අප්‍රිකානු මහාද්වීපයේ ආශ්චර්යය!

 ඡායාරූපය:

අප්‍රිකානු මහාද්වීපයේ ආශ්චර්යය!

 

රුවන්ඩාව, ජනවාර්ගික සිවිල් යුද්ධයකින් අපිට වඩා සිය ගුණයකින් බැට කාපු ඇදවැටුණු රටක්. යුද්දේ තිබ්බේ 1990 ඉඳන් 1994 දක්වා අවුරුදු 4ක් වුණාට ඒ රටේ නැති වුණු ජීවිත ගණන ලක්ෂ 10ක්. ඒක අපේ 1971, 1989 සිදු වූ මිනිස් ඝාතන සහ වසර 30ක වර්ගවාදී යුද්ධයකින් අහිමි වූ ජනතාවගේ සංඛ්‍යාව මෙන් අට ගුණයක්. නමුත් එරට බුද්ධිමත් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් යුද්ධය අවසන් කර රට හැරෙව්වේ ශීඝ්‍රයෙන් සංවර්ධනයේ දිශාවට. අද රුවන්ඩාව කියන්නේ අප්‍රිකා මහාද්වීපයේ ආර්ථික, සමාජීය සහ මානව ජයග්‍රහණවල සංකේතයක්. ලෝ‍‍කෙ වැඩිම පාර්ලිමේන්තුව නියෝජනය කරන ගැහැනු ඉන්නේ රුවන්ඩාවේ. ඒක සමස්ත පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 64ක්. ලෝකයේ සුසාන භූමිය කියාපු, දිනකට කාන්තාවන් 10 දෙනෙක් දූෂණයට ලක්වෙන රටක් එදා ඒක. ඒත් අද රුවන්ඩාවේ පෙරගමන්කරුවා කාන්තාවයි. රුවන්ඩියානුවන් අවදි කළ මාතාව ඇයයි.

ඒ අය 2019 ඔක්තෝබර් 07 වැනිදා කිගාලි නගරයේ අප්‍රිකාවේ පළමු ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තශාලාව ආරම්භ කළා. ඩොලර් මිලියන 24ක් වියදම් කරලා ගොඩනඟපු කර්මාන්තශාලාවේ පුහුණු රුවන්ඩියානු තරුණ තරුණියන් 200ක් වැඩ කරනවා. අද වෙනකොට ස්මාර්ට් ෆෝන් 1,200ක් දවසකට නිෂ්පාදනය කරන්න එයාලා සමත්. එහි ලාංඡනය සිංහයා. නම 'Mara' අපේ සිංහයා තාම නිදි. ඒකේ විශේෂත්වය තමයි ඒ අය සියලුම එකලස් ‍කිරීමේ කොටස් ගන්නේ රුවන්ඩාවෙන් නැත්නම් අප්‍රිකා මහාද්වීපයෙන්. දැනට රුවන්ඩාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ ආධිපත්‍යය Techno හා සැම්සුන් අතර නිසා Mara ස්මා‍ර්ට් ෆෝන් එකට රුවන්ඩාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ ආධිපත්‍ය සඳහා කීර්තිමත් මේ සන්නාම දෙක සමඟ තරග කරන්න වේවි. ඒත් මොන ලස්සනක්ද රුවන්ඩාවේ කොල්ලෝ කෙල්ලෝ අතේ Made in Ruvanda කියලා ෆෝන් එකක් තියෙන එක. මේ හැමදේම කළේ රුවන්ඩාවේ බුද්ධිමත් දේශපාලන නායකත්වය. පාවුල් කාගාමේ. (Paul Kagame) එයා තමයි මිනිහා රුවන්ඩාව වෙනස් කරපු.

අප්‍රිකානු මහාද්වීපයේ වර්ගවාදී යුද අඳුරෙන් වැසුණු මේ රට අද වෙනකොට ඒ වර්ගවාදය සහමුලින් අවසන් කොට මුළුමහත් රුවන්ඩියානු ජනතාවම එකාවන්ව සංවර්ධනයේ මාවත වෙත පිවිසීමට පටන් අරන්. එහි හැඩය ගැන කියනවා නම් ජර්මන් රජයේ පූර්ණ අනුග්‍රහය මත ජර්මානු නිෂ්පාදනයක් වන වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලක් ඒ අය විවෘත කළා 2018 මාර්තු මාසයේ. ඒකෙන් රුවන්ඩියානු දේශපාලන නායකත්වය බලාපොරොත්තු වුණේ විදේශයන්ට වාහන සඳහා ඇදී යන සිය විදේශ විනිමය ඉතිරි කර ගන්න. රටේ ජනතාව එයට මොනතරම් දායකත්වය දෙනවද කියනවා නම් මිලියන 12ක ජනතාවක් ඉන්න රුවන්ඩාවේ ලක්ෂ පහක ජනතාවක් 2018 වර්ෂයේ තම රටේ එකලස් කරපු වොක්ස්වැගන් වාහන මිලදී ගැනීමට ලියාපදිංචි වී අවසන්. මීට පෙර එයාලා වාහන බොහොමයක් ආනයනය කළේ ජපානයෙන්. ඩ්‍රෝන තාක්ෂණය සාර්ථකව උපයෝගී කර ගන්නා අප්‍රිකානු මහාද්වීපයේ එකම හා ප්‍රථම රට රුවන්ඩාවයි. රටේ ප්‍රධාන නගරයෙන් ඈත ඇති බොහෝ ප්‍රදේශවල ගොවිබිම් සඳහා අවශ්‍ය බීජ බෙදා හරින්නේ ඔවුන් දැන් ඩ්‍රෝන මඟින්. එය කෘෂිකර්මාන්තය සඳහා පමණක් නොවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේද පාවිච්චි කරන එකම අප්‍රිකානු රට රුවන්ඩාවයි. ඒ අය රටේ ජනතාවට විවිධ සෞඛ්‍ය හේතූන් මත අවශ්‍ය රුධිරය බෙදා හැරීම කරන්නෙත් ඩ්‍රෝන තාක්ෂණය මඟින්. මෙම තාක්‍ෂණයේ සාර්ථකත්වය මත “අපි ඩ්‍රෝන කර්මාන්තයක් ලෙස පෝෂණය කිරීමට කටයුතු කරමින් සිටිමු.” යැයි රුවන්ඩාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍ය සහ ජීන් ද ඩියූ රුරන්ගිර්වා මේ සතියේ ලෝක ජනමාධ්‍ය වෙත පවසා තිබුණා.

 [උපාලි ජයසිංහ]

මාතෘකා