අපරාජිත විනී මැන්ඩෙලා

 ඡායාරූපය:

අපරාජිත විනී මැන්ඩෙලා

1969 මැයි මාසයේ 12 වනදා ජොහැන්නස්බර්ග් අසළ සොවේටෝවේ විනී මැන්ඩෙලාගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීහු ඇය අත් අඩංගුවට ගත්හ​. ඒ ඇගේ වයස අවුරුදු 9 ක් සහ 10 ක් වූ දියණියන් දෙදෙනා ඉදිරියේය​. ඉන් පසු වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇය හමුවිය හැකි වූයේ ඇය ප්‍රශ්න කළ නිලධාරීන් සහ බන්ධනාගාර නියාමකයින්ට පමණි. ඇය රැඳවුම් භාරයේදී පහර කෑමට සහ වෙනත් තාඩන පීඩනවලට ලක් වූවාය​. දින 491 ක් තිස්සේ සිරගතව සිටි ඇයට ඉන් පළමු දින 290 ක පමණ කාළය තුළ ඇගේ දියණියන් හෝ වෙනත් කිසිවකු පිළිබඳ තොරතුරු ලැබුණේ නැත​.

සමාජ සේවිකාව​

විනී මඩිකිසේලා-මැන්ඩෙලා උපත ලද්දේ 1936 දීය. වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ කළු ජාතික කාන්තාවකට සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය හැකිව තිබුණාට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඇය වාසනාවන්ත වූවාය. ජෙහැන්නස්බර්ග්හි යාන් හොෆ්මේයර් විද්‍යාලයෙන් සමාජ සේවය උගත් ඇය ඒ හේතුවෙන් ම ජනතාව අතර කටයුතු කිරීමට අවස්ථාව ලැබුවාය​.

විනී 1958 දී නෙල්සන් මැන්ඩෙලා හා විවාහ වූ අතර ඒ වනවිට ද වර්ණභේදවාදී රාජ්‍ය ප්‍රතිපත්තිවල කුරිරු බව පිළිබඳ ඇයට වැටහීමක් ලැබී තිබුණි. කෙසේ වෙතත් ඇය වර්ණභේදවාදයට එරෙහි සටනෙහි ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ නෙල්සන් මැන්ඩෙලා සහ අනෙකුත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් නායකයන් සිරගත වීමත් සමඟය​.

නපුරුම සිහිනය​

1964 දී රිවෝනියා නඩුවෙන් නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරගත කළ අවස්ථාව වනවිට වර්ණභේදවාදී රජය ඉතා ප්‍රබල තත්ත්වයක සිටියේය. දේශීය වශයෙන් ඔවුනට එරෙහි කණ්ඩායම් මර්දනය කර තිබිණ. ආර්ථික වශයෙන් දකුණු අප්‍රිකාවේ තත්ත්වය ද යහපත් වූයේය​. කලාපීය වශයෙන් ද දකුණු අප්‍රිකාවට හිතකර තත්ත්වයක් මතුවී තිබුණි. යාබද දකුණු රොඩේෂියාවේ ද දකුණු අප්‍රිකානු ප්‍රතිපත්ති යම් තරමකට අගය කළ රජයක් බිහි විය​. වර්ණභේදවාදය යථාර්ථවාදී ක්‍රමවේදයකැයි යන අදහස සමාජගත කිරීමට මෙම සාර්ථකත්වයන් උපකාරී විය​.

විනී මැන්ඩෙලා වර්ණභේදවාදයට එරෙහි සටනෙහි පෙරමුණට පැමිණියේ මෙම පසුබිමෙහිය​. ඇය​ කිසිදු විටෙක පරාජය භාරගෙන ඉවත් වන්නියක් නොවූවාය. නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ වූවාට අමතරව උගත්කම​, බුද්ධිමත්කම​, ජනතාව අතර සේවය කිරීමේ පළපුරුද්ද​, කථිකත්වය​, රූමත්බව ආදී සියලු කරුණු ඇය ශක්තිමත් කළේය. කළු ජාතිකයන් නූගත්, අවලස්සන, දෙවන පන්තියේ මිනිසුන් යයි හංවඩු ගැසූ වර්ණභේදවාදී ආණ්ඩුව දුටු නපුරුම​ සිහිනය විනී මැන්ඩෙලා වූවාය​.

විනී අවස්ථා ගණනාවක ම සිරගත වූ නමුත් 1969 දී ඇය අත්අඩංගුවට ගැනීම ඒ අතර කැපී පෙනුණි. ඒ ඇයට මුහුණ දීමට සිදු වූ තත්ත්වයන් හේතුවෙනි. එවර නිදහස ලැබූ පසු විනී මැන්ඩෙලා වඩාත් කලහකාරී, ආවේගශීලී සටන්කාමිනියක බවට පත් වූවාය. ජොහැන්නස්බර්ග් හි සොවේටෝවේ කළු ජාතිකයන්ගේ වීරවරියක බවට ඇය පත් වූවා. ඇය මර්දනය කරගත නොහැකි වූ හෙයින් දකුණු අප්‍රිකානු පාලනය ඇයව එකල ඔරේන්ජ් නිදහස් රාජ්‍ය නමින් හැඳින් වූ ප්‍රාන්තයේ කුඩා නගරයකට පිටුවහල් කළේය​. ඇය එහිදී ද සමාජ සේවා කටයුතුවල නිරත වූයේ රජයේ අවහිරකම් මැදය​.

1976 වසරේ සොවේටෝවේ මතු වූ සිසු අරගලය මෙහෙයවූ එක් තැනැත්තියක ලෙස ද විනී සැළකේ. මෙම අරගලය සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට මාස කිහිපයක් ගත විය​. මේ සිදුවීම් සමඟ ම දකුණු අප්‍රිකාව ඇන්ගෝලාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වූයේය. මෙහිදී ඇන්ගෝලා රජයට සහය දැක්වීමට පැමිණි කියුබානු හමුදා සමඟ දකුණු අප්‍රිකානු හමුදා ගැටුණි. කලාපයේ රටවල යුධ හමුදාවලට වඩා ශක්තිමත් වූ දකුණු අප්‍රිකානු යුධ හමුදාව පළමු වතාවට ප්‍රබල ප්‍රතිවාදියකුට මුහුණ දුන්නේය​.

මෙම දේශපාලන අර්බුද හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ආර්ථිකය පසුබසින තත්ත්වයක් උද්ගත වූ අතර 1980 දශකය ආරම්භයේදී, ඇමරිකා එක්සත් ජනපදය ද ආර්ථික අවපාතයකට මුහුණ දීමත් සමඟ ම තත්ත්වය තවත් අයහපත් විය​. මේ අතර යාබද රටවල නිදහස් ව්‍යාපාර සාර්ථක වීමත් සමඟ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට එම රටවල සිට කටයුතු කිරීමේ හැකියාව ලැබුණි. එහෙයින් කළු ජාතිකයන් අතර නැවත ප්‍රතිරෝධය වර්ධනය විය​.

ගිනි පෙට්ටි සහ මාල​

විනී මැන්ඩෙලා යළි සොවේටෝවට පැමිණි අතර ඈ වටා විශාල පිරිසක් එක් වූහ​. මේ අතර එක් වූ තරුණ පිරිස් "මැන්ඩෙලා එක්සත් පාපන්දු සමාජය​" ලෙස සංවිධානය විය​. මොවුන් ඇගේ ආරක්ෂකයින් මෙන් වූ අතර කලක් යද්දී මෙම සංවිධානයට පොලිස් ඔත්තුකරුවෝ ද එක් වූහ​.

මෙකල කළු ජාතික අරගලයේ ප්‍රධාන ම අංගයක් වූයේ පොලිසියට සහ රජයට උපකාර කරන කළු ජාතිකයන් ඉලක්ක කිරීමයි. කළු ජාතික ප්‍රදේශවල රජයේ පාලනය ගිලිහෙන්නට පටන් ගත්තේය​.

පොලිස් ඔත්තුකරුවන් ඝාතනය කිරීමට යොදාගත් එක් ප්‍රධාන ක්‍රමයක් වූයේ ටයර් මාලය​. එනම්, ගෙල වටා ටයරයක් දමා පෙට්‍රල් දමා ගිනි දැල්වීමය​. විනී මැන්ඩෙලා 1986 දී රැළියක් අතරතුර මෙම ක්‍රමවේදය සාධාරණීකරණය කළාය​. "අපට ආයුධ නැහැ. නමුත් අපේ ගිනි පෙට්ටි සහ මාල උපකාර කරගෙන අප මේ රට නිදහස් කරගන්නවා" ඇය පැවසුවාය​.

විනී මැන්ඩෙලාගේ නාමය අපකීර්තිමත් වීමට බලපෑ ප්‍රධාන ම සිද්ධිය වූයේ ස්ටොම්පි මොකෙට්සි නම් 14 හැවිරිදි තරුණයාගේ ඝාතනය යි. විනී මෙම මරණය පිළිබඳ දැන සිටි බව පසුව හෙළි වූයේය​.

පරිවර්තනය​

විනී මැන්ඩෙලාගේ ජීවිතයේ උච්ච අචස්ථාවක් වූයේ 1990 පෙබරවාරියේදී නෙල්සන් මැන්ඩෙලා නිදහස ලැබීමය​. මේ සමඟ ම තවත් දේශපාලන සිරකරුවන් නිදහස ලද අතර පිටුවහල්ව සිටි අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් නායකයන් යළි දකුණු අප්‍රිකාව කරා පැමිණියෝය​.

නමුත් මේ සමඟ ම විනී මැන්ඩෙලා අත්කරගෙන සිටි ඉහළ තත්ත්වය කඩා වැටුණි. දේශපාලන ව්‍යාපාරයේ අනෙකුත් නායකයින් හමුවේ ඇය තවත් එක් නායිකාවක පමණක් බවට පත් වූවාය​. ඒ අතරම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ චෝදනා ද ඇයට බරපතළ ප්‍රශ්නයක් විය​. ස්ටොම්පිගේ මරණය පිළිබඳ ඇයට සය වසරක සිර දඬුවමක් පැමිණවීම ද (අභියාචනයකින් පසු ඇයට දඩ මුදලක් පමණක් පණවන ලදි) ඇයට හරහට සිටියේ ය​.

1992 දී නෙල්සන් මැන්ඩෙලා හා විනී වෙන් වූ අතර 1996 වනවිට දික්කසාදය සම්පූර්ණ වූයේය. මින් කලකට පසු විනීට එරෙහි ව මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ද චෝදනා එල්ල වී ඊට ද ඇය වරදකාරියක වූවාය​.

නමුත් ඇගේ අනුගාමිකයන්ට නම් ඇය සදාකල් වීරවරියක වූවා ය​. විනීගේ මරණින් පසු දකුණු අප්‍රිකාවේ ආර්ථික විමුක්ති පෙරමුණේ නායක ජුලියස් මලේමා කියා සිටියේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් නායකයින් විසින් විනී මැන්ඩෙලා යටපත් කරන ලද බවත් ඇයට එරෙහි ව්‍යාජ චෝදනා ගෙන ආ බවත්ය​. 

[චාමර සුමනපාල]


ජනප්‍රිය ලිපි