මැක්‍රොන්ගේ ඇමරිකානු මොහොත​

 ඡායාරූපය:

මැක්‍රොන්ගේ ඇමරිකානු මොහොත​

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ඇමරිකානු සංචාරය මිශ්‍ර වූ ප්‍රතිඵලවලින් යුක්ත වූවක් විය​. එහි එක් අන්තයකින් වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ළාබාල ප්‍රංශ ජනාධිපතිවරයාට වඩා තමන් ප්‍රබල බව පෙන්නුම් කිරීමට ගත් උත්සාහයන් ය​. එමානුවෙල් මැක්‍රොන්ට ට්‍රම්ප්ගෙන් කිසිදු ආකාරයේ බුරුලක් ලැබුණේ නැත​. නමුත් ඉනික්බිතිව පැමිණියේ මැක්‍රොන්ගේ අවස්ථාවයි. ඒ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ උභය මන්ත්‍රණ සභා (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනට් සභාව​) නියෝජිතයන් අමතා කළ කතාවයි. එහිදී මැක්‍රොන්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති කීතු කීතු කර දැමීය​.

මැක්‍රොන් එදිරිව ට්‍රම්ප්

එමානුවෙල් මැක්‍රොන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කඳවුරු දෙකක දේශපාලකයෝ වෙති. මැක්‍රොන් විවෘතභාවය සඳහා පෙනී සිටින අතර ට්‍රම්ප් ජාතිකවාදී කඳවුරට අයත් වේ. ඔහුගේ අරමුණ ඇමරිකා එක්සත් ජනපදය ශක්තිමත් කිරීමයි. මැක්‍රොන් යුරෝපා සංගමය ශක්තිමත් කිරීම පිළිබඳ විශ්වාස කරයි.

මැක්‍රොන් සහ ට්‍රම්ප් යන දෙදෙනාම සිය රටවල සාම්ප්‍රදායික දේශපාලනය අතික්‍රමණය කළ අය ලෙස පූර්වාදර්ශයන් තැබූ අය වෙති. ට්‍රම්ප් සිය ජාතිකවාදී දේශපාලන දර්ශනය ඔස්සේ ආමන්ත්‍රණය කළේ එතෙක් දේශපාලකයන් අමතක කර දමා තිබූ ජන කොටසකට ය​. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය ට්‍රම්ප් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රිස්සුවේ නැත​. නමුත් ට්‍රම්ප්ට ඔවුන් අවශ්‍ය වූයේ ද නැත​.

එමානුවෙල් මැක්‍රොන් ඊට වඩා සාම්ප්‍රදායික දේශපාලන ධාරාවට අයත් වුවද ඔහුගේ ආගමනය සම්පූර්ණයෙන් ම සාම්ප්‍රදායික ධාරාවන් අතික්‍රමණය කළ එකකි. ප්‍රංශයේ පැවති පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කළ ඔහු වෙනම ම ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීය​. ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට මූලික හේතුවක් වූයේ ඔහුගේ ම පුද්ගලික ආකර්ෂණීයභාවය ය​.

කෙසේ නමුත් සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම හැරුණ කල මෙම දෙදෙනාගේ සමානකමක් නොවුණා පමණක් නොව ඔවුන් එකිනෙකාට අතිශයින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන් වෙති. විශේෂයෙන් ම යුරෝපයේ ජාතිකවාදී නැගීමට එරෙහිව මතු වූ නව පරපුරේ නායකයකු ලෙස ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් දැක්විය හැක​. එවන් පසුබිමකදී ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් විසින් මැක්‍රොන්ට ඇමරිකාවට ආරධනා කිරීම ම විශේෂ අවස්ථාවක් වූයේ ය​.

ට්‍රම්ප්ගේ අවස්ථාව​ 

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැක්‍රොන් වෙත ගෞරවනීය පිළිගැනීමක් ප්‍රදානය කෙරුණ බව පෙනෙන්නට තිබුණ ද එහිදී ට්‍රම්ප් විසින් සිදු කෙරුණේ තමන් වඩා ප්‍රබල බව පෙන්වීමට උත්සාහ කිරීමයි. එක් අවස්ථාවක ට්‍රම්ප් මැක්‍රොන්ගේ කබාය පිස දැම්මේ එහි ඉස්හොරි වැටී ඇති බව පවසමිනි. මැක්‍රොන් වඩා “ලස්සන කිරීම” තම අභිප්‍රාය බව ඔහු කියා සිටියේ ය​. 

අනෙක් අතට ප්‍රධාන ප්‍රශ්න කිසිවක් පිළිබඳ මැක්‍රොන් දරන ස්ථාවරය පිළිනොගැනීමට ට්‍රම්ප් වගබලා ගත්තේ ය​. ඒ අනුව ට්‍රම්ප් නව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමක් වෙනුවෙන් ද​, දේශගුණ විපර්යාසය ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ද පෙනී සිටියේ ය​. තව ද ඇමරිකාව විසින් යුරෝපා සංගමය වෙත කෙරෙන තීරුබදු පිළිබඳ තර්ජනයන් පිළිබඳව ද ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් නොකළේ ය​. මැක්‍රොන් මේ සියල්ල ඉවසා දරා ගත් බවක් පෙනෙන්නට තිබුණි.
මැක්‍රොන් කොන්ග්‍රසය වර්ණවත් කරයි 

එමානුවෙල් මැක්‍රොන් මේ සියල්ලටම පිළිතුරු දුන්නේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා කරන ලද කතාවේදී ය​. ඒ සඳහා මැක්‍රොන් ප්‍රවේශ වූ ආකාරය ද ඉතා උපක්‍රමශීලී ය​. ඔහු සිය ට්විටර් ගිණුම හරහා පෙන්වා දුන්නේ තමන් ගේ කතාවට හරියටම වසර 58 කට පෙර​, 1960 අප්‍රේල් 25 වනදා, එවකට ප්‍රංශ ජනාධිපති වූ චාර්ල්ස් ඩිගෝල් ද උභය මන්ත්‍රණ සභා මන්ත්‍රීන් අමතා ඇමරිකානු - ප්‍රංශ මිත්‍රත්වය පිළිබඳ සඳහන් කළ බවයි. එමගින් මැක්‍රොන් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ තම කතාව ද ඓතිහාසික වැදගත්කමකින් යුතු එකක් වනු ඇති බවයි. 

