ජීවිතය හැර ගිය සිඟිත්තා

 ඡායාරූපය:

ජීවිතය හැර ගිය සිඟිත්තා

 

අප මෙය ලියන මොහොතට දින 3කට පෙර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වයස අවුරුදු දෙකක සිඟිති පිරිමි දරුවකු අඩි 100ක් ගැඹුරු උමගක සිරව ජීවිතය ඉල්ලමින් බියපත්ව හඬා වැටෙමින් සිටියේය. එහෙත් තෙවැනි දිනය පසුවී හතරවැනි දිනය එළැඹෙන විට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. මේ ලියන මොහොත වන විට දහස් ගණනක් මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳ දමා ඔහු ජීවිතය හැරගොස් තිබේ.

ඉන්දියාව යනු වර්ෂාව රහිත කාලවල ගොවිතැනට හා බීමට ජලය සොයා මීටර් සිය ගණන් පොළොව හාරමින් ජලය සොයා වෙහෙසෙන ජනතාවක් සිටින රටකි. ජලය ලැබුණද නොලැබුණද එකී ළිං නැවත වසා දැමීමක් ඔවුහු නොකරති. එබැවින් ඒවා දැඩි අනාරක්ෂිත ගැඹුරු වළවල් බවට පත්වේ. ඒ ළිඳද අත්හැර දමන ලද අඩි 600ක් ගැඹුරැති එකකි. තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සුජිත් විල්සන් නමැති සිඟිති දරුවා පසුගිය සිකුරාදා සවස වැටුණේ එයටය. ඔහු සිය ගෙය ඉදිරිපිට අත්හරින ලද තිරිඟු වගා ඉඩමක සෙල්ලම් කරමින් සිටියදී මෙම ගැඹුරු කුහරයට ඇද වැටී තිබිණි. නියං කාලයේ මෙකී කුහරය දුහුවිල්ලෙන් සහ කොළ රොඩුවලින් වැසී තිබුණද පසුගිය වර්ෂාවෙන් සේදී ගොස් කුහර මුව විවර වී ඇත. විවරයේ ගැඹුර අඩි 1000කි.

ප්‍රථමයෙන් අඩි 30ක් පමණ ගැඹුරට කොටු වී සිටි සුජිත් විල්සන් සිඟිත්තා තවදුරටත් ඇතුළට ලිස්සා ගොස් ඇති අතර අනතුරුව අඩි 70ක් පමණ ගැඹුරට බෝර්වෙල් එකක ගැටුණු බව විශ්වාස කරයි. දරුවා බේරා ගැනීමේ උත්සාහය සෙනසුරාදා රාත්‍රිය පුරාම මනප්පරායි දිස්ත්‍රික්කය අසල නාඩුකට්ටුපට්ටිහිදී සිදු විය. කෙසේවෙතත් දරුවා තවදුරටත් ලිස්සා යෑම නිසා බලධාරීහු පසුබෑමකට ලක්වූහ. මීට පෙර එවැනි ගලවා ගැනීමේ උත්සාහයන් කිහිපයකදී සාර්ථකව භාවිත කළ උපකරණයක් නිර්මාණය කළ එම්. මානිකන්දන් මෙම මෙහෙයුම භාර ගත්තේය. නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වූයේ ඔහුගේ උපාංගයේ කඹය පිරිමි ළමයාගේ අතට තදින් බැඳ තැබිය නොහැකි බැවිනි. එක් අතකින් කඹය බැඳ තැබිය හැකි අතර ඔහුගේ අනෙක් අත අල්ලා ගැනීමට උත්සාහ කිරීම අසාර්ථක විය. එකී අසාර්ථක උත්සාහය තුළ අහිංසක දරුවා තවත් අඩි 30ක් පතුළට ලිස්සා ගියේය.

දහස් ගණන් ගම්වාසීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්, ගිලන් රථ සහ සහන සේවා කණඩායම් රැසක් ක්‍රියාත්මක විය. ඔක්සිජන් නළයක් උමග හරහා සිදුරට ඔක්සිජන් සංසරණය කරමින් තිබිණි. මෙතෙක් දවසක් දරුවාගේ මාමා සමඟ දිගින් දිගටම මෙම දරුවා කතාකරමින් සිටියද අද උදෑසන සිට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. දහසකට අධික ජනතාවක් සිටින මුළු ගමම මෙම මෙහෙයුම නැරඹීමට එක්රැස් වී සිටියේ දැඩි කනස්සල්ල හා ශෝකාකූල වතින් යුතුවය. පසුව මේ මෙහෙයුම සිය පුද්ගලික කටයුත්තක් සේ සලකා ඉන්දියානු සෞඛ්‍ය ඇමති

C. Vijayabaskar මැදිහත්ව සිටියේය.

අඩි 100ක් පමණ ගැඹුරට කොටු වී සිටි තමිල්නාඩු සිඟිති දරුවාගේ කිසිදු ශබ්දයක් හෝ හඬක් සෙනසුරාදා උදෑසන සිට අසා නැති අතර දරුවාගේ හිස සහ අත් පමණක් පෙනෙන පරිදි පටු සිදුරක සිරවී සිටින අයුරු දැක්වෙන රූපයක් කුහරය තුළට යවන ලද රොබෝ කැමරාවෙහි තිරය මත දර්ශනය වීම ඛේදවාචකයේ අවාසනාවන්ත බව අවධාරණය කරයි.

තමිල්නාඩු මහ ඇමති එඩපාඩි. කේ. පලනිස්වාමිට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සඳහා ඉන්දියාව සතු සියලු සම්පත් භාවිත කරන ලෙස සඳුදා ඔහුට උපදෙස් දී තිබිණි. දින හතරක මෙහෙයුම ක්‍රියාත්මක වූයේ දරුවා වැටුණු වළේ සිට අඩි 3ක් පමණ ඈතින් අඩි 110ක් පමණ ගැඹුරු වළක් කපා දරුවා සිරවී සිටින කුහරයත් එම වළත් හරහා අඩි 3ක කෙටි උමඟක් තනා ඒ තුළින් ගිනි නිවන භටයකු යැවීමටය. නමුදු අඩි 30ක් පස සිදුරු කළ යාන්ත්‍රික වානේ කටුව කළු ගලක මුහුණත ගැටීමෙන් වේගය අඩපණ වී ඇත. විදුම් කටුවක් තුළින් කළුගල දෙපලු කළ නොහැක්කේ අඩි 3ක් සමීපයේ සිටින දරුවාගේ කුහරය කඩා වැටී එහි පස්වලට දරුවා යටවීමේ අවදානම තියන නිසාය. එහෙයින් දරුවා කරා ළඟාවීමට තවත් පැය 14ක් පමණ ගතවිය හැකියැයි බලධාරීහු පැවසූහ.

තමිල්නාඩුවේ ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා පැවසුවේ, ''මෙහෙයුම් අතරමඟ නැවතීම සඳහා කිසිවකුට කිසිදු ඉඩක් නොලැබේ. පස ලිහිල් වීම වැළැක්වීම සඳහා සියලු තාක්ෂණික උත්සාහයන් අප ක්‍රියාත්මක කරමින් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම කිසිදු වියදමක් නිසා අත්හිටුවනු නොලැබේ. ඒ සමඟම අපට අවශ්‍ය නැහැ දරුවාගේ මවුපියන්ට කිසියම් ව්‍යාජ බලාපොරොත්තුවක් ලබා දෙන්න. ඒත් සුබවාදී අදහස්වලට ඉඩ දෙමු! දරුවාට ජීවිතය ප්‍රාර්ථනා කරන්නෙමු.” යන්නයි. එහෙත් මේ ලියන මොහොත වන විට ඒ දරුවා තම ජීවිතය හැරදා ගොස් තිබේ. විය යුත්තේ තවත් එවන් සිඟිත්තකු හට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත් නොවීමට ක්‍රමවේදයක් සකස් කිරීමයි.

[උපාලි ජයසිංහ]

News Order: 
0
මාතෘකා