෙමින් පවතින බවයි. රැකියා අවස්ථා නැති කරන මෙම සම්මුතියට විරෝධය දක්වන රටවල් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. එය තමන් ලද ජයග්‍රහණයකි. උදාහරණයක් ලෙස රුසියාව, සෞදි අරාබිය සහ තුර්කිය යන රාජ්‍ය ඊට එරෙහි බවත් ආරම්භයේ දී ඔවුන් විරුද්ධව සිටියත් අත්සන් තැබූ බවත්ය. කෙසේවෙත් එම රාජ්‍ය තමන් එම සම්මුතියෙන් බැහැර වන බව මෙතෙක් දන්වා හෝ අදහස් ඉදිරිපත් කොට හෝ නැත.

මාතෘකා