ඇමෙරිකා-ඉරාන සීතල යුද්ධය : ට්‍රම්ප් - රඋහානි හමුවක් නෑ

 ඡායාරූපය:

ඇමෙරිකා-ඉරාන සීතල යුද්ධය : ට්‍රම්ප් - රඋහානි හමුවක් නෑ

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට තර්ජනය කළ විට මුල දී කට ගැහුවත් යටත්වීම හැර අන් මඟක් එහි නායකයාට නොතිබිණි. කොමියුනිස්ට් පාලනයක් සහිත උතුරු කොරියාවේ විදෙස් ප්‍රතිපත්ති ජාත්‍යන්තරය සමග නොසීහීමත්, එරට ආර්ථික වශයෙන් බලවත් ආස්ථානයක නොසිටීමත් ඊට ප්‍රතිලෝම වශයෙන් ප්‍රතිවාදියා වන දකුණු කොරියාව ලොව අනෙක් රටවල් සමග සමෝධානයකින් පසුවීමත් ඊට බලපෑ ප්‍රධාන හේතු අතර වේ. මේ නිසා එක්සත් ජාතීන්ද සිටියේ උතුරු කොරියාව සමග නොරිස්සුමකිනි. උතුරු කොරියාව යනු ෆොසිල ඉන්ධන සහ ඛනිජ වැනි අපනයනය කළ හැකි වටිනා අමුද්‍රව්‍ය සහිත රටක් නොවේ. ඒ නිසා එවැනි තත්ත්වයකට මුහුණ දීමේ දී ඔවුන්ට වන අවාසි බොහෝය.

ඉරානයේ න්‍යෂ්ටික අවි ඇතැ’යි යන සැකයෙන් අමෙරිකාව නිරතුරු පෙළෙයි. සිය න්‍යෂ්ඨික පර්යෙෂණ අවි සඳහා නොව බල ශක්තිය සඳහා බව ඉරානය කොතෙක් කීවත් අමෙරිකාව නොපිළිගන්නේ එහෙයිනි.

පංච මහා බලවතුන් සහ ජර්මනිය විසින් ඉරානය සමග 2015 අග භාගයේදී අත්සන් තබන ලද ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම (JCPOA) හෙවත් ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’ නම් වන ගිවිසුමෙන් අමෙරිකා එක්සත් ජනපදය මීට මාස දෙකකට පෙර ඉවත් විය. ගිවිසුම ප්‍රකාරව සියලු කටයතු කෙරී ගිය බව ගිවිසුමට අත්සන් කළ අනෙක් රටවල සහ එක්සත් ජාතීන්ගේ පරමාණු බල ශක්ති අධිකාරියේ පිළිගැනීම වුවත් අමෙරිකාව එසේ ඉවත් වූයේ සම්බාධක නොපැනවීම නිසා ලැබුණු වාණිජ වාසියෙන් ප්‍රයෝජන ගනිමින් ඉරානය තමන් නසන්නට අවි නිපදවන්නේ යැ’යි

ප්‍රකාශ කරමිනි. ඉන්පසු අමෙරිකාව දිගින් දිගටම ඉරානයට එරෙහිව කටයුතුවල නිරත ව සිටියි. එහිදී ඔවුනට එරෙහිව සම්බාධක පනවා ඇති අතර ඒවා මේ මාසයේ ක්‍රියාත්මක වනු ඇත. ගිවිසුමට සම්බන්ධිත අනෙක් රටවල් කොපමණ විරෝධය පෑවත් අමෙරිකාව ඒවාට නොසවන් වැ සිටියි.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින විරසකය අලුත් මුහුණුවරකින් නොබෝදා නැවත මතුපිටට ආයේය.

ජනාධිපති ට්‍රම්ප් ජුලි 23දා උදෑසන ටිවීටර් සටහනක් තැබීය. කැපිටල් අකුරුවලින් ලියැවුණු එහි අරුත මෙසේ ය: ‘ඉරාන ජනාධිපතිවරයා වෙතටයි. ටෙහෙරාන් නැවත කිසිදා එක්සත් ජනපදයට තර්ජනය නොකළ යුතුයි. නැත්නම් ඉතිහාසය පුරා විඳ වූ ආදිනවවලින් පීඩා විඳින්නට සූදානම් විය යුතුයි. අප නුඹලාගේ මරණීය තර්ජනවල වියරු හුණු වචනවලට බයේ සිටින රටක් නොවෙයි. ප්‍රවේසම් වෙයල්ලා’

ඉරාන විදේශාමාත්‍ය ජවාඩ් ශරිෆ් ඊට පිළිතුරු බැන්දේ මෙසේ ය: ‘එක්සත් ජනපදයේ කෝපය අපට ගාණක් නැත. මීට වඩා කටුක දේ මාස කිහිපයකට පෙර ලොවටම අසන්නට ලැබුණා. ඉරානය පසුගිය අවුරුදු 40 මුළුල්ලේ ම මෙවැනි දෑ අසා තිබෙනවා. සමහර රටක සමස්ත ආයු කාලයට වඩා අධික කලක් පැවැති අපේ අධිරාජ්‍යයද ඇතුළු බොහෝ අධිරාජ්‍ය කඩා වැටෙනු පසුගිය දහස් වසර පුරා අප දැක තිබෙනවා. ප්‍රවේශමෙන්!’

ඉරාන ජනාධිපති හසන් රඋහානි ඍජුවම ජනාධිපති ට්‍රම්ප්ට දෙන පිළිතුර මෙසේ ය:‘ ට්‍රම්ප් මහත්මයාල සිංහයාගේ වල්ගයෙන් අල්ලා සෙල්ලම් කරන්න එපා. පසුව කනගාටු වන්නට සිදු වේවි. ඉරානය සමග සාමය යනු සියලු සාමයට මාතෘත්වය දීමයි. ඉරානය සමග යුද්ධය යනු සියලු යුද්ධයන්ට මාතෘත්වය දීමයි. ඔබ සිටින්නේ ඉරානයේ ආරක්‍ෂාවට සහ ඕනෑඑපාකම්වලට එරෙහිව ඉරාන ජනතාව අවුස්සන්නට සුදුසු තත්ත්වයක නොවෙයි.’

මෙහි එන ‘සියලු යුද්ධයන්ට මාතෘත්වය දීම’ යන්න මැද පෙරදිග කලාපයේ බොහෝ කලක සිට පැවත එන රූඪිගත යෙදුමකි. අවිනීත පහත් බසක් පමණක් භාවිත කරන අමෙරිකානුවන්ට මෙහි අන්තර්ගත ගැඹුරු අරුත වටහාගත හැකි වේද’යි සැක සහිත බව ‘ජැපෑන් ටයිම්ස්’ ලිපිය කියවනවිට සිතට නැගේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ට්වීටර් සටහන ජපනුන් බියපත් කළ බව ජැපෑන් ටයිම්ස් වෙබ් අඩවියේ සඳහන් වේ. ‘ජපානයේදී මෙවැනි ප්‍රකාශ අශිෂ්ට ගණයේලා සැලකේ. මේ වනාහි සංවිධානාත්මක අපරාධකරුවන් සාමාන්‍ය ජනයාට තර්ජනයෙන් බිය වැද්දීමට යොදා ගන්නා පන්නයේ බස් වහරකි. මෙරට කිසිදු දේශපාලනඥයෙක් සිය විරුද්ධවාදීන් සමග ගනුදෙනුවලදී මෙවැනි නොසියුම් අවියත් බසක් උපයෝගී කැර නොගනිති.’ මුළු ලොව සතු තෙල් සම්පතින් 10% ඇත්තේ ඉරාන භූමියේ ය.

මෑත කාලයේ - විශේෂයෙන්ම ට්‍රම්ප් ජනාධිපති වූවාට පසු - අමෙරිකාවේ ඉරාන විරෝධයට හේතු තුනක් සඳහන්ය. පළමුවැන්න නම් 2015 වසරේ අත්සන් තබන ලද ඉහත සඳහන් නිර් -න්‍යෂ්ටික ගිවිසුම නිසා ඉරානය එය කඩ නොකරන්නේ දැ’යි සෝදිසියෙන් සිටීමට අමෙරිකාවට ඩොලර් බිලියන ගණනක් වැය කරන්නට සිදුව ඇතැ’යි නිලධාරීන් ජනාධිපති ට්‍රම්ප්ට ඒත්තු ගැන්වීමයි. මුදල් වැය නොකොට සම්බාධක පැනවීම සුදුසු බව ධවල මන්දිරයේ අදහසයි. JCPOA ගිවිසුම නිසා අත්වන වාසියෙන් ඉරානය කරන්නේ යුද්ධෝපකරණ සහ අවිවලින් සන්නද්ධ වීම බව පෙන්වා දෙනු ලැබේ. දෙවැන්න ඉහත සඳහන් පරිදි මුදල් ගැවසීම නිසා ඉරානය මැදපෙරදිග කලාපයේ ස්වාධිකාරාත්මක බලයක් පවත්වා ගෙන යන ගමන්ම ඒ ප්‍රදේශය අස්ථාවර කරමින් සිටියි. එරට සතු න්‍යෂ්ටික බලය මෙහිලා එරටට මහෝපකාරී වෙයි. තුන්වනුව ඉරානය සිරියා රජයට මිනිස් බලයෙන් සහාය දෙන අතර යේමනයේ හඋති කැරලිකරුවන්ට මුදලින් සහ අවිවලින් ආධාර කරයි.

මේ හේතු පෙන්වා දෙමින් ට්‍රම්ප් පාලනය ඉරානයට සම්බාධක පැනවීය. මෙමගින් ඉරානයේ ආර්ථිකය වැට්ටවීම ඔවුන්ගේ අභිලාෂය වී ඇති බවට තවත් සාධක අවශ්‍ය නොවේ. ආසියාතික රටවල් බොහොමයක් ආනයනය කරන්නේ ඉරානයේ බොරතෙල්ය. අප රටේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කළ හැක්කේ ඉරාන බොරතෙල් පමණි. මේ නිසා ඉරාන තෙල් අපනයනයට සම්බාධක පැනවුවහොත් අපට විදේශයන්ගෙන් සංශුද්ධ ඉන්ධන ලබා ගැනීමට සිදු වන නිසා එය අපට ඍජුවම බලපායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉරාන සංචාරයෙන් පසුව ඉරානය සපුගස්කන්දේ පිරිපහදුව විස්තාරණය කිරීමට එකඟ වී ඇතැ’යි පසුගිය මැයි 18දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී පැවසීය.

පිරිපහදු ඉන්ධන පමණක් ආනයනය කිරීම නොයෙකුත් දූෂණවලට මඟ හෙළි කිරීමකි. තත්ත්වයෙන් බාල තෙල් ගෙන්වීම ගැනද පසුගිය සමයේ අසන්නට ලැබිණි. මේ සෑම ආකාරයකින්ම මෙරට ජනතාවට සිදු වන පාඩුවලට අමෙරිකා එක්සත් ජනපදයේ අත්තනෝමතික ක්‍රියාකාරකම්ද බලපාන බව පැහැදිලිය.

කෙසේ වෙතත් ඉරානයෙන් තෙල් මිලදී නොගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය එහි පාරිභෝගික රටවලින් ඉල්ලා සිටියි. තමන්ගේ අනාඥාව නොපිළිපැද්දොත් බලාගෙනයි ඔහු අනතුරු අඟවමින් සිටියි. මේ නිසා ඉන්දියාව මේ වන විටත් ඉරානයෙන් ආනයනය කරන තෙල් ප්‍රමාණය 12%කින් අඩුකොට ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රඋහානිගේ ප්‍රතිචාරය වුයේ හොඳයි අපි බලමු කියාය. ‘භූ දේශපාලනය ගැන මූලික කාරණාවත් දන්නා කෙනෙක් අපගේ තෙල් අපනයනයට සීමා පනවන්න එන්නේ නෑ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රීත ජල මාවතට අතීතයේ සිටම ආරක්‍ෂාව සැපයුවේ ඉරානයයි. සිය තෙල් ප්‍රවාහනයට බාධා කළහොත් සමස්ත අරාබිකරයේම තෙල් ප්‍රවාහනයට බාධා සිදු විය හැකි බවට තමන් අනතුරු හඟවන බව ඉරාන විප්ලවීය ආරක්‍ෂක හමුදාවේ හෝමුස් ආරක්‍ෂාව භාර නිලධාරී ජනරාල් කිඔයුමාර්ස් හෙයිදාරි පැවසූ බව වාර්තා විය.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පූර්ව කොන්දේසි විරහිතවම සාකච්ඡාවකට එන ලෙස ඉරාන නායකයන්ට විවෘත ආරාධනයක් කළේය. ඔහු මෙය කීවේ ඉතාලි අගමැති ගිසෙප් කොන්ටෙ සමග විවෘත මාධ්‍ය හමුවකදී පසුගිය 29දාය. එහෙත් එහිද එක් කොන්දේසියක් තිබිණි. ‘ඉරානයට අවශ්‍ය නම්’ යන්නයි ඒ. පූර්ව කොන්දේසි නොමැති යැයි ට්‍රම්ප් කීවද වොෂින්ටනයේ සැබෑ බලධාරීන් වන පොම්පියෝ - බෝල්ටන් යුවල කොන්දේසි සකස් කරමින් සිටින බව වාර්තාවල සඳහන් විණි. කොන්දේසි නොමැතිව සාකච්ඡා නොකළ යුතු බව ඔවුන් ජනාධිපතිවරයාට උපදෙස් දී ඇති බව ගාඩියන් වෙබ් අඩවියේ සඳහන්ය. ඒ අනුව එවැනි සාකච්ඡාවක් නොපැවැත්වෙනු ඇත. තම රට උතුරු කොරියාව නොවන බව ජනාධිපති ට්‍රම්ප් දැන ගත යුතු යැ’යි ඉරාණ විප්ලවීය ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් මොහමඩ් අලි ජෆාරි පැවසූ බවද සඳහන්ය.

අමෙරිකාවේ ජනාධිපතිවරයා විශ්වාස කළ හැක්කකු නොවන බවත්, කොන්දේසි නැත්නම් ඔහු කළ යුත්තේ සම්බාධක ඉවත් කොට ඉරාන වාණිජ කටයුතුවලට ලොව විවෘත වන්නට ඉඩහැරීම බවත් ඉරානයේ අදහස වූ බැවින් පසුව ඉරානය ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව පිළිකෙව් කළේය.

[එස්. නන්දලාල්]

මාතෘකා