අනෙක් අතට මැක්‍රොන් සිය කතාව සිදු කළේ ඉංග්‍රීසියෙනි. මෙය ප්‍රංශ ජනාධිපතිවරයකු සාමාන්‍යයෙන් සිදු නොකරන්නකි. කෙසේ නමුත් එමගින් ඔහු පරිවර්තකයන් ගෙන් තොරා සිය කතාව සිදු කිරීමට අවස්ථාව උදා කර ගත්තේ ය​. 
දෙරට අතර වූ සම්ප්‍රදායික මිත්‍රත්වය පිළිබඳ අදහස් දක්වමින් මැක්‍රොන් පෙන්නුම් කළේ එම මිත්‍රත්වය නායකයින් අතර වන මතවාදී ගැටුම් මත වෙනස් නොවනු ඇත යන්නයි. මේ අනුව මැක්‍රොන් සිය කතාව වඩා ප්‍රබල වීමට අවකාශය තනා ගත්තේ ය​.

කෙසේ වෙතත් මැක්‍රොන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිර්දය ලෙස විවේචනය කළේ ය​. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වෙනස් කිරීමේ ට්‍රම්ප්ගේ මතය ඔහු විවේචනය කළේ ඉරානයට කිසිදු අවස්ථාවක න්‍යෂ්ටික අවි තැනීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින්. "ඉරානයට කිසි අවස්ථාවක න්‍යෂ්ටික අවි තැනීමට ලැබෙන්නේ නැහැ. අදත් නැහැ. තව වසර පහකිනුත් නැහැ. වසර දහයකිනුත් නැහැ. කිසි දිනෙක නැහැ" මැක්‍රොන් කීවේය​.

ඒ අතරම මැක්‍රොන් විසින් ට්‍රම්ප්ගේ ලෝකයට විවර නොවීමේ ප්‍රතිපත්ති දැඩි ව විවේචනය කළේ ය​. "අපට ලෝකයෙන් ඒකලිත වීම​, වෙන් වීම හෝ ජාතිකවාදය තෝරාගත හැකියි. නමුත් ඔබේ දොර ලෝකයෙන් වසාගත්තා කියා ලෝකය වෙනස් වීම නවතින්නේ නැහැ" මැක්‍රොන් කියා සිටියේ ය​.

මේ ආකාරයෙන් ම දේශගුණික විපර්යාසයන් සහ පැරිස් සම්මුතිය පිළිබඳ මැක්‍රොන් සිය ස්ථාවරත්වය නොබියව කියා සිටියේ ය​. ට්‍රම්ප්ගේ “Make America great again” (ඇමරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත් කරමු) යන තේමාව වෙනුවට මැක්‍රොන් “Make our planet great again” (අපේ ග්‍රහයා නැවතත් විශිෂ්ටත්වයට පත් කරමු) යන සිය තේමාව ගෙනහැර දැක්වීය​. අපට වෙනත් ග්‍රහයකු නොමැති බව මැක්‍රොන් පැහැදිලිව කියා සිටියේ ය​.

ප්‍රතිචාර​ 

මැක්‍රොන්ගේ කතාව ඇමරිකානු කොන්ග්‍රසයේ ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් අමන්දානන්දයට පත් කළේ ය​. ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ අදහස වූයේ මැක්‍රොන් තමන් බලාපොරොත්තු වූවාට වඩා ප්‍රබලව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේචනය කළ බවයි. රිපබ්ලිකන් පාක්ෂිකයන් අවස්ථා කිහිපයකදී ම අපහසුතාවට පත් වූ වග ඔවුහු පෙන්වා දුන් හ​. 

කොන්ග්‍රසයේ වැඩි බලයක් හිමි රිපබ්ලිකන් පාක්ෂිකයන් ද වැඩි දෙනකු මැක්‍රොන් එළිපිට විවේචනය කිරීමෙන් වැළකී සිටියෝ ය​. උප ජනාධිපති මයික් පෙන්ස් ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ ඔහු සහ ජනාධිපති ට්‍රම්ප් යන දෙදෙනා ම මැක්‍රොන් විසින් ඇමරිකානු - ප්‍රංශ මිත්‍රත්වය පිළිබඳ දැක්වූ අදහස් බෙහෙවින් අගය කරන බවයි. 

මැක්‍රොන්ගේ කතාව කෙසේ වෙතත් ට්‍රම්ප් සහ ඔහු දෙරටෙහි ජනාධිපති ධුරයන් දරන තාක් කල් දෙරට අතර තිබෙන මත ගැටුම් නිරාකරණය නොවනු ඇත​. නමුත් මැක්‍රොන්ව යට කිරීමට තමන්ට හැකි යයි ට්‍රම්ප් එක නිමේෂයකට හෝ සිතා සිටියේ නම්, ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා මැක්‍රොන් කළ කතාව විසින් එවන් සිහින බොඳ කරන ලද්දේ ය​.

[චාමර සුමනපාල